රසැති කේක් හදන වොලිබෝල් නායිකාව


 

"නෙත්  එෆ්.එම්. රේඩියෝවේ නුවන් ලියනගේ එහෙම නැත්නම් හැමෝම දන්න ‘පත්තර මල්ලි’ ගේ 25 වැනි ජුබිලිය සැමරීමේ ඇගයුම් උළෙල වෙනුවෙන් පත්තර මල්ලි පසුගියදා අපේ ඉරිදා ලංකාදීප කාර්යාලයට එවලා තිබුණා හරි අපූරු කේක් එකක්. කේක් එක රසවිඳලා විතරක් නතර වෙන්න ඇත්ටම හිත දුන්නේ නැහැ. ඒක හැදුවේ කවුද කියලා හොයන තරමට ඒ කේක් එකට වහ වැටුණා කිව්වොත් හරි.”


ගැහැනියකට පුළුවන් ලෝකයම නළවන්න, ගැහැනියකට පුළුවන් ලෝකයම සනසන්න. ගැහැනියකට තියෙනවද ඒ තරම් ශක්තියක් කියලා ඔබට සිතෙයි. ගැහැනියගේ ශක්තිය මේ සමාජය ඇතුළේ අපි විවිධ විදිහට දකිනවා. ඒ ශක්තීන් ඇතුළෙ තමන්ගේ ආසාවන් අරමුණ මොනවා වුනත් දෛවය පාර කපන්නේ අපි බලාපොරොත්තු වන විදිහටම නෙවෙයි. මේ රසබර කේක් එක හදපු ඇය කවුද කියලා සොයා යද්‍දී මේ කේක් හැඩ කරන ඇය කලක් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාවෙන් ජාතික තලයේ දස්කම් දැක්වූ දක්ෂ ක්‍රීඩිකාවක් කියලා අපට දැනගන්න ලැබුණා. ජාතික තලයේ වොලිබෝල් ක්‍රීඩිකාවකගේ අතින් හැදෙන රසබර කේක් ඇතුළේ ලියවුණු මේ කතාව  ටිකක් වෙනස් කතාවක්.
වොලිබෝලයට පෙම් බැඳි දෑතින් කේක්වල හැඩ මවන මෙරට ජාතික මට්ටමේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක් වන ඇය    චන්දිමා දමයන්ති මහත්මියයි.
 ආත්ම ශක්තියෙන් පිරිපුන්, ජීවිතය ධනාත්මකව ගොඩනගා ගැනීමට දිරිය ගන්නා ගැහැනුන් අතර ඇයද, ජීවිතය දිනීමට දිරිය ගන්නා ගැහැනියකි. සිය සහජ දක්ෂතාවන් වර්ධනය කරගනිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි දක්ෂතා දක්වමින් ජයග්‍රහණ රැසක් මෙරටට ගෙනදෙමින් ජාතික වොලිබෝල් නායිකාවක වූ ඇය, අද තමා කලක්ම ජීවිතය කරගත් ක්‍රීඩාවට සමුදී  කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නීය.


හලාවත, මාදම්පේ ග්‍රාමයේ උපන් ඇය දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි දියණිය වූවාය.  කුඩා කල සිටම ඇයගේ ආසාව කැමැත්ත දක්ෂතාව තිබුණේ අධ්‍යාපනයට වඩා ක්‍රීඩාවටය. සහජයෙන්ම ක්‍රීඩාවට උපන්හපන්කම් කී ඇයට තම ක්‍රීඩා දිවියට දෙමාපියන්ගෙන්ද ලැබුණේ නොමද සහායකි.
“අපේ අම්මාට දරුවෝ පස්දෙනයි. මම පවුලේ දෙවෙනියා. අක්කයි නංගිලා දෙන්නයි මල්ලියි මමයි. තාත්ත රැකියාව විදිහට කළේ රියදුරු රැකියාව. තාත්තාගෙම බස් එකක් තිබුණා. තාත්තා අපේ පවුලම නඩත්තු කළේ ඒ රියැදුරු රැකියාවෙන්. අම්මා රැකියාවක් කළේ නැහැ. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මැදගම අභ්‍යාදර්ශ විද්‍යාලයෙන්. ඒ කාලේ මම එකොළහෙන් පහළ මලල ක්‍රීඩා තමයි කළේ. නිවාසාන්තර ක්‍රීඩාවල, පළාත් තරග, කොට්ඨාස තරග, කලාප තරග, මලල ක්‍රීඩා වලින් තමයි මම ක්‍රීඩා කළේ. ඒකෙන් පස්සේ 1992 අවුරුද්දේ ක්‍රීඩා ශිෂ්‍යත්වයකින් මට  මාදම්පේ සේනානායක විද්‍යාලයට යන්න අවස්ථාව ලැබෙනවා. ඒ යන්නෙම පහළොවෙන් පහළ වොලිබෝල් කණ්ඩායමට. ඒ ආවට පස්සේ ලොකුම පිස්සුව වුනේ ඉතින් වොලිබෝල් ක්‍රීඩාව තමයි. ඇත්තම කියනවනම් ඉගෙන ගන්නවාට වඩා ලොකු ම ආසාව තිබුණේ ක්‍රීඩාව පැත්තට. සාමාන්‍ය පෙළ කරපු අවුරුද්දේ පාසල් මට්ටමින් වොලිබෝල් කණ්ඩායම එක්ක මට ඉන්දියාවට යන්න ලැබුණා. ඊට පස්සේ මගේ දක්ෂතා අනුව උසස් පෙළ පන්තියේ මාස 6 විතර ඉන්නකොට 94 අවුරුද්දෙදි මට ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. ක්‍රීඩාව නිසාම මට උසස් පෙළ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.”
පාසල් වියේ පටන් මමල ක්‍රීඩාවට පෙම්බැඳි ඇයගේ ක්‍රීඩා දිවිය වෙනස් වෙන්නේ මාදම්පේ සේනානායක විද්‍යාලයට පැමිණීමත් සමගය. ඒ මලල ක්‍රීඩිකාවකව සිටි ඇය වොලිබෝල් ක්‍රීඩිකාවක් වෙමිනි. මාදම්පේ සේනානායක විද්‍යාලයේ වොලිබෝල් කණඩායමේ කැපීපෙනෙන සමාජිකාවක වූ ඇය පළාත්, ජාතික මට්ටමින් වොලිබෝල් ක්‍රීඩිකාවක ලෙස ඇගයීමට ලක්වූ අවස්ථාද බොහෝය.


"මුලදී වොලිබෝල්වලට ලොකු ආසාවක් නොතිබුණත් මාදම්පේ ඉස්කෝලේ ක්‍රීඩා ගුරුවරු කිව්ව මගේ උස 5’ 8’’ ක් නිසා ඔයාට හරියන්නේ වොලිබෝල් ක්‍රීඩාව කියලා. ඇත්ටම වොලිබෝල්වලට එන්නේ මගේ උස නිසාමයි. ඒ විදිහට වොලිබෝල් ක්‍රීඩාව ජීවිතය කරගත්ත නිසාම උසස් පෙළත් මග ඇරුනා. උසස් පෙළ පන්තියේ මාස කීපයක් ඉන්නකොට වොලිබෝල් කනිෂ්ඨ කණ්ඩායම එක්ක මට තායිලන්තයට සංචාරයක් යන්න අවස්ථාව ලැබුණා. ඒ ගිහිල්ලා ලංකාවට එනකොට ඒ කණ්ඩායම එහෙමම එවකට වරාය ඇමැති ලෙස හිටපු රෙජී රණතුංග මහත්තයා වරායට රැකියා දීලා බඳවා ගන්න සූදානම් කරලා තිබුණා. ඒ කණ්ඩායමේ හිටපු කෙනෙක් තමයි මමත්. එතකොට කණ්ඩායමේ හිටපු ගොඩක් දෙනා උසස් පෙළ කරලා හිටියේ. මම හිටියේ උසස් පෙළ පන්තියේ. එතුමාගේ ආසනේට ආපු රැකියා පුරප්පාඩු 24 කට තමයි පාසල් වොලිබෝල් පිරිමි කණ්ඩායමටයි, කාන්තා කණ්ඩායමටයි 1997 ඔක්තෝබර් පළමු වෙනිදා වරායට බඳවා ගත්තේ.


 වරායේ රැකියාව ලැබෙද්දී මට අවුරුදු 19 යි. ඒ කාලේ උසස් පෙළ කරනවට වඩා මට ඕනැ වුණේ කණ්ඩායමත් එක්ක එකට යන්න. කණ්ඩායමම එකවර වරායට ගත්ත නිසා මම හිතුවා අපේ අනාගතයට හොඳ ගමනක් වේවි කියලා. වරායට බඳවා ගත්ත ඒ ටීම් එකේ ලංකාව වටෙන්ම ක්‍රීඩකයෝ හිටියා. අපේ මාදම්පේ පාසලෙන් හිටියේ අපි දෙන්නෙක් විතරයි. අවුරුදු 19 දී  රැකියාවට ඇවිත් පවුලේ බර අදින්න,  නංගිලා මල්ලිලාගේ අධ්‍යාපනයට සහායක් වෙන්න, තාත්තාට උදව් කළා. එතකොට ගෙදර මමයි තාත්තායි විතරයි රැකියාවක් කළේ. තාත්තා කළේ රියදුරු රැකියාව. තාත්තාටම බස් එකක් තිබුණා. ඒකෙන් තමයි අපේ පවුලම තාත්තා ජීවත් කළේ.


     ඔය අතරේ ආර්ථික ප්‍රශ්න ගැටලුත් ආවා. මම ඒත් ක්‍රීඩාව අතෑරියේ නැහැ. රැකියාවෙන් ඉවත්වෙලා ගෙදර ඉන්නකොට කැලණිය උසස් අධ්‍යාපන ආයතනයෙන් ක්‍රීඩාවට සම්බන්ධ NVQ 4 පාඨමාලාවකුත් කළා. ඊට පස්සේ වොලිබෝල් පිළිබඳවත් NVQ 1 සමත් වුණා. මේ කාලේ ඇත්තටම ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට යන්න තමයි ලොකුම බලාපොරොත්තුව වුණේ. ඒ පාඨමාලා දෙක හදාරලා ඉවර වෙනකොට පිටරටවල් වලින් පවා මට රැකියා සඳහා අවස්ථා ගොඩක් ලැබුණා.
ඒ විදිහට 2009 ඉඳලම දිගටම ජාතික කණ්ඩායමට සෙල්ලම් කළා. සාර්ක් තරගාවලියේ 1999 අවුරුද්දේ සහ 2006 අවුරුද්දේ මට රිදී පදක්කම්  දෙකක් ලබාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.  වියට්නාම් ශූරතා තරගාවලියට සහභාගි වෙලා ගිහින් ඇවිත් මම වොලිබෝල් ක්‍රීඩාවට සමු දුන්නා. සමුදෙද්දී ඒ වසරේ ජාතික වොලිබෝල් කණ්ඩායමේ කැප්ටන් විදිහට හිටියේ. ඒ විදිහට 1993 අවුරුද්දේ මම පටන් ගත්ත වොලිබෝල් ජීවිතේට 2012  වසරේදී තමයි මම සමුදුන්නේ.”
එදා ඒ තීරණය ගත්තේ හිතකින් ද?


“මම විවාහ වෙන්නේ 2004 දී, සැමියා ආර්.ඒ. නිශාන්ත රෝහණ. ඔහුත් වොලිබෝල් ක්‍රීඩකයෙක්. මේ වෙනකොට මහත්තයා තේ ව්‍යපාර කටයුතු තමයි කරන්නේ. ඇත්තටම එදා වොලිබෝල් ක්‍රීඩාවෙන් සමුගත්තේ හිතකින් නෙමෙයි. ක්‍රීඩාවට සමුදෙන්න ලොකුම හේතුව වුණේ, ඇත්තටම මගේ දරුවො දෙන්නා නිසා. ලොකු පුතා ලැබිලා ඉද්දිත් මම ජාතික කණ්ඩායමට සෙල්ලම් කළා. ඒත් දුව ලැබුණාට පස්සේ දුකෙන් වුණත් මට හැම දේකින්ම අයින් වෙන්න තීරණය ගන්න වුණා. 2010  වසරෙදි මම වරාය රැකියාවටත් දරුවෝ දෙන්නා නිසා සමු දුන්නා. ඒ තරම් දුරක් ඇවිල්ල ක්‍රීඩා ජීවිතේ අතාරින්න ලොකු දුකක් දැනුණා. ඇත්තටම දැන් හිතනෙවා ක්‍රීඩාව අතෑරියේ අපරාදේ කියලා.
වොලිබෝලයට පෙම් බැන්ද මේ ජාතික වොලිබෝල් ශුරිය අද ඒ රළු පරළු දෑතට භාර දී ඇත්තේ සියුම්   දෑතින් හැඩ වැඩ දාන කේක්  කලාවය. අද ඇයගේ ජීවන අරගලයට මහත් අස්වැසිල්ලක් වී ඇත්තේද මේ කේක් කලාවයි.


ඇත්තටම වොලිබෝලය අල්ලපු දෑතට මේ වගේ සියුම් වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා සමහරු ඇහැව්වා. ඔයාට එච්චර ඉවසීමක් තියෙනවද කියලත් සමහරු අහලා තියෙනවා. ඒත්  මම ක්‍රීඩාවට වගේම ගෙදර  විවිධ කෑම හදන වැඩවලටත් හරිම ආසයි. පස්සෙ රැකියාවෙනුයි ක්‍රීඩාවලිනුයි අයින් වෙලා ගෙදර ඉන්න කාලේ ආර්ථික පැත්තෙන් මහත්තයාට ශක්තියක් වෙන්න ඕනැ කියලා හිතුණා.
ගෙදර ඉන්නකොට හිතුණා කේක් හදන්න ඉගෙන ගන්න. මුලින්ම මම කේක් හදන්න ඉගෙන ගත්තේ හලාවත චමිලා කියලා අක්කා කෙනෙකුගෙන්. ඇය  මට හොඳ මූලික දැනුමක් දුන්නා. ඊට පස්සේ ගුරුවරු කිප දෙනෙකුගෙන්ම මම කේක් නිර්මාණ ශිල්පය ගැන ඉගෙන ගත්තා. යූටියුබ් බලලත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. පසුව දැන් පදිංචි හලාවත, මාදම්පේ ප්‍රදේශයේ මම කේක් ව්‍යාපාරයක් ආරම්භ කළා.

 


දැන් එක පාරක් මගේ කේක් කාපු කෙනෙක් ආයේ නෑවිත් ඉන්නේ නැහැ.


ඉස්සර නම් මාසයකට ලක්ෂයක පමණ ආදායමක් සෙව්වා කේක් හදලා. දැන් කේක්වලට යොදාගන්න බඩුවල ඉහළ මිල ගණන් එක්ක කලින් තරම් බිස්නස් නැහැ. ඇත්තටම මට ඕනැ වුණේ සැමියාට කරදර නොකර පවුලේ ආර්ථිකයට එයාට සහායක් වෙන්න. දැන් තියෙන ආර්ථිකයත් එක්ක එක්කෙනෙක්  රැකියාවක් කරලා පවුලකට දැන් ජීවත් වෙන්න අමාරුයි. කොච්චර කේක් හැදුවත් තාම ඔළුවේ තියෙන්නේ වොලිබෝල් තමයි. 


හැබැයි, එක පැත්තකින් පොඩි සතුටක් තියෙනවා. අද මම ඉගෙන ගත්ත මාදම්පෙ සේනානායක පාසලේම මට වොලිබෝල් උගන්නපු මගේ පුහුණුකරු, ඔහු (සිසිර කුමාර) සර් එක්ක වොලිබෝල් පුහුණුකාරියක් විදිහට මගේ දායකත්වය පාසලට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. කොහොමත් මට ඉස්සර ඉඳලම හීනයක් තිබුණා මගේ පාසලේම වොලිබෝල් කණ්ඩායමක් කවදාහරි ලංකාවේ පළමු තැනට ගේන්න ඕනැ කියලා. ඒ බලාපොරොත්තුව තමයි දැන් මම ඉටුකරගෙන යන්නේ. මගේ දුවත් පාසල් වොලිබෝල් කණ්ඩායමේ 14 පහළ කණ්ඩායමේ සෙල්ලම් කරනවා. දුව කොහොම හරි ජාතික වොලිබෝල් කණ්ඩායමේ සෙල්ලම් කරනවා දැකීම තමයි මගේ එකම ආසාව.”

 

 

■ නදීෂා අතුකෝරල