මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමවීමේ ගලේ කෙටූ එකම සාක්ෂිය


රජගල වැඩ අවසන් නොකළ බුදු පිළිමය

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව දීපවංසය, මහාවංසය සහ සමන්තපාසාදිකා යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත. මහින්දාගමනය ලෙසින් ඉතා ප්‍රකටව ඇති මිහිඳු මහරහතන් වහන්සේගේ නාමය සඳහන් වන ශිලාලේඛන දෙකක් හමුවී ඇත. ඒවා ගිරිලිපි (පර්වතවල කොටන ලද) ය. එයින් එකක් මෙම රජගල පර්වතයක ලියා තිබේ. අනෙක් පර්වත ලිපිය තිබෙන්නේ මිහින්තලේය.


අප මෙහිදී විමසා බලන්නේ රජගල ගිරි ලිපියෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද යන්න ගැනය.


අම්පාර දිස්ත්‍රික්කයේ රජගල කන්ද මිහින්තලේ මෙන්ම පුරාණ බෞද්ධ පුරාවස්තු රැසක්ම දක්නට ලැබෙන පුදබිමකි. රජගල ගිරි ලිපියේ මෙසේ සඳහන් වේ.


‘යෙ ඉමදිප පටමය ඉදිය
අගතන ඉඩික තෙර මහිදතෙරහ තුබෙ’


මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එහි අර්ථය මෙසේ සඳහන් කරයි.


‘මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය තෙර හා මහින්ද තෙරුන්ගේ ස්තූපය’ යි.

රජගල ගිරි ලිපිය


මෙම ශිලා ලිපිය ලියා ඇත්තේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. අපේ පුරාණ ශිලාලේඛන සියල්ලම ලියා තිබෙන්නේ බ්‍රාහ්මී අක්ෂරවලිනි. මෙහි රජගල දාගැබක නටබුන් ද හමුවී තිබිණි.
මහාචාර්ය පරණවිතාන මහතාගේ INSCRIPTIONS OF CEYLON VOL. 01 ග්‍රන්ථයෙහි 468 වැනි ශිලා ලිපිය ලෙස සඳහන් වී ඇත්තේ මෙම ගිරි ලිපියයි. ‘මහිදතෙර’ යනු මිහිඳු මහ රහතන් වහන්සේය. ඉදික තෙර යනු මිහිඳු මහ රහතන් වහන්සේ සමග ලංකාවට වැඩම කළ ‘ඉට්ඨිය’ තෙරුන් ය. මෙහිදී ප්‍රශ්නයක් පැන නගී. එනම් මිහිඳු මහ රහතන් වහන්සේලා සමග ඉට්ඨිය තෙරුන් වහන්සේගේත් ධාතුන් වහන්සේලා මෙහි නිදන් කළේ කුමක් නිසා ද යන්නයි. ඒ ගැන ඉතා දීර්ඝ ලෙසින් කරුණු දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව ඉට්ඨිය තෙරුන්වහන්සේ මෙම නැගෙනහිර පළාතේ (එම ප්‍රදේශයේ) බුදු දහම ව්‍යාප්ත කිරීමේ කටයුතු භාරව සිටි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ නිසා මෙම හිමියන්ගේ ධාතුන් වහන්සේලා ද මෙම රජගල පුදබිමෙහි දාගැබේ නිදන් කරන්නට ඇති බවය.


මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහනයෙන් ඉතිරි වූ ධාතුන් වහන්සේලා නිදන් කොට අනුරාධපුරයෙහි ද සෑගිරියෙහි (මිහින්තලේ) සහ ලංකාවේ තවත් ස්ථාන කීපයක දාගැබ් සාදවන ලද බව මහාවංසයෙහි සඳහන් වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ දේවානම් පියතිස්ස රජතුමාට පසුව රජ වූ උත්තිය රජුගේ අට වැනි රාජ වර්ෂයේ දී බව ද මහාවංසයේ සඳහන් වේ. (මහාවංසයේ - 20 පරිච්ඡේදයේ 95 පිටුව)


රජගල රාස්සහෙළ සහ ගිරිකුම්බිල විහාරය යන නම්වලින් පුරාණ කාලයේ හඳුන්වන ලද මෙම පුදබිම මුහුදු මට්ටමේ සිට අඩි 1038 පමණ උස් වූ කන්දකි. එහි දකුණු පැත්තේ තද බෑවුමකි. උතුරු පැත්ත බෑවුම් වී ඇත්තේ ක්‍රමානුකූලවය. මෙම පුදබිමෙහි ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ලියන ලද සෙල්ලිපි රැසක් මෙහි ලෙන්වල හමුවී ඇත.
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගැන විමසා බලන විට මෙම පුදබිමෙහි හමුවන ශිලාලේඛන ඉතා වැදගත්ය. ශිලාලේඛන මෙන්ම ආරාම සංකීර්ණ, දාගැබ්, බුදු පිළිම, මුරගල්, පුරාණ චිත්‍රවල අවශේෂ ද පුරාණ පුදබිමේ ගොඩනැගිලි අවශේෂ රැසක් හමුවී තිබේ.

රජගල පුද බිම

දොරටුව දෙපස ඇති මුරගල්


රජගල කන්ද ටික ටික බෑවුම් වී තැනිතලාව තවද අවසානයේ තැන්නකට ද පැමිණේ. විවිධ ප්‍රමාණයේ ආගමික ගොඩනැගිලිවල නටබුන් මෙහි ඇත. මෙම ගොඩනැගිලිවලට ඇතුළු වන ස්ථානවල දෙපස (දොරටු දෙපස) ඉතා සරල කැටයම් රහිත මුරගල් සහ කොරවක් ගල් ද හමුවී තිබේ. මිනිස් වෙස්ගත් නාගරූප සහිත දොරටුපාල රූප සහිත ගල් පුවරු ද හමුවී තිබේ.


මෙහි හමුවන සඳකඩපහණ සහ මුරගල් ඉතා පුරාණ කාලයට අයත් වන ඒවා ද වේ. ඉතා සරල කිසිදු කැටයම් නැති නිර්මාණයන්ය. පඩිපෙළවල් රැසක් ද කැණීම්වල දී හමුවී තිබේ.
ඒ කාලයේ මෙහිදී දක්නට ලැබුණු බුදු පිළිමය වටා කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලදී. එම බුදු පිළිමයෙහි නිර්මාණ කටයුතු අවසන් කර තිබුණේ නැත. මූර්ති ශිල්පියා විසින් එම ශිලා ඛන්ඩය නෙළමින් සිටි ආකාරයටම තිබුණු බව 1961 – 1962 පාලන වාර්තාවල එවක පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් සඳහන් කරනු ලැබ තිබේ.


රජගල කන්දෙහි ඇති ලෙන් ලිපි හැත්තෑවකට වඩා අධිකය. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි ගවේෂණ හා කැණීම් කටයුතු කර තිබේ. විවිධ කාලවලට අයත් වන පර්වත ලිපි ද පුවරු ශිලා ලිපි ද රැසක් මෙහි දක්නට ලැබේ. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ කාලයට ආසන්න කාලයක සිට මෙම පුදබිමේ මහා සංඝයා වහන්සේලා වැඩවාසය කළ ලෙන් රැසක්ම හමුවේ. ඒවායේ බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද ලෙන් ලිපි හමුවී ඇත.


මෙම කන්දේ ඇළක් අසල විශාල ආරාමයක් තිබුණු බවට නටබුන් හමුවී තිබේ. එම ආරාමයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලා ජල අවශ්‍යතාව සපුරා ගෙන ඇත්තේ එම ඇළෙනි. එහෙත් එම ඇළ පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති වටකුරු ගල් පාත්‍ර දෙක තෙක් කානු බේරන ගල්ලෑලි අතුරා ඇත. මෙම ගල් පාත්‍ර දෙකට ඉහළින් පුරාණ කාලයේ දී වහලක් තිබී ඇත. එම වහලය මදක් දුරින් ඇති විශාල ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත. එක් ගල් පාත්‍රයක වම් පැත්තේ බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියකි.

පුදබිමේ නටබුන්

ගල්ලෙන් විහාරය පිහිටා ඇති අයුරු


රජරට ප්‍රදේශයට මිහින්තලේ යම්සේ ද සිතුල්පව්ව රුහුණට ද නැගෙනහිර පළාතට රජගල ද ඉතාමත් පූජනීය වූ පුදබිමක් ලෙසින් එකල සිටම පැවතුණි. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ ධර්ම ප්‍රචාරක කටයුතු නිසා පුරාණ රුහුණේ (මෙකල එයින් කොටසක් වූ නැගෙනහිර පළාතේ) ද බුදු දහම ඉතාමත් දියුණු ලෙසින් පැවතුණු බවට බොහෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙම රජගල පුදබිමෙන් හමුවේ.


අම්පාර දිස්ත්‍රික්කයේ දිඹුලාන වැවෙන් නැගෙනහිර පැත්තේ පිහිටි රජගල පුදබිමෙහි රජගල කඳුවැටිය සේනානායක සමුද්‍රයේ වම් ඇළ සම්බන්ධ වූ රජගල තැන්න ජනාවාසය බස්නාහිරින් මායිම් ව තිබේ. මේ අනුව බෞද්ධ ශිෂ්ටාචාරයේ රුහුණු පුදබිම් වූ තිස්සමහාරාමය හා සිතුල්පව්ව මෙන්ම නැගෙනහිර ලංකාවේ රජගල සිංහල බෞද්ධ අනන්‍යතාව පැහැදිලි ලෙසින් ප්‍රකාශ කෙරෙන පුදබිමක් ලෙසින් සැලකිය යුතුව ඇත.

 

 

සිරිසමන් විජේතුංග
හිටපු සහකාර අධ්‍යක්ෂ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව