මනුෂ්‍යත්වය අගාධයේ හෙළන ’Cult ’


ජේසුස් වහන්සේ ළඟට යෑමට නම් කුසගින්නේ මියෙන්න යැයි තම අනුගාමිකයින්ට දේශනා කරනු ලැබූ පූජකයෙකු සිදුකළ වින්නැහියකින් කෙන්යානු ජාතිකයින් සිය ගණනක් අකාලයේ මියගොස් ඇත. ඔහුගේ “ශුද්ධ භූමියේදී”‍ ජේසුස් වහන්සේ දැකීමේ අපේක්ෂාවෙන් කුසගින්නේ මියගිය දෙසීයකට අධික පිරිසකගේ මළ සිරුරු මේවන විට ගොඩගෙන ඇති අතර අතුරුදන් වූයේ යැයි වාර්තා වී ඇති තවත් හයසීකට වැඩි පිරිසක් ගැන වැඩිදුර විමර්ශන සිදුවේ. මෙම ජන ඝාතනය සිදු කිරීම ගැන සැකපිට අත්අඩංගුවේ පසුවන පූජකයා නමින් පෝල් මැකෙන්සිය. ඔහු ගැන සඳහන් තොරතුරුවලට අනුව 2003 දී කුඩා පල්ලියක් ආරම්භ කරන තෙක් ඔහු නයිරෝබි හි කුලී රථ රියැදුරෙකු ලෙස සේවය කර ඇත. හදිසියේම ඔහුට “දෙවියන් සමග ඍජුව කටයුතු කිරීමේ බලය”‍ ලැබී ඇති බව කියමින් මිනිසුන් රැවටීමට පටන් ගෙන ඇත. මේ ආකාරයෙන් බලය ලැබුණේ යැයි කියූ මැකෙන්සි යනු එක් පුද්ගලයෙකු පමණි. ලෝකය පුරා බිහි වූ මෙවැනි              පුද්ගලයින් පොදුවේ හැඳින්වෙන්නේ “ටෙලිවැන්ජලිකයින්” නමිනි.


දෙවියන් වහන්සේ සමඟ පෞද්ගලිකව සන්නිවේදනය කළ හැකි බව මැකෙන්සු තම අනුගාමිකයින්ට දේශනා කළේය. මිනිසුන් එය පිළිගත්හ. දෙවියන්ගේ සන්නිවේදකයා වීම සඳහා අවශ්‍ය භාෂා හැකියාව සහ ශාරීරික පෙනුම මැනවින් නඩත්තු කිරීමට ඔහු පරිස්සම් විය. අවස්ථා කිහිපයකදී ඔහුගේ දේශනාවලට එරෙහිව චෝදනා එල්ල වූ නමුත් පිළිගත හැකි සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහු නිදහස් කරන ලදී. කුඩා පල්ලිය ඉතාම කෙටි කාලයක් තුළදී තමන්ගේ ධන නිධානය බවට පත්විය. ඔහුගේ යාඥාවලට පැමිණෙන පිරිස් ඔවුහු සතු දේපල විකුණා “පල්ලියේ සහ පූජකයාගේ”‍ දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කළහ. යහමින් ලැබුණු මුදල් කළමනාකරණය කරනු ලැබූ මැකෙන්සි තම පල්ලිය ව්‍යාප්ත කිරීමට පමණක් නොව කාලාන්තරයක් තිස්සේ සිහිනයක් සේ පැවති දේපළ සහ තම පණිවිඩය සමාජගත කිරීම සඳහා අවශ්‍ය මාධ්‍ය ජාලයන්ද මිලදී ගත්තේය. තම අනුගාමිකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා මෙම ටෙලිවැන්ජලිකයින් නූතන සන්නිවේදන මෙවලම් ඉතා ක්‍රමෝපායිකව භාවිත කරනු ලබයි.


ජීවමාන ජේසුස් වහන්සේ තමන් සමග ජීවත්වන බව දේශනා කොට තමන් සමීපයට පැමිණෙන පුද්ගලයාගේ මොළය ශෝධනය කරන මෙවැනි ටෙලිවැන්ජලිකයින් විශාල පිරිසක් ලෝකය පුරා ජීවත් වෙති. මෙය කතෝලික ආගමට හෝ එහි විවිධ ශාඛා වලට පමණක් සීමා වූ දෙයක් නොවේ. ඉස්ලාම්, හින්දු, බෞද්ධ ඇතුළු ආගම්ද ඉතා අවලස්සන ලෙස අවභාවිත කරන මෙවැනි “ටෙලිවැන්ජලිකයින්”‍ රාශියක් ශ්‍රී ලංකාව ඇතුළු සියලු‍‍ම රටවල ජීවත් වෙති. මෙවැනි පුද්ගලයින්ගේ කටයුතු “ලබ්ධීන්” හෙවත් “කල්ට්” ලෙස හැඳින්වේ. ලබ්ධියක් යනු ඉතාම සූක්ෂ්මව සංවිධානය වූ කණ්ඩායමක් විසින් පොදු සමාජයේ ඉලක්කගත ප්‍රජාවන් තම අභිමතය පරිදි හසුරුවා මුළාවේ හෙළමින් තමන්ගේ මූල්‍යමය වාසිය සඳහා එම ප්‍රජාවන් පාවිච්චි කිරීමේ වැඩපිළිවෙළකි.


දේශීය ජනමාධ්‍යවලද කෙන්යාවේ සිදුවූ එම අපරාධය සහ ඒ හා සමාන සිදුවීම් ගැන ඉතා සුළුවෙන් වාර්තා කරනු ලැබීය. මෙවැනි සිදුවීම් තවකෙකුට පහරදීමට හෝ උසුළු විසුළු කිරීමට භාවිත කිරීම හැරෙන්නට ඒගැන ගැඹුරු සමාජ සංවාද ඇතිවීම ඉතාම විරලය. මන්ද බොහෝ සමාජ ශෝධක ආයතනවල වෙසෙන වගකිවයුතු පිරිස් පටු දේශපාලන අභිලාෂයන් වලට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන පිරිසක් බවට පත්වී සිටිති.


මෙහිදී ඉතාම පරිස්සමෙන් අවබෝධ කරගත යුතු ගැටලු‍‍වක් තිබේ. එනම් තාක්‍ෂණය කෙතරම් දියුණු වුණත් මිනිසා විද්‍යාව වෙනුවට අවිද්‍යාව තෝරා ගැනීමේ වැඩි නැඹුරුවක් ඇත්තේ ඇයිද? යන්නය. අවිද්‍යාව ඇති තැන භීතිය හටගනී. එවැනි මනසක් පහසුවෙන් හැසිරවිය හැකිය. මෙය මෙරට බොහෝ රූපවාහිනී නාළිකාවල දෛනික වැඩසටහන් පෙළගස්වා ඇති ආකාරයෙන් සහ එම වැඩසටහන් බොහෝමයක ඇති නීරස සහ නිෂ්ඵල ස්වභාවය දැකීමෙන් අවබෝධකරගත හැකිය. එසේම කෙසේ හෝ නරඹන්නන් පිරිස වැඩිකර ගැනීම පමණක් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරින වැඩසටහන්ද එහිම දිගුවක් බවට පත්වී තිබේ. මෙවැනි වටපිටාවක් “ලබ්ධීන්” වලට මනා පෝෂණයක් සපයන අතර ඒවා යහමින් වර්ධනය වේ.


ප්‍රකට ඉතිහාසඥයකු සහ ලබ්ධීන් පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය මාර්ක් ජොන්සන් විසින් ලියන ලද “ලබ්ධීන්ගේ ඉතිහාසය: සාතනික නිකායික සිට මැන්සන් පවුල දක්වා”‍ නමැති කෘතිය ඔස්සේ ලබ්ධීන් පිළිබඳ කැපී පෙනෙන උදාහරණ කෙරෙහි අවධානය යොමු කරමින් ඉතිහාසය පුරා ලබ්ධීන් විකාශනය වූ අයුරු ඉදිරිපත් කර ඇත. ලබ්ධීන්ගේ මූලාරම්භය, මතවාදයන් සහ සමාජ බලපෑම පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන කතුවරයා මනස පාලනය කිරීමේ සංකල්පය සහ එය ලබ්ධීන්ගේ ගතිකත්වයට බලපාන්නේ කෙසේද යන්න ගවේෂණය කර ඇත.


මෙහිදී ලබ්ධීන් පිටුපස ඇති මනෝවිද්‍යාව අවබෝධ කර ගැනීම ඔවුන් සතුව ඇති ආකර්ෂණය සහ ඔවුන් භාවිත කරන උපක්‍රම අවබෝධ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. සාර්ථක ලබ්ධියක් සඳහා ඊට නායකත්වය දෙන පුද්ගලයාට විකිණිය හැකි පෙනුමක් තිබිය යුත්තේය. දෙවියන්ගේ හෝ වෙනත් නොපෙනෙන බලවේගයක නියෝජිතයා ලෙස සාමන්‍ය ජනතාවට පෙන්වීම සඳහා එය ඉතා වැදගත්ය. 1970 ගණන්වල ජිම් ජෝන්ස් විසින් මෙහෙයවන ලද මහජන පන්සල ඊට නිදසුනකි. එසේම එය ලබ්ධියක නායකයා සමාජ නොසන්සුන්තාව සහ සාම්ප්‍රදායික ආගමික සංස්ථාවල සිදුවී ඇති සදාචාරත්මක බිඳ වැටීම ආදිය ප්‍රයෝජනයට ගතයුතු අකාරය පැහැදිළි කරන්නේය.


දුර්වල පුද්ගලයන් සහ විවිධ සමාජ කාරණා නිසා හෙම්බත් වූ පුද්ගලයින් ඉලක්ක කර ගැනීමෙන්, ලබ්ධික නායකයන් ඔවුන්ගේ මානසික තත්ත්වය දක්ෂ ලෙස හසුරුවන අතර, යැපීම සහ කණ්ඩායම තුළ සුවිශේෂී පිළිගැනීම පිළිබඳ හැඟීම ඔවුන් තුළ ඇතිකිරීමට සමත් වේ. එය ලබ්ධික නායකයාට තම අනුගාමික පිරිස වැඩිකර ගැනීම සඳහා පහසු වාතාවරණයක් සකස් කරන්නේය. ලබ්ධික හෙවත් කල්ට් නායකයින් සෑම විටම ප්‍රයෝජනයට ගන්නා තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ප්‍රධාන ධාරාවේ සමාජයට පටහැනිව තම විශ්වාස පද්ධති ප්‍රවර්ධනය කිරීමයි. “අපට එදිරිව ඔවුන්”‍ නමැති මානසිකත්වය ඇති කිරීම සඳහා ලබ්ධික නායකයින් සෑම විටම කටයුතු කරයි. වර්තමානයේ ඇතැම් ආගමික සංස්ථා නියෝජනය කරන පිරිස් අනෙකාට වඩා තමන් සුවිශේෂී බවත් සැබෑ ආගම තමන් ළඟ පමණක් ඇති බවත් දේශනා කරති. මෙවැනි භාවිතයන් ලබ්ධීන් මිස සැබෑ මානව විමුක්තිය උදෙසා සිදුවන කටයුතු නොවේ. 1997 දී සමූහ සියදිවි නසා ගැනීමකින් අවසන් වූ ස්වර්ගයේ ගේට්ටුව නමැති ලබ්ධිය මීට කදිම නිදසුනකි.


එසේම ලබ්ධික නායකයින් විසින් තම අනුගාමිකයින් පිරිස වැඩිකර ගැනීම සඳහා ජනප්‍රිය සංස්කෘතීන්, මනෝවිද්‍යාත්මක කොන්දේසි, හුදෙකලා කිරීම්, තම ප්‍රතිවාදීන්ගේ හැඟීම් ඇවිස්සෙන කාරණා, ආදී උපක්‍රම භාවිතය නිරන්තයෙන් දක්නට ලැබේ. ඉතිහාසය පුරා දක්නට ඇති මෙවැනි කටයුතු ඇතැම් අවස්ථාවලදී විශාල ඛේදවාචක හෝ විශාල මූල්‍ය වංචා වලින් අවසන් වී ඇත. එබැවින් මෙවැනි කාරණාවලදී පොදු ජනතාව මෙන්ම ජනමාධ්‍යය ඇතුළු වගකිවයුතු ආයතන සහ පුද්ගලයින් ඉතාම පරිස්සමෙන් කටයුතු කළ යුත්තේය. එසේම මෙවැනි කටයුතු වලදී නීතිය ක්‍රියාත්මක කිරීමද අතිශය දුෂ්කර වෑයමකි. එක්කෝ ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන නැත; එසේත් නොවේ නම් ඒවා බැලු‍‍ බැල්මට සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කටයුතුය. එබැවින් මෙහිදී වැදගත් වන්නේ මෙවැනි කාරණා වල ස්වභාවය තේරුම් ගැනීම සහ ඒවා ගැන අධ්‍යයනය කිරීමය.


මනෝ විශ්ලේෂණය ආදී විෂයන් උසස් අධ්‍යාපනයට පමණක් නොව වැඩිහිටි අධ්‍යාපනික වැඩසටහන් වලට හඳුන්වාදීම වැදගත් වන්නේ මේ නිසාය. මෙම විෂය ගැන ලොව පුරා මනෝවිශ්ලේෂකයින් විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කොට විවිධ ප්‍රකාශන රාශියක් ප්‍රසිද්ධ කොට ඇත. ඉන් දෙදෙනෙකු එනම් කාල් ජුන් සහ ඕල්ඩස් හක්ස්ලි විසින් ඉදිරිපත් කළ අදහස් මෙම ලබ්ධික මනෝභාවය (Cult Psychology) තේරුම් ගැනීම සඳහා වැදගත් වේ.


සිග්මන් ප්‍රොයිඩ්ගේ ගෝලයකු වූ පසුව මතවාදී විෂමතාවක් නිසා ඔහුගෙන් වෙන්වී කටයුතු කළ කාල් ජුන්, සාමූහික අවිඥානය පිළිබඳ සංකල්පය හඳුන්වා දෙමින් එය සෑම පුද්ගලයෙකුගේම මනෝභාවය තුළ පවතින හවුල් මූලකෘතික සංකේත සහ රටා සංචිතයක් ලෙස පෙන්වා දුන්නේය. එසේම ජුන්ග්ගේ මනෝවිද්‍යාත්මක ප්‍රක්ෂේපණ න්‍යාය ඔස්සේ පුද්ගලයන් තමන්ගේ අවිඥානික ආශාවන්, බිය සහ නොවිසඳුණු ගැටලු‍‍ බාහිර චරිත හෝ කණ්ඩායම් මත ප්‍රක්ෂේපණය කරන බව සඳහන් කෙළේය. පුද්ගල මනෝභාවයන්වල ස්වභාවය තේරුම් ගැනීමට සහ ඒවා අභිප්‍රේරණය කිරීම සඳහා මෙම න්‍යායන් වැදගත් වන අතර ලබ්ධීන් වල ඇති ගැඹුරු මනෝභාවයන් තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ. අනෙක් පසින් හක්ස්ලි විසින් පෞද්ගලිකත්වය අහිමිකරන සමූහ චින්තනයේ අන්තරායන්, අද්භූත අත්දැකීම් සහ විඥානයේ වෙනස් කළ අවස්ථා, අාධ්‍යාත්මික පරිවර්තනය සහ ස්වයං අවබෝධය ආදී කාරණා ගැන විශ්ලේෂණය කළේය. එහිදී ඔහු පුද්ගලික දියුණුව සඳහා ස්වයං අවබෝධය සහ අභ්‍යන්තර සත්‍යය (Inner truth) කෙරෙහි අවධානය යොමුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ගෞතම බුදුන් වහන්සේ කාලාම සූත්‍රය ඔස්සේ දේශනා කළ පරම සත්‍යද එය යැයි සිතේ.


මෙහිදී පැහැදිළි වන්නේ ලබ්ධීන් හෙවත් කල්ට් වූ කලී කළු කුහර වැනි දෙයකි. ඒවායෙහි නායකයා විමුක්තියේ ව්‍යාජ පොරොන්දු ලබා දෙමින් පුද්ගලයන් ආකර්ෂණය කරගන්නේය. එය එම පුද්ගලයින් විවේචනාත්මක චින්තනය, ස්වාධීනත්වය සහ ස්වාධීන විනිශ්චයේ ඇති වැදගත්කම මායිම් නොකරමින් නොපෙනෙන ව්‍යාජයක යැපෙන්නන් බවට පත් කරන්නේය. නමුත්, මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨ වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් තමන් අවට සිදුවන දෑ විවේචනාත්මකව විමසා බලා කටයුතු කිරීම මතය. ඒ වෙනුවට ජීවත්වීමට මගක් සොයන්නෙක් මිනිසුන් රැවටීම සඳහා දෙවියන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් සමග ගනුදෙනු කිරීමේ බලය තමන්ට ඇතැයි කියමින් සමස්ත සමාජයක් මුලාවේ හෙළීම මත නොවේ. මනුෂ්‍යත්වයේ මූලික න්‍යාමානයන් කෙලෙසමින් පොදු මිනිස් සමාජය අගාධයේ හෙළන ලබ්ධික උවදුර තේරුම් ගත හැක්කේ සහ ඉන් නිදහස් වීමේ මාර්ගය අවබෝධ වන්නේ එවිටය.

 

■ නිලන්ත ඉලංගමුව