මාලනී ෆොන්සේකා සිනමාවට ගෙනා හැටි ගැන තිස්ස ලියනසූරිය කියන කතාව


  •  නාට්‍යය බැලුවට පස්සෙ අපිට පැහැදිලි වුණා මාලනී දක්ෂයි කියල. වේදිකාවයි සිනමාවයි කියන්නෙ මාධ්‍ය දෙකක් නිසා කොයි එකටත් අපි ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියල බලමු කියල මාලනීට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්ව

 

පුංචි බබා කියන්නෙ ඔබේ සිනමා ගමනේ සුවිශේෂී අවස්ථාවක්.ඒකෙන් ඔබ සිනමාවට හඳුන්වලා දුන්නු මාලනී ෆොන්සේකා අද ලංකාවෙ නිළි රැජින. ඒ ගැන දැන් මොකද හිතෙන්නෙ..?


පිළිතුර -  ඒක අහම්බෙන් සිද්ධවෙච්ච දෙයක්. මේ චිත්‍රපටියෙ නිෂ්පාදක සුගතදාස මාරසිංහ. චිත්‍රපටියෙ වැඩ පටන්ගත්තට පස්සෙ ඔක්කොම කරන්න වුණේ ජෝ අබේවික්‍රමටයි මටයි තමයි. නිෂ්පාදක මාරසිංහ කිව්වෙ එයා කරපු පළවෙනි චිත්‍රපටියෙන් ඒ තරම් ලාභයක් ලැබුණෙ නැති නිසා මේකෙනුත් පාඩු විඳින්න නම් බෑ කියලා. එතකොට ජෝයි මායි කතාවුණෙ සරල කතාවකින් සුළු නළු නිළි පිරිසක් අරගෙන චිත්‍රපටියක් කරමු කියල. එහෙම හිතලා තමයි අපි පුංචි බබා කරන්න පටන්ගත්තෙ. විමලවීර පෙරේරා තමයි පිටපත ලිව්වෙ. පිටපතට අනුව ප්‍රධාන නළුව ජෝ අබේවික්‍රම කියන එක ගැන විවාදයක් තිබුණෙ නෑ. ඊළගට අපිට ඇතිවුණු ප්‍රශ්නය තමයි මාලා කියන ප්‍රධාන චරිතයට කවුද ගන්න නිළිය කියන එක. ජනප්‍රිය නිළියක් ගන්න ගියොත් ලොකු වියදමකුත් යන නිසා අලුත් කෙනෙක් ගැන හිතමු කියල යෝජනාවක් ආවා. මේ ගැන අපි පත්තරවල දැන්වීම් එහෙමත් දැම්ම. 
ඔය අතරෙ දවසක් අපිට දැනගන්න ලැබුණා සුමන ආලෝක බණ්ඩාරගෙ අකල් වැස්ස නාට්‍යයේ දක්ශ නිළියක් රඟපානව කියලා. අපි කතා වුණා එයාගෙ රඟපෑම් නරඹල එයත් එක්ක මේ ගැන කතා කරමු කියලා. අපි දවසක් ගියා අකල් වැස්ස බලන්න. මට මතක විදියට ලුම්බිණියෙ එදා නාට්‍ය තිබුණෙ. මාත් එක්ක ජෝ අබේවික්‍රමයි, සිසිර සේනාරත්නයි, සුගතදාස  මාරසිංහයි මේ ගමනට එකතු වුණා.  විදියට ඇන්ටන් අල්විසුත් අපිත් එක්ක ගියා. සිසර සේනාරත්න තමයි චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ෂණයට තෝරගෙන හිටියෙ. නාට්‍යය බැලුවට පස්සෙ අපිට පැහැදිලි වුණා මාලනී දක්ෂයි කියල. වේදිකාවයි සිනමාවයි කියන්නෙ මාධ්‍ය දෙකක් නිසා කොයි එකටත් අපි ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියල බලමු කියල මාලනීට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්ව. මාලනී චිත්‍රපටියක රඟපාන්න ආසාවෙන් හිටියෙ. විජය ස්ටුඩියෝ එකේ කරපු ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාලනී සමත්වුණා. කියපු දේවල් හොඳට කෙරුව. අපිටත් තේරුම් ගියා මාලනී වැඩේ අල්ලගෙන යයි කියල. අපි තීරණය කෙරුව මාලා කියන ප්‍රධාන චරිතය මාලනීට දෙන්න.


හිතුව වගේම මාලනී පුංචි බබා චිත්‍රපටියෙ මාලා චරිතය හොඳට කෙරුව. ජෝ එක්ක කරට කර රඟපෑව. චිත්‍රපටියත් සාර්ථකව තිරගතවුණා. නිෂ්පාදක සුගතදාස මාරසිංහගෙ අරමුණත් ඉටුවුණා.මාලනී ෆොන්සේකටත් සිනමාවේ දුර ගමනක් යන්න පුළුවන් වුණා. ඇත්තටම අද මාලනී ඉන්න තැන ගැන මට සෑහෙන සතුටුයි.


ඔබේ අතින් ගොඩක් චිත්‍රපටි නොහැදුණත් කරපු වැඩවලට ලොකු කැපවීමක් කළා නේද..?


පිළිතුර – මම වැඩක් කරද්දි ඒ ගැන ගොඩක් මහන්සි වෙනව.පොඩි දෙයක් ගැන පවා සෑහෙන්න සොයා බලනව.පුංචි බබා චිත්‍රපටියෙන් පස්සෙ අලුත් චිත්‍රපටි සමාගමක් එක්ක එකතුවෙලා තමයි නාරිලතා චිත්‍රපටිය මම කෙරුවෙ.ඒක වෙන අධ්‍යක්ෂවරයෙක් කරන්න සූදානම් වෙලා ඉඳපු චිත්‍රපටියක්.ගිවිසුම් අත්සන් කරල ඉඳපු ශිල්පීන් එහෙමම මමත් එක්ක වැඩ කළා. කතාවකුත් කලින් ලියල තිබුණෙ. මම ඒක වෙනස් කරල ධර්මසිරි ගමගේ ලව්ව අලුතෙන්ම කතාවක් ලියෙව්ව,ඩී.කුලතුංග වගේ අය මම ගත්ත.ඒ අය ගැන හිතල තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වෙ.කතාව දිගහැරුණෙ දුම් කෝච්චියක් මුල් කරගෙන.කතාව ලිව්ව වගේ නෙවෙයි කරන්න ගියාම තමයි ඒකෙ බරපතළකම තේරුණෙ.අපි හොඳට සැලසුම් කරල පෙර සූදානමක් ඇතුව තමයි වැඩේට බැස්සෙ.


මහනුවර ස්ටේෂන් එකේ තමයි ගොඩක් රූපගතකිරීම් තිබුණෙ.එතකොට මහනුවර ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් විදියට කටයුතු කෙරුවෙ අපේ නිෂ්පාදකතුමාගෙ නෑයො වෙන කෙනෙක්.ඒක අපිට ලොකු පහසුවක් වුණා.

 

  • එක පාරටම ස්ටේෂන් මාස්ටර් කෑගහගෙන ආව කෝච්චිය එනව වැඩේ නවත්තන්න කියල. අපි ඒක එච්චර ගණන් ගන්නෙ නැතුව දිගටම ෂූටින් කරගෙන ගියා. කිව්වට කෝච්චිය ආවෙත් නෑ. අපි හිතුව කෝච්චිය පරක්කු ඇති කියල. ටික වෙලාවකින් ස්ටේෂන් මාස්ටර් හතිදාගෙන දුවගෙන එනව.ඇවිත් මට කෑගනව හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ


අමතක නොවන සිද්ධි එහෙමත් ඇති නේද ඔය අතරෙ සිද්ධවෙච්ච...


පිළිතුර – අපොයි ඔව්. චිත්‍රපටිය බලපු අයට මතක ඇති කොළඹ ඉඳල මහනුවරට එන කෝච්චිය. ස්ටේෂන් එකට කෝච්චිය එන්න කිට්ටු කරල අපි රූපගතකිරීමක් කර කර හිටිය.ස්ටේෂන් මාස්ටරුත් මේ ගැන කලින්ම දැනුවත් කරල තිබුණෙ. ඉස්සර එහෙ පාවිච්චි වුණෙ එක ට්‍රැක් එකයි. ඒක නිසා අපිට ඉක්මනින් රූපගත කිරීම් කරන්න ඕනැ වුණා. ඔය අතරෙ එක පාරටම ස්ටේෂන් මාස්ටර් කෑගහගෙන ආව කෝච්චිය එනව වැඩේ නවත්තන්න කියල. අපි ඒක එච්චර ගණන් ගන්නෙ නැතුව දිගටම ෂූටින් කරගෙන ගියා. කිව්වට කෝච්චිය ආවෙත් නෑ. අපි හිතුව කෝච්චිය පරක්කු ඇති කියල. ටික වෙලාවකින් ස්ටේෂන් මාස්ටර් හතිදාගෙන දුවගෙන එනව.ඇවිත් මට කෑගහනව හරි වැඩේ තමයි වෙලා තියෙන්නෙ, කෝච්චිය වෙන ට්‍රැක් එකකට දාගෙන නවත්තගෙන එතන මිනිස්සු කලබල වෙලා පහරදීමකුත් වෙලා කියලා.කැලේ පැත්තෙ ට්‍රැක් එකකට දාල තමයි කෝච්චිය නවත්තගෙන තියෙන්නෙ.කලබල වෙච්ච කීපදෙනෙක් ගාඩ් කෙනෙකුට ගහල.


ඔය සිද්ධියට ගාඩ්වරුන්ගේ සංගමය අපිට විරෝධය පාලා අන්තිමට දුම්රිය සාමාන්‍යාධිකාරී රම්පාල මහත්තය එක්ක සාකච්ඡාවකට කැඳෙව්ව.ඒකෙදි ගාඩ්වරු අපිට හරහටමයි කතා කෙරුවෙ මුලින්.ටික වෙලාවක් යද්දි මම චිත්‍රපටිය ගැන පැහැදිලි කළාට පස්සෙ එයාල වැඩේ ගැන පැහැදුණා.මම චිත්‍රපටි කතාව ඔක්කොම කිව්ව එයාලට.පස්සෙ එයාල වැඩේට උදව් කරන්නත් කැමති වුණා.ඒ අතරෙ එක් කෙනෙක් ඇහුව චිත්‍රපටියෙ ගාඩ්වරයට අන්දපු ඇඳුම නම් හරි නෑ, කොහෙන්ද ඒක හොයා ගත්තෙ කියල.මම කිව්ව පිටකොටුවෙන් තමයි ගත්තෙ කියල.ඊට පස්සෙ එයාල කිව්ව හොඳ යුනිෆෝම් එකක් එයාල දෙන්නම් කියල.ඒ චරිතය කෙරුවෙ ටෝනි රණසිංහ.එතන ඉඳල අපිට එයාලගෙන් උපරිම සහයෝගයක් ලැබුණ.


නාරිලතා චිත්‍රපටියෙන් පස්සෙ තිස්ස තව වෘත්තාන්ත චිත්‍රපටි කෙරුවෙ නෑ. ඒත් අපිට කතා නොකරම බැරි එකක් තමයි ඔබේ සාරවිට චිත්‍රපටිය.


පිළිතුර – ඔව් ඒක මටත් විශේෂ චිත්‍රපටියක්. ඊට කලින් කරපු ගැටවරයෝ එකේ මම සම අධ්‍යක්ෂ. මයික් විල්සන්ගෙ ඉල්ලීමට තමයි ටයිට්ල්වල මගේ නම දැම්මෙ. මගේ පළවෙනි අධ්‍යක්ෂණය තමයි සාරවිට. ඒක කෙරුවෙත් සෙරන්ඩිබ් එකෙන්. මට ඒකෙදි ජෝ අබේවික්‍රම ලොකු සහයෝගයක් දුන්න. සාරයියගෙ චරිතය කරන්න අදටත් මට වෙන කෙනෙක් හිතාගන්න බෑ. ජෝ චරිතයක් කරන්න බාරගත්තට පස්සෙ අපි එයාට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනැ නෑ. ඕනැ චරිතයක් ගැන පුදුම අවබෝධයක් තියෙනව ජෝට. බැරිවෙලාවත් ජෝ සාරයියගෙ චරිතය කරද්දි දුර්වල වුණා නම් චිත්‍රපටියම ඇදවැටෙනව. මම අද වුණත් කියන්නෙ චරිතාංග නඵවො අතර ජෝ ඉදිරියෙන්ම ඉන්නව කියල.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි