පොලිස් නිල සුනඛයන් ගැන ආදරණීය කතා


පොලිස් නිල සුනඛයා සහ එම සුනඛයා හසුරුවන පොලිස් නිලධාරියා හෝ පොලිස් නිලධාරිනිය අතර තිබෙන්නේ හරි පුදුම සෙනෙහසකි. එය අවියෝජනීය සම්බන්ධතාවක් යැයි කිවහොත් වඩාත් නිවැරදිය.


තමන් හසුරුවන පොලිස් නිල  සුනඛයාට ආදරය කරුණාව දැක්වීමට ගොස් පවුල් ආරවුල් හටගන්නා අවස්ථා ද තිබෙන බව ඔබ ඇහුවොත් පුදුම හිතෙනවා ඇත. පුදුම සිතීමට තරම් දෙයක් නොව කතාව ඇත්තය.


 මත්ද්‍රව්‍ය සොයා ගැනීමට, පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හෝ යම් අපරාධකරුවකු අල්ලා ගැනීමට පුරුදු පුහුණු කරන ලද පොලිස් නිල සුනඛයා ඒවා සොයා දෙන්නේ, අපරාධකරුවකු අල්ලාගැනීමට හෝඩුවාවක් ලබාදෙන්නේ තමන් හසුරුවන හාම්පුතා සතුටුකිරීමට ය.


තමන්  හසුරුවන හාම්පුතාගෙන් යමක් සොයා දුන් විට හෝ අපරාධකරුවකු අල්ලා දුන් විටgood boy , good girl කියා හිස අතගෑම තරම් සතුටක් පොලිස් නිල සුනඛයාට නොමැත. මේ නිසා පොලිස් නිල  සුනඛයා හසුරුවන නිලධාරියා හෝ නිලධාරිනියත් සුනඛයාත් අතර වෙනස් නොවන ආදරයක් තිබිය යුතු ය.


මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ පුහුණු කොට්ඨාසයේ වසර විසි හතරකට (24) කට ආසන්න කාලයක් රාජකාරි කර පසු කලක එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද  හොබවා ඇති පොලිස් නිල සුනඛයන් ගේ හැසිරීම් හා ඔවුන්ගේ චර්යා ගැන හසල දැනුමක් අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා සතුව ඇත. පොලිස් නිල සුනඛයන් ගැන හා එම  පොලිස් නිල සුනඛයන් හසුරුවන නිලධාරීන් හා නිලධාරිනියන් ගැන හරි අපූරු කතා කතා ගොන්නක් ඔහු සතුව පවතී.


සිසිර වීරකෝන් මහතා මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ලබාගෙන ඇත. ඔහු ඒ කතා කීමට ආරම්භයක් ලබාදුන්නේ මේ අන්දමිනි.


“බොහෝ පොලිස් නිල සුනඛයන් හසුරුවන්නන් නිවාඩු දිනවල සුනඛයා කෑම දෙන්න නාවන්න බෙහෙත් දෙන්න තමන් නිවාඩු ලබාගෙන ගෙදර ගියත් ඇවිත් යන්න එනවා. ඒ මොකද කියනව නම් වෙනත් පොලිස් නිල සුනඛයෙකු හසුරුවන නිලධාරියකු හෝ නිලධාරිනියක ඇවිත් කන්න බොන්න දෙනවට නාවනවාට කැමති නැහැ. සමහර පොලිස් නිල සුනඛයන් ඉන්නවා තම ස්වාමියාගේ අතින් කෑම නොලැබුණහොත් කෑම වර්ජනය කරනවා. තම ස්වාමියා එන තෙක්ම ආහාර ගැනීමෙන් වැළකී සිටින සුනඛයන් ද ඕනෑ තරම් ඉන්නවා. අන්න ඒ නිසා තමා නිවාඩු අරගෙන ගෙදර ගියත් ඇවිත් තමන් හසුරුවන පොලිස් නිල සුනඛයාගෙ වැඩ කටයුතු කරන්නේ.”
“පොලිස් නිල සුනඛයන් හා පුහුණුකරවන හා හසුරුවන නිලධාරීන්ගේ  නිවෙස්වල තිබුණු බොහෝ  ඕනෑ එපාකම් ඉටු කරන්නේ ඔවුන්ගේ බිරින්දෑවරුන්. පොලිස් නිල සුනඛයෙකු හසුරුවන නිලධාරිනියකගේ ගෙදර වැඩ කොටස ඉටු කරන්නේ ඇයගේ සැමියා විසින්.


විශේෂයෙන් බටහිර රටවල පොලිස් නිල සුනඛයා පවුලේ සාමාජිකයකු කරලා තිබෙනවා. ඊට හේතුව වෙන මොකක්වත් නොවේ. පොලිස් නිල සුනඛයා කැමති නෑ ස්වාමියා තමන්ට දෙන ආදරය වෙනත් අයට බෙදී යනවා දකින්නට. ඒ රටවල නිල සුනඛයා හසුරුවන නිලධාරියා  සමග සේවා කටයුතු අවසන් වී ඔහුගේ ගෙදරට කාර් රථයෙන්ම ගමන් කරනවා. ඒ ගෙදර නැවතී ඉඳලා නැවතත් පසුදින රාජකාරියට පැමිණෙනවා. සුනඛයා නඩත්තු කරනවාට ඒ රටවල ඉන්නා පොලිස් නිල සුනඛයන් හසුරුවන නිලධාරීන්ගේ බිරියට සැලකිය යුතු  දීමනාවක් ද ගෙවනවා.”
“අපේ රටේ ප්‍රායෝගිකව එහෙම දෙයක් කරන්න අමාරුයි. අපේ රටේ තිබෙන බොහෝ පොලිස් නිල සුනඛ ඒකකවල විවාහක නිල නිවාස පිහිටා තිබෙන්නේ පොලිස් නිල සුනඛයන් කූඩු කර ඇති පරිශ්‍රයේම යි.


පොලිස් නිල සුනඛයා කුඩුවේ දමා නිවසට ගොස් පැමිණෙන විට තම පවුල්වල ඉන්න ආදරණීයන්ගේ සුවඳ ඇඟේ පැවැරී තිබෙන නිසා එම සුවඳ සුනඛයා හඳුනා ගන්නවා. එහිදී සුනඛයා හඳුනාගන්නවා තමන් හැර වෙනත් අයත් තම ස්වාමියා ඇසුරු කරන බව. ඒකට සුනඛයා කොහෙත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා සුනඛයා තම ස්වාමියා සමග යම් ආකාරයක විරසකයක් ඇති කරගන්නවා. හටගන්නා මේ විරසකය නිසා තම ස්වාමියා සමඟ ගොස් පවරන රාජකාරිය අකුරටම ඉටු කරන්න මැළිකමක් දක්වනවා.”
“පොලිස් නිල සුනඛයා සාර්ථකව තමන්ට පවරන රාජකාරිය ඉටු කරන්නේ ස්වාමියාගේ ආදරය ලබාගන්න. ඒ නිසා පොලිස් නිල සුනඛයා හසුරැවන නිලධාරියා හෝ නිලධාරිනිය ද සෑම අවස්ථාවකම උත්සාහ කරන්නේ තමන් සහ සුනඛයා අතර තිබෙන ආදරය සහ සෙනෙහස කඩතොලු නොකර ගන්න. පොලිස් නිල සුනඛයාගෙන් සාර්ථකව රාජකාරිය ඉටු කරගන්නා පොලිස් නිල සුනඛ ඒකකවල සිටින පරිපාලකයන් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කළ යුතුයි.
පොලිස් නිල සුනඛ රාජකාරිය නිර්මාණය වන්නේ සුනඛයා සහ හසුරවන්නන් අතර ඇතිවෙන  සම්බන්ධතාව මත. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සුහදත්වය, විශ්වාසය නිවැරදිව සැමවිටම තිබිය යුතුයි. මේ සියලු‍ දේ ඇති වෙන්නේ දෙදෙනා අතරේ හුවමාරු වෙන ආදරය මත. ආදරය නොහඳුනන කෙනෙකුට සාර්ථක හසුරුවන්නෙකු වෙන්න බැහැ.  පොලිස් නිල සුනඛ පරිපාලකයන් ද  එසේම විය යුතුයි. එහෙම නොවුණොත් මේ වැඩේ හරියට කරගෙන යන්න ලැබෙන්නේ නැහැ.”
“සාර්ථක සුනඛ රාජකාරියකට නිවැරදි හසුරුවන්නන් වගේම නිවැරදි සුනඛයෙක් ද සිටිය යුතුමයි. දැනුමෙන් පෝෂිත පරිපාලකයන් මෙන්ම පුහුණුකරුවන් ද සිටිය යුතුයි. මෙම මූලික අවස්ථාවල අඩුපාඩු සහ හීනතා තිබුණොත් පලදායී රාජකාරියක් ගන්න පොලිස් නිල සුනඛයාගෙන් බැරිවෙනවා. ඒ වගේම තමයි නිවැරදි පුහුණුව, නඩත්තුව නොමැති වුණොත් සුනඛයා ජන්මෙන් රැගෙන එන ජානවල අඩංගු ස්වාභාවික දක්ෂතා චරිත ගුණාංග විනාශ වෙනවා. එහෙම වුණොත් එය මහා අපරාධයක්. සුනඛ පුහුණුව කියන්නේ සුනඛයා සතු ස්වාභාවික දක්ෂතා දියුණු කර රාජකාරි ඉලක්කවලට සූදානම් කිරීමයි.”


තමන්ගේ සේවා කාලය තුළ පොලිස් නිල සුනඛයා සහ සුනඛයා හසුරුවන නිලධාරීන් අතර සංවේදී අවස්ථා කිහිපයක් තිබෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා පවසයි. ඒ හා සම්බන්ධ සිද්ධීන් කිහිපයක් ගැන මතක ආවර්ජනය කරමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙසේ පැවසීය.
“මත්ද්‍රව්‍ය පිළිබඳව පුහුණුවීම් ලබාදෙන්න දේශීය සුනඛයෙක් මිලදී ගත්තා අපේ කොට්ඨාසයට. පුහුණුවීම් ලබා ගන්න මිලදී ගන්නා විට වයස මාස තුනයි. මම මේ සුනඛ පැටියට හිලරි කියන නම ලබා දුන්නා. මෙම සුනඛයා හදාවඩා ගැනීම, පුහුණුව ලබාදීම පූර්ණකාලීන රාජකාරියක් නිසා මම අවිවාහක තරුණ නිලධාරියෙකු වූ එවකට පොලිස් කොස්තාපල් නිලයේ සිටි, මේ වන විට උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කරන ජයසේකර කියන නිලධාරියා හිලරිව භාරදුන්නා. හිලරි කියන්නේ ගැහැනු සතෙක්.
පොලිස් නිලධාරී ජයසේකර මහතා හිලරි කියන මෙම පොලිස් නිල සුනඛයාට හොඳ පුහුණුවක් ලබා දුන්නා. පොලිස් නිල සුනඛයන් අතර පැවති තරගයකදී මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පළවෙනි ස්ථානයද හිමි කර ගත්තා. හිලරි ඒතරම් දක්ෂ පොලිස් නිල සුනඛයෙක්.”
“ඒ කාලේ තරුණ වයසේ පසු වූ පොලිස් නිලධාරීන් ජයසේකර පොලිස් නිල සුනඛයා එක්කම ගත කළ නිසා අවිවාහකව සිටියා. ඔහුගේ තාත්තා මියගිහින් අම්මා එක්ක තමයි ජීවත් වුණේ. අම්මාට ලොකු වුවමනාවක් තිබුණා පුතාට හොඳ තැනකින් විවාහයක් කර දෙන්න. ඒත් පොලිස් නිලධාරී ජයසේකර මහතා විවාහය ගැන එච්චර තැකීමක් කළේ නැහැ. පොලිස් නිල සුනඛ හිලරි එක්කම ජීවිතය ගත කළා.”
“මම දවසක් ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයට ගොස් සිටියදී මෙම නිලධාරියාගේ මව පැමිණ මට පැමිණිල්ලක් කළා. සුනඛයෙක් නිසා පුතා විවාහ වෙන්න එච්චර උනන්දුවක් නැහැ. මට කොහොම හරි  පුතා එක්ක කතා කරලා මේ ප්‍රශ්නය විසඳාදෙන්න කියා මේ මව අහිංසක ඉල්ලීමක් කළා. මම මේ පොලිස් නිලධාරියා  කාර්යාලයට කැඳවා ඔහුට කරුණු අවබෝධ කර දුන්නාට පස්සේ විවාහයක් කර ගත්තා. මෙතෙක් කල් තමන්ට පමණක් ආදරය කරුණාව  දැක්වූ ස්වාමියා වෙනත් කෙනෙකුට ආදරය කරන බව තේරුම් ගිය නිසා රෝගාතුරවූ හිලරි පසුව මියගියා.”


උපපොලිස් පරීක්ෂක නිලයට මේ වන විට උසස්වීම් ලබා සිටින ජයසේකර මහතා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරිවලින් බැහැරව මේ වන විට සාමාන්‍ය රාජකාරියේ නිරතව සිටිනවා. මෙම පොලිස් නිල සුනඛ හිලරි ජීවත්ව සිටියදී දැක් වූ අරුම පුදුම ගති ගුණයක් ගැන ද ගැන ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා හෙළි කළේ මේ අන්දමිනි.
“හිලරි කියන පොලිස් නිල සුනඛයා වැඩිපුරම නිදැල්ලේ හදාවඩා ගත්ත කෙනෙක්. හැමදාම උදේට එයා මගේ නිල කාමරයට ඇවිත් අත් දෙක ඉඹිනවා. පුරුද්දක් වශයෙන් කරගෙන ගියා.


තම ස්වාමියා පැමිණ කන්න බොන දෙන තුරු කිසිවක් කෑවෙ බිව්වෙ නැති කෙනෙක්. තම ස්වාමියා විවාහ දිවියට ඇතුළත්වෙලා ටික කාලයකට පස්සේ රෝගාතුර වුණ හිලරි මරණාසන්න මොහොතේ තම ස්වාමියා නිදාගෙන සිටි ඇඳ ළඟට ගිහින් බෙඩ් ෂිට් එකෙන් ඇදල ඔහු අවදි කරන්න උත්සාහ කර තිබෙනවා. තද නින්දේ පසු වූ නිසා ඔහු අවදි වී නැහැ. ඊට පස්සේ මගේ නිල කාමරයට ඇවිත් සුපුරුදු ලෙස අත්දෙක වෙනදා වගේම ඉඹගත්තාට පස්සෙ මම හිස අතගෑවා. හිලරි මගේ නිල කාමරයේම අවසන් හුස්ම හෙළුවා. ඒ සිද්ධිය මතක් වෙද්දී මට අදටත් ඇස් දෙකට කඳුළු උනන්නේ ඉබේටම වගේ.”


“තවත් සිද්ධියක් තියනවා. පොලිස් නිල සුනඛයකු හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි තරුණ පොලිස් නිලධාරියකු විවාහ දිවියට ඇතුළත් වුණා. මේ නිලධාරියා තමන්ගේ විවාහ උත්සවයට දින හතක පමණ කාලයක් නිවාඩු ලබාගෙන ගියා. මෙම තරුණ නිලධාරියා හසුරුවන ලද පොලිස් නිල සුනඛයා එදා පටන් කිසිම කෑමක් බීමක් ගත්තේ නැතුව නිරාහාරව ඉන්න පටන් ගත්තා. වෙනත් නිල සුනඛයකු හසුරුවන නිලධාරියෙක් පැමිණ කෑම බීම දුන්නත් ගත්තෙම නැහැ. මේ බව එම සුනඛයා හසුරුවන ලද පොලිස් නිලධාරියාට දැනුම් දුන්නා. ඒ වෙනකොට ඔහු අතිනත ගත් මනමාලිය සමග මහනුවර ප්‍රදේශයේම හෝටලයක මධුසමය ගත කරමින් සිටියා.
සිය සුනඛයාගේ තත්ත්වය මනමාලියට දැනුම් දී ඇයගේ ද අවසරය ඇතිව මහ රෑ අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ පුහුණු කිරීමේ කොට්ඨාසයට පැමිණ කෑම බීම දුන්නා. එතෙක් දවසක් කිසිම දෙයක් ආහාරයට නොගෙන සිටි මේ පොලිස් නිල සුනඛයා තම ස්වාමියා අතින් දුන්නු කෑම බඩ පිරෙන්නම කෑවා. ඊට පහුවදා ඉඳල ඒ හෝටලේ හනිමූන් එක ගත කරන තෙක්ම තමන් හසුරුවන සුනඛයාට ඇවිත් කෑම බීම දුන්නා. ඒ හැම අවස්ථාවකම ඔහු සමග මනමාලිය ද අපේ කොට්ඨාසයට පැමිණියා.” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.


“අපේ පොලිස් නිල සුනඛයන් පුහුණු කිරීමේ කොට්ඨාසයේ සිටියා එල්මෝ කියලා පොලිස් නිල සුනඛයෙක්. එල්මෝ හසුරුවන නිලධාරියා වෙනත් පොලිස් නිල සුනඛයකුට කෑම ලබාදී තිබුණා. ඒ නිල සුනඛයා හසුරුවන නිලධාරියා නිවාඩු ගොස් තිබුණු නිසයි. තම ස්වාමියා තමාට කලින් අනිත්  සුනඛයාට කෑම ලබාදුන්නු එකට තරහ ගිහින් කන්න දෙන්න ගිය අවස්ථාවේ කකුල සපා කෑවා. සුනඛයා සපා කෑමෙන් තුවාල ලබා සති ගණනක් යනතුරු ප්‍රතිකාර ලබාගත්තා. පස්සේ එම නිලධාරියා තමන් එතෙක් කල් බලාගත් නිල සුනඛයා බාරගන්න කොහෙත්ම කැමති වුණේ නැහැ.


ඊට පස්සේ මම මෙම නිල සුනඛ එල්මෝ කළුතර පොලිස් නිල සුනඛ ඒකකයේ එවකට සිටි පොලිස් සැරයන් තිසේරාට බාරදුන්නා. පොලිස් සැරයන් නිලයේ එවකට සිටි තිසේරා මහතා මේ වෙනකොට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කරනවා. නිල සුනඛයා හොඳින් රැකබලාගෙන රාජකාරි කටයුතු සඳහා හැසිරවීමේ අභියෝගය බාර ගත්තා.”
“මෙම පොලිස් නිල සුනඛයා තිසේරා එක්ක විතරක් නොවේ පවුලේ අයත් එක්කත් හොඳටම කුලුපග වුණා. මම දවසක් හදිසියේම වාගේ තිසේරාගේ නිවසට යන විට නිවසේ සිටියේ නැහැ. එල්මොවත් ළඟ තබාගෙන කෑම කනවා. ඒ අසලම තිසේරාගේ බිරිඳ  අත දරුවත් වඩාගෙන හිටියා. මේ දසුන දැකලා මට පුදුම හිතුණා. ඒ වෙන මොකවත් නිසා නොවේ තිසේරා ඔහුට විතරක් නෙවේ පවුලේ අයටත් එල්මෝව හීලෑ කරගෙන තිබුණ නිසා.”
පොලිස් නිල සුනඛයන් හසුරුවන සමහර නිලධාරීන් හා නිලධාරිනියන් ගේ පවුල්වල ආරවුල් පවා හට ගැනීමට පොලිස් නිල සුනඛයන් හේතු වී ඇත. ඒ  හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙසේ කීය.


“අපේ ගෙදර කෙනා මට වඩා, දරුවන්ට වඩා එයා රැකබලාගන්නා පොලිස් නිල සුනඛයාට ආදරය කරුණාව දක්වනවා. ගෙදර වැඩිය රැඳී ඉන්න කැමති නැහැ. සුනඛයා ගැන මතක් කරමින් එයා ගැනම කතාබහ කරනවා. ඉඳලා හිටලා හරි ගෙදර ආවත් ආපහු වැඩට දුවන්න තමා කල්පනාව. ගෙදර දොරේ වැඩක් පලක් කරන්න කැමතිත් නැහැ කියලා වගේ පැමිණිලි ඇතැම් බිරියන් විසින් මට කර තිබෙනවා.”


“පොලිස් නිල සුනඛයන් හසුරුවන තවත් සමහර නිලධාරීන්ගේ බිරියන් පැමිණ සැමියා මතක ඇති කාලෙක ගෙදර ආවේ නැහැ. එයා වෙනත් කාන්තාවන් එක්ක සම්බන්ධතා පවත්වනවා ද කියලා කියල මට සැකයි. මේ ගැන සොයා බලා බලන්න කියා මා හමුවී  දුක්ගැනවිලි ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන්ගේ බිරියන් ද ඒ කාලේ සිටියා.
මම එවැනි නිලධාරීන් ද කැඳවා ඔවුන්ගේ බිරියන් හමුවේ නිල සුනඛ කොට්ඨාසයේ  රාජකාරි ගැන කරුණු  අවබෝධ කර දුන්නා. මම කරුණු අවබෝධ කර දුන්නාට පස්සේ බිරියන් තුළ තිබූ සැක සංකා දුරුකරගත්තා. මේ වගේ වැරදි අවබෝධ නිසා කඩාකප්පල්වීමට ගිය පවුල් කිහිපයක්ම නැවත සාමදානයෙන් ජීවත් වුණා.”
“මේ සෑම පවුල් ආරවුලකට ම බලපෑවේ පොලිස් නිල සුනඛයා හසුරුවන නිලධාරියා එම නිල සුනඛයාට ආදරය කරුණාව පාන්න ගිහින් තමන් හසුරුවනු ලබන සුනඛයා එක්ක වැඩි කාලයක් ගත කිරීමට ගිය නිසයි. පොලිස් නිල සුනඛයා හසුරුවන නිලධාරියා දන්නවා. සුනඛයා එක්ක තියෙන බැඳීම අඩු වුණොත් ඔහුට ලබාදෙන රාජකාරිය හරිහැටි ඉටු කරන්න මැළිකමක් දක්වනවා කියා. පොලිස් නිල සුනඛයන් හසුරුවන නිලධාරීන් සහ නිලධාරිනියන් කරන මේ  විශාල කැපකිරීම ගැන ඔවුනට නිරන්තරයෙන් ගෞරවය පුද කළ යුතුයි. ඒ වගේම ඇගයීමට ද ලක් කළ යුතු වෙනවා.”


පොලිස් නිල සුනඛයා සාර්ථකව රාජකාරි කරන්නේ තම ස්වාමියාගේ ආදරය ලබාගන්න යැයිද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේ ය.
“පොලිස් නිල සුනඛයන් හසුරුවන ඇතැම් නිලධාරීන් ඔවුන් හසුරුවන ලද නිල සුනඛයා රෝගාතුරව මියගිය පසු රෝගාතුර වූ අවස්ථා ද තිබෙනවා. තවත් සමහර නිලධාරීන් ඒ දුකට වෙනත් පොලිස් නිල සුනඛයෙකු හැසිරවීමට නොහැකි බව කියා නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරිවලින් ස්ථාන මාරුවීම් ලබාගෙන සාමාන්‍ය රාජකාරි සඳහා ගොස් තිබෙනවා” යැයි ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී සිසිර වීරකෝන් මහතා පවසයි.


 වීරකෝන් මහතා 1982 වසරේ පොලිස් සේවයට එක්වී මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛයන් පුහුණු කිරීමේ කොට්ඨාසයට රාජකාරි සඳහා එක්වී ඇත්තේ 1985 වසරේදීය. ඒ මහතා එම කොට්ඨාසයේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද දරා ඇත.


ඇමරිකාවේ දී පොලිස් නිල සුනඛයන් පුහුණු කිරීමේ උපදේශක පාඨමාලාව හදාරා ඇති නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියකු වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වීරකෝන් මහතා ය. අනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන්නේ විජය සෙනෙවිරත්න මහතා ය. සිසිර වීරකෝන් මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේ 2016 වසරේ දී ය.

 

 

 

■ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය