රුවල් නැව් මොඩ් වෙයි


අප නැවතත් වසර 5500 ක් පමණ කාලයක් ආපස්සට ගෙන යමින් ලොව ප්‍රථම වතාවට සුළං බලයෙන් යාත්‍රා කළ හැකි  භාණ්ඩ ප්‍රවාහන නෞකාව තම මංගල ගමන පසුගිය දා ආරම්භ කළේය. මිට්සුබිෂි සමාගම සතු මෙම රතු පැහැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව ‘පික්සිස් ඕෂන්’ නම් වේ. පික්සිස් ඕෂන් වසර 5 ක් පැරැණි නෞකාවක් වන අතර ප්‍රථම වරට මෙම නෞකාවට වින්ඩ් වින්ග්ස් තාක්ෂණයෙන් යුත් රුවල් දෙකක් සවි කිරීමට කාගිල් ඕෂන් ට්‍රාන්ස්පෝර්ටේෂන්  සමාගම පසුගියදා කටයුතු කළේය.


මෙම විශේෂ රුවල් එසේත් නැතිනම් වින්ග්ස් නිෂ්පාදනය කිරීම සඳහා සුළං උත්පාදක යන්ත්‍ර නිපදවීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය වර්ගයම යොදා ගෙන ඇති බවත් ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක ලෙස වානේ සහ ෆයිබර් ග්ලාස් නම් කළ හැකි බවත් ඉංජිනේරුවන් පවසා ඇත.


වින්ඩ් වින්ග්ස් තාක්ෂණයෙන් යුත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන මිට්සුබිෂි සමාගමේ පික්සිස් ඕෂන්, ඇයගේ මංගල ගමන ආරම්භ කළේ,  නැව්වලින් පරිසරයට නිකුත් කරන අහිතකර කාර්බන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය සහ බලශක්ති භාවිතය සුළං බලය භාවිතයට ගැනීමෙන් අඩු කළ හැකි දැයි අධ්‍යයනය කිරීමේ අරමුණින්ය.
මිට්සුබිෂි සමාගමේ පික්සිස් ඕෂන් හි සවිකර ඇති විශේෂ වින්ඩ් වින්ග්ස් රුවලක් අඩි 123 ක් උස අතර මෙම විශේෂ රුවල බ්‍රිතාන්‍ය සමාගමක් වන බාර් ටෙක්නොලොජීස් විසින් නිර්මාණය කර ඇත. මෙම රුවල් නිෂ්පාදනය කර ඇත්තේ යාරා මැරීන් ටෙක්නොලොජීස් විසිනි. මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව කාර්ගිල් සමාගම කුලියට ගෙන ඇති අතර චීනයෙන් මංගල ගමන ඇරඹු පික්සිස් මේ වන විට සිංගප්පූරුවේ සිට බ්‍රසීලය බලා යාත්‍රා කරමින් සිටී. මංගල ගමනින් පසුව පික්සිස් ඕෂන් ඩෙන්මාර්කයේ සිට ධාන්‍ය තොගයක් රැගෙන යාත්‍රා කිරීමට නියමිත බවත් සුළං බලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පික්සිස් ඕෂන් උතුරු අත්ලාන්තික් කලාපයේ රැඳී සිටීමට ඉඩ ඇති බවත් කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පෝර්ටේෂන් සමාගම ප්‍රකාශ කර තිබේ. මංගල ගමන අවසන් කිරීම සඳහා පික්සිස් ඕෂන් හට සති 6 ක කාලයක් ගත වනු ඇතැයිද පැවැසෙයි.
වින්ඩ් වින්ග්ස් නමැති මෙම ව්‍යාපෘතිය මගින් නැව් භාවිත කරන ඉන්ධන ප්‍රමාණය සියයට 30 කින් අඩු කරගත හැකි බවත් එමගින් පරිසරයට මුදා හැරෙන අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් මෙම තාක්ෂණය විකල්ප ඉන්ධන සමඟ ඒකාබද්ධව භාවිත කරන්නේ නම් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අඩු කර ගත හැකි ප්‍රමාණය ඊටත් වඩා වැඩි බවත් නිර්මාණකරුවන් ප්‍රකාශ කර ඇත.


මෙම විශේෂ රුවල් එන්ජිම සමඟ වැඩ කිරීමට නිර්මාණය කර ඇතත් පික්සිස් ඕෂන් සිදුකළ පර් යේෂණ යාත්‍රාවලදී සොයා ගත් දෙයින් ඉංජිනේරුවන් පුදුමයට පත්ව තිබේ. ඔවුන් පුදුම වීමට හේතු වී ඇත්තේ පික්සිස් ඕෂන් සුළං බලයෙන් පමණක් පැයට නාවික සැතපුම් 5.5 වේගයකින් ගමන් කිරීමට සමත්වීමයි. එම අවස්ථාවේදී තවත් වේගය ලබා ගැනීමට පික්සිස් ඕෂන්ට අවස්ථාව නොදී නෞකාවේ කාර්ය මණ්ඩලය එහි එන්ජිම පණ ගන්වා ඇත. මෙසේ පැයට නාවික සැතපුම් 5.5 ක වේගයක් ලබා ගත්තේ පැයට නාවික සැතපුම් 18 ක සුළඟක් තිබූ අවස්ථාවක බවත් නැංගුරම් උඩට ගැනීමෙන් පසුව එන්ජිම පණ නොගන්වා නැවතත් අතීතයේ මෙන් යාත්‍රා කිරීමට හැකි වීම සිතට සතුට ගෙන දුන් කාරණයක් වූ බවත් කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන් සමාගමේ සභාපති යාන් ඩිල්මන් ප්‍රකාශ කර ඇත.


පික්සිස් ඕෂන් ගේ මංගල ගමනේ තවත් අරමුණක් වූයේ සැබෑ මුහුදු ගමනකදී මෙම තාක්ෂණය භාවිත කළ හැකිදැයි සොයා බැලීම බව කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන්  සමාගම පවසා තිබේ.මෙම මංගල මුහුදු ගමන සාර්ථක වුවහොත් තවත් නැව් සිය ගණනකට වින්ඩ් වින්ග්ස් ව්‍යාපෘතිය යටතේ විශේෂ රුවල් සවිකෙරෙනු ඇතැයි නිර්මාණකරුවන් ප්‍රකාශ කර ඇත. එසේම මෙම ව්‍යාපෘතිය සාර්ථකත්වය මත වර්තමානයේ භාවිත කරන නැව් මාර්ග පවා වෙනස් වීමට ඉඩ ඇති බවත් නැවතත් සුළං වැඩි පැරණි නැව් මාර්ග වෙත නෞකා යොමු වනු ඇති බවත් කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන් සමාගමේ සභාපති යාන් ඩිල්මන් පවසා තිබේ.


බ්‍රිතාන්‍ය සමාගමක් වන බාර් ටෙක්නොලොජීස් සහ යාරා මැරීන් ටෙක්නොලොජීස් යන සමාගම් දෙක එකතු වී දැනටමත් මීළඟ වසර හතරක කාලය තුළදී වින්ඩ් වින්ග්ස් ව්‍යාපෘතිය යටතේ රුවල් සියගණනක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි ඩිල්මන් ප්‍රකාශ කර ඇත. නැව් කර්මාන්තයෙන් සෑම වසරකදීම කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියනයක් පමණ පරිසරයට මුදා හැරෙන බවත් එය වසරකට ලෝකයෙන් මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් සියයට 3 කට ආසන්න බවත් ඩිල්මන් පවසා තිබේ.
සමුද්‍ර කර්මාන්තයෙන් පරිසරයට නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීමේ ගමනක් මේ වන විට නැව් කර්මාන්තය ආරම්භ කර ඇති නමුත් එය සිතූ තරම් පහසු කාර්යයක් නොවනු ඇතැයි ඩිල්මන් ප්‍රකාශ කර ඇත. වින්ඩ් වින්ග්ස් තාක්ෂණය අවදානමක් නොමැති එකක් යැයි ප්‍රකාශ කළ නොහැකි නමුත් දැක්මක් ඇති මිට්සුබිෂි වැනි සමාගමක් සමග එක් වූ විට ආයෝජනය කිරීමටත් අවදානමක් ගැනීමටත් බියක් ඇති නොවන බව ඔහු පවසා තිබේ. එසේම ව්‍යාපෘතියේ ප්‍රගතිය විනිවිදභාවයකින් යුක්තව හවුල්කරුවන් සමඟ බෙදාගැනීමටද බිය නොවන බව ඩිල්මන් ප්‍රකාශ කර ඇත.


අපි සෑම විටම එක් තැනක සිට තව තැනකට යා හැකි ඉක්මන් මාර්ගය භාවිත කිරීමට සිතුවත් මින් පසුව එම සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට යමින් සුළං වැඩි වශයෙන් හමන මුහුදු මාර්ග සඳහා ඉදිරියේදී යොමුවීමට සිදු වෙන බවද ඩිල්මින් පවසා තිබේ. නැවේ මෙවැනි විශාල රුවල් සවි කිරීම හේතුවෙන් නැව් තට්ටුවේ සිට ඉදිරි මාර්ගය දැකීමට එය බාධාවක් වූ බවත් ඒ හේතුවෙන් නැව් මාර්ගය පැහැදිලිව දැකීම සඳහා කැමරා පවා සවි කිරීමට සිදු වූ බවත් කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන් සමාගමේ සභාපතිවරයා පෙන්වා දී ඇත.
නැව් තටාකාංගණ මෙහෙයුම්වලදී, පාලම් යටින් යාත්‍රා කරන අවස්ථාවලදී සහ කුණාටු සහිත මුහුදු තත්‍වයන්හිදී පහත් කිරීමට හැකි වන පරිදි මෙම රුවල් නිර්මාණය කිරීමට සිදුවූ බව ඩිල්මන් පවසා තිබේ. ගුවන් යානයක් පියාසර කිරීම ආරම්භ කරන අවස්ථාවේදී සහ නැවතත් පොළොවට බාන අවස්ථාවේදී සුළං බලය පාලනය කිරීම සඳහා ගුවන් යානයේ තටු හසුරුවන ආකාරයට වින්ඩ් වින්ග්ස් රුවල්ද හැසිරවිය හැකි බව ඩිල්මන් පෙන්වා දී ඇත.


2025 වසරේ සිට නිපදවන නෞකා වලින් හරි අඩක් මෙම තාක්ෂණය සහිතව නිපදවනු ඇතැයි තමන් අනුමාන කරන බව ෆෝර්මියුලා වන් මැක්ලරන් කණ්ඩායමේ ප්‍රධානී ජෝන් කූපර් පවසා තිබේ. වින්ඩ් වින්ග්ස් ව්‍යාපෘතිය නැව් කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එක් රුවලකට ඉන්ධන ටොන් 1.5 ක් දවසකට ඉතිරි කළ හැකි නම් රුවල් හතරක් සවි කළහොත් දවසකට ඉන්ධන ටොන් 6 ක් ඉතිරි කර ගත හැකි බවත් කූපර් පෙන්වා දී ඇත. ඉන්ධන ටොන් 6 ක් ඉතිරි කර ගැනීමෙන් අහිතකර කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් 20 ක්  පරිසරයට නිකුත් වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.


මෙම නව සොයා ගැනීම එක්සත් රාජධානියේ සිදු වුණත් මෙම රුවල් නිපදවනු ලැබුවේ චීනයේ බවත් එයට හේතුව වූයේ මෙම ව්‍යාපෘතියට රජයෙන් සහායක් නොලැබීම බවත් ජෝන් කූපර් පවසා ඇත. වානේ ආනයනය කිරීමට යන වියදම අඩුකර ගැනීමට රජයෙන් සහායක් නොලැබුණු බවත් බ්‍රිතාන්‍යයේ මෙම රුවල් නිපදවීමට නොහැකි වීම ඇත්ත වශයෙන්ම ලජ්ජාවට කරුණක් බවත් ඔහු පෙන්වා දී තිබේ.


පික්සිස් ඕෂන් හි මෙම රුවල් සවි කිරීමට පෙර පරිගණයක් තුළ සියල්ල අත්හදා බැලූ බවත් පික්සිස් ඕෂන්  ඇයගේ මංගල ගමන සාර්ථකව අවසන් කළහොත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන ‘‘නිව් කාසල් මැක්ස්’’ සඳහා වින්ඩ් වින්ග්ස් තාක්ෂණය භාවිත කිරීමට අදහස් කරන බවත් කාර්ගිල් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන් සමාගම ප්‍රකාශ කළේය.


වින්ඩ් වින්ග්ස් ව්‍යාපෘතිය අපව නැවතත් වසර 5500 ආපස්සට රැගෙන යාමක් බව සිතන පිරිස් සිටින නමුත් තමන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සතුටට පත් වන බව කාර්ගිල්ස් ඕෂන් ට්‍රාන්ස්පොර්ටේෂන් සමාගමේ සභාපති යාන් ඩිල්මන් පවසා තිබේ.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු