මුදල් පසුම්බියෙන් මතුවූ 27 වසරක මතකය


දැවුණු තැන්වල නිවුණු මතක

පසුදිනට පහන් වනවිටත් මුලතිව් කඳවුරෙහි තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය. පෙරදා මධ්‍යම රාත්‍රියේ ඇරඹි සටන තුළ දැවැන්ත හානියක් මිතුරු පක්ෂයට සිදුව ඇති බැව් ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව ඔස්සේ ලැබෙන තොරතුරු සනාථ කරයි. කෑගැසීම් බෝම්බ වෙඩි ශබ්ද සේම ආධාරක භටපිරිස් ගෙන්වා ගැනීම පිණිස කෙරෙන දැඩි ඉල්ලීම් ඊට සවන් දෙන සෑම අයකුම නොසන්සුන් කරවීය. මෙලෙස තුන්වන දිනයට එළඹෙත්ම මුලතිව් කඳවුරෙන් ලැබෙන පණිවුඩ නතර වන්නට විය. ඒ නිසාම කඳවුරෙහි අභ්‍යන්තර තත්ත්වය කෙබඳුදැයි කිසිවකුට දැනගතහැකි නොවීය. මේ අතර ත්‍රිකුණාමලය අතරමැදි කඳවුරෙහි සිටි සෙබළ පිරිසට සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය හරහා පණිවුඩයක් ලැබුණි. ඉන් කියවුණේ මුලතිව් බලායාමට නියමිතව එහි සිටින 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිසට කෑගල්ලේ පිහිටි එම ඒකක පසුමූලය වෙත වාර්තා කරන ලෙසය. එලෙසින්ම තවදුරටත් නිවාඩු මත සිටින සෙසු භටපිරිස්වලටද ත්‍රිකුණාමලයට වාර්තා නොකර කෑගල්ලේ කඳවුරට පැමිණෙන්නැයි නියෝග ලැබී තිබිණ. ඒ අනුව, මුලතිව් ප්‍රහාරයෙන් දින තුනක ඇවෑමෙන් මුලතිව් හි රැඳී සිටි කෝප්‍රල් සමරසිංහ ඇතුළු පිරිස කෑගල්ලේ පිහිටි ඒකක පසුමූලයට පැමිණියහ. ඒ වනවිට නිවාඩු ගොස් පැමිණි අයද ඇතුළුව 123 දෙනකු එම කඳවුරට වාර්තා කොට තිබුණි.


කෑගල්ලට පැමිණි භටපිරිස් අතරින් කෝප්‍රල් සමරසිංහ සහ සැරයන් කුලතුංග ඇතුළු කිහිපදෙනෙක් අන් අයට වඩා කාර්යබහුල වූහ. ඔවුන් ලිපිකරුවන් වීම නිසාම මුලතිව්හි සිරවූ සෑම නිලධාරියකු හා සෙබළකු පිළිබඳවම තොරතුරු රැස්කිරීම ඔවුනට පැවරුණු ප්‍රමුඛතම වගකීම විය. ඒවන විට මුලතිව් කඳවුරෙහි 500 කට ආසන්න 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයින් පිරිසක් සිටියහ. ඔවුන්ගේ පුද්ගලික ලිපිගොනු පසුමූලය තුළ තිබුණද මුලතිව් කඳවුරට මෑතකදී පැමිණි ආධුනික සෙබළුන් පිළිබඳව එහි තිබුණේ දළ විස්තරයක් පමණි. කෙසේ හෝ එම සියලු ලියකියවිලි පරීක්ෂා කොට මුලතිව්හි සිරවුණු ඒකක සාමාජිකයන් පිළිබඳ තොරතුරු සටහන් කිරීමේ කටයුතු එහිදී වහ වහා ඇරඹිණ. ඒ වන විටත් යුද හමුදා මූලස්ථානයෙන් නිරන්තරව ඒ පිළිබඳව විමසමින් සිටි බැවින් අඛණ්ඩව එම කටයුත්තේ නියැළීමට ඔවුනට සිදුවිය. එහිදී සෙබළ ජයවර්ධන, ෆොන්සේකා සහ කෝප්‍රල් හෙට්ටිආරච්චි යන අයද එම කාර්යාලයීය කටයුත්තට එක්ව සිටි අතර එලෙස ඔවුන් සොයාගන්නා ලද සෑම තොරතුරක්ම ඒ මොහොතේම යතුරු ලියනය කෙරුණි. 
මේ අතර ඒ වනවිටත් තමන් මුලතිව් නොගොස් ත්‍රිතුණාමලයෙහි රැඳී සිටින බව කෝප්‍රල් සමරසිංහ සිය නිවසට දන්වා තිබුණේ නැත. දුරකථන පහසුකම් නොමැතිකම සේම පැවති වාතාවරණය හමුවේ ඔහුට ඒ පිළිබඳ සිතන්නට හෝ ඉස්පාසුවක් නොවීමද ඊට හේතු විය. කෙසේ හෝ, තමන් මුලතිව් නොගිය බවක් නිරුපද්‍රිතව සිටින බවත්, තම බිරිඳට දැනුම්දීමට කෝප්‍රල් සමරසිංහ කටයුතු කරන ලද්දේ කෑගල්ලට පැමිණි පසුවය. ඒ වනවිට ඔහුගේ නිවසට දුරකථන පහසුකම් නොතිබූ බැවින් ඔහු එම පණිවිඩය ලබාදෙන ලද්දේ මතුගම තම නිවසට ආසන්න කඩයක “චන්දි අක්කා” නම් හඳුනන කාන්තාවක හරහාය. මුලතිව් ප්‍රහාරය පිළිබඳ ඒ වනවිටත් සමරසිංහගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් දැන සිට තිබුණි. එහිදී, එම පණිවුඩය දැනගත් මොහොතේ පටන් හැඬූ කඳුළින් පසුවූ ඔවුනට සමරසිංහ නිරුපද්‍රිතව සිටින බවට එලෙස තොරතුක් ලැබීම අදහාගත නොහැකි කරුණක් විය. එම කාලසීමාව මුළුල්ලේ පසුමූලයේ සිටි කිසිවකුට යලි නිවෙස් කරා යාමේ අවස්ථාව නොවීය. විශේෂයෙන්ම කෝප්‍රල් සමරසිංහ ඇතුළු කාර්යාලයේ කටයුතු කළ කිහිපදෙනාට ඉස්පාසුවක් නොවන තරමට වැඩකටයුතු අධික විය. මුලතිව් සෙබළුන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමත්, ජීවිත බේරාගෙන පැමිණෙන අයවලුන් පිළිබඳ සොයා බැලීමත්, නිවාඩු ගොස් පැමිණෙන අයවළුන් කෑගල්ල පසුමූලයට ගෙන්වා ගැනීමත්, නිරන්තරව යුද්ධ හමුදා මූලස්ථානය සමඟ සම්බන්ධ වීමත් ඔවුන් වෙත පැවරී තිබුණ විශාල වගකීමකි.


ඒ වනවිට එම ඒකක පසුමූලය භාරව සිටි නිලධාරි අණදෙන වූයේ කපිතාන් මුතුමාල නම් නිලධාරියාය. කෝප්‍රල් සමරසිංහ ඇතුළු පිරිස ලවා එලෙස පුද්ගලික විස්තර සටහන් තබා යුද්ධ හමුදා මූලස්ථානය වෙත ලබාදීමේ කටයුතු ඔහුගේ අනුදැනුම මත සිදුවිය. දිගින් දිගටම යුද්ධ හමුදා මූලස්ථානයෙන් එම තොරතුරු ගෙන්වා ගැනීම කඩිනම් කළ බැවින් ටයිප් රයිටරය සමඟ එම කටයුත්තේ නියැළි පිරිසද රාත්‍රියේ නිලධාරී නිවස්නයට පවා ගෙන්වා ගනිමින් ඔවුන් එම කාර්යයෙහි අඛණ්ඩව යෙදවීමට කපිතාන් මුතුමාල කටයුතු කළේය. එහිදී, අලුයම වන තෙක්ම එලෙස යතුරු ලියනය කිරීමේ කටයුත්තෙහි නියැළෙන කෝප්‍රල් සමරසිංහ ඇතුළු ලිපිකරුවන් ඇතැම් අවස්ථාවල එම යතුරු ලියනයේම හිස තබා ගනිමින් නිදාගත් අවස්ථාද තිබිණි.


මුලතිවු කඳවුරට ප්‍රහාර එල්ලවී ගෙවුණු දින කිහිපය තුළ ප්‍රදේශයේ සිදුවීම් සමූදායක් සිදුව තිබූ අතර, සහයක භටපිරිස් එම ප්‍රදේශයට ගොඩබැස දැවැන්ත ක්‍රියාන්විතයක්ද අරඹා තිබිණ. මේ අතර තම සහෝදර සෙබළුන් පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් නොවීම පිළිබඳ පසුමූලයේ සිටි සෑම අයෙකුම ගත කරන ලද්දේ ඉමහත් පසුතැවීමකිනි. මේ සියල්ල අතරේ කෝප්‍රල් සමරසිංහගේ හදවත බලවත් සේ රිදුම් දෙන්නට වූ කාරණයක්ද විය. එනම්, සැරයන් මේජර් හේමසිංහ පිළිබඳ වූ මතකයයි. මේ මොහොත වනවිට ඔහු මියගොස්ද සතුරාගේ අත්අඩංගුවට පත්වීද නොඑසේනම් ජීවිත බේරාගෙන පැමිණියේ දැයි යන්න පිළිබඳ ව්‍යාකූල සිතුවිලි සමුදායකින් ඔහුගේ සිත පෙළමින් තිබිණ. කෝප්‍රල් සමරසිංහගේ ව්ෘත්තීය ජීවිතය තුළ සැරයන් මේජර් හේමසිංහ ගෞරවනීය ස්ථානයක් හිමිකරගෙන තිබුණේ ආරම්භක අවධියේ සිටය. තම හැකියාවන් හා සුදුසුකම් මත මුලතිව් කඳවුරෙහි ක්ෂේත්‍ර රාජකාරිවලින් මිදී එහි කාර්යාල සහායකයකු ලෙස කටයුතු කිරීමට ඉඩහසර ලැබුණේද සැරයන් මේජර් සේමසිංහ නිසාවෙන් බව ඔහු දනී. එසේම, ඔහු ඉතා විනයගරුක එමෙන්ම තමා යටතේ සිටින භටපිරිස්වල අවශ්‍යතා, සුබසාධනය ආදිය පිළිබඳ නිරන්තරව සොයාබලමින් කටයුතු කළ යහපත් අයෙකු බව සෑම කෙනෙකුගේම පිළිගැනීම බව ඔහු දනී.


මේ සියලු කටයුතු අතරේ මුලතිව්වල අතුරුදන් සියගණනක් වූ තම ඒකක සාමාජිකයින් පිළිබඳ දත්ත එක්රැස් කිරීම හා ඒවා යුද හමුදා මූලස්ථානය වෙත ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරිණ. දින ගණනාවක් තිස්සේ දිවා රෑ නොබලා එම කටයුත්තේ නියැළීම හේතුවෙන් කාර්යාලයේ කිහිපදෙනා බොහෝසෙයින් හෙම්බත්ව සිටියහ. මේ අතර අහඹු ලෙස කෝප්‍රල් සමරසිංහ අතට පත්වූ ලිපිගොනුවක් දැකීමෙන් ඔහු තිගැස්සී ගියේය. ඒ අන්කිසිවක් නොව මුලතිව්හි අතුරුදන් සැරයන් මේජර් හේමසිංහගේ පුද්ගලික විස්තර ඇතුළත් ලිපිගොනුවයි. ඔහු වහ වහා එය දිගහැර කියවා බලන්නට වූයේ වරක් දෙවරක් නොවේ. අහම්බෙන් වුවද තම ජීවිතය රැකදුන් ඉටුදෙවියා පිළිබඳ ඔහුගේ හදවතේ වූ භක්තිය එම ලිපිගොනුව දැකීමෙන් තවතවත් ඉහළ ගියේය. ඔහු එහි ඇතුළත පෙරළත්ම ඉහළ කෙලවරේ තැනක අලවා තිබුණේ සැරයන් මේජර්වරයාගේ උඩුකය සහිත ඡායාරූපයකි. එහිදී, එය ඉතා පරෙස්සමින් ගලවාගත් හෙතෙම නොතැ​ෙළන ලෙස එය තම මුදල් පසුම්බියේ රැඳවූයේය. අනතුරුව ඔහුගේ පුද්ගලික විස්තර සියල්ලද යතුරුලියනය කළ සමරසිංහ මුලතිව්හි අතුරුදන් සෙසු අයගේ නම් අතරට සැරයන් මේජර්වරයාගේ නමද ඇතුළත් කළේය.


මෙලෙස තවත් දින කිහිපයක ඇවෑමෙන් කෑගල්ලේ පිහිටි පසුමූලයේ රැඳීසිටි සෙබළ පිරිසකට නිවාඩුවක් ලැබිණ. එහිදී, කෝප්‍රල් සමරසිංහටද එම අවස්ථාව හිමිවිය. ඒ අනුව ඔහු උදෑසනින්ම මතුගම තම නිවස බලා පිටත් වූ නමුත්, වෙනදා තරමේ සැහැල්ලුවක් ඔහු තුළ නොවීය. අවසාන වතාවට නිවසින් නික්ම එතරම් කලක් ගතව නොතිබුණද මෙවර සමරසිංහගේ පැමිණීම නිවසේ සැමට අතිශය සුවිශේෂී විය. මුල්වරට ඔහුව දකිත්ම සිය මව තම පුතු බදා වැලපෙන්නට වූවාය. මුලතිව් කඳවුරේ සිදුව ඇති ඛේදවාචකය හමුවේ කිසිවකුගේ ජීවිත ඉතිරි නොවූ වාතාවරණයක් තුළ මෙලෙස තම පුතු පමණක් ජීවත්වීම සැබවින්ම ආශ්චර්යයක් නොවේදැයි ඇයට සිතිණ. තම ස්වාමියා නිරුපද්‍රිතව සිටින බවට පෙරදා දුරකථන ඇමතුම ලබාදෙන මොහොත තෙක්ම බිරිඳද දෙවියන් බුදුන් හමුවේ තම දුක පවසමින් පසුව සිටියේ හැඬූ කඳුළිනි. එහිදී, ඇයට තම ස්වාමියා දැකීම සිහිනයක් මෙන් විය. සමරසිංහගේ පැමිණීම හමුවේ අහල පහළ පිරිස්ද එහි රොක්වන්නට වූහ. එහිදී, තමාගේ ජීවිතය බේරීම හාස්කමකින් සිදුවූවක් නොවන බවත්, සැරයන් මේජර් හේමසිංහ හා සම්බන්ධ සියලු කතාව ඔහු තම පවුලේ සාමාජිකයින් සමඟ පවසා සිටියේය.


මේ අතර 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යළි නඟාසිටුවීමේ කටයුතු සිදුකෙරුණු අතර කෝප්‍රල් සමරසිංහ ඇතුළු ඉතුරි වූ ඒකක සාමාජිකයින් පිරිසක් සමග පොදු සමාව යටතේ යළි හමුදාවට එක්වූ සාමාජිකයින් රැසක්ද එම නව ඒකකයට ඇතුළත් වූහ. මෙලෙස කාලය ගෙවී යන්නට වූයේ නොදැනීමය. එම කාලසීමාව තුළ කෝප්‍රල් සමරසිංහ අනුපිළිවෙළින් උසස්වීම් ලැබ එම ඒකකයෙහි ජ්‍යෙෂ්ඨ කොනොනි වරයකු බවට පත්විය. ඒ අතර කාලසීමාවේ මුලතිව් ප්‍රහාරය හා සම්බන්ධ මතකද දින, සති, මාස, අවුරුදු ලෙස ගෙවෙද්දී බොහෝ දෙනකු තුළින් යටපත් වන්නට වූයේ නොදැනීමය. නමුත්, කාට කෙලෙස එම සිදුවීම අමතක වුවද සමරසිංහ තුළ ඒ පිළිබඳ මතක දිය යට ලූ රබර් බෝලයක් සේ විය. තම ජීවිතය බේරීමට උපකාර කළ සැරයන් මේජර් හේමසිංහ නිරතුරු ඔහු සිතෙහි සක්මන් කරන්නට වූයේය. 


කාලය මෙලෙස ගෙවෙද්දී සමරසිංහගේ මවට කළුතර සේරුපිට හන්දියේ තැනක පිහිටි “අසපුව” නම් භාවනා මධ්‍යස්ථානයෙන් කිසියම් බෞද්ධ පොතක් මිලදීගැනීමේ අවශ්‍යතාවක් මතුවිය. ඒ අනුව එක්තරා දිනක සමරසිංහ සිය මව, පියා, බිරිඳ ඇතුළු ඇයගේ පවුලේ ඥාතීහු කිහිපදෙනකුද සමඟ එහි යන ලද්දේ එම අසපුව නැරඹීමේ අදහසද ඇතිවය. එසේ යන අතරතුර සේරුපිට හන්දිය පසුවී එම අසපුව පාරේ මඳ දුරක් යත්ම “රණවිරු සේමසිංහ ක්‍රීඩාංගණය” ලෙස සඳහන් නාමපුවරුවක් ඔහුගේ නෙත ගැටුණි. එහිදී, සමරසිංහ වහා ඒ පිළිබඳව විපරම් කරද්දී දුටුවේ එහි වූ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ “රණවිරු සේමසිංහ ක්‍රීඩාංගණය” ලෙස නම්කොට ඇති බවකි. එම නම අන් කිසිවකු නොව තම ආත්මය හා බැඳුණු තමන්ට ජීවිතය දුන් සැරයන් මේජර්වරයාගේ බැව් හඳුනාගන්නට ඔහුට අපහසු නොවීය. හෙතෙම එහිදී තම පවුලේ ඥාාතීන් හමුවේ සැරයන් මේජර් හේමසිංහ පිළිබඳ සියලු තතු යළිත් ආවර්ජනය කරන්නට වූයේ ඉමහත් භක්තියකිනි. එහිදී, එම නාමපුවරුවේ සඳහන් සැරයන් මේජර්වරයා පදිංචි ස්ථානය පිළිබඳව තොරතුරක් දැනගැනීමේ අටියෙන් ඔහු ඒ අවට කිහිපදෙනකුගෙන් විමසීම් කළද ඒ කිසිවකුගෙන් නිශ්චිත තොරතුරක් නොලැබිණ.


කාලය මෙලෙස තවදුරටත් ගෙවී යන්නට විය. බොහෝ හැලහැප්පීම් මැද සමරසිංහගේ යුද හමුදා දිවියේ අවසානයට එළැඹිණ. කෙසේ වුවද, ඒ වනවිට ඔහු බලලත් නිලධාරී I නිලය දක්වා උසස්වීම්ද ලබා තිබිණ. හෙතෙම 2013 වසරේදී සිය දෙවිසි වසක යුද හමුදා මෙහෙවර නිමවා විශ්‍රාම යන ලද්දේ විශ්‍රාමයට අදාළ සියලු දීමනා, වරප්‍රසාද සේම මුලතිව් හා බැඳුණු හද දවන අඳුරු මතක ගොන්නක්ද හදවතෙහි සඟවා ගනිමිනි. සමරසිංහ විශ්‍රාම ලැබ වසරක පමණ ඇවෑමෙන් ඔහු සිය පදිංචිය මතුගම සිට කළුතරට මාරුකළේය. ඒ වනවිට ඔහුගේ බිරිඳ කොළඹ ටෙලිකොම් ආයතනයේ රැකියාවක නියුතුව සිටි හෙයින් ගමන් පහසුව පිණිස එම තීරණය ගෙන තිබිණ. ඒ අනුව 2014 වසරේ පටන් කළුතර වස්කඩුවේ පදිංචියට පැමිණි ඔහු තම සුපුරුදු විශ්‍රාම දිවිය එහි සිට ඇරඹීය. විශ්‍රාම යාමෙන් පසුවද යුද හමුදාවට සම්බන්ධ බොහෝ කටයුතුවලට දායකවූ සමරසිංහ කළුතර දිස්ත්‍රික්කයේ සිංහ රෙජිමේන්තු විශ්‍රාමිකයන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක බවටද පත්විය. එහිදී, ඔහු එම සංගමය නියෝජනය කරමින් තම සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ අවමඟුල් කටයුතු සඳහාද සහභාගී වූ අතර, ඒ සෑම අවස්ථාවකදීම සැරයන් මේජර් හේමසිංහ පිළිබඳ තොරතුරක් සොයාගැනීමටද උත්සාහ දැරීය. 
මෙලෙස කලක් යද්දී මතුවූ ආර්ථික අපහසුතා සේම තවදුරටත් කුමන හෝ කාර්යයක නියැළීමේ හැකියාව තිබූ හෙයින්ම ඔහු නිවසේ සිට ස්වයං රැකියාවක් ආරම්භ කළේය. මුරුක්කු, කඩල ආදී බයිට් වර්ග සකසා ප්‍රදේශය අවට බෙදාහැරීම ඔහු එලෙස ඇරඹි කටයුත්ත විය. වැඩි කලක් නොගොස්ම එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය. මෙලෙස කාලය ගතවිය. 2023 වසරේ ජනවාරි මස සෙනසුරාදා දිනයක වස්කඩුවේ පිහිටි තම නිවසින් ඔහු සිය නිෂ්පාදන යතුරුපැදියේ පටවාගත්තේ සේරුපිට ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට ඒවා බෙදාහැරීමේ අරමුණිනි. එදින ඔහු යතුරුපැදියෙන් කළුතර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරද්දී අහම්බෙන් “රණවිරු හේමසිංහ ක්‍රීඩාංගණය” ලෙස සඳහන් නාමපුරවරුවක් දුටුවේය. එහිදී, ඊට වසර ගණනකට එපිටදීද තමන් මතුගම පදිංචිව සිටි කාලසීමාවේද එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවක මෙම ක්‍රීඩාංගණය නෙත ගැටුණු අයුරු ඔහුට සිහිපත් විය. එහිදී, යළිත් සැරයන් මේජර් හේමසිංහ පිළිබඳ මතක ඔහු තුළ අසුරු සැණින් මතුව ආවේය. ඒ ආසන්නයේ තම නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳපලක් වෙත ගිය ඔහු එහි හිමිකරු හමුවිය. ඔහුද යුද හමුදා විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වූ අතර, හේ නමින් ලාල් අයියා විය. ඔහු යුද හමුදාවේ විශ්‍රාමිකයකු වීම ඒ මොහොතේ සමරසිංහගේ වාසනාවට හේතු විය. එහිදී, ඔහු තම මුදල් පසුම්බිය තුළවූ සැරයන් මේජර් හේමසිංහගේ ඡායාරූපය ලාල් අයියාට පෙන්වමින් ඔහු පිළිබඳ තොරතුරු විමසීය. එහි ප්‍රතිඵලය වූයේ මුලතිව්හි අතුරුදන් වූ සැරයන් මේජර් හේමසිංහගේ නිවස පිළිබඳ නිවැරදි තොරතුරක් ඔහුගෙන් ලැබීමය. එහිදී, සමරසිංහ තුළ මතුවූ උද්දාමය විස්තර කළ නොහැකි තරම් විය. ඔහු පැමිණි ව්‍යාපාර කටයුත්ත පසෙකලා වහා ලද තොරතුරු ඔස්සේ අදාළ නිවෙස කරා ගියේය. 


නිවසට යාබද සිල්ලර කඩය සැරයන් මේජර් හේමසිංහගේ මල්ලීගේ බව ලාල් අයියාගෙන් දැනසිටි සමරසිංහ ඔහු වෙත සියලු විස්තර පවසන්නට වූයේය. කඩයේ හිමිකරු ඒ මොහොතේම සමරසිංහව අසල වූ නිවස වෙත කැඳවා එහි සිටි සැරයන් මේජර් හේමසිංහගේ බිරිඳ මුණගැස්සවීය. මුලතිව් ප්‍රහාරය හා ඉන් අනතුරුව වූ සිදුවීම් සමුදාය සමරසිංහ විසින් එහිදී විස්තර කරන්නට වූයේ තම මුදල් පසුම්බියේ වසර 27 ක් තිස්සේ සුරැකිව තබාගෙන සිටි සැරයන් මේජර් හේමසිංහගේ ඡායාරූපයද ඇයට පෙන්වමිනි. එහි කොතරම් විස්මයක් වීද යත් ඒ වනවිට එම නිවසේ වූ බිත්තියේ විශාල කොට එල්ලා තිබුණේද සැරයන් මේජර් හේමසිංහගේ එම ඡායාරූපයමය. 27 වසක් තිස්සේ තමා සෙවූ තම ජීවිත ගැලවුම්කරුගේ ඥාතීන් දැකීම සමරසිංහ තුළ අපරිමිත අස්වැසිල්ලට හේතුවී තිබිණ. එසේම, එය සැරයන් මේජර් වරයාගේ බිරිඳටද ඉහිලුම් නොදෙන්නක් විය. “මගේ මහත්තයා කාගෙදෝ නම කපල එයා බලෙන්ම එදා මුලතිව් ගිය බව අපිට ආරංචි වෙලා තිබුණා. එයාව දැකගන්න අපිටත් ඕනෑවෙලා තිබුණා. ඒත් මෙහෙම හමුවීමක් වෙයි කියල අපි හිතුවේ නැහැ” ඕ ඉකිබිඳුම් අතරේ සමරසිංහ වැලඳ ගනිමින් කීවාය. 


දුක, සතුට රැඳි පැය එකහමාරක් පමණ කාලයක් එම නිවසේ ගතකළ සමරසිංහ ඉන් පිටත් වන්නට සූදානම් විය. 27 වසක් සුරැකිව තමා සන්තකයේ තිබූ සැරයන් මේජර් හේමසිංහගේ ඡායාරූපය ඔහු යළිත් වතාවක් තම මුදල් පසුම්බියේ රඳවාගත්තේය. එහෙත් වෙනදා නොවූ උණුසුම රැඳි තෙත් බවක් එම ඡායාරූපය පුරා තැවරී තිබුණි. ඔහු රහසේම සිය දෙනෙත් පිසදාගනිමින් යතුරුපැදියට ගොඩවූයේය.
“යුද්ධය කුරිරුය. හිත් දවන සුළුය. 
එහෙත් මතක මිහිරිය”.