බුදුන් සොයා යෑම


ඇතැම් ජන කණ්ඩායම් බුදුදහම ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන්නේ යැයි කියන අතර ඔවුහු බොහෝ දෙනෙකු ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරති. ඇතැමෙකු තම දේශපාලන සම්බන්ධකම් සහ තම ප්‍රතාපවත් බව පෙන්වීම සඳහා හැකි තරම් භෞතික සම්පත් ඒකරාශී කරන අතර තවකෙකු  විවිධ  මාධ්‍ය මෙවලම් ඔස්සේ  භාෂාවේ ඇති නීරසම වචන භාවිතයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින බව කියති. මේ අතර තවත් කණ්ඩායමක් බුදු දහම මූලික කරගෙන ලියා ඇති සිදුවීම් සමච්චලයට ලක් කරමින් තම අවබෝධයේ තරම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට උත්සාහ කරති. ධර්ම කරුණු ප්‍රහසන බවට පත් වූයේ අද ඊයෙක නොවේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ රාජ්‍යයන්වල මෙම ප්‍රවණතාව දැකිය හැකි අතර බුදු දහම පමණක් නොව අනෙකුත් බොහෝ ආගම්ද මෙම තත්ත්වයට මුහුණ දී ඇත.  


යම් කිසි ගැඹුරු දර්ශනයක් අනුගමනය කිරීම ඉතාම භාරදූර කාර්යයකි. එහෙත් එය පෙනෙන හෝ නොපෙනන තර්ජන වලින් ආරක්ෂා කිරීමට බැඳී සිටින්නේ යැයි ඝෝර නාඩු කියමින් සමාජ අවධානය ලබා ගැනීම හෝ යම්කිසි දහමක් වටා ගෙතුණු සිදුවීම් විවේචනය කොට ඒවා සමච්ච්ලයට ලක් කිරීම පහසු කටයුත්තක් පමණක් නොව එය ඉතා කෙටි කාලයකදී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සඳහා ඍජුව හෝ වක්‍රව භාවිතා කළ හැකි ජීවන රටාවකි. මේවා විවිධ කණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ භාවිතා කරනු ලැබූ වෙළෙඳ උපක්‍රම වේ.  


මෙහිදී වැදගත් ​වෙන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ කෙසේද? ධර්මයේ කරුණු තමන්ගේ ජීවිතයට ගළපාගන්නේ කෙසේද? යන්නය. එය තමන්ගේ දැනුම සහ හෘදයසාක්ෂිය පිළිබඳ කාරණයකි. ධර්මය ආරක්ෂා කළ හැක්කේ එය   අනුගමනය කිරීමෙනි. ධර්මය පිළිපදින්නා ධර්ම කරුණු නිරායාසයෙන්ම සමාජයේ අනෙකුත් අයට බෙදාහරින පුද්ගලයා වන්නේය. බුද්ධ ධර්මය ලෝකයට හඳුන්වා දුන් ගෞතම බුදුන් වහන්සේගේ අවසන් ඉල්ලීම වූයේද එයයි. ධර්මය මිනිසාට  වැදගත් ​වෙන්නේ එය භාවිතා කිරීම තුළ මිස එහි කරුණු විකෘති කරමින් තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අවභාවිත කිරීම මත නොවේ. මෙය සරල සත්‍යයයි.


මෙම ලිපියෙන් මා මූලික වශයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ, පෙරදිග බොහෝ රටවල් ධර්මය අවභාවිත කරන විට බටහිර විද්‍යාව තුළ බුදුදහම නිසා ඇති වූ විප්ලවීය ප්‍රගතිය ගැනය. බටහිර  බුද්ධිමතුන්  බුදුදහම ගැන අධ්‍යයනය කිරීමෙන් මිනිස් ඉන්ද්‍රීයන් වල ඇතිවන අතිශය ගැඹුරු  වෙනස්වීම් ගැන තම දැනුම අවබෝධ කර ගැනීමට සමත්වූහ. පළමුව කලාවක් ලෙස බුදුදහමේ ඇතැම් මූලික කරණු බටහිරට සේන්දු වුවද, ඉන් පසු එහි ඇති ගැඹුරු සත්‍යය බටහිර විද්‍යාව අමන්දාන්නදයට පත් කරනු ලැබීය.
මහා ඇලෙක්සැන්ඩර්  ආසියාව ආක්‍රමණය කිරීමට බොහෝ කාලයකට පෙර ග්‍රීක කලාකරුවෝ සහ මූර්ති ශිල්පීහු මිනිස් රුව ගල් මත සහ ලෝහ මත නිර්මාණය කළෝය. ඒවා තම ඇදහීම් සඳහා භාවිතා කළෝය. එහෙත් ගෞතම බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් වසර හාරසීයක් පමණ වන තෙක්  බුදුන් වහන්සේ හැඳින්වීම සඳහා පා සටහන්, හිස් සිංහාසන, නෙලු‍ම් මල්, ධර්ම චක්‍රය, වැනි සංඛේත පමණක් භාවිතා කරනු ලැබුහ. උන් වහන්සේගේ රුව යැයි අනුමාන කළ කිසිවක් නිර්මාණය නොකොට උන්වහන්සේගේ ධර්මයට මූලික තැන ලබා දීමට බෞද්ධ ප්‍රජාවන් පරිස්සම් වූහ.  බුද්ධ ධර්මයේ උගන්වන හිස්බව සහ බැඳීම්වලින් නිදහස් වීම මෙම සංකේත වලින් පිළිබිඹු කරනු ලබයි.
එහෙත් මහා ඇලෙක්සැන්ඩර් රජු එකල ගන්ධාරය ලෙස හැඳින්වූ උතුරු පකිස්ථානය සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය  ක්‍රිස්තු පූර්ව 327 දී ආක්‍රමණය කොට ඉන්දියාවේ වයඹ දිග දේශසීමා වෙත පැමිණි පසු බොහෝ දෑ වෙනස් විය. යුද්ධයෙන් පසු දේශීය කාන්තාවන් සමග පවුල් ජීවත ගත කරමින් ගන්ධාරයේ ජීවත් වූ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවේ සාමාජිකයින්ගෙන් පැවතගෙන ආ ඉන්දු-ග්‍රීක පරම්පරාව ගෞතම බුදුන්ගේ මුහුණ යැයි අනුමාන කළ රුවක් තම නිර්මාණ වලට පළමුවරට එකතු කරනු ලැබුවේ ඒ කාලයේදීය.  ග්‍රීකයින් විසින් ඇදහු දෙවිවරුන් මිනිස් රුවට සමාන කොට නිර්මාණය කරනු ලැබූ අතර බුදුන්වහන්සේගේ රුවද පළමුව ග්‍රීක මිත්‍යා කතාවල සඳහන් ඇපලෝ දේවයන්ගේ රුවට සමානව නිර්මාණය කළ බව සඳහන් වේ.  සියුස් සහ ලෙටෝගේ පුත්‍රයා වූ ඇපලෝ, ආටෙමිස්ගේ නිවුන් සහෝදරයා විය. ඇපලෝ දෙවියන් සුවය, වෙදකම, දුනු ශිල්පය, සංගීතය, කවිය සහ සූර්යයා පිළිබඳ දෙවියා ලෙස ග්‍රීකයින් ඇදහූහ. බුදුන් වහන්සේගේ රුව යැයි අනුමාන කරනු ලැබූ රුවක් නිර්මාණය කිරීමෙන් පසු එය වේගයෙන් ප්‍රචලිත වූ අතර එය ක්‍රමයෙන් තම කලා නිර්මාණ වලට භාවිතා කිරීමට අනෙකුත් ප්‍රජාවන් කටයුතු කළහ.


දිල්ලි නගරයේ සිට කිලෝමීටර් 180 ක් පමණ දුරින් පිහිටි මතුර සහ කිලෝමීටර් 860 ක් පමණ දුරින් පිහිටි සාරානාත් වැනි ප්‍රදේශ වල බුදුන්වහන්සේගේ රුව යැයි අනුමාන කළ නිර්මාණ බිහි වෙන්නේ ඒ අනුවය. ඒවා ග්‍රීක ලක්ෂණ වලින් ක්‍රමයෙන් වියුක්ත වී දේශීය හැඩයක් ගන්නේ තම ප්‍රජාවන්ගේ ආකර්ශය දිනාගැනීම සඳහාය. ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල තැනූ නිර්මාණ වල සිට මීටර් 71 ක් උස චීනයේ ලෙෂාන් බුදු පිළිමය දක්වා වූ දිවෙන ඉතිහාසය ආරම්භ වූයේ එලෙසය.  මෙම නිර්මාණ කලාවේ විශාල පිබිදීමක් අශෝක රජුගේ කාලය තුළදී සිදුවිය. ඔහුගේ බලය කලාපය පුරා විහිදීම සඳහා මෙම කරුණු වඩාත් ක්‍රමෝපායිකව භාවිත කරනු ලැබූ අතර ඊට සමගාමීව විවිධ ඇදහීම්ද බුද්ධ ධර්මයට එකතු වීමට පටන් ගත්තේය.  එසේම ක්‍රමයෙන් වර්ධන වූ ලිඛිත භාෂාව නිසා බුද්ධ ධර්මය ගැන පමණක් නොව අනෙකුත් ආගම් ගැනද ලිවීම ආරම්භ විය.  
එහෙත් ඉන් පසුව ඇති වූ විවිධ ආක්‍රමණ නිසා බුද්ධ ධර්මය සතුව තිබු අතිශය වැදගත්  රචනා මිලියන ගණනක් විනාශ විය.  බිහාර් හී පිහිටි ​ශ්‍රේෂ්ඨතම දැනුම් මූලාශ්‍රයක් වූ නාලන්දා විශ්ව විද්‍යාලයේ පමණක් අතින් ලියන ලද පොත් සහ අත්පිටපත් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වූ නමුත් ආක්‍රමණිකයින් සිදුකළ විනාශයෙන් එම පුස්තකාලය මාස තුනක් තිස්සේ ගිනිබත් වූ බව මූලාශ්‍ර පෙන්වා දෙනු ලබයි. මෙවැනි සිදුවීම් නිසා ධර්මය පිළිබදව ලියා තිබු වැදගත් බොහෝ දෑ අහිමි විය. ඒ වෙනුවට විවිධ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදුකරන ඇදහීම් සහ ගැරහීම් වලට වර්ධනය වීමට වාසිදායක පරිසරයක් නිර්මාණය විය. මේ නිසා ධර්මය ආරක්ෂා කිරීමට ඇප කැපවී සිටින්නේ යැයි කියා වෛරය පතුරුවා හරින ප්‍රෝඩාකාරයින්ද, ධර්මයේ කරුණු සහ ඊට අදාළ සිදුවීම් හාස්‍යයට ලක් කරන හිස් ඕලමොට්ටලයින්ද විශාල වශයෙන් ව්‍යාප්ත වීම ආරම්භ විය. මෙම කණ්ඩායම් දෙකම වත්මන් වෙළෙඳපොළ විසින් නඩත්තු කරන පුහු වීරත්වයේ සංඛේත බවට පත්වී ඇත.  


එහෙත් බටහිර විද්‍යාව  මෙම දැනුම භාවිතයට ගැනීමේදී වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළේය.  වසර සිය ගණනක් තිස්සේ  ඔවුහු තම ඇදහීම් ව්‍යාප්ත කිරීම සඳහා විශාල ජන සංහාර සහ කොල්ලකෑම් සිදුකළද  මිනිස් සන්තානයේ සැබෑ යථාර්ථයන් සොයා ගැනීමට බටහිර අසමත් විය. මේ නිසා අනෙකුත් ශිෂ්ටාචාරවල දැනුම ලබා ගැනීමට රාජ්‍ය මට්ටමින් ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවබෝධ කරගත්හ. ඒ සඳහා ඔවුහු ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහ. ඔවුහු බුද්ධ ධර්මය ගැන අවධානය යොමු කළේ ඒ අනුවය.  බටහිර තාක්ෂණය සමග පෙරදිග දැනුම මුසු කිරීමෙන් මිනිසාට ලබාගත හැකි අග්‍රගණ්‍ය ප්‍රතිඵල ගැන ඔවුහු අවධානය යොමු කළහ. එහි ප්‍රතිඵල ඉතා විශිෂ්ට විය.  


හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන රොබර්ට් ඩී. ට්‍රොග් විසින්  ස්නායු-මනෝවිද්‍යාඥයෙකු වන රික් හැන්සන්  විසින් ලියනු ලැබූ බුදුන්ගේ මොළය නමැති කෘතිය ගැන සමාලෝචනය කරමින් මෙසේ සඳහන් කරන්නේය. ”‍මනෝවිද්‍යාවේ සහ ස්නායු විද්‍යාවේ මෑතකාලීන වර්ධනයන් අපගේ මොළය ක්‍රියා කරන ආකාරය සහ මෙම ස්නායු ක්‍රියාකාරකම් අපගේ ලෝකය පිළිබඳ අත්දැකීම් හැඩගස්වන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි සහ බලවත් අවබෝධයක් ලබා ගැනීමට හේතු වී ඇත. මෙම තීක්ෂණ බුද්ධිය වසර දහස් ගණනක් පුරා මෙනෙහි කිරීමේ සම්ප්‍රදාය (භාවනාව) තුළ වර්ධනය වී ඇති ප්‍රඥාව සමඟ ගැඹුරින් සමපාත වේ. ප්‍රඥාවෙන්, දයානුකම්පාවෙන් සහ සිහියෙන් යුතුව අප හා අන් අයව සම්බන්ධ කර ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා මෙම දැනුම් ධාරාවන් දෙක භාවිත කළ හැකි ආකාරය පිළිබඳව බුදුන්ගේ මොළය නමැති කෘතියෙන් අපට සංක්ෂිප්ත හා ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලබා දී ඇත.”‍  


මේ අතර ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාව, ස්නායු ජීව විද්‍යාව සහ මනෝචිකිත්සාව සහ ජෛව හැසිරීම් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ජෙරොම් එංගල් මෙසේ සඳහන් කරන්නේය. ”‍මොළය ගැන අධ්‍යයනය කරන ස්නායු විද්‍යාඥයින් තම පර්ෙ‌ය්ෂණ වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික පරාවර්තන සහ ස්වයං පරීක්‍ෂණය භාවිත කිරීමට වැඩි වැඩියෙන් උනන්දු වෙති. ගැඹුරු මෙනෙහි කිරීමේ බෞද්ධ පිළිවෙත් (භාවනාව) මෙම ප්‍රවේශය සමඟ හොඳින් ක්‍රියාත්මක වන අතර එය මොළය ක්‍රියා කරන ආකාරය ගවේෂණය කිරීමට අවස්ථාවක් ලබා දෙන බවත් ඔවුහු සොයාගෙන ඇත.”‍  විවිධ පාර්ශ්වයන් තම වාසිය වෙනුවෙන් නිර්මාණය කරගත්,  ආගමික අංග ඉවත්කළ විට, බුදුදහමේ මූලික ඉගැන්වීම් සහ ප්‍රායෝගික අංගයන් සඳහා පරිණාමීය හා සංජානන ස්නායු ජීව විද්‍යාවේ මනස සහ මොළය සම්බන්ධ  මූලික අදහස්  මීට වසර දහස් ගණනකට පෙර ගෞතම බුදුන්වහන්සේ පැහැදිළි කර දී ඇති අයුරු අපූරුය.


කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලින් වඩාත් ප්‍රසිද්ධියට පත් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ සංජානන සහ පරිගණක විද්‍යාඥයෙකු වන මර්වින් ලී මින්ස්කි  සඳහන් කරන පරිදි, ”‍මොළයේ ප්‍රධානතම ක්‍රියාකාරකම නම් එය තුළම වෙනස්කම් ඇති කර ගැනීම”‍, බවයි.  ස්නායුසූවකාර්යතාව (නියුරෝප්ලස්ටිසිටි) ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මොළය යනු  අප දන්නා විශ්වයේ ඇති සංකීර්ණම වස්තුව  වන අතර ඊට සමාන කළ හැකි කිසිම දෙයක් විශ්වයේ නැත. එය  නියුරෝන බිලියන 100ක් ඇතුළුව ශෛල ට්‍රිලියන 1.1ක් අඩංගු ටෝෆු වැනි පටක රාත්තල් තුනකි. සාමාන්‍යයෙන් සෑම නියුරෝනයකටම අනෙකුත් නියුරෝනවලින් උපාගම (සියප්සස්) ලෙස හැඳින්වෙන සම්බන්ධතා (සංඥා) පන්දහසක් පමණ ලැබේ. සෑම ස්නායු සංඥාවක්ම තොරතුරුය; ඔබේ හදවත රුධිරය එහා මෙහා ගෙන යනවා සේ ඔබේ ස්නායු පද්ධතිය තොරතුරු එහා මෙහා ගෙන යන්නේය. වසර මිලියන ගණනක් තිස්සේ සිදුවූ මොළයේ පරිණාමය නිසා ඒ ඒ පරිසරයට අනුවර්තනය වීමට අපට ඉඩ සලසන නව හැකියාවන් සහ වෙනස්කම් ඇති වී තිබේ.  
රික් හැරිසන් සඳහන් කරන පරිදි, ”‍ඔබේ මනස හරහා ගලා යන දේ ඔබේ මොළය මූර්තිමත් කරන්නේය. මේ අනුව, ඔබට ඔබේ මොළය වඩා හොඳ ලෙස වෙනස් කිරීමට ඔබේ මනස භාවිත කළ හැකිය. එය ඔබේ මුළු පැවැත්මට සහ ඔබට සම්බන්ධ වන සෑම පුද්ගලයෙකුටම ප්‍රයෝජනවත් වනු ඇත.”‍ බුදුන්වහන්සේ වදාළ  සනාථන ධර්මය එයයි. උන්වහන්සේ මහා පටිච්චසමුම්පාදය අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගත්තේ ඒ අනුවය. එය නොදන්නා බලයකින් හෝ දෙවි කෙනෙකුගෙන් ලැබුණු ඥානයක් නොව, උදාර කැපවීමෙන් උන්වහන්සේගේ මනස උන්වහන්සේ විසින්ම මෙහෙයවා උන්වහන්සේගේ මොළයෙන් ලබාගත් ගැඹුරු අවබෝධයකි.  බුදුන් සොයා යෑම යනු උන් වහන්සේගේ ධර්මය සොයා යෑමයි. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර වන්නේ මනස සහ මොළය අතර ඇති වෙන්නොවන සම්බන්ධය තේරුම් ගැනීම බව ඒ අනුව සිතේ.

 

 

■ නිලන්ත ඉලංගමුව