යුද්ධය ඔවුන්ගෙන් ගත් සතුට නැවත දෙන්නේ කවුද?


කැඹිතිගොල්ලෑව බස් අනතුර සිදුව තිබූ අයුරු

 

කුරිරු යුද්ධය අවසන් වී වසර 14 ක්  ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයන් අහිමි වූ පවුල් තවමත් එයින් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහූ පවසති. යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත ඉතාමත් අසීරුවෙන් සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක.


යුද්ධය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර, තවත් පිරිසකට තම දූ දරුවන් මෙන්ම සියලු නිශ්චල චංචල දේපළද සඳහටම අහිමි වී ගොස් ඇත. බොහෝ පිරිසක් ශරීරයේ විවිධ අවයව අහිමිවීමෙන් සදාකාලික හා අර්ධ අබාධිත තත්ත්වයට පත්ව සිටිති.


අපගේ සංචාරයේ අරමුණ වූයේ, කුරිරු යුද්ධයෙන් ආබාධිතව සිටින උතුරු නැගෙනහිර හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව හා ආරක්ෂක අංශයේ සේවය කළ අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්  හමුවී වර්තමානයේ පවතින සජීවී ප්‍රශ්න ගැන සොයා බලා ඒවාට හැකි අයුරින් විසඳුම් ලබා දීමේ අරමුණින් එම තොරතුරු  මාධ්‍ය හමුවේ  අනාවරණය කිරීමයි.


උතුරු නැගෙනහිර යුද්ධයේ දී  ආරක්ෂක හමුදාවන්වල හා ත්‍රස්තවාදීන්ගේ  දරුණු ප්‍රහාරයන්ට ගොදුරු වූයේ, මුලතිව් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාවය. එමෙන්ම  යුද්ධයට සම්බන්ධ දෙපාර්ශ්වයේම වැඩිම පිරිසක් මියගිය හා ආබාධිත වූවන් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය. ආරක්ෂක හමුදාවන්වල හා පොලීසියේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී  මියගිය හා ආබාධිත තත්ත්වයට පත් වූවන් බහුතරයක් රාජකාරි කර ඇත්තේ යාපනය හා මුලතිව් දිස්ත්‍රික්ක වලය. එමෙන්ම නැගෙනහිර පළාතේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බොහෝ පිරිසකට L.T.T.E. ප්‍රහාර හමුවේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිව ගොස් තිබේ. ආබාධිත පිරිස ද විශාල ප්‍රමාණයක් සිටිති. 
මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින යුද්ධයේ දී  ආබාධිත වූ සිවිල් හා ආරක්ෂක අංශයේ පිරිස සම්බන්ධව නිවැරදි  සංඛ්‍යා ලේඛන ලබා ගැනීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය හා තොරතුරු නිලධාරි තිරුචෙල්වම් දිවාකරන් මහතා අප මුලින්ම හමුවීමු. 


යුද්ධය නිමාවීමෙන්  අනතුරුව මුලතිව් දිස්ත්‍රික්කයේ භෞතික වශයෙන් සංවර්ධන කටයුතු සිදු කර ඇති බව දිවාකරන් මහතා පවසයි. සමාජ අපේක්ෂාවන් සංවර්ධනය වී නොමැති බවත්, ආබාධිත වූ පිරිසට විශේෂ වන්දියක් ලබා දී නොමැති බවත් පවසන දිවාකරන් මහතා  රජය මගින් සහනාධාර ලබා දීමේ වැඩසටහන් වලදී  එම පිරිසට මූලිකත්වයක් ලබා දෙන බවද කීය. 


අනතුරුව අප මුලින්ම ගමන් කළේ තවමත් දර්ශනය වන යුද්ධයේ අමිහිරි ඇතැම් නෂ්ඨාවශේෂ දකිමින් යුද්ධය ඉතා දරුණු අන්දමින් පැවති මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුරම්, ඉනියවාල් ප්‍රදේශයටය. එහිදී  අපට මුලින්ම හමු වූ නම්කුලම් පුෂ්පාවතී (59) මහත්මිය වෙත කරුණු පැහැදිළි කිරීමෙන් පසුව ඇය  අපගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ, තමන්ගේ ඡායාරූප නොගන්නා ලෙසය. අපට දැණුන ආකාරයට ඇය එසේ ඉල්ලා සිටියේ, ප්‍රසිද්ධිය තුළින් තමන්ට කරදරයක් සිදුවේ යැයි සිතමිනි.
මේ ඇය පැවසූ ඇගේ අතිශය ශෝචනීය කතාවයි.


 “යුද්ධය නිසා 2005 ජනවාරි මාසේ මහත්තයෝ මගේ  සැමියයි, පුතයි, දුවයි එක්ක පවුලේ තුන් දෙනෙක් මෝටාර් වැදිලා ගෙදර ඇතුළේදීම  නැති වුණා. මම විතරයි පවුලේ ඉතිරි වුණේ. මම ඒ වෙලාවේ ගෙදරින් එළියේ හිටියේ. මගේ වම්  කකුළ තුවාල වෙලා ජීවිතේ බේරුණා. ඇවිදින්න බැරිව වසර ගාණක් දුක් වින්දා. කකුළ අදටත් ආබාධිතයි. පවුලේ අනිත් අය සමග  මම මැරුණේ නැත්තේ මගේ කරුමයකට කියල දැන් හිතෙනවා. ජීවත් වෙන්න කුලී වැඩට යනවා. සමහර අය මගේ කකුලේ ආබාධය දැකලා කුලී වැඩ නෑ කියනවා. අසරණකම නිසා කොණ් වෙලා ඉන්නේ. සහනාධාර විදියට රජයෙන්  කිසි දෙයක් ලැබිලා නෑ. මේ දුක්ඛිත ජීවිතය විඳවලා දැන් එපා වෙලා ඉන්නේ. අපි වගේ අසරණ අය වෙනුවෙන් තව ජීවත් වෙන්න තියන කෙටි කාලයට හරි උදව් කරන්න කියල ඉල්ලා සිටිනවා.”ඇය හැඬු කඳුළින් කියා සිටියාය.


අනතුරුව අප නැගෙනහිර පළාතේ මඩකළපුව බලා ගියෙමු. යුද්ධයේ අතිශය දරුණු අත්දැකීම් ඇති පිරිස සිටින්නේ ඒරාවුර් ප්‍රදේශයේය. 
එහිදී අපට හමුවූ ආබාධිත කාන්තාවක් වන  57 හැවිරිදි එච්.එම්. කලීසා කුට්ටි මහත්මිය යුද්ධයේ අමිහිරි අත්දැකීම් මෙසේ පැවසුවාය.


“මම අපේ පවුලේ අය සමග බසයකින් ගමන් කරමින් සිටිය දී කොටි ත්‍රස්තවාදීන් 1989 වසරේ ජනවාරි මාසේ දවසක රුගම් ප්‍රදේශයේදී අපිට වෙඩි තැබුවා. එහිදී මටයි, සැමියටයි ළමයි තුන් දෙනාටම වෙඩි වැදිලා තුවාල වුණා. මට බරපතළ තුවාල වුණා. මගේ වම් කකුලේ ඉන ප්‍රදේශයට වැදුන වෙඩි පහර නිසා අදටත් අත්වාරුව නැතිව ඇවිදින්න බෑ. අත් දෙකටත් වෙඩි වැදුනා. මමයි සැමියයි දෙන්නම අවුරුද්දකට වැඩිය මඩකළපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. අපි ජීවත් වුණේ හරක්, කුකුළෝ හදලා ලැබුණ ආදායමෙන්. ඒ සියල්ල නැති වුණා. දරුවන් විවාහ වෙලා. නමුත් සැමියයි මමයි ජීවත් වන්නේ ඉතා අමාරුවෙන්. ස්ථිර ආදායමක් නෑ. රජයෙන් අපිට සහනාධාරයක් ලැබෙන්නේ නෑ.”
එරාවූර් මුස්ලිම්  ගම්මානයේ පදිංචි වී සිටි පවුල්වල 121 දෙනෙකු 1990.08.12 වන දින නිදාගෙන සිටිය දී මැදියම් රාත්‍රී  කොටි ත්‍රස්තවාදීන් පැමිණ ඉතා මෙලෙච්ච අයුරින් කපා කොටා ඝාතනය කළ බව මෙහිදී අපට හැඬූ කඳුළින් කියා සිටියේ එම්. ෆාතිමාය. එම ප්‍රහාරයේ දී කුඩා දරුවන් ඇතුළු තම ඥාතීන් අහිමි වූ දුක තවමත් දරාගත නොහැකි බව ඇය කියා සිටියාය. එරාවුර් මුස්ලිම් ගම්මානයේ ජනතාවට අයිතිව තිබූ ඉඩම් මේ දක්වා නොලැබීමෙන් තමන්ට ජීවත් වීමට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති බව ෆාතිමා වැඩිදුරටත් පැවසුවාය. 


අපට හමු වූ එරාවූර් සදාම් හුසේන් ගම්මානයේ ෂාවුල් අබ්දුල් හමීඩ් ජබාර් (62) මහතා 1991 වසරේ දී ත්‍රස්තවාදීන් විසින්  එල්ල කළ වෙඩි ප්‍රහාරයක දී තමන්ගේ  දකුණු කකුළ දණහිස ළඟින් ඉවත් කරන්න සිදු වූ බවත්, උදරයට ද බරපතළ තුවාල සිදු වූ බවත් පැවසීය. මීපැණි රැගෙන ගොස්  ජංගම වෙළෙඳාමේ යෙදී ලැබෙන මුදලකින් දරු පවුල නඩත්තු කළ තමන්ට කකුළ අහිමිවීමෙන් පසුව කිසිදු රැකියාවක් කිරීමට නොහැකි වූ බව පවසන අබ්දුල් හමීඩ් ජබාර් මහතා, ආබාදිත වීමෙන් පසුව බිරිඳ, දරුවන් හා තමන් හැර ගිය නිසා දරුවන් සමග තමන් දැඩි ලෙස අසරණ වූ බවත් කියා සිටි. ස්වේච්ඡා සංවිධානයකින් කෘතිම පාදයක් ලබා දුන් බව පවසන හෙතෙම අනතුර සිදු වූ කාලයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සුළු මුදලක් ලබා දුන් බවත්, වසර ගණනකින් කිසිදු සහනාධාරයක් නොලැබෙන බවත් කියයි. 
මෙම කුරිරු යුද්ධයේ දී ජාති, කුල, ආගම් භේදයකින් තොරව පවුල් පිටින් බොහෝ පිරිසකගේ  ජීවිත බිලි ගත්තේ ඔව්හූ කිසිවෙකුත් නොසිතූ අයුරින් ඉතාමත් ඛේදනීය ලෙසය. එම කතාවට අපට පාදක වූයේ, උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ, යකාවැව ගම්මානයයි.


2006 වසරේ ජූනි මස 15 වෙනි දින යකාවැව ගම්මානයම එකම මළ ගමක් බවට පත් කිරීමට හිත් පිත් නැති කුරිරු L.T.T.E. ත්‍රස්තයන්ට ගත වූයේ නිමේෂයකි. කැඹිතිගොල්ලෑව නගරයේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරින් පිහිටි  එම ගම්මානයට අප ළඟා වූයේ,  වන අලි තර්ජන හමුවේ හා  දැඩි ප්‍රවාහන අපහසුතා ද මධ්‍යයේය.
ගොවිතැන ජීවනෝපාය කර ගත් යකාවැව ගම්මානයේ පදිංචි පවුල් 135 ක  වැඩි පිරිසක් එකම නෑදෑයන්ය. යකාවැවගමට මදක් දුරින් පිහිටි කච්චකුඩිය ගමේ පිහිටි ඥාති මළ ගෙදරක යාම සඳහා 2006.06.15 වෙනි දින ගමට එන එකම පොදු ප්‍රවාහන සේවයේ ලංගම බසයට මේ ඥාතීන් පිරිස ගොඩවී ඇත්තේ ඥාතියාගේ අවසන් කටයුතුවලට සාහභාගී වී ආපසු නිවෙස් කරා එන අදහසිනි. නමුත් ඔවුන් නොසිතූ අයුරින් මළගමට යාමට පෙරම බසයේ ගමන් ගත් 130 දෙනාගෙන්  කුඩා ළමයින් ඇතුළු 69දෙනෙකුට ඥාතියා සමගම මෙළොව හැර යාමට සිදුවීම කෙතරම් ඛේදජනක ද? 


මෙම පිරිස ගමන් ගත් බස් රථය යකාවැවගම, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී 2006.06.15 වන දින පෙ.ව. 07.20 ට පමණ අධිබල ක්ලේමෝ බෝම්බයකට  හසුවීමෙන් එම පිරිස ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියහ. එහිදී බරපතළ  ලෙස තුවාල සිදුවී ජීවිතය බේරාගත් කීප දෙනෙකු අතරින් දැනට ආබාධිත තත්ත්වයේ පසුවන නයිඳුරාලලාගේ රත්නායක (68) මහතා අප සමග හැඬූ කඳුළින් මෙසේ පැවසීය.


“අනේ මහත්තයෝ ඒ අතීත කතාව මතක් වෙනකොට මට දරාගන්න බෑ. ගමේ වැඩි දෙනෙක් එකම තැනක එහෙම මැරෙන්න සිද්ධ වුණේ මොන කරුමයක් කරපු හන්දද?  මගේ ජීවිතේ බේරුණේ අනූ නවයෙන්. මගේ බිරිඳයි, පුතයි දෙන්නත් අනතුරෙන් එතනම මිය ගියා. මගේ අත් දෙකට බරපතළ තුවාල සිදුවුණා. දකුණු අතේ ඇඟිළි තුනක් නැතිවුණා. වම් අතේ මැණික්කටුව ගාව තුවාල වුණා. මගේ අත් දෙකෙන් වැඩක් කරන්න බෑ. ඇඳුම් අන්ඳන්න කවුරු හරි උදව්වට ඉන්න ඕන. අතේ ඇඟිළි එක් කරල කෑම කන්න ගියත් තියන ඇඟිළි හරියට එකතු කරන්න අමාරුයි. අපි ගොවිතැනින් ජීවත් වෙච්ච මිනිස්සු. මට දැන් කිසි දෙයක් කරන්න බෑ. අනිත් අයත් එක්ක මැරිලා ගියානම් හොඳයි කියල හිතෙනවා. අනතුර සිදුවුණ කාලේ රජයෙන් වන්දියක් ලැබුණා. නමුත් එවා මුළු ජීවිත කාලෙටම ජීවත් වෙන්න ඇද්ද? සමෘද්ධි දීමනාව රුපියල් 5000/- විතරයි ලැබෙන්නේ. මමත් කවුරු හරි දෙන දෙයක් කාල තමයි ජීවත් වෙන්නේ. මට ජීවත් වෙන්න මාසිකව සහනාධාරයක් ලැබෙනවානම් පිං සිද්ධ වෙයි.”


වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවති මෙම කුරිරු යුද්ධය හේතුවෙන් පොලිස් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274711 ක් පමණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව 2001 වසරේ දී සමාජ සුභ සාධන අමාත්‍යාංශය මගින් කරන ලද සංගණයේ දී අනාවරණය වී තිබේ. ඉන් පසුව කරන ලද සංගණනයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.
යුද්ධයෙන් ආබාධිත ආරක්ෂක අංශයේ නිලධාරීන් සොයා ගිය ගමනේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරමින් සිටි මස්කෙළිය, කුඩා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිව සිටින කේ.පී. විරාජ් ජීවන්ත ද සිල්වා මහතා අපට හමුවිය. 

 

කැඹිතිගොල්ලෑව බස් රථය ක්ලේමෝ බෝම්බයට හසුවූ ස්ථානයේ පිහිටි බස් නැවතුම්පළ අබලන්වී


වයස අවුරුදු (38) ක් වන ජීවන්ත ද සිල්වා මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට බැඳී ඇත්තේ 2008 වසරේදීය. ඔහුගේ පියා හදිසියේ මිය යාමෙන් අනතුරුව පවුලේ සියලු වගකීම් ජීවන්තට දැරීමට සිදුවූ නිසා පොලිස් විශේෂ කාර්ය බළකායට එක් වීමට තීරණය කළ බව ඔහු කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් පොතුවිල්, 10 කණුව කඳවුරේ අබිලි ගබඩාවේ දී 2012.09.24 වන දින L.T.T.E. සංවිධානයට අයත්  පීඩන බෝම්බයක් පිපිරී යාමෙන් ජීවන්තගේ දෑත් මැණික්කටුවෙන් වෙන්ව ගොස් ඇති අතර වම් ඇසට  හානි සිදු වීමෙන් ඇස සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ. 
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටිය දී යුද්ධය නිසා අත් දෙකම අහිමිව සිටින එකම සෙබළා තමන් බව ජීවන්ත පවසයි. පශ්චාත් යුද ක්‍රියාකාරකමක් ලෙස සිදුවී ඇති මෙම බෝම්බ පිපිරීමේ දී ජීවන්තගේ උදරයේ වම් පස සිට හිස දක්වා කන හා නාසයට දරුණු ලෙස තුවාල සිදුවී තිබේ. හෙතෙම වසරකට ආසන්න කාලයක් නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත.


පොලිස් දෙපාර්තමේන්තුවෙන් තමන්ට මාසික වැටුප පමණක් ලබා දෙන බවත්, අවුරුදු 55 න්  පසුව විශ්‍රාම වැටුප නොලැබෙන බවත් ඔහු පවසයි. යුද හමුදාවේ ආබාධිත සෙබළුන් රැකීමට “අභිමන්සල” වැනි ආයතන පිහිටුවා ඇතත් පොලිස් දෙපාර්තමේන්තුවේ එවැනි ආයතන පිහිටුවා නොමැතිකමින් තමන් වැනි ආබාධිත පොලිස් නිලධාරීන්  දැඩි ලෙස අසරණව සිටින බව ජීවන්ත පවසයි.


ආබාධිත ජීවන්ත ද සිල්වාට තම එදිනෙදා කටයුතු සඳහා  වෙනත් අයෙකුගේ සහාය අනිවාර්යෙන් ලබාගත යුතුව තිබේ. ආහාර කැවීම, වැසිකිළි යාම, ස්නානය, ඇඳුම් ඇඳීම, වැනි අත්‍යාවශ්‍ය ශාරීරික ක්‍රියාවන් සඳහා තම මව සමග පවුලේ අය මෙන්ම හිත මිතුරන් ද උදව් කරන බව ජීවන්ත පවසයි. 


වාහනයකට නැඟීම හා බැස යාමේ දී තමන් දැඩි අසීරුතාවයකට පත්වෙන බව ජීවන්ත කියයි. පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම වැටුප මව ඇතුළු පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවනබව පවසන ජීවන්ත ආබාධිත වූවන් සඳහා රජය මගින් විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවසන් වශයෙන් පැවසීය.
තිස් වසරක යුද්ධයේදී L.T.T.E. සංවිධානය මගින් බලෙන්   පැහැරගෙන ගොස් යුද පුහුණුව ලබා දී යුද බිමට යොමු කළ  ආබාධිත ළමා සොල්දාදුවන්ද විශාල පිරිසක් උතුරු නැගෙණහිර ප්‍රදේශවල සිටිති. පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව එම පිරිස මේ වන විට ආබාධිත වැඩිහිටියන් ලෙස විවිධ සමාජ, ආර්ථික ප්‍රශ්නවලට මැදිව දිවි ගෙවති. ඔවුන්ට සහන ලබා දීමට රජය පාර්ශ්වයෙන් මීට වඩා මැඳිහත්විය යුතු බව එම ආන්තික ප්‍රජාව පවසති.

 


ආබාධ සහිත පුද්ගලයන්ගේ සුභ සාධනය හා ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබා ගැනීම සම්බන්ධව ආබාධ සහිත පුද්ගලයන්ගේ මහ ලේකම් කාර්යාලයෙන් අප කළ විමසුමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ, ආබාධිත වූ පුද්ගලයන් සුභ සාධන කටයුතු හා වන්දි මුදල් ලබා ගැනීමට අදාළව ඉල්ලු‍ම් කරන ඕනෑම පුද්ගලයෙකුට  අදාළ චක්‍රලේඛවලට යටත්ව  සුදුසුකම් මත කටයුතු කරන බවය.


යුද්ධයෙන් කවුරු ජය ලැබුවත්,  කවුරු පරාජය වූවත් දෙපාර්ශවයටම අත් විඳීමට සිදුවන අත්දැකීම් ඉතා අමිහිරිය, එහි සැබෑ ශෝචනීයත්වය වචනයෙන් විග්‍රහ කළ නොහැක. යුද්ධයෙන් පීඩාවට පත්වූවන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් තම ජීවිත කාලයේම අත් විඳින්නේ අතිශය ශෝක ජනක සිදුවීම්ය. යුද්ධයට ශාප කරනවාට වඩා යුද්ධයක් නිර්මාණය වීමේ ඉඩ හසර ඇති නොකර සිටීම සැමගේ වගකීමයි. කුරිරු යුද්ධයේ  ශෝචනීය අතුරු ඵලයක් වන ආබාදිත සිවිල් හා අරක්ෂක අංශයේ ජනතාවගේ තවමත් නොවිසඳුණු ගැටලු ගැන වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානයට ලක්විය යුතු බව අවධාරණය කර සිටින්නෙමු.

 

■ මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක