ශ්‍රී ලංකාව තුළ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන එකම අධ්‍යාපන ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයයි. මෙමගින් වසරකට එක් ශිෂ්‍ය කණ්ඩායමක් සඳහා සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයකට අධ්‍යයන පහසුකම් සපයන අතර, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරන ලද පශු වෛද්‍යවරුන් ලෙස තම වෘත්තීය ක්ෂේත්‍රයට එළැඹීමට අවස්ථාව උදා වේ. ඒ අනුව පශු වෛද්‍ය පීඨයේ වසර පහක් පුරාවට තම අධ්‍යාපන කටයුතු සිදුකරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රායෝගික පුහුණු පශු වෛද්‍යවරුන් ලෙස දැනුමෙන් සන්නද්ධ වෙමින් අනාගතයේ දී මුළු මහත් ලෝකයටම සෙත සලසන පරිපූර්ණ පශු වෛද්‍යවරුන් ලෙස තම අධ්‍යාපන කාලසීමාව පුරාවට ගෘහාශ්‍රිත සතුන්, ගොවිපොළ සතුන් සහ වනජීවීන් පිළිබඳ තම දැනුම ඔවුහු මුවහත් කර ගනිති.
පශු වෛද්‍ය සත්කාර සහ පශු වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය හැඩගස්වන නව්‍ය මුලපිරීම් කිහිපයක් ආරම්භ කරමින් පසුගිය දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ සේවා පහසුකම් පුළුල් කෙරිණි. පේරාදෙණිය පශු වෛද්‍ය ආදි විද්‍යාර්ථීන්ගේ කැපවීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුළ පහසුකම් පුළුල් කෙරෙන ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මේ පිළිබඳව “ඉරිදා ලංකාදීප” ය සමග අදහස් දැක්වීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල එක් විය.
“පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහල පිහිටා තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තුළයි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පශු වෛද්‍ය රෝහල්වලින් එකක් ලෙස සැලකෙනවා. මෙම රෝහල මගින් සුරතල් සතුන්, ගොවිපොළ සතුන් සහ වන සතුන් සඳහා පුළුල් පරාසයක රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා සපයනු ලබනවා. ඒ අතර සායනික පරීක්ෂණ, ශල්‍යකර්ම, රසායනාගාර සේවා සහ රූපගත කිරීමේ සේවා වැනි දේවල් ඇතුළත් . එමෙන්ම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන සහ පුහුණු කටයුතු සඳහා ද මෙම රෝහල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.”
1970 දශකයේ දී පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන් ගේ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉතාමත් සුළුවෙන් කුඩා සායනයක් ලෙස ආරම්භ කරන ලද මෙම රෝහල 1990 වසරේ දී පමණ සීමිත සේවා ප්‍රමාණයක් පමණක් සැපයූ කුඩා රෝහලක් ලෙස ආරම්භ කොට තිබේ. පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත් වෙමින් රෝහල සතුව මේ වන විට රෝගී සතුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සිල්ලම පාහේ සමන්විතව අද දක්වා පැමිණි ගමන ඉතා පහසුවෙන් පැමිණි එකක් නොවේ.
“පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ විශේෂත්වය වන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍යවරයෙකු වීමට ඉගෙන ගන්න තියෙන ලංකාවේ එකම ශික්ෂණ රෝහල වීමයි. සාමාන්‍ය ශික්ෂණ රෝහලකට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් කළත්, පශු වෛද්‍ය ශික්ෂණ රෝහලකට එහෙම ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපේ පශු වෛද්‍ය පීඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ උදව් උපකාර මත හා අප විසින් වෛද්‍ය සායනවලින් තම තමන්ම උපයා ගන්නා මුදල්වලින් තමයි පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ වැඩ කටයුතු සිදු වෙන්නෙ.”
මෙම රෝහල මගින් සුරතල් සතුන්, වනසතුන් සහ ගොවිපොළ සතුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරයි. බාහිර රෝගී අංශයක්, නේවාසිකව ප්‍රතිකාර ලබන සතුන් සඳහා වාට්ටු සංකීර්ණයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, ශල්‍යාගාර පහසුකම්, නවීන එක්ස් කිරණ යන්ත්‍ර සහ ස්කෑන් යන්ත්‍ර සහ නවීන විද්‍යාගාර පහසුකම් ආදී සේවා ගණනාවකින් අද වෙන විට මෙම රෝහල සමන්විතය. මෙම සියලුම සේවා සැපයෙන්නේද පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට සාපේක්ෂව ඉතාම අවම මිල ගණන් යටතේ වීම ද මෙහි ඇති තවත් එක් සුවිශේෂත්වයකි. පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය පැය 24 පුරාම වසරේ දින 365 ම විවෘතව පවතියි. මේ අනුව හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා පමණක් සතුන් රැගෙන ඒමට හැකියාව එහි පවතියි.
“මේ අනුව පසුගිය දා පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ සංවර්ධනය වෙනුවෙන් බරපතළ පියවරවල් කිපයක් එකවර සිදුකිරිමට හැකිවුණා. අපි මේ සියලු දේ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හෝ රටට මූල්‍යමය බරක් නැතිව කියලා මම ඉතා ආඩම්බරයෙන් කියා සිටිනවා.”
“අපි ගත්ත පළමු පියවර තමයි, වනජිවි දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව තුවාල වූ, අසාධ්‍යව සිටින කැළෑ සතුන්ට බෙහෙත් කරන වැඩපිළිවෙළ. කැළෑ සතුන්ට අයිතිකරුවන් නැති නිසා බෙහෙත්වලට යන වියදම් දරන්න කෙනෙක් නැහැ. නමුත්, වන සතෙක් අසාධ්‍යව සිටිනවා කියලා අපිට දැනුම් දුන් වහාම අපි ගෙනවිත් බෙහෙත් කරලා සුව වුණාම නිදහස් කරනවා. එහෙම නැතිනම් වනජීවි දෙපාර්තමේන්තුවට බාර දෙනවා. අපි මුල් කාලයේ දී සතුන් ප්‍රවාහනයට ත්‍රී රෝද රථයක් තමයි පාවිච්චි කළේ. ඒ ත්‍රීරෝද රථය මීට අවුරුදු 15 කට පෙර රෝහිණි නම් වූ මහත්මියක් විසින් පරිත්‍යාග කළා. ඇය සතුන්ට ආදරය දක්වන කාන්තාවක්. ඒ වගේම එම ත්‍රීරෝද රථයේ ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධනවලට වැය වෙන මුදල් දරන්නේ අපි උපයන මුදල්වලින්මයි.”
“පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ විශේෂත්වය වන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍යවරයෙකු වීමට ඉගෙන ගන්න තියෙන ලංකාවේ එකම ශික්ෂණ රෝහල වීමයි. සාමාන්‍ය ශික්ෂණ රෝහලකට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් කළත්, පශු වෛද්‍ය ශික්ෂණ රෝහලකට එහෙම ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපේ පශු වෛද්‍ය පීඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ උදව් උපකාර මත හා අප විසින් වෛද්‍ය සායනවලින් තම තමන්ම උපයා ගන්නා මුදල්වලින් තමයි පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ වැඩ කටයුතු සිදු වෙන්නෙ.”
“පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යාපනයෙන් පැමිණි ආදි විද්‍යාර්ථියෙකු වන, පශු වෛද්‍ය සිවා තයාපරන් විසින් තුවාල ලැබූ හෝ අසනීප වූ වන සතුන් ප්‍රවාහනය කිරීමට හා ඔවුන්ට වඩා හොඳින් ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා පසුගිය මාර්තු මාසයේ දී කුඩා ලොරි රථයක් පරිත්‍යාග කළා. සිවා තයාපරන් මහත්මා දැනට ඔස්ට්‍රේලියාවේ පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා. රෝහලට පරිත්‍යාග කෙරුණු මෙම නව වාහනය තුළින් වනජීවී ගලවා ගැනීමේ මෙහෙයුම් පුළුල් කිරීමට හා වනසතුන් ප්‍රවාහනය හා ප්‍රතිකාර පුළුල් කිරීමට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.”
පශු වෛද්‍ය ක්ෂේත්‍රය ලෝකයේ දියුණු වී ඇති මට්ටම හා සැසඳීමේ දී මෙම රෝහලට ලැබිය යුතු තවත් බොහෝ දෑ පවතියි. එමෙන්ම සතුන් ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වන ඖෂධ ඉතාමත් මිල අධිකය. විද්‍යාගාරවල පර්‌යේෂණ කටයුතු සඳහා යොදාගැනෙන උපකරණ හා රසායනික ද්‍රව්‍ය ද මිල අධිකය. මේ කටයුතු සඳහා විශ්ව විද්‍යාලයට ලබාදිය හැකි මුදල් ප්‍රමාණය ඉතාමත් සීමිතය. කෙසේ වුවද මහාචාර්ය අශෝක දංගොල්ල ගේ සහ කාර්ය මණ්ඩලයේ කැපවීම හා උත්සාහය මත මේ සියලු වියදම් පියවාගැනීමට හැකි වී තිබේ.
ගෝලීය පශු වෛද්‍ය පිළිවෙත්වලට අනුකූලවල පශු වෛද්‍ය රෝහල් තුළ බළලුන් සහ බල්ලන් සඳහා වෙනම සත්කාර ලබාදීම සිදු කළ යුතු වුවත්, ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් අඩුවීම හේතුවෙන් මෙරට එම සත්ත්ව කොට්ඨාස දෙකටම එකට ප්‍රතිකාර කරනු ලබන්නේ එකම ඒකකයක් තුළයි. පශු වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මැදිහත්වීමෙන් ROYAL CAANINE හි වෛද්‍ය වාසල ආධාර මත එම සතුන් සඳහා වෙන් වෙන්ව ප්‍රතිකාර කිරීමට ඒකකයන් දෙකක් ආරම්භ කිරීම ද පසුගිය දා සිදු විය.
“මෙම නව ප්‍රවේශය අනුව, සත්ත්ව රැකවරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිකාර කිරීමක් තමයි සිදුවන්නෙ. එමගින් විශේෂයෙන් එම සත්ත්ව කොට්ඨාස දෙකෙහිම ආරක්ෂාව සහ සුවපහසුව වැඩි දියුණු කිරීම, ඔවුන්ට ලැබෙන සත්කාරයේ සමස්ත ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණ වෙනවා. ලෝකයේ දැනට තිබෙන ක්‍රමය නම්, පූසන් හා බල්ලන්ට පශු වෛද්‍ය සායනයක දී බෙහෙත් කරන්නෙ වෙන වෙනම. ගෙවල්වල ඇති කරන පූසන් බල්ලන් එකට හිටියට පශු වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගියාම එයාලා යාළු නැහැ. පූසයි බල්ලයි කියන්නේ සත්තු වර්ග දෙකක් නිසා ඒ අයව තැන් දෙකක තමයි බෙහෙත් කරන්න ඕන. ඒ අනුව අපි බල්ලන්වයි පූසන්වයි වෙන වෙනම බෙහෙත් කරන්න පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පටන් ගත්තා.
“ඒ වගේම තමයි පශු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබීමට යාපනයෙන් පැමිණි තවත් ආදි විද්‍යාර්ථීයෙකු වන වෛද්‍ය එස්. ලෝගේෂ්වරන් පසුගිය දා මිලියන 7 ක් පමණ වටිනා උපකරණ පරිත්‍යාග කළා. වෛද්‍ය එස්. ලෝගේෂ්වරන් දැනට ලන්ඩනයේ සේවය කරනවා. විශේෂයෙන් ඔහු විසින් එන්ඩොස්කොපික් උපකරණයක් පරිත්‍යාග කළා. එන්ඩොස්කොපි, බයොප්සි සිදු කිරීම මගින් පහසුවෙන් සත්ත්ව සිරුරු කොටස් ඉවත් කිරීමට සහ අවම ශල්‍ය හා නිර්වින්දන අවදානම් සහිත රෝග විනිශ්චය ක්‍රියා පටිපාටි පැවැත්වීමට ඇති හැකියාව වගේම තවත් බොහෝ වාසි මේ උපකරණවලින් ලබාගන්න පුළුවන්. මෙම නව තාක්‍ෂණය VTH හි රෝග විනිශ්චය හැකියාවන් බෙහෙවින් වැඩි දියුණු කරනවා. මෙම තාක්ෂණය තුළින් රෝගී සතුන් සඳහා සමස්ත ප්‍රතිකාර ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ද ඉඩ සලසනවා.”
WAHID PET CARE SOLUTIONS (වාහිඩ් පෙට් කෙයා සොලුයුෂන්) ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය පෝව් ගේ සහාය ඇතිව, ඔහුගේ පරිත්‍යාගයෙන් පුළුල් ඩිජිටල් දත්ත පටිගත කිරීමේ පද්ධති මෘදුකාංගයක් පශු වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත, උපකුලපතිතුමන් හට පරිත්‍යාග කරන ලදී. සාම්ප්‍රදායිකව අතින් ලියන ලද වාර්තාවලින් ඩිජිටල් තාක්ෂණික ශිල්පීය ක්‍රම වෙත මාරුවීම වඩාත් නිවැරදි හා කාර්යක්ෂම දත්ත කළමනාකරණය සහතික කෙරෙනු ඇත. එමගින් වේගවත් පර්‌යේෂණ සහ වඩා හොඳ රෝගී සත්කාර සේවාවක් සඳහා ඉඩ සලසයි. සත්ත්ව ප්‍රතිකාර සඳහා ඩිජිටල් තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතා කිරීම අධ්‍යයනවල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට සහ රෝහල් කාර්ය මණ්ඩලය මත පරිපාලන බර ලිහිල් කිරීම ද සිදුවන බව ද මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
“සියලු තොරතුරු පරිගණක ගත කිරීම තුළින් ප්‍රධාන පශු වෛද්‍යවරයාට වගේම ශිෂ්‍යයන්ටත් ඒවා අධ්‍යයනය කරන්න පහසුයි. අපේ සායනවලට එන සතුන්ගේ ශල්‍යකර්ම සම්බන්ධ තොරතුරු, සත්ත්වයින් හා සර්පයින් පිළිබඳ තොරතුරු, බෝවෙන ලෙඩ රෝග පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා දත්ත ප්‍රස්තාරගත කිරීම මගින් මනා අවබෝධයක් ලබාගන්න පුළුවන්. ලෝකයේ පශු වෛද්‍යවරුන් සමග ශ්‍රී ලාංකේය පශු වෛද්‍යවරයාටත් අලුත් ගමනක් යන්න පුළුවන්.”
මේ වනවිට සුරතල් සතුන් අතර සුලභව දකින්නට ලැබෙන රෝගී තත්ත්ව කිහිපයක්ම තිබේ. අධිපෝෂණ තත්ත්ව, සංජානනීය ආබාධ, පිළිකා තත්ත්ව, වකුගඩු රෝග, දියවැඩියාව සහ හදවත් රෝග වැනි බෝ නොවන රෝග මේ අතරින් කැපී පෙනෙයි. එමෙන්ම බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් වන්නේ සතුන්ද මානසික රෝග තත්ත්වයන් හා මානසික අවපීඩන තත්ත්වයන්ට ලක්වන බවයි. මෙම රෝහල මගින් එවැනි තත්ත්වයන් පිළිබඳවද අධ්‍යයනය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදේ. රෝහලක් ලෙස පමණක් නොව සතුන් පිළිබඳ සහ සතුන්ගේ රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුද මෙමගින් පවත්වනු ලැබේ.
මේ වෙන විට සාමාන්‍යයෙන් වසරකට පශු වෛද්‍යවරුන් 90 ක් පමණ ප්‍රමාණයක් පමණ සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගියද ඉන් බොහෝ ප්‍රමාණයක් විදේශගත වන්නේ මෙරට පවතින අවස්ථා අවම බැවිනි. එම නිසා රටට අවශ්‍ය මෙවැනි සම්පත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වගකිවයුතු අංශවල වගකීමක් බව සඳහන් කළ යුතුය.
පශු වෛද්‍ය පීඨයේ සහ ශික්ෂණ රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද මහාචාර්ය අශෝක දංගොල්ල මෙසේ ප්‍රකාශ කළේය.
“පශු වෛද්‍ය පීඨය ලෙස අපිට තිබෙන්නේ තට්ටු දෙකක ගොඩනැගිල්ලක්. ශිෂ්‍යයින් වැඩි වෙද්දි ඉඩ ප්‍රමාණය මදි වෙනවා. අලුත් ගොඩනැගිල්ලක් හදන්න රජයෙන් ප්‍රතිපාදන වෙන්කර ගන්නත් අපහසුයි. ඒ නිසා අපේ බලාපොරොත්තුවක් තිබෙනවා, රෝහල තුළ තිබෙන කැන්ටිම එළියට ගන්න. ඒ සඳහා එළියේ කැන්ටිමක් හදා ගන්න ඕන. ඒකට අපි විශ්වාස කරනවා විදේශගතවෙලා සිටින අපේ ආදි විද්‍යාර්ථීන් වන පශු වෛද්‍යවරු උදව් කරයි කියලා.”
“සත්ත්ව දැඩි සත්කාර ඒකකය තිබෙන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක. එයත් දැනට තිබෙන අවශ්‍යතාවයට අනුව විශාල කර ගන්න ඕන.”
“ඊට අමතරව බල්ලෝ බළල්ලුන්ගේ නියපොතු කැපීම, රෝම කැපීම, නෑවීම, දත් සුද්ද කිරීම වගේ ඒවා දැනට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවත් හොඳ ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ ශික්ෂණ රෝහලෙන් මෙවැනි දේ කිරීමෙන් එය මුදල් උපයන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා.”
“ඒ වගේම තමයි අපේ පීඨයෙන් පශු වෛද්‍ය ශිෂ්‍යයාට ගෝලීය නව දැනුම නිපුණත්වය ලබාදෙන අතර ඒ තුළින් ඔවුන්ගේ ආකල්පමය වෙනසකුත් සිදුවෙනවා. ඒ අනුව ගෝලීය සම්මත පශු වෛද්‍යවරයෙක් නිර්මාණය කරනවා. ආණ්ඩුවෙන් ප්‍රතිපාදන වෙන්කරගැනීමේ අපහසුතා තිබුණත් අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා තිබෙනවා, කියලා පශු වෛද්‍ය පීඨයේ ගුරුවරයෙකු ලෙස කිව යුතුයි.”
මෙම සියලු වැඩකටයුතු සඳහා මූලිකත්වය දරන්නේ, පේරාදෙණිය පශු වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයයි. ඒ අනුව මෙම සියලු පහසුකම් විශ්වවිද්‍යාලයට කිසිදු මූල්‍යමය බරකින් තොරව සාක්ෂාත් කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද, එමෙන්ම ආදි විද්‍යාර්ථීන් විවිධ ස්වේච්ඡා සංවිධාන සහ පරිත්‍යාගශීලී පුද්ගලයන්ගේ පරිත්‍යාග සහ සහයෝගය ඇතිව සිදුකර තිබීම මෙහි විශේෂත්වයක් වන අතර ඒ පිළිබඳව ආඩම්බර වන බවද අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කරයි.