මගේ දියුණුවේ රහස කැපවීමයි


පියදාස රත්නසිංහ 

මෙරට ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවීණයකු වෙන පියදාස රත්නසිංහ, ක්ෂේත්‍රයේ බහුල අත්දැකීම් ඇත්තෙකි. ඔහුගේ දිගු කාලීන ජීවිත අත්දැකීම්වලින් බිඳක් අප හා බෙදාගැනීමට  පියදාස රත්නසිංහ මෙසේ එක්විය.


?කොහොමද ඔබට ටී.වී., රේඩියෝ පැත්තට එන්න පාර කැපෙන්නෙ...?


අපේ ගෙවල් නුවර ඉඳල සැතපුම් තිස්හයක් විතර ඈත නකල්ස් කඳු පාමුල බද්දෙගම කියන ගමේ. අපි ගමේ දුවපැනල සෙල්ලම් කරපු ලස්සන ළමා කාලයක් ගෙවපු අය. අපිට ඒ කාලෙ අහන්න රේඩියෝ එකක්වත් තිබුණෙ නෑ. මුලින්ම ඉස්කෝලේ ගියෙ ගමේ පාසලට. අත්කොට කමිසෙයි සරමයි තමයි ඇන්දෙ ඉස්කෝලෙට. ගමේ පංසලේ පංතියකට යන්න හම්බවුණා මට පොඩි කාලෙම. භාෂාව දියුණු කරගන්න එතනින් ලොකු උදව්වක් ලැබුණ. ඔය අතරෙ මම ගම්පහ පිරිවෙනකට එනව ඉගෙනගන්න. ගමේ ඉස්කෝලෙට ආපු සර් කෙනෙක් හරහා තමයි ඒ අවස්ථාව මට ලැබෙන්නෙ. ඒකෙදි සාමාන්‍ය පෙළ පළවෙනි පාරින්ම පාස් වුණා. ඊට පස්සෙ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉගෙන ගන්නව. ඒකත් පළවෙනි පාරින්ම පාස්වෙලා විද්‍යෝදය විශ්වවිද්‍යාලෙට එන්න අවස්ථාව ලැබුණ. අපේ ගමේ මුලින්ම විශ්වවිද්‍යාලයකට ගියෙ මම. ඒකට ගමේ අය එකතුවෙලා උපහාරයකුත් කෙරුව මට.


?කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ..?


ඒක වෙනම අත්දැකීමක් ඉතිං. එතකොට විද්‍යෝදය අලු‍තෙන්ම පටන්ගත්ත විතරයි. අපේ ජීවිත වෙනස් කරන්න විශ්වවිද්‍යාල කාලය හේතු වුණා. සෝමවීර සේනානායකල අපි එක බැච් එකේ හිටියෙ. අද විවිධ තැන්වල වැඩ කරන ගොඩක් අය හිටියා අපි එක්ක. අපි ඉතිහාසය තමයි විශේෂයෙන් තොරගත්ත විශය වුණෙ. ඔය අතරෙ අපි කැම්පස් එකේ නාට්‍ය සංගමයක් පටන්ගත්ත. රටේ විවිධ පළාත්වලට ගිහින් නොයෙකුත් පර්‌‌යේෂණ කෙරුව. ඔය අතරෙ පත්තරවලටත් පොඩි පොඩි දේවල් ලිව්ව.


?විශ්වවිද්‍යාල ජීවිතෙන් පස්සෙ මොකද වෙන්නෙ එතකොට...


විශ්වවිද්‍යාලයෙදිම තමයි මගෙ බිරිඳ මට හම්බවෙන්නෙ. ඒක සරසවි ප්‍රේමයක්. එයා ලේඛිකාවක්. පියසීලි ගූණසිංහ. කැම්පස් අවුට්වෙලා එයා ගුරු විද්‍යාලයට ගියා උගන්නන්න. මම කලින් ඉගෙනගත්ත පිරිවෙනේ ගුරුවරයෙක් විදියට උගන්නන්න ගියා.


ඔය අතරෙ පත්තරේ දැන්වීමක් දාල තිබුණ ගුවන්විදුලි සංස්ථාවෙ වැඩසටහන් සම්බන්ධ තනතුරකට. මම ඒකට ඉල්ලු‍ම් කෙරුව. දවසක් ඒකට සම්මුඛ පරීක්ෂණයට එන්න කියල කැඳවීමක් ලැබුණ. මමත් එක්ක ඒ සම්මුඛ පරීක්ෂණයට හිටිය තිලක් ජයරත්නයි, දයා තෙන්නකෝන් දෙන්නත්. ඉන්ටර්වීව් එක කෙරුවෙ සුදු මහත්තුරු දෙන්නෙක් එක්ක නෙවිල් ජයවීර මහත්තය. ප්‍රශ්න ගණනාවක් අහල දන්වල එවන්නම් කියල කිව්ව. ඊට දවස් කීපයකට පස්සෙ මම ඒ තනතුරට තෝරගත්ත කියල ටෙලිග්‍රෑම් එකක් ආව. කියපු දවසෙ ගිහින් වැඩ බාරගත්ත. මාස තුනක විතර ගුවන්විදුලි වැඩසටහන් පිළිබඳ පුහුණුවක් අපිට මුලින්ම ලබා දුන්න. ඒක ලොකු අත්දැකීමක් වුණා ගුවන්විදුලිය ගැන මූලික අවබෝධයක් ලබාගන්න.


?ගුවන්විදුලියෙ අමතක නොවන සිද්ධි එහෙම ඇති නේද....?


අපෝ ඕනැ තරම් දේවල් තියෙනව. ඒ කාලෙ ඉතිං තරුණ වයසත් එක්ක ඕනැ අභියෝගයක් බාරගන්නවනෙ. කිසි දේකට පස්ස ගහන්නෙ නෑ. නවසිය හැට නවයෙ ජුලි විසිඑක්වෙනිද හඳ ගමන ගැන එච්.එම්. ගුණසේකරයි, එඩ්වින් ආරියදාසයි වැඩසටහනක් කරන්න සූදානම් වුණා. ඒක සජීවී විකාශයක්. ඒකෙ ක්‍රියාකාරී සහායක විදිහට වැඩ කරන්න මට ලැබුණ. ඒක තමයි මම ගුවන්විදුලියෙ සම්බන්ධ වෙච්ච පළවැනි වැඩසටහන. ඒක මට අමතක වෙන්නෙ නෑ. අපිට වැඩ කරන්න හම්බවුණෙ ගුවන්විදුලියෙ ලොකු ලොකු චරිත එක්ක. සුගතපාල ද සිල්වා, මඩවල රත්නායක වගේ අය ඇසුරෙන් අපට ගොඩක් දේවල් ඉගෙනගන්න හම්බවුණා.


ටික දවසකින් අපි ගුවන්විදුලියෙ සේවයෙ ස්ථිර කළා. ඊට පස්සෙ මටයි දයා තෙන්නකෝන්ටයි අධ්‍යාපන සේවයේ උසස්වීම් ලැබුණ. අධ්‍යාපන සේවයේ ලොකු වෙනසක් කරන්න අපි උත්සාහ ගත්ත. විවිධ දේවල් අලු‍තෙන් හඳුන්වල දුන්න. ඔය අතරෙ අධ්‍යාපන සේවයේ පුහුණුවකට මට ඕස්ට්‍රේලියාවට යන්න අවස්ථාව ලබා දුන්න ගුවන්විදුලියෙන්. ඒක මගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. මාස පහක විතර පුහුණුවක් ඒක. ඒ කාලය ඇතුළෙ ඕස්ට්‍රේලියාවෙ ගොඩක් තැන්වලට ගිහින් බොහෝ දේවල් ඉගෙනගන්න හම්බවුණා. ඊට පස්සෙ නවසිය හැත්තෑහයේ ටෙහෙරාන්වල රේඩියෝ ටී.වී දෙකටම වර්ක්ෂොප් එකක් තිබුණ. ඒකට ඒගොල්ලන්ගෙන්ම මට ආරාධනාවක් ආවා ඒකට සහභාගි වෙන්න කියල.
ඔය අතරෙ ආණ්ඩු මාරුවුණා. පාලකයො මාරුවුණා. ගුවන්විදුලියෙත් පුටු මාරුවුණා. විවිධ අය ආව ගියා. ඔය අතරෙ ආපු රිජ්වේ තිලකරත්න මහත්තය මගේ වැඩ ගැන පැහැදිල මට පළවැනි සේවයට ඇවිත්  ළමා වැඩසටහන් පැත්ත බලන්න කියල ආරාධනා කෙරුව. මම කිව්ව මම අධ්‍යාපන සේවයෙ ඉන්න අතරෙ පිටින් ඉඳගෙන ළමා වැඩසටහන්වලට උදව් කරන්නම් කියල. එහෙම කරන්න පටන්ගත්ත වැඩසටහනක් තමයි ගුරුකුලය කියන්නේ. මම ඒක අවුරුදු එකොළහක් කෙරුව. ගොඩක් ලේඛක ලේඛිකාවො ගුරුකුලේට තමයි මුලින්ම ලිව්වෙ. රත්න ශ්‍රී විජේසිංහ මුලින්ම කවියක් ලිව්වෙ ගුරුකුලේට. එහෙම තව ගොඩක් අය හිටිය. ගුරුකුලේ වැඩසටහන් ඉදිරිපත් කරන්නත් කට්ටිය ආව. එහෙම ආපු කෙනෙක් තමයි සමන් අතාවුදහෙට්ටි. සමන් ඒ කාලෙ ඉඳලම ගුවන්විදුලියෙ දක්ෂයෙක්. 


?අපේ රටට රූපවාහිනිය පැමිණීම විශේෂ අවස්ථාවක්නෙ. ඔබතුමා එතකොට ටෙලිවිෂන් පැත්තට මාරු වෙන්නෙ කොයි කාලෙද....


රූපවාහිනිය ලංකාවට එනව කියන ආරංචිය එක්ක අපිට ඒකට සූදානම් වෙන්න සිද්ධවුණා. අධ්‍යාපන සේවයට ඒකෙ වැඩි බරක් කරගහන්න වුණා. රූපවාහිනි වැඩ ගැන පුහුණුවීම්වලට සම්බන්ධ වෙන්න අපිට ලැබුණ. මම ගුවන්විදුලිය ගැන විදේශීය පුහුණුවීම් ලබපු නිසා මේකට මට යන්නම වුණා. එහෙම තෝරාගත් පිරිසක් ජපානෙට යවල පුහුණුවක් දෙන්න සැලසුම් කරල අපිව ජපානෙට යැව්ව. රූපවාහිනිය ආවට පස්සෙ ඒකට ප්‍රධානිය විදිහට එම්.ජේ. පෙරේරා මහත්තය පත්වෙලා ආව. එතුම එනකොට ඉන්න පුටුවක් තිබුණෙවත් නෑ. මම තමයි ගුවන්විදුලියෙන් විදේශීය උපදේශකවරු පාවිච්චි කරපු මේසයකුයි පුටුවකුයි ගෙනත් දුන්නේ.


?ගුවන්විදුලියට වඩා මැජික් එකක්නෙ රූපවාහිනිය. ඒකෙත් හොඳ හොඳ අත්දැකීම් ඇති නේද...?


ඔව්. රූපවාහිනියෙත් අත්දැකීම් රාශියක් තියෙනව. අපි ඉතාම අඩු පහසුකම්, අඩු තාක්ෂණය යටතේ තමයි මුල් කාලෙ වැඩ කෙරුවෙ. සෑහෙන අභියෝග ආව අපිට වැඩ කරද්දී. බාහිර වැඩසටහන් කරන්න එළියට ගියහම දුෂ්කරතා ගොඩකට මුහුණ දෙන්න වෙනව. අපි ඉවෙන් වගේ තමයි ආරම්භයේදී වැඩ කෙරුවෙ.


එතකොට ජේ.ආර්. ජයවර්ධනගෙ ආණ්ඩුවනෙ තිබුණෙ. ඒ ආණ්ඩුවෙන් කෙරුව මහනුවර ලොකු ප්‍රදර්ශනයක්. ඒකට විවිධ ප්‍රදර්ශන කුටි එකතු කරල තිබුණ. රූපවාහිනියටත් ප්‍රදර්ශන කුටියක් හම්බවුණා. හැබැයි ඒක කොහොමද කරන්නේ කියල අදහසක් තිබුණෙ නෑ කාටවත්. එතකොටත් මාව ගුවන්විදුලියෙන් නිදහස් කරල තිබුණෙ නෑ රූපවාහිනියෙ වැඩ කරන්න. ධම්ම ජාගොඩල එහෙම ඒ වෙද්දී නිදහස් කරල එයාල රූපවාහිනියෙ වැඩ. කොහොමහරි මට කතා කරල ඇහුව මහනුවර ප්‍රදර්ශනයේ රූපවාහිනියෙ කුටිය හදන්න පුළුවන් ද කියල. මම එතකොට රූපවාහිනියෙ ස්ථිර සේවකයෙක් නොවන නිසා මම ඒක එකපාරට බාරගත්තෙ නෑ. අන්තිමට එම්.ජේ. පෙරේරා මහත්තයම මාව නිදහස් කරවල ප්‍රදර්ශන කුටිය බලන්න කියල යැව්ව. මම යනකොට දවසයි කුටිය හදන්න වෙලාව තිබුණෙ. කොහොමහරි අපි ගිය කට්ටිය එකතුවෙලා ඉක්මනට කුටිය හැදුව. දන්න ශිල්ප දාල අපි වැඩේ කෙරුව. පහුවදා දවල් එම්.ජේ. පෙරේරා ඇවිත් බලල පුදුම වුණා කුටිය දැකල. ප්‍රදර්ශනය ආරම්භ කරල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් ප්‍රදර්ශන කුටිය බලන්න ඇවිත් සංතෝස වුණා ඒකෙ තිබුණ නිර්මාණාත්මක බව දැකල. මාත් එක්ක ගිය රොහාන් පෙරේරා තමයි ඒක ඩිසයින් කළේ. පස්සෙ රොහාන් රූපවාහිනියෙ ඉංජිනේරු අංශයෙ ලොක්ක වුණා. පරණ සුරුට්⁣ටු පෙට්ටියකින් හදාගත්ත ට්‍රාන්ස්මීටරේකින් තමයි රොහාන් ඒ වැඩේ කෙරුවෙ. කැමරාවෙන් ගන්න විෂුවල් ඒක හරහා කුටියෙ ඩිස්ප්ලේ වෙන විදිහට තමයි හැදුවෙ. ඒක කාටත් පුදුමයක් වුණා ඒ කාලෙ. එහෙම තමයි ඒ කාලෙ අපි වැඩ කෙරුවෙ.


ඒ වැඩ ඔක්කොම ඉවරවෙලා කොළඹ ඇවිත් එම්.ජේ. පෙරේරා මහත්තය හම්බවෙන්න කියල මට කිව්ව. ඒත් මට තිබුණ වැඩ එක්ක ඒක අමතක වුණා. පස්සෙ එතුමම මාව හොයාගෙන ඇවිත් මාව රූපවාහිනියෙ තනතුරකට පත්කෙරුව. මට හම්බවුණෙ සහකාර අධ්‍යක්ෂ වැඩසටහන් සැලසුම් සහ ඉදිරිපත්කිරීම් කියන තනතුර. ඒක අලු‍තෙන්ම හදපු තනතුරක්. මම තමයි රූපවාහිනියෙ පළවෙනි සහකාර අධ්‍යක්ෂවරයා. එතන ඉඳල මම ධම්ම ජාගොඩල එක්ක එකතුවෙලා රූපවාහිනී වැඩසටහන් සැලසුම් හැදුව. සම්පූර්ණ ‘ප්‍රොසෙස්’ එක හදන්න වුණා අපිට.


අපි විකාශන කාලය දීර්ඝ කරල සතිඅන්තෙ උදේ වැඩසටහන් ඉදිරිපත් කළා. මම යෝජනා කරල සැලසුම් කරපු වැඩසටහන තමයි ‘ආයුබෝවන්’ කියල කෙරුවෙ. ඒක ඉතාම ජනප්‍රිය වුණා. ඒකට විවිධ විශේෂාංග එකතු කෙරුව. පළවෙනි වතාවට ප්‍රේමකීර්ති ද අල්විස් ආයුබෝවන් එකේ වැඩසටහන් ඉදිරිපත් කරන්න මම ගෙනාව. අබේවර්ධන බාලසූරිය, ප්‍රේමකීර්තිගෙ ඇස් දෙක විතරක් පෙන්නල කරපු අඳුන වැඩසටහන. හැබැයි මම ප්‍රේමකීර්ති වැඩසටහන් ඉදිරිපත් කරන්න දැම්ම.


තවත්‍් රසබර කතාබහක් ලබන සතියට.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි