මාදු ගඟේ සිට කඩොලාන ගැන උගන්වන විද්‍යා ගුරුතුමිය


 

“මෙන්න ළමයිනේ කඩොලාන” කියලා පොතක තියෙන පින්තූරයක් පෙන්නුවට ළමයට කඩොලාන මතක හිටින්නෙ නැහැ. ඒත් කඩොලාන පරිසරයකට ගිහින් කඩොලාන දැකලා  ඉගෙන ගන්න දේවල් ළමයගෙ මතකයෙ සදාකාලිකව රැඳෙනවා.

 

දෙවියන්ගේ ශාපයක්
මනුසතාගෙ කරුමයක්
අප්‍රිකානු කොළ වඳුරෝ 
ලොවට ගෙනා ශාපයක්


සිසුවෙක් සහ සිසුවියක් තාලයට කියාගෙන නටාගෙන යයි.


ඔවුන්ගේ පසුපසින් එන්නේ තවත් සිසු සිසුවියන් පිරිසකි. ඔවුන් ද ගමන් කරන්නේ නර්තන ලීලාවකිනි. 


එහෙත් මේ ප්‍රීතියෙන් නටන්නට අවස්ථාවක් නොවේ. දෙවියන්ගේ ශාපයකට මනු සතා ගොදුරු වූ ඛේදනීය අවස්ථාවකි. වේදිකාවේ සිටින වියපත් මිනිසකු අර සිසු පිරිස නවත්වා ප්‍රශ්න කරන්නේ දෙවියන්ගේ ශාපය කුමක් ද කියා ය.


“ඒඩ්ස්...ඒඩ්ස්’‘
පිරිස කියයි. 


මේ විනාඩි විස්සක නාට්‍යයකි. එනිසා එය මෙතෙකින් අවසන් නොවේ. තව ඉදිරියටත් වේදිකාවේ ඒඩ්ස් නාට්‍යය රංගගත වේ. 


අපේ කතාබහ ඒඩ්ස් ගැනවත් ඒඩ්ස් වේදිකා නාට්‍යය ගැනවත් නොවේ.  එම නාට්‍යයේ නිර්මාතෘ ගුරුතුමිය ගැනයි. ඇය නමින් නිශාන්ති වික්‍රමසිංහ ය.
එවකට ඇය සේවය කළේ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ ය. ඇය එහි විද්‍යා ගුරුවරියයි. සාමාන්‍ය පෙළට මෙන්ම උසස් පෙළට ද විද්‍යාව ඉගැන්වූයේ ඇයයි.
‘මම විද්‍යාව ඉගැන්නුවට මොකද සාහිත්‍යයට හරි කැමැතියි. කවි ලියන්න, නාට්‍ය ලියන්න විතරක් නෙවෙයි නවකතා ලියන්නත් කැමැතියි.’


අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිශාන්ති ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය ලබාගත්තා ය. එහිදී ඇගේ විෂය ක්ෂේත්‍රය වූයේ ජීව විද්‍යාවයි.
“ඔය කාලෙ අපිට ක්ෂේත්‍ර චාරිකා යන්න තිබුණා. මට මතකයි වතාවක් සිංහරාජ වනාන්තරයට ගියා. සිංහරාජෙ ගස් වැල් සතා සීපාවා ගැන අධ්‍යයනය කිරීමට තමා අපි සිංහරාජ වනාන්තරයට ගියේ. එහිදී දැකපු දේවල් ඉගෙන ගත්තු දේවල් විශාලයි. ඒවගේම විනෝදය ලැබුණා.  වනාන්තරේ කූඩැල්ලො කඩමින් දිය පාරවල් මගහරිමින් යද්දි දැකපු ලස්සන පුංචි මල් එමටයි. දැකපු පුංචි සත්තු එමටයි. ඒ සත්තු ඉන් පෙර කවදාවත් දැකලා තිබ්බේ නැහැ. කැහිබෙල්ලා වගේ සිංහරාජෙටම ආවේණික වුණු කුරුල්ලො ඒ ගමනෙදි දැකගත්තා. ඒ නිසාම මේ ගමන්වල මතකය තවමත් හිතට සතුටක් ගේන්නෙ.


ආයෙ කඩොලාන ගවේෂණයට බළපිටියෙ මාදු ගඟට ගිය ගමන් හරි අපූරුයි.  මාදු ගඟේ එක ඉසව්වක් තියෙනවා කඩොලානවලින් විචිත්‍ර වුණු. බෝට්ටුව යන්නෙ කඩොලාන ගස් අස්සෙන්.  එතන කඩොලාන ආරුක්කුවක් කිව්වොත් හරි. ඔය කඩොලාන කිව්වට කඩොලාන ශාක වර්ග රාශියක් තියෙනවා. මහ කඩොල්, මල් කඩොල්, කිරල, පුංකණ්ඩ, තෙලහිරිය, රතමිල්ල, ගිංපොල්, මුහුදු වරා, කිරි මකුලු‍  ආදී වශයෙන්. රතුපාට මල් පිපෙන රතමිල්ල කඩොලාන විශේෂය තියෙන්නෙ මාදු ගඟේ දූපතක විතරයි. ඒ දූපත වැඩිදෙනෙක් යන එන දූපතක් නෙවෙයි.  


එතකොට  කඩොලාන ආශ්‍රිතව වෙසෙන සත්ව විශේෂ ඉන්නවා. ඉස්සො කකුළුවො එහෙම බෝවෙන්නෙ කඩොලාන ආශ්‍රිතව. තව කබරගොයා වගේ සත්ත්ව විශේෂ කඩොලාන ආශ්‍රිතව ජීවත්වෙනවා. 


මම සරසවි සිසුවියක වශයෙන් ඉගෙන ගත් මේ දේවල් ළමයිනුත් ඉගෙනගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. විද්‍යාව ඉගෙනගනිද්දි  කඩොලාන ගැන ඉගෙන ගන්න වෙනවා.  “මෙන්න ළමයිනේ කඩොලාන” කියලා පොතක තියෙන පින්තූරයක් පෙන්නුවට ළමයට කඩොලාන මතක හිටින්නෙ නැහැ. ඒත් කඩොලාන පරිසරයකට ගිහින් කඩොලාන දැකලා  ඉගෙන ගන්න දේවල් ළමයගෙ මතකයෙ සදාකාලිකව රැඳෙනවා.
ඒනිසා  බළපිටියෙ පාසල් දෙකක ළමයි ගෙන්නලා ඒ ළමයින්ට මම කඩොලාන ගැන කියලා දුන්නා. මගෙ ප්‍රයත්නය සාර්ථකයි කියලා දැනගත්තාම බලපිටිය කලාපෙ තව තවත් පාසල්වල ළමයි ගෙන්නගෙන කඩොලාන පාඩම කළා. මේකෙන් ළමයි තේරුම් ගත්තා කඩොලානවල වටිනාකම. පස්සෙ ළමයා මව්පියන් දැනුවත් කරනවා. ඔය විදිහට නිකම්ම කඩොලාන පරිසරය ආරක්ෂා වෙනවා. 


එවගේම ළමයින්ට පැවරුමකුත් දෙනවා. ඒ කඩොලාන ගැන පොතක් හදන්න. ළමයි කඩොලානවල පින්තූර අලවලා චිත්‍ර ඇඳලා විස්තර ලියලා බොහොම ලස්සනට පැවරුම සම්පූර්ණ කරලා තිබ්බා”.

 

කඩොලාන අතරේ...


ක්ෂේත්‍ර අධ්‍යයන කවය බළපිටියේ සිද්ධාර්ථ විදුහලට හඳුන්වා දුන්නේද නිශාන්ති ගුරුතුමියයි. එමගින් ළමයි බොහෝ දෙනෙක් පරිසරයට ඇලු‍ම් කරන්නට පෙලඹුණහ.  එසේම පරිසරය අධ්‍යයනය කරන්නටත් එමගින් පරිසරයේ අපූර්වත්වය ඉගෙන ගැනීමටත් විඳ ගැනීමටත් වරම් ලැබූහ.  එවැනි දරුවන් වාසනාවන්තය, පින්වත්ය.
මේ ගුරුතුමිය විද්‍යා නාට්‍යය රචනයටත් දක්ෂ ය. පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ විවිධ නාට්‍ය තරගවලට නාට්‍ය ලියා දී පුහුණුකර ළමයින් තරගවලට යොමු කිරීම ඇය කළේ සතුටිනි. 
“ඒ හුඟක් නාට්‍යවලට සම්මාන ලැබුණා.”
ඇය කියන්නේ සතුටිනි. “එවගේම මම සිංදු ලියන්නත් දක්ෂයි. ගුරුවරුන් විශ්‍රාම යද්දි සුබ පතන්න වගේම, විශේෂ අමුත්තෙක් පාසලට එනකොට පිළිගන්න සිංදු ලියන්නෙ මම. ජනාධිපති මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මහත්වරු දෙදෙන පිළිගන්නත් මට ගීත ලියන්න හැකිවුණා. ඒවගේම ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයෙ ගීතයත් සිද්ධාර්ථ විදුහලේ සියවස් ගීතයත් රචනා කළේ මම.” 


“විද්‍යාව ඉගෙන ගෙන විද්‍යාව උගන්වන ඔබ කොහොමද කවි, සිංදු, නාට්‍ය ලියන්නෙ?”
මම අසමි..


“ඒක මගෙ සහජ හැකියාවක් වෙන්න ඇති. පෑන අතට ගත්තාම මටත් හොරෙන් ලියවෙනවා. ”
පෑනෙන් දස්කම් පෑම ඇයට විතරක් සීමා කර නොගෙන පාසලේ ළමයින්ටත් පෑන හුරු කරවන්නට ඇයට අවශ්‍ය විය. එහි ප්‍රතිපලය පාසල් සඟරාවක් නිර්මාණය කිරීමය.
“අපි පාසලේ සඟරාව පටන් ගත්තා ‘නැණලූ’ නමින්. ලියන්න දක්ෂතා තියෙන ළමයින්ට කවි කෙටිකතා ලියන්න මේ සඟරාව ඉඩ සැලසුවා. මම සංස්කරණය කළාට පාසලේ සියලු‍ම ළමයින්ට මේ සඟරාව ලියන්න වේදිකාවක් වුණා. මම දැකපු දේ තමයි හැම ළමයෙකුටම ලියන්න පුළුවන්. අඩු ගණනෙ කවියක්වත්. එහෙම ලියන්නෙ තමන්ගෙ හිතේ තියෙන දේවල්.  ඒක එක අතකින් හැඟීම් මුදාහැරීමක්. තවත් අතකින් රටට ජාතියට පණිවිඩයක් දීමක්. කොච්චර වටිනවද ඒ දේවල්”
නිශාන්ති වික්‍රමසිංහ ගුරුතුමිය ගැන මා දැනගත්තේ ඇය විසින් රචනා කරන ලද සන්ධිපාදක භීෂණය නවකතාවෙනි.  එය ඇගේ පළමුවැනි නවකතාව වුවද වෙනස් තේමාවක් ගත් නවකතාවකි. නැතහොත් විද්‍යා ප්‍රබන්ධයකි. 


“මම මේ නවකතාවට පාදක කරගත්තේ සිංහරාජයට, මාදු ගඟට ගිය ක්ෂේත්‍ර චාරිකා කිව්වොත් හරි. ඒ චාරිකාවලදී ලබපු දැනුම වගේම ලබපු විනෝදයත් මට මතක තිබුණා. පොත ලියද්දි ඒ හැම දේම එකතුවෙලා රසවත් ප්‍රබන්ධයක් ලියැවුණා. ඇත්තටම පොත කියවපු පාඨකයො දක්වන ප්‍රතිචාරවලින් මම තේරුම් ගත්තෙ මගේ නවකතාව, පාඨකයාට රසවත් අත්දැකීමක් ලබාදීලා තියෙනවා කියන එකයි.”


ඇගේ නවකතාව පසුගියදා දොරට වැඩියේ  අම්බලන්ගොඩ ඔරෙන්කෝ හෝටල් පරිශ්‍රයේ දී ය. එම උත්සවයට නිශාන්ති වත්මන සේවය කරන අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලය ද ඇතැම් සිසු සිසුවියෝද සහභාගී වූහ. 


“මම දේවානන්දයට ඇවිත් තාම අවුරුදු එක හමාරයි. මේ පාසලේ මම කරන්නෙ පන්තිවලට විද්‍යාව උගන්වන කටයුත්ත විතරයි. කිසිම බාහිර වැඩක් කරන්න විවේකයක් නැති තරම්. ඒවගේම මේ පාසලේ කවුරුවත් දන්නෙ නැහැ මට කවි ලියන්න, නාට්‍ය ලියන්න නවකතා ලියන්න සිංදු ලියන්න පුළුවන් කියලා.  ඒ හැමදේම දැනගත්තෙ මේ නවකතාවෙන්.  ඉතින් ඉස්සරහට මට මේ පාසලෙත් කලා වැඩවලට දායකවෙන්න ලැබෙන්න පුළුවන්”


මෙම ගුරුතුමිය ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ නැණස රූපවාහිනී නාළිකාවට සම්පත් දායකයකු ලෙසද සහභාගී වූවාය. එසේම විද්‍යාවෙන් ඔබ්බට ගිය  වෙනත් දක්ෂතා පළකළ ගුරුවරුනට වෙන්වූ විවිධ වැඩසටහන්වලට ද දායක වී ඇත. 


“සන්ධිපාදක භීෂණයෙන් පස්සෙ අලු‍තින්ම ලියන්නෙ මොනව ද?”
මම ඇගෙන් ඇසීමි.


“සමහර විට තවත් නවකතාවක් ලියවේවි”


ඇය කීවාය. එසේනම් අද ගුරුවරියක වන ඇය ගැන ලියන මට, හෙට දවසේදී නවකතාකාරියක ලෙස ඇය ගැන ලියන්නට ද සිදුවිය හැකි ය.

 

 

■ ශාන්ත කුමාර විතාන