කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමේ අලුත්ම විශිෂ්ට සොයාගැනීමක්!
![]() |
මහාචාර්ය සමීර ආර්. සමරකෝන් |
ශ්‍රී ලංකා භූමියේ වැවෙන ස්වභාවික ශාක තුළින් පිළිකා ඇතුළු අසාධ්‍ය රෝග සඳහා සහනය සලසන රහස් රසායන එළිදරව් කර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් උත්සාහ දරමින් සිටින්නේ දශකයකට පමණ පෙර සිටය. දැන් ඒ කණ්ඩායම තවත් විස්මිත ශාක රසායනයක් එළිදරව් කර ගැනීමට සමත්ව තිබේ. මේ වන විට තමන් පර්යේෂණත්මකව සොයා ගත් දැණුම නව තාක්ෂණය සමග මුසු කරමින් සාමාන්‍ය ජනතාවට හිත සුව සදන එදිනෙදා භාවිතයට පහසු නිෂ්පාදන රැසක් ලෙස උත්පාදනයට මග පෙන්වු අයුරින්ම මේ නව රසායනය ඇසුරෙන් නවතම ඖෂධයක් නිෂ්පාදනයට අවශ්‍ය දැනුම බෙදා දීමට ද මේ අය දැන් සූදානම් ය.
වසර ගණනාවක් තිස්සේ පිළිකා මර්දන පර්යේෂණවල නියැලී සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමීර.ආර්.සමරකෝන් ඇතුළු පර්යේෂක පිරිස මේ නව ඔසුව පිළිබඳ හෝඩුවාව මතුකර ගැනීමට සමත් වු විශිෂ්ටයින් ය. මෙවර ඔවුන් ගේ අධ්‍යයනයට ලක් වු විස්මිත ගුණ රැඳි ශාකය වන්නේ අපේ ගෙවතු අලංකරණයට වගා කරන සහ නිදහස් පරිසරයේ ස්වභාවික මල් ගසක් ලෙස ද දක්නට ලැබෙන මොනරමල්, Caesalpinia pulcherrima (L.) Swartz ශාකයයි.
දේශිය ඖෂධ දැනුම් පද්ධතිය තුළ ද විශේෂ ගුණ ඇති ශාකයක් ලෙස සැලකෙන නිසාම මේ ශාකය සිය පර්යේෂණ සඳහා යොදා ගත් බව මහාචාර්ය සමරකෝන් “ඉරිදා ලංකාදීප” ය සමග කතා බහට එක්වෙමින් පැවැසීය.
පිළිකාව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවකි. එහි රෝගීන් සහ මරණ අනුපාතිකය දිනෙන් දිනම ඉහළ යමින් පවතී.ආසන්නතම වාර්තාවන්ට අනුව 2022 දී,ලොව පුරා මිලියන 20 කට ආසන්න පිරිසකට පිළිකා ඇති බව හඳුනා ගෙන ඇති අතර, එය ගෝලීය වශයෙන් මරණයන්ට වග කිවයුතු දෙවැනි ප්‍රධාන හේතුව වූ බව කියයි. එම වසරේම පිළිකා මරණ මිලියන 9.7 ක් ඇස්තමේන්තු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ද පිළිකාව රෝගාබාධ සහ මරණ අනුපාත දෙකටම සැලකිය යුතු දායකත්වයක් සපයයි. 2022 දී මෙරට නව පිළිකා රෝගීන් 33,243 ක් වාර්තා වූ අතර,එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 100,000 කට 106.9 ක වයස් ප්‍රමිතිගත රෝගී අනුපාතයක් ඇති විය. එම වසරේම මරණ 19145 ක් වූ අතර වයස් ප්‍රමිතිගත මරණ අනුපාතය 59.0 කි.
ජාතික පිළිකා පාලන වැඩසටහන (NCCP) , ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 75 ට පෙර පිළිකා වැලඳීමේ සමුච්චිත අවදානම පිරිමින් සඳහා සියයට 11.9 ක් සහ කාන්තාවන් සඳහා සියයට 11.2 ක් වන අතර, වයස අවුරුදු 75 ට පෙර පිළිකා වෙන් මිය යාමේ සමුච්චිත අවදානම පිරිමින් සඳහා සියයට7.5 ක් සහ කාන්තාවන් සඳහා සියයට 5.9 ක් වන අතර, එය ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් ගේ ජීවිත කාලය තුළ පිළිකාවට ගොදුරු විය හැකි බව පෙන්නුම් කරයි.
මොනර මල් විශේෂයක්
2050 වන විට ලෝකයේ නව පිළිකා රෝගීන්ගේ සියයට77 ක වැඩිවීමක් අපේක්ෂා කරන අතර, විශාලතම වැඩිවීම, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇත. තවත් 2021 පර්යේෂණ වාර්තාවක් අනුව පසුගිය වසර 25 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත පිළිකා වාර්තා විම දෙගුණ වී ඇත. පිළිකා ආශ්රිත මරණ අනුපාතය ද එයට සමාන්තරව ඉහළ ගොස් ඇත.
මේ අනුව මේ රෝගය සම්බන්ධ ඉදිරි අවදානම ඉහළය.මේ නිසාම ලෝකය පුරා පිළිකා මර්දන හැකියාව සහිත ඖෂධ සෙවීමේ තරගය ඉහළය. එවන් ඖෂධයක් සඳහා ඇති ඉල්ලුම ද ඉහළය. මහාචාර්ය සමීර. ආර්. සමරකෝන් ඇතුළු පිරිස සිය පර්යේෂණයට අත ගසන්නේ මෙබඳු වට පිටාවකය. එසේම ඔවුන් සතුව මෙවන් සුවිශේෂි ඖෂධ හඳුනාගැනීම පිළිබඳ විශිෂ්ට අතීතයක් ඇති අතර, ඒ සොයා ගැනීම් බොහෝමයක් දැන් ගුණ සාර බෙහෙත් හැටිය වෙළෙඳපොළට ද පැමිණ හමාරය. ඉතා මෑතක දී ඔවුන් ගේ පර්යේෂණ ප්රයත්නයන් ගේ ප්‍රතිඵල ඇසුරෙන් එළිදැක්වු පෝෂණීය කැප්සියුලය පිළිකා ප්‍රාථමික සෛල පාලනය කිරීමට සහ ඉවත් කිරීමට උපකාරී වන පිළිකා නාශක ගුණයන් ගෙන් සමන්විත වන අතර, එය සොබා දහමේ රහස් සෑම කෙනෙකුට ම ජීවිතයේ හොඳම දේ භුක්ති විඳීමට උපකාර වන අයුරින් ප්‍රතිනිර්මාණය කළ ආකාරයට කදිම නිදසුනකි.
මහාචාර්ය සමීර.ආර්.සමරකෝන් කියන ආකාරයට ඔවුන් ගේ මොණර මල් ශාකය ආශ්රිත පිලිකා නාශක ගුණ සහිත රසායන සෙවීමේ නවතම පර්යේෂණය මගින් ද විවිධ පිළිකා සෛල වර්ග රැසක් නැසීමට සමත් ශාක රසායන වෙන්කරගැනීමට පමණක් නොව, ඒවායේ සඵල භාවිතය පිලිබඳ කළ මූලික සායනික පර්යේෂණයන් ද සාර්ථක වී ඇත.මේ රසායන මිනිස් භාවිතයට සුදුසු සේ සකස් කර ලබාදීම සඳහා ඖෂධ නිෂ්පාදන සමාගම් සමගද මූලික සාකච්ඡා සිදුකර හමාරය.ඒ අනුව මේ සොයා ගැනීම විශ්වවිද්‍යාලයේ ඉදිරි පර්යේෂණ වලට මෙන්ම රටේ ආර්ථිකයට ද විශාල තල්ලුවක් ලබාදෙන්නකි.
මොනර මල් යනු කුඩා ගසකි. පර්යේෂනයට යොදා ගත් විශේෂය වන සීසල්පීනියා පුල්චෙරිමා(L.) ස්වාර්ට්ස් Caesalpinia pulcherrima (L.) Swartz යනු ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකාවේ ආරම්භ වූ විශේෂයක් වන අතර, එය ලොව පුරා බහුලව ව්‍යාප්ත වේ. එය මුල් කාලයේ දී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ගෙවතු වල බහුලව දක්නට ලැබෙන අතර සමහර විට පරිසරයට ආගන්තුකව එක්වු සහ ස්වභාවිකකරණයට ලක්වු මේ ශාක මාර්ග දෙපස සහ ලඳු කැලෑ බිම්වල පවා බහුලව දක්නට හැකිය.
මොනර මල්, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී ද විවිධ ඖෂධීය භාවිතයන් සඳහා යොදාගන ඇත. උණ, දැවිල්ල, වණ සහ පාචනය සහ අතීසාරය වැනි ආහාර ජීර්ණ ගැටලු ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා එය භාවිතා කර ඇත. මුල්, පොතු, කොළ සහ මල් ඇතුළු ශාකයේ කොටස්, ඖෂධීය අරමුණු සඳහා කසාය හෝ කහට සෑදීමට යොදා ගනී.
ශාකය තුළ රසායනික සංඝටක රැසකි. ශාකයේ ඖෂධීය ගුණාංග සඳහා දායක වන ෆ්ලේවනොයිඩ්, ග්ලයිකෝසයිඩ්, ඇල්කලෝයිඩ්, ටර්පෙනොයිඩ් සහ ස්ටෙරෝල් වැනි විවිධ ජෛව ක්‍රියාකාරී සංයෝග මෙහි අඩංගු වේ. ටැනින්, ග්ලයිකෝසයිඩ්, ෆ්ලේවනොයිඩ් සහ ඩයිටර්පීන් වැනි ද්විතියික ඖෂධීය පරිවෘත්තීය ද්‍රව්‍ය තිබීම හේතුවෙන් මෙම ශාකය වැදගත් ජීව විද්‍යාත්මක ගුණාංග ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දි, මොනර මල් - බ්රොන්කයිටිස්, ඇදුම, ආසාදන, තුවාල සහ ඇස් දැවිල්ල වැනි විවිධ රෝග සඳහා ද භාවිතා කරයි. එසේම විවිධ රටවල මෙම ශාකයේ කොටස්වල නිශ්චිත ඖෂධීය භාවිතයන් දක්නට හැකිය. නිදසුනක් ලෙස ඉන්දුනීසියාවේ මෙහි මුල්: ළමුන් තුළ ඇතිවන කැක්කුම් සඳහා ප්‍රතිකාර කිරීමට සහ විරේචකයක් ලෙස භාවිතා කරයි. පොත්ත: පාචනය සඳහා ප්‍රතිකාර කිරීමට සහ ගබ්සා නාශකයක් ලෙස භාවිතා කරයි.කොළ: විරේචකයක් ලෙස, ගබ්සාවක් ඇති කිරීමට සහ උණ සහ බඩවැල් ගැටලු සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කරයි. මල්: බඩවැල් පණුවන්, කැස්ස, බ්රොන්කයිටිස් සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. ඒවා උණ නාශකයක් සහ සුඩෝරිෆික් (දහඩිය දැමීම ඇති කිරීමට) ලෙසද භාවිත කරයි.
කරල්
වෙනත් සාම්ප්‍රදායික භාවිතයන් අතර මුඛය සේදීම සඳහා: ශාක කොටස් කසාය හෝ කහට, දත් හෝ විදුරුමස් සඳහා මුඛ සේදීමක් ලෙස භාවිතා කළ හැක. සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා පිළියමක්: සාම්ප්‍රදායික පිළියම් අතරට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ශාකය භාවිත කිරීම ඇතුළත් වේ. ගබ්සා නාශකය: මේ ශාකය ගබ්සා නාශකයක් ලෙස භාවිතා කිරීමේ ඉතිහාසයක් ඇත, නමුත් ප්‍රවේශම් වීම උපදෙස් දෙනු ලැබේ ප්‍රති-ප්‍රදාහ සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග:ක්. C. pulcherrima කොළවල ප්‍රති-ගිනි අවුළුවන සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග ඇති බව විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.
පෙර සිදුකල අධ්‍යයනයක අරමුණ වූයේ ශාක රසායනික හෙවත් ෆයිටොකෙමිකල් පරීක්ෂාවක් සිදු කිරීම සහ සී. පුල්චෙරිමා කොළවල සේලයින් සාරය ක්ෂුද්‍ර ජීවීන්ට සහ සත්ත්ව සෛලවලට එරෙහිව ඇති ජීව විද්‍යාත්මක ගුණාංග ඇගයීමයි. ප්‍රතිඵලවලින් පෙනී ගියේ සාරයේ බහුතර සංයෝග 15 ක් සොයාගත හැකි බවයි. සී.පුල්චෙරිමා කොළවල සේලයින් සාරය ප්‍රතිඔක්සිකාරක පරීක්ෂණයේ දී ද හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළ අතර කැන්ඩීඩා වික්‍රියා වලට එරෙහිව සැලකිය යුතු දිලීර නාශක ගුණයක් ද පෙන්නුම් කර ඇත. එපමණක් නොව, සේලයින් සාරය මීයන් ගේ ස්ප්ලේනොසයිට් වලට (ස්ප්ලෙනොසයිට් යනු ප්ලීහාවේ දක්නට ලැබෙන ප්‍රතිශක්තිකරණ සෛල වේ.) එරෙහිව විස සහිත හෙවත් සයිටොටොක්සිසිටි බවක් පෙන්නුම් නොකළ අතර, මෙම සෛලවල ප්‍රගුණනය ප්‍රවර්ධනය කළේය. මෙම ප්‍රතිඵල cicatricial සහin vitro immunostimulant පරීක්ෂණ වලදී භාවිතා කරන ඖෂධීය ෆයිටෝතෙරපි සූත්රගත කිරීමක සෛල උත්තේජක කාරකයක් ලෙස C. pulcherrima කොළ වලින් ගත් සාරය භාවිත කළ හැකි බව පුරෝකථනය කර ඇත.
මේ නිසාම මහාචාර්ය සමීර.ආර්.සමරකෝන් ඇතුළු පිරිසට මොණර මල් ස්වභාවික ගුණය සම්බන්ධව පුර්ව විශ්වාසයක් තිබූ අතර, පසුව ඔවුන්ගේ පර්යේෂණ මගින් ද එය මනාව සනාථ වි ඇත.දැන් නිශ්චිත ප්රතිඵලදායී ඖෂධයක් නිෂ්පාදනය කර බෙදා හැරිමට හැකි මට්ටමට කරුණු කාරණා ඔවුන් සපුරා හමාරය.මේ නිසා ඉතා ඉක්මනින්ම මේ ඖෂධය අප හමුවට පැමිණෙන බවට වූ සුබ ආරංචිය “ඉරිදා ලංකාදීප” පාඨක ඔබ වෙත ලබා දීමට අපට හැකිව ඇත.
නිශා තල්වත්ත