පොලිසියේ මහගෙදරට අවුරුදු 75 යි


හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරණායක 1961දී පොලිස් විද්‍යාලයට පැමිණි අවස්ථාවක්

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී පොලිස් විද්‍යාලයට පැමිණි අවස්ථාවක්

 

ශ්‍රී ලංකා පොලිසියේ “මහගෙදර” ලෙස හඳුන්වන ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය වසර 75 ක් තිස්සේ ශ්‍රී ලංකා මාතාව වෙත අමිල වූ මෙහෙවරක් ඉටු කරමින් සාඩම්බරණීය ගමනක් පැමිණ ඇත.


මෙරට පැරණිතම රාජ්‍ය ආයතන අතුරින් එක් ආයතනයක් වන පොලිසිය වර්තමානයේ යුක්තිය පසිඳලන ආයතන අතර සුවිශේෂීම ආයතනයක් ලෙසද හඳුන්වා දිය හැක.
අතීත රජ සමයේ මෙන්ම පෘතුගීසී, ලන්දේසී සහ ඉංග්‍රිසි පාලන අවධීන්වල පොලිසිය විධිමත් ලෙස සංවිධානය වී නොතිබුණ ද පොලිස් රාජකාරීන් හා සමානකම් දක්වන නිලධාරීන් කොට්ඨාසයක් එකී කාලයේ ද රාජකාරී කර ඇති බව පෙනී යයි. එම නිලධාරීන්  දිසාවේ, කෝරලේ, විදානේ, මොහොට්ටාල, මුදියන්සේ, මුහන්දිරම් යන විවිධ නාමවලින් හඳුන්වා දී ඇති අතර ඔවුන්ගේ නිල නාම අනුව විවිධ රාජකාරීන් සහ බලතල පැවරී තිබිණි.


ශ්‍රී ලංකා පොලිසියේ විධිමත් ආරම්භය වර්ෂ 1866 ක් වූ සැප්තැම්බර් මස 08 වන දින සනිටුහන් වේ. ප්‍රථම පොලිස්පති ලෙස ජී.ඩබ්.ආර්. කැම්බල් මහතා පත්වීම් ලබා ඇත. මරදාන පොලිසිය මුල් කර ගනිමින් පොලිස් පුහුණු කටයුතු යම් ආකාරයකින් සිදු වී ඇති අතර විධිමත් ලෙස පුහුණු කටයුතු ආරම්භ වන්නේ  ස්වේච්ඡා මූලස්ථානය ලෙස හදුන්වන ලද කොළඹ කුමාර වීදියේ ඕලන්ද ගොඩනැගිල්ලක් තුළයි. ඒ 1905 වසරේ දීයි. ප්‍රථම පුහුණු කණ්ඩායම ලෙස ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 436 දෙනකු බඳවාගෙන පුහුණුව ලබා දී විසිර යාමේ උත්සවයක් ද පවත්වා විවිධ පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇත.
කුමාර වීදියේ ඕලන්ද ගොඩනැගිල්ල පුහුණු කටයුතු සඳහා ප්‍රමාණවත් නොවූයෙන්  වර්ෂ 1925 ක් වූ මාර්තු මස 26 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රිීඩාංගණය අසල ගොඩනැගිලි කීපයක් වෙත පොලිස් විද්‍යාලය රැගෙනවිත් ඇත. 


පොලිස් පුහුණුවේ සුවිශේෂි සංධිස්ථානයක් සටහන් වන්නේ 1948 වසරේ අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට  නිදහස ලැබීමෙන් පසුවයි. නිදහසින් පසු ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා ලෙස ලෙස පත්වීම් ලබන්නේ ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මැතිතුමන්ය. එතුමන්ගේ මැදිහත්වීම මත පොලිස් අභ්‍යාස විද්‍යාලය වර්ෂ 1948 ක් වූ සැප්තැම්බර් මස 29 වන දින කළුතරට රැගෙන එන්නට කටයුතු කර ඇත. එහි ප්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙස පොලිස්පති නියමයෙන් පත්වීම් ලබන්නේ පොලිස් අධිකාරී සිඩ්නි ද සොයිසා මහතායි.
පොලිස් අභ්‍යාස විද්‍යාලය ලෙස හැඳින්වූ නාමය වර්ෂ 1974 ක් වූ සැප්තැම්බර් මස 01 වන දින සිට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය ලෙස  හැඳින්වීමට එවක පාලනාධිකාරීන් කටයුතු කර ඇත. 

 


වර්තමානයේ අක්කර 204 කින් යුක්ත පුහුණුව සඳහා ඉතා යෝග්‍ය වූ භූමියක කළුතර ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය පිහිටා ඇති අතර, මෙම භූමිය අක්කර 204 ක් දක්වා ව්‍යාප්ත කරවීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් සුවිශේෂි මෙහෙයක් ඉටු කර ඇත. 
එම රාජ්‍ය නායකයන් අවස්ථා ගණනාවකදී විසිරයාමේ උළෙල ඇතුළු විශේෂ උත්සව අවස්ථාවන්වලදී කළුතර පොලිස් විද්‍යාලයෙහි සංචාරය කර තිබේ.
කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණු කටයුතු සිදු කරගෙන යාමේදී  නිලධාරීන් විශාල පිරිසක් බඳවාගෙන පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ තවත් පුහුණු ඒකක 08 ක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. ඇල්පිටිය, බොරලන්ද, කුණ්ඩසාලේ, නිකවැරටිය, පහළගම, මහියංගණය, කල්ලඩි, අරලගංවිල යන පොලිස් විද්‍යාල මේ වන විට පුහුණු කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටී.


ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රථම අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ලද පොලිස් අධිකාරී සිඩ්නි ද සොයිසා මහතාගේ සිට අධ්‍යක්‍ෂවරුන් 27 දෙනෙකු  එම ධුර දරා තිබෙන අතර වර්තමානයේ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ 28 වන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතායි. බඳවාගැනීම හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස නීතීඥ සම්පත් කුමාර ලියනගේ මහතාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙස රන්මල් කොඩිතුවක්කු මහතාත් කටයුතු කරති.
කළුතර පොලිස් විද්‍යාලයට අනුබද්ධව පවතින අනිකුත් සෑම පොලිස් විද්‍යාලයකම නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකුගේ හෝ සහකාර අධ්‍යක්‍ෂවරයෙකුගේ හෝ මෙහෙයවීමෙන් පාලන හා පුහුණු කටයුතු සිදු කරගෙන යනු ලබයි.


ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සියලු‍ම පුහුණු ඒකක ද ඇතුළත්ව එකවර පුහුණු නිලධාරීන් 4550 දෙනකු පුහුණු කිරීමේ හැකියාව පවතී. ආධුනික නිලධාරීන් සඳහා ඉතා ගුණාත්මක පුහුණුවක් ලබාදීම ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රමුඛතම කාර්යය වේ. ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් හා වරියන්, ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරුන් සහ වරියන්, ආධුනික සහකාර පොලිස් අධිකාරී වරුන් සහ වරියන් ලෙස ආධුනික නිලධාරීන් ලෙස පුහුණුව සඳහා බඳවා ගෙන වත්මන් සමාජයට ගැළපෙන පරිදි වැඩි දියුණු කරන ලද විෂය නිර්දේශය යටතේ දැනුම, ආකල්ප සහ කුසලතා පිළිබඳ නිරන්තර අවධානයට ලක් කරමින් පුහුණු කටයුතු සිදුකරගෙන යනු ලබයි.
 ආධුනික නිලධාරීන් තම පුහුණු කාලය තුළ නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි, අධිකරණ රාජකාරී, ඝන සරඹ, අවි සරඹ, ශාරීරික අභ්‍යාස, ආත්මාරක්‍ෂක සටන්, වන සටන් පුහුණුව, විවිධ ක්‍රීඩා ඉසව්වල නිරතවීම, මහජන සාමය කළමනාකරණය කිරීම, විද්‍යාත්මක අපරාධ ස්ථාන පරීක්‍ෂාව, තොරතුරු තාක්‍ෂණය වැනි විවිධ විෂය පරාසයන් ඔස්සේ පුහුණුව ලබාදීම පොලිස් විද්‍යාලය මගින් සිදුකරනු ලබයි. 

 


මෙම විෂයන්ට සමගාමීව විවිධ කුසලතා සහ ආකල්ප වර්ධනය උදෙසා සැලසුම්ගත වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවේ. කාබනික පොහොර නිෂ්පාදනය හරහා විවිධ වගා කටයුතු සිදු කිරීම, ආගමික හා සංස්කෘතික කටයුතු මගින් අාධ්‍යාත්මික ගුණ වගා පෝෂණය, සිනමා දර්ශන, සංගීත වැඩසටහන්, විවිධ ප්‍රසංග හරහා කලා කුසලතා වැඩි දියුණු කිරීම, කථික තරග, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තුළින් කුසලතා වර්ධනය, අවුරුදු උත්සව, ක්‍රීඩා උත්සව මගින් කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම ආදී විවිධ වැඩසටහන් පුහුණු නිලධාරීන් වෙනුවෙන් පොලිස් විද්‍යාලය ක්‍රියාත්මක කරනු ලබයි. 


1972 සිට මේ දක්වා පොලිස් විද්‍යාලය මඟින් ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් 74 ක්, කාන්තා සහකාර පොලිස් අධිකාරීවරුන් 03ක්, ආධුනික උපපොලිස් පරීක්‍ෂකවරුන් 5944 ක්, ආධුනික කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියන් 696 ක්, ආධුනික පොලිස් කොස්තාපල් නිලධරයින් 85739 ක්,  ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 9865 ක්, ආධුනික පොලිස් කොල්තාපල් රියැදුරන් 6982 ක් , ලෙස 1972 සිට මේ දක්වා එක් ලක්ෂ නවදහස් තුන්සිය තුනක් (109303) ක් වැනි අති විශාල නිලධරයින් සමූහයක් පොලිස් රාජකාරී සඳහා පොලිස් විද්‍යාලය විසින් දයාද කරනු ලැබ ඇත. 


මෙම මූලික පුහුණු කටයුතුවලට සමගාමීව ක්ෂේත්‍රයේ රාජකාරී නියුතු පොලිස් නිලධාරීන් සඳහා උසස් පුහුණු පාඨමාලා ගණනාවක් මෙම පොලිස් විද්‍යාලය තුළ ක්‍රියාත්මකව පවතී. සොකෝ ඩිප්ලෝමා පාඨමාලාව, රථවාහන කළමනාකරණ පාඨමාලාව, තනතුරට හැඩගැස්වීමේ පාඨමාලා, මහජන සාමය කළමනාකරණය කිරීමේ පාඨමාලා, අවි පුහුණුව සහ වන සටන් පුහුණුව, පරිගණක පුහුණු පාඨමාලා, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් පුහුණු කිරීම, පුහුණු කරන්නන් පුහුණු කිරීමේ පාඨමාලා, ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලා, රිය පැදවීමේ පුහුණු පාඨමාලා ආදී වූ පුහුණු පාඨමාලා ගණනාවක් මෙම පොලිස් විද්‍යාලය තුළ ක්‍රියාත්මකව පවතී. 
එපමණක්ද නොව විවිධ රාජ්‍ය ආයතන සඳහා ද කෙටිකාලීන පුහුණු පාඨමාලා ද මෙම විද්‍යාලය මගින් සිදුකරනු ලබයි. රාජ්‍ය පරිපාලන සේවයේ නවක නිලධාරීන් සඳහා, ගණකාධිකාරීවරුන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ධීවර නිලධාරීන්, අධිකරණ වෛද‍්‍යවරුන්, වනජීවී හා වන සංරක්‍ෂණ නිලධාරීන් වැනි විවිධ ආයතන නියෝජනය කරන නිලධාරීන් සඳහා නීති දැනුම ලබාදීම මෙන්ම නායකත්ව පුහුණු වැඩසටහන් මෙම විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙමගින් ශ්‍රී ලංකා පොලිසිය සහ අනිකුත් රාජ්‍ය ආයතන අතර අන්‍යොන්‍ය අවබෝධය සහ සුහදතාව වර්ධනයවීම නිතැතින් ම සිදුවේ. 


රටේ අනාගත භාරකරුවන් වන පාසල් සිසුන් සඳහා පොලිස් ශිෂ්‍ය භට කඳවුරු පැවැත්වීම සහ විසිරයාමේ උළෙල සහ ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ද පොලිස් විද්‍යාලය විශාල සහායක් ලබා දේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය උත්සවයක් වන නිදහස් දින උලෙළ වර්ණවත් කරමින් ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියට සමගාමීව යමින් රාජ්‍ය නායකයන්, විදේශීය නියෝජිතයන්, රජයේ නිලධාරීන්, මහජනතාව ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියට ගෞරවයක් එක් කරමින් ආචාර පෙළපාළි සඳහා සහභාගීවීම සහ එම නිලධාරීන් පුරුදු පුහුණු කිරීම ද ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය මගින් සිදුකරනු ලබයි.