යුද්ධ හමුදාවේ රට ගොඩනඟන කෘෂි විප්ලවය


ගම් කිකිළි ව්‍යාපෘතිය

 

ඔවුහු දිවා රෑ අව් වැසි නොතකා රට වෙනුවෙන් ඇස්, ලේ, මස් දන් දෙති. දහඩිය වගුරවති. යුද බිම පමණක් නොව කම්හල, වැඩබිම මෙන්ම ගොවිබිම ද ඔවුන්ට එක සේ හුරුය. රට වෙනුවෙන් අවැසි තැන අවැසි මොහොතක පෙරට එන්නේ ඒ නිසාය. ශ්‍රී ලංකාව මේවන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් වර්තමාන යුද්ධ හමුදාධිපති ලු‍තිතන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයකට අනුව කෘෂිකර්ම විප්ලවයකට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සූදානමින් සිටී. මීට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ කෘෂි වගා ව්‍යෘපෘති රැසක්ම ආරම්භ කර ඇති නමුත් මෙම නව ව්‍යාපෘතියේ දී, මේ වන විටත් වගා නොකළ රජයේ ඉඩම්වල වගා කටයුතු එම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව  විසින් ආරම්භ කර ඇත.  


එසේම වගා කටයුතු සඳහා දායක වන සහ දායකවීමට බලාපොරොත්තුවෙන් සිටින මහජනතාව වෙත අවශ්‍ය කෘෂි, තාක්ෂණික උපදෙස් සහ මූලික යන්ත්‍ර සූත්‍ර අවශ්‍යතා කඩිනමින් සපුරා ඔවුන්ගේ වගා කටයුතු දියුණු කිරීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධතාවක් ඇති කිරීමට ද මෙහි දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරයි. ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් සහ කෘෂිකර්ම පර්‌‌යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් මාර්ගයෙන් අඩු ආදායම ලාභී පවුල් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පැළ වර්ග, තාක්‍ෂණික දැනුම හා අනෙකුත් අවශ්‍යතා සම්පාදනය කර ඔවුන්ගේ සහභාගිත්වයෙන් ගෙවතු වගාව සිදු කිරීම ආරක්‍ෂක සේනා මූලස්ථාන අධීක්‍ෂණය යටතේ ඒ ඒ ප්‍රදේශවල සිදුවන අතර ඔවුන් වෙත අවශ්‍ය පැළ, තාක්‍ෂණික දැනුම ලබාදීම සිදුවේ. එසේම ඔවුන්ට අවශ්‍ය මූලික කෘෂිකාර්මික යෙදවුම් හා කෘෂි උපදේශනය ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.
මේවන විට යුද්ධ හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දේශීය පොල් අවශ්‍යතාව සැපිරීම සහ අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් අක්කර 1000 ක් වගා කිරීමේ ව්‍යෘපෘතිය ආරම්භ කර ඇති අතර ඉන් පොල් අක්කර  895ක පොල්පැළ 50574ක් ආඩියාපුලියන්කුලම, කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද, බළල්ල, යාල පලටුපාන, කොහිලවගුරවත්ත, පාන්ගොල්ල, මහව, යුද්ධ හමුදා මූලස්ථානය ආශ්‍රිත කෘෂි ව්‍යාපෘතිය සහ වෙනත් යුද්ධ හමුදා ආයතන ආශ්‍රිතව වගා කර අවසන්ය.
එසේම අඹ අක්කර 500ක් වගා කිරීමට සූදානම් කර ඇති අතර ඉන් අක්කර 475ක පැළ 68735ක් මේවන විට වගා කර අවසන්ය. ඒ අපනයනය ඉලක්ක කර ගනිමිනි. ‍මෙහි ප්‍රධානම ව්‍යාපෘති කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලන්කුලම් සහ ආඩියාපුලියන්කුලම ආශ්‍රිතව ක්‍රියාත්මකය. 2023 යල කන්නයේ දී රිදියගම සහ කන්දකාඩු ගොවිපළ සහ ආශ්‍රිතව යුද්ධ හමුදා මූලස්ථාන කෘෂි ව්‍යාපෘතිය ආශ්‍රිතව අක්කර 150.5ක වී වගාව සිදුකර ඇත. 


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේවන විට සත්ත්ව පාලන කටයුතු සිදු කරයි. ඒ අනුව කන්දකාඩු , නීරාවිය, මැණික්ෆාම්, වෙල්ලන්කුලම් ගල්කන්ද සහ බළල්ල යුද්ධ හමුදා ගොවිපළ එළ ගව පාලනය, මී ගව පාලනය, එළු පාලනය මෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව ද, යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතව ලේයර් කිකිළි ව්‍යාපෘති, බ්‍රොයිලර් කුකුළු පාලනය, ගම් කිකිළි ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර තිස් දහසකට අධික ලේයර් කිකිළි ව්‍යාපෘතියක් සහ 6000කට අධික බ්‍රොයිලර් කුකුළු ව්‍යාපෘතියක් මේවන විට යුද්ධ හමුදාව සතුය.
මිරිස් වගා ව්‍යාපෘතිය යටතේ අක්කර 40කට ආසන්න ප්‍රමාණයක් ද, කහ වගා ව්‍යාපෘතිය යටතේ අක්කර 40කට වැඩි ප්‍රමාණයක් ද කහ බීජ ලක්ෂයක් රෝපණය කළ කහ බීජ උද්‍යානයක් ද  යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. එසේම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උක්, බඩ ඉරිඟු‍, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා කිරීම සිදු කෙරේ.
රජයේ වගා නොකළ ඉඩම්වල යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන කෘෂි ව්‍යාපෘති යටතේ මැණික් ෆාම් එන්.එල්.ඩී.බී. ගොවිපළ ආශ්‍රිතව අර්තාපල් සහ කැරට් වගාවත්, රිදියගම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපළ ආශ්‍රිතව වී, මිරිස්, ගස්ලබු, තල සහ වෙනත් එළවළු වර්ගත් වගා කරන අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ඩයගම ගොවිපළ ආශ්‍රිතව කැරට්, බීට්, ගෝවා, ලීක්ස් සහ බෝංචි වගාව සිදු කෙරේ. 


මේ ව්‍යාපෘතිවලට අමතරව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතව කැලෑ සලාක මලු ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. එහි මාසික නිෂ්පාදන ධාරිතාව කැලෑ සලාක මලු‍ තිස් දහසකි. මාසිකව කල් කිරි බෝතල් පහළොස් දහසක නිෂ්පාදන ධාරිතාවක් සහිත කල් කිරි බෝතල් ව්‍යාපෘතියක් ද කන්දකාඩු ගොවිපළේ ක්‍රියාත්මකය. යාල පලටුපාන යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතව ලු‍ණු ඇසුරුම් ව්‍යෘපෘතියක් ක්‍රියාත්මක අතර එහි මාසික නිෂ්පාදන ධාරිතාව කිලෝ ග්‍රෑම් තිස් දහසකි. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණවන්නේ එස්.එල්.එස්. ප්‍රමිතීන්ට අනුකූලව අයඩින් ප්‍රතිශතය සහිත ප්‍රමිතියෙන් උසස් ලු‍ණු සහනදායී මිලක් යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබා දීමයි. 

 


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ක්‍රියාත්මක කරන සමස්ත කෘෂි ව්‍යාපෘතිය යටතේ කන්කසන්තුරය, ඉරණමඩු. කොට්ටකට්ටියාරුකුලම්, වෙල්ලන්කුලම්, ආඩියාපුලියන්කුලම්, මැණික්ෆාම්, ගල්කන්ද, කන්දකාඩු, නිරාවිය, මහව, බළල්ල, පාන්ගොල්ල, මැණික්‌ෆාම්, ඩයගම, දියතලාව, යාල පලටුපාන, වීරවිල, රිදියගම, කොහිලවගුරවත්ත සහ යුද්ධ හමුදා මූලස්ථානය ආශ්‍රිත කෘෂි ව්‍යාපෘතිය යටතේ අක්කර 2119 ක භූමි ප්‍රමාණයක් මේ වන විට වගා කටයුතු සඳහා යොදවා ඇත. මීට අමතරව සියලු‍ම යුද්ධ හමුදා ආයතන ආශ්‍රිතව තවත් විශාල භූමි ප්‍රමාණයක් කෘෂිකර්ම කටයුතු සඳහා යොදවා ඇත. 


මේ සියල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලබන්නේ ජාතියේ ආරක්ෂකයා වශයෙන් ජාතිය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටුකිරීම වෙනුවෙනි. යුද්ධ හමුදාපති ලු‍තිතන් ජෙනරාල් විකුම් ලියනගේගේ සෘජු අධීක්ෂණය යටතේ මේ සියලු‍ කටයුතු සිදුකරද්දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තමන්ගේ ප්‍රාථමික රාජකාරිය වන දේශය ආරක්ෂා කරමින් මව්බිමේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ වගකීම ද නොපිරිහෙළා ඉටුකරන බව අවිවාදයෙන්ම සිහිපත් කළ යුතුය.‍ ඒ අනුව මේ ඇරඹෙන්නේ නව යුගයකි. ඒ නව යුගයේ අරුණැල්ලේ පහස විඳින නිරෝගීමත් ශ්‍රී ලංකාවක් බිහිවීමේ සුබ නිමිති දැන් උදාවෙමින් තිබේ. ඒ සුබ නිමිති අස්වද්දන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර මූලිකත්වය ගැනීම ජාතියේ භාග්‍යයකි.

 

 

දිලංක ගුණතිලක