මුහුදෙ ඉන්නෙ එක මාළුවා වුනත් මාළු කන්න ලෑස්තිවෙන්න


3D Printed Food

 

ඔන්න බඩගිනි දැනෙනවා. බඩගින්නට කන්නේ හිතෙන්නේ මොනව ද? 


අතේ සල්ලි තිබෙනවා නම්, කැමති ඕනෑ දෙයක් කන්න පුළුවන් තත්ත්වයක් උදා වී තිබේ. කළ යුත්තේ ඔබට කන්න ඕනෑ දේ හරි පැහැදිලිව, සවිස්තරාත්මකව පරිගණකයට ඇතුළත් කිරීමය. 


ඒ පරිගණකය ත්‍රිමාණ ප්‍රින්ටරයකට සම්බන්ධ වෙයි. මේ ත්‍රිමාණ ප්‍රින්ටරය එසේ මෙසේ එකක් නොවෙයි. අපි ‘ප්‍රින්ට් අවුට්’ ගන්න විදියේ ප්‍රින්ටරයක් නොවෙයි. සුවිශේෂී ප්‍රින්ටරයකි.

මැජික්වලින් වගේ ඔබට ඕනෑ කෑම ප්‍රින්ටරය ප්‍රින්ට් කර දෙයි. නැතිනම් මුද්‍රණය කර දෙයි. තවත් සරලව කීවොත් උයලා දෙයි. දැන් කරන්න තියෙන්නේ උණු උණුවේ එම කෑම රස බැලීමයි. අපූරුයි නේද? 


මේ දේවල් විද්‍යා ප්‍රබන්ධයක් යැයි ඔබට සිතේවි. නැහැ. විද්‍යාවෙන් මේ සියල්ල සිදුවුවත් මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවෙයි. ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර 3D Printed Food අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත්, ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ සහ ඊශ්‍රායලයේත් ඉතා ජනප්‍රිය ආහාර සකසන ක්‍රමවේදයක් වී අවසන්ය.  


ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර 3D Printed Food නිපදවීමට පෙර, ත්‍රීඩී ප්‍රින්ටින් භාවිතයට ගනිමින් අපූරු පෙරැළි රැසක් සිදුවිය. සිරුරේ පටක ත්‍රීඩී ප්‍රින්ටින් ක්‍රමයට නිපදවිය. අහිමි වූ අතපය ත්‍රිඩී ප්‍රින්ටින් ක්‍රමයට නිර්මාණය කර බද්ධ කෙරුණි. ඉන්ද්‍රියයන් පවා සිරුරට සියයට 100 ක් ගැළපෙන ආකාරයෙන් නිපදවා ගැනීම පහසුවක් විය. 


ඊට අමතරව නිවාස ඇතුළු ගොඩනැගිලි, පාලම් ආදිය ද ත්‍රිමාණ ක්‍රමයට නිපදවා තිබේ. අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය සියල්ල ලබා දී, පරිගණකයට උපදෙස් දීම පමණි. එසේ වුවත් මෙය ඉතා මිල අධික ක්‍රියාවලියකි. පර්‌යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව මස් නිපදවීම ආරම්භ වූයේ මීට වසර කීපයකට පෙරය. හරියටම කීවොත් 2013 වසරේදීය. 


පළමුවෙන්ම සිදුවූයේ ගවයන්ගේ කඳ සෛල (කඳ සෛල හෙවත් පියවි සෛල යනු ජීවියකුගේ සිරුරේ ඇති ප්‍රධාන සෛල වර්ගයයි) ඇසුරින් කෘත්‍රිමව ගව මස් නිර්මාණයයි.

රසයෙන් සුවඳින් සහ ගුණයත් පිරි, සැබෑ ගව මස්වලට නොදෙවෙනි වුණු මෙම කෘත්‍රිම මස් නිපදවීමට වැය වුණේ ඇමෙරිකන් ඩොලර් 3,30,000 කි. 


දශකයක් පමණ ගතවෙද්දී වඩා අඩු මුදලකට, සතුන් නොමරා සතුන්ගේ කඳ සෛල ඇසුරින් මස් මාංශ නිපදවීම කරගත හැකි වනු ඇතැයි එදා එනම් 2013 දී විද්‍යාඥයෝ අනාවැකි පළ කළහ. අද එය කෙමෙන් කෙමෙන් යථාර්ථයක් වෙමින් පවතී. 


පසුගිය දා ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත් වෙබ් අඩවිය පුවතක් පළ කරමින්, එරට ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර නිපදවන ‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ සමාගමේ නව නිපැයුමක් ගැන ලොවට හෙළි කළේය. ‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ යනු ඊශ්‍රායලයේ ප්‍රධානතම කෘත්‍රිම ආහාර නිෂ්පාදන සමාගමය. 


ටෙල් අවීව් නුවර එහි මූලස්ථානය පිහිටා තිබේ. මෙම සමාගමේ ඉන්ජිනේරුවන් පළමුවෙන් කළේ කෘත්‍රිමව රසකැවිලි (කඩචෝරු) නිපදවීමය. එම කටයුතු සාර්ථක විය. දෙවනුව ඔවුන් මාළු නිපදවීම ආරම්භ කළහ. මාළු අල්ලන්නේ නැතිව, මරන්නේ නැතිව කෘත්‍රිමව අමු මාළු නිපදවීමට හැකිවීම විස්මයජනකය.


‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ සමාගම ගෲපර් නමැති මාළුන්ගේ සෛල පර්‌යේෂණාගාර තුළ වැඩෙන්න සලස්වා, මාංශ සහ තෙල් නිපදවා ගැනීම සිදු කළ බව ‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ සමාගමේ ප්‍රධානී අරීකා කොෆ්මාන් අදහස් දක්වමින් ඒ ගැන පැහැදිලි කර තිබේ. 


ගෲපර් යනු ඕස්ට්‍රේලියානු සාගරයේ දකින්න ලැබෙන මත්ස්‍ය විශේෂයකි. ත්‍රිමාණ ආකාරයට නිපදවූ ගෲපර් මාළු උයන්න සූදානම් කර සකස් කර දෙන බවත්, දැනට ඉල්ලුමට අනුව පමණක් මාළු නිපදවීම සිදු කරන බවත් අරීකා කොෆ්මාන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. 


‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ යනු සිංගප්පූරුවේ ‘යුනාමි’ නමැති කෘත්‍රිම මස් නිපදවන සමාගම හා සම්බන්ධ සමාගමකි. කෘත්‍රිම මස් නිපදවීම සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස ‘යුනාමි’ සැලකිය හැකිය. 


‘ස්ටේක් හෝල්ඩර් ෆූඩ්ස්’ සමාගම ආරම්භ කෙරුණේ 2019 වසරේදීය. 2021 වසරේ සිට එය පර්‌යේෂණාගාර තුළ කෘත්‍රිමව ආහාර නිෂ්පාදන කටයුතුවලට අත ගැසිණ.


ඊශ්‍රායලය, පසුගිය වසරවලදී, මස්, කිරි සහ බිත්තර සඳහා සෛල පදනම් වූ හෝ ශාක පදනම් කරගත් ආදේශකවලින් සමන්විත විකල්ප ප්‍රෝටීනමය ආහාර හඳුන්වා දුන්නේය. 2022 වසරේ දී, ඊශ්‍රායල නවෝත්පාදන අධිකාරිය විසින් ප්‍රමුඛ පෙළේ ඊශ්‍රායල ආහාර තාක්‍ෂණ සමාගම් මෙන්ම විශ්ව විද්‍යාල සහ පර්‌යේෂණ ආයතන 10 ක් ඇතුළුව සමාගම් 14කට මූල්‍ය අනුග්‍රහයක් ලෙස ඩොලර් මිලියන 18 ක් ප්‍රදානය කළ බව ද මාධ්‍ය හරහා දැනගන්න ලැබුණි.


මීට්බෝල් ද ඉතා ජනප්‍රිය ආහාරයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. සූපවේදීන් නිර්මාණය නොකළ විද්‍යාඥයන් නිර්මාණය කළ මීට්බෝලයක් එසේත් නැතිනම් ‘මස් බෝලයක්’ ගැන ද පසුගිය දා අසන්න ලැබුණි. 


කල් ඉකුත්වීම සැලකිල්ලට ගත්තොත්, මේ මීට්බෝලය කල් ඉකුත් වෙලා නොවෙයි; යල් පැනලා කීවොත් නිවැරදියි. හේතුව‍ විද්‍යාඥයන් රසායනාගාරයක් තුළ මේ මීට්බෝලය නිර්මාණය කර ඇත්තේ දුරාතීතයේ විසූ මැමතකුගේ මස්වලිනි.


ප්‍රාග් ඓතිහාසික මැමතයකුගේ මස් කෘත්‍රිමව නිර්මාණය කරමින්, මෙම මීට් බෝලය සකස් කළේ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමකි. ඔවුන් මෙම කටයුත්තේදී ‘වව්’ නමැති ‘මස් වගා කරන’ සමාගමේ සහාය ලබා ගෙන තිබේ. ‘මස් වගා කරන’ සමාගම් යනු ගොවිපොළ සතුන් මැරීමක් නොකර, එම සතුන්ගේ ජානමය සැකැසුම අනුව, නව තාක්ෂණය භාවිතයෙන්, සැබෑ මස් ආකාරයටම කෘත්‍රිමව මස් නිපදවන සමාගම්ය. 


මැමත් මීට් බෝලය සකසා අවසන් කිරීමෙන් පසු, විද්‍යාඥයන්ට මේ අපූරු නිමැවුමේ රස බලන්න තදින් ම ඕනෑකම තිබුණත් ඒ පුරාණ මස්වල අන්තර්ගත ප්‍රෝටීන මාරාන්තික විය හැකියැයි පවතින විශ්වාසය නිසා ඔවුන් ඒ අදහස ඉවත දැමූ බව පැවැසෙයි.


මැමතුන් ජීවත් වූයේ මීට වසර දස දහස් ගණනකට පෙර අතීතයේය. අද අපට දකින්න ඇත්තේ සයිබීරියාවේ සීතල හිමෙන් මතුවන මැමත් සිරුරු පමණි. ‚එසේ නම්, විද්‍යාඥයන් මැමත් මීට්බෝලය හැදුවේ කෙසේ ද? 


මේ වන විට මැමතුන්ගේ ජානමය සැකැසුම හොඳින් අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. මේ විද්‍යාඥ පිරිස මාංශ ප්‍රෝටීනයක ජාන අනුක්‍රමයක ඇති අඩුපාඩු වර්තමානයේ ජීවත්වන අලි ඇතුන්ගේ ජාන අනුක්‍රමයක් සසඳා බලා, ඒ අනුව අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට සමත් වූහ. 


ඉන්පසු ඔවුහු ඒ තුළින් නව සෛලයක් නිර්මාණය කර එය නව මීට් බෝලයක් බවට පරිවර්තනය කළහ. ඒ සඳහා ඔවුන් විසින් කර ඇත්තේ බැටළුවකුගේ කලලරූපී තන්තු සෛල ආධාර කර ගෙන අනුරූපී සෛල බිලියන 20ක් නිපදවීමය.


“අප මේ ප්‍රෝටීනය වසර දහස් ගණනකින් දැකලා නැහැ” මෙහෙම කියන්නේ වව් සමාගම සමඟ මේ නිපැයුමට සම්බන්ධ වුණු මහාචාර්ය අර්නස්ට් වුල්ෆ්ටෑන්ය. 


ඔහු ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයාය. ඔහු මුලින් උත්සාහ කළේ වඳවී ගිය තවත් සතකු වන ඩෝඩෝ කුරුල්ලාගේ මාංශ නිර්මාණයටය. ඒත් පසුගිය අයිස් යුගයේ වඳ වී ගිය සතකු වූ ඩෝඩෝගේ ඩීඑන්ඒ අනුක්‍රමණය සොයාගෙන නොතිබුණු නිසා එය කළ නොහැකි වී යැයි පැවැසෙයි. 
මැමත් මීට් බෝල් තැනීමේ අදහස වන්ඩමන් තොම්සන් නම් නිර්මාණශීලී ආයතනයේ බාස් ඩකොස්ටර්න්ගේ යැයි මහාචාර්ය අර්නස්ට් වුල්ෆ්ටෑන් පවසා ඇත. 


පෙනුමින් අලි ඇතුන් හා සමාන මැමත් සත්වයන් ජීවත් වූයේ අවුරුදු 1,20,000 ත් 4,000 ත් අතර ඈත අතීතයේය. ‘මැමුතස් ප්‍රිමිජිනියස්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් ද හැඳින්වෙන මැමතුන් එදා ජීවත් වූයේ අද ආසියාවට, රුසියාවට සහ උතුරු ඇමෙරිකාවට අයත් ස්ටෙප් තණබිම්වලය.


විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇති අන්දමට, 2030 වසර වෙද්දී, ආහාර නිෂ්පාදනයට වඩා වේගයෙන් ගෝලීය ජනගහනය ඉහළ යනු ඇත. කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන යන්ත්‍ර සූත්‍රවලින් තාක්ෂණයෙන් දියුණු වුවත්, ආහාර නිෂ්පාදනය ගැටලුවක් වනු ඇත. 


2050 වෙද්දී ලෝක ජනගහනය බිලියන 9 ක් වනු ඇති අතර, ගෝලීය වශයෙන් ආහාර අර්බුදයක් නිර්මාණය වනු ඇත. විද්‍යාඥයෝ නිරන්තරයෙන් මීට පිළියම් සොයති.

 
ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර 3D Printed Food ඊට හොඳ පිළියමක් වී තිබේ. සතුන් නොමරා මස් මාංශ ආහාර සකසා ගැනීමට ඇති හැකියාව නිසාම, ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර 3D Printed Food මේ වන විට ජනප්‍රිය වෙමින් පවතී. එසේ වුවත් ත්‍රීඩී ප්‍රින්ටඩ් ආහාර 3D Printed Food තවමත් සීමා වී ඇත්තේ සමාජයේ ධනවත් ​ෙපළැන්තියට පමණි.

 

 

■ ලුසිත ජයමාන්න