පොල් කටුවේ ඔහු අඳින සිතුවම්


 

හිත ඇත්නම් පත කුඩාද යනුවෙන් අපේ පැරණි අය   නිතරම පාහේ කීවේ හිතේ ධෛර්යය තිබේ නම් පතක් වුවද එය ලොකු දෙයක් බව හඟවන්නටය. එමෙන්ම උත්සාහයත්, කැපවීමත් හා දැඩි ආත්ම විශ්වාසයත් ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව අප කවුරුත් දන්නා කරුණකි.  එමෙන්ම බිය සැක නොමැතිව නව අත්හදා බැලීම් සිදු කිරීමට උත්සාහ  කරන්නෝ කෙදිනක හෝ ලෝකය ජයගන්නා බව නොරහසකි.  


අද මෙරට බොහෝ පිරිසක් දුප්පත් මෙන්ම නැති බැරිකම් ඇතැයි කියමින් කිසිවෙකුගේ හෝ සරණින් ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරති. ඊට හොඳම උදාහරණ මේ දිනවල අපට දැකිය හැක. ඒ නගරයක් නගරයක් පාසා ‘‘අස්වැසුම’’ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කිලෝමීටර් ගණනාවක් දුරට  ඇති පෝලිම් දෙස බැලීමේදීය.  
මෙරට බොහෝ පිරිසකගේ රුචිය හා අරමුණ වී ඇත්තේ දුගී බවෙන් මිදීමට වෙර දැරීම නොව, හිඟන්නාගේ තුවාලය මෙන් දිගින් දිගටම දුප්පත් බවින් පෙලී සිටීමය. එවන් සමාජයක, ඉන් ඔබ්බට ගොස් කිසිවෙකුවත් එතරම් ගණන් නොගන්නා, ඉවත ලන පොල් කටුවෙන් ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණයෙකු පසුගියදා  අපට පිළියන්දල ප්‍රදේශයෙන් හමුවිය.


ඔහු නමින් ඩිලාන් ශශික ප්‍රනාන්දුය. ඉවත ලන පොල් කටු භාවිත කරමින් විවිධ වූ සුන්දර නිර්මාණ කරමින් කිසිවෙකුටවත් අත නොපා ජීවිතය  ජය ගැනීමට ඩිලාන් ශශික තරුණයා වෙහෙසෙන අයුරු හරි අපූරුය. පොල් කටුවක් කිවු සැණින් කිසිවෙක් එය ගණනකට නොගනිති. එමෙන්ම සෑම නිවසකම පාහේ පොල් කටු එකතුවීම එම නිවැසියන්ට මහත් වූ හිසරදයකි. එහෙත් ඩිලාන් ශශිකට නම් පොල් කටු යනු වෙස්වළා පැමිණි ආශිර්වාදයක් බඳු, නැතිවම බැරි  භාණ්ඩයක් බවට පත්ව තිබේ. 
මෙරට පසුගිය වසරවල ඇති වූ පාස්කු බෝම්බ ප්‍රහාරය මෙන්ම කොවිඩ්   වසංගතය හමුවේ බොහෝ පිරිසකට රැකියා අහිමි විය.  රජයේ ස්ථිර රැකියාවල නියුතු වූවන් හැර, අන් බොහෝ පිරිසකට සිය දෛනික ආදායම් මාර්ග සියල්ල ඇහිරිණි. එවැනි කාල පරිච්ඡේදයකට ලක්වීමට ඩිලාන් ශශිකටද සිදු විය. එහෙත් ඔහු තම බිරිඳ  හා දරුවා සමග ජීවිතය ගැටගසා ගන්නට වෙර දැරීය. එවැනි විවිධ කටයුතු රැසක් සිදු කිරීමෙන් අනතුරුව අවසනට ඔවුන්  නැවතුණේ කිසිවෙකුවත් ගණනකට නොගන්නා පොල් කටුව මත්තේ සිට ගනිමිනි. 


විවිධ පුද්ගලයන් පිටුපස නොගොස් කිසිවෙකුටත් අත නොපා, එමෙන්ම රජයේ රැකියා පසුපස නොගොස් තමන්ගේ උප්පත්තියෙන් ලත් හා ඉගෙන ගත් දැනුමෙන්  දෙපයින් නගිට සිටීමට ඩිලාන් ශශික ගන්නා උත්සාහය අඟය කළ යුතුය.  ඩිලාන් ශශික,  රැකියාවන් සොයා ඉබාගාතේ ඇවිද යමින්, කාලය අපතේ යවමින් සිටින  ඇතැම් වත්මන් තරුණ පිරිසට ගෙන දෙන්නේ මහඟු‍  ආදර්ශයකි. උත්සාහවන්තයා ජය ගනී යන්න ක්‍රියාවෙන් පෙන්නුම් කරමින් සිටින ඩිලාන් ශශික නම් තරුණයා, ඔහුගේ ජීවන කතාව පිළිබඳව අප සමග දොඩමලු වූයේ මෙලෙසය.


“මගේ අය්යාගේ යාළු‍වෙක් හිටියා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ. එහි එකල චිත්‍ර පාඨමාලාවක් තිබුණා, පාරිම්පරික චිත්‍ර ශිල්පී ව්‍යාප්තිය කියලා. ඒ මාර්ගයෙන් මම එම පාඨමාලාව හැදෑරීමට කටයුතු කළා. එම පාඨමාලාව  පැවැතියේ කොළඹ  කෞතුකාගාරයේ. සෙංකෝලේ නිර්මාණය කළ, මෙරට ජාතික කොඩිය නිර්මාණය කරන ලද එස්. පී. චාර්ල්ස් සර් යටතේ වසර තුනහමාරක් එම  පාඨමාලාව මම එහෙදී හැදෑරුවා. මම එහි ඉගෙන ගන්න කාලයේ තමයි මට මගේ බිරිඳ  හමුවූයේ. ඇයත් එහි ඉගෙන ගත්ත ශිෂ්‍යාවක්. එහෙදී පන්සල් චිත්‍ර, මූර්ති වැනි විවිධ ඉසව්  ඉගෙන ගත්තා.”


“ඉන් පසු රැකියාවක් නොමැතිව විවිධ ආර්ථික අපහසුතා මැද්දේ ඉන්නකොට, එවකට මගේ පෙම්වතිය වූ වර්තමානයේ බිරිඳගේ තාත්තාගෙන් අවුරුදු පහක් බතික් කර්මාන්තය පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට මම බැඳලා නැහැ. 2011 වසරේදි බිරිඳගේ තාත්තා නැති වුණා. 2014 දි අපි කසාද  බැඳලා පිළියන්දල ගෙයක් කුලියට අරන් පදිංචියට ආවා. අපි තවමත් කුලී නිවාසවල  තමයි ඉන්නේ. 2017 වසරේදී අපේ පවුලට අලු‍ත්  සාමාජිකයෙක් එකතු උනා. එයා දුවෙක්. නම අව්රෝරා. දැන් පළමු පන්තියේ අධ්‍යාපනය ලබනවා.”
“එහෙම ඉන්නකොට, පන්සල්වල චිත්‍ර අඳින්න ගියා. ඉන් පස්සේ කුඩා කුඩා විවිධ ත්‍යාග භාණ්ඩ නිර්මාණයන් කළා.  ගාල්ලේ කොටුවේ ඉන්නවා ඉතාලි ජාතික කාන්තාවක්. එයාගේ නම පවලා. එයා මගෙන් එම  නිර්මාණ  ලබා ගත්තා. එම මුදලින් ගෙවල් කුලිය ගෙවලා කාලා බීලා ඉන්න මුදලක් අපිට  ලැබුණා.” 


“පාස්කු ප්‍රහාරය, කොවිඞ් වසංගතය හමුවේ සංචාරකයන් මෙරටට ආවේ නැහැ. එතැනදී අපේ ආදායම සම්පූර්ණයෙන් නැවතුණා. ඊට පස්සේ තමයි පොල් කටු නිර්මාණවලට යොමු වුනේ. කටුවල වෙස් මුහුණු ඇඳලා පවලා නෝනට ගෙනිහින් දුන්නා. එයින් සුළු ආදායමක් ලැබුණා. ඊට පස්සේ එම නිර්මාණ අරන්  විකුණා ගන්න පුළුවන් වෙයි කියලා ගෙවල් ගානේ ගියා. ඒ වැඩේ හිතපු තරම් සාර්ථක වුනේ නැහැ. ඒ අතරෙදි තමයි මුහුණු පොතේ ‘‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ කියලා සමුහයක පිටුවක්  තියෙනවා කියලා තොරතුරු දැනගත්තේ. පොල් කටු නිර්මාණ ජනතාව අතරට  වැඩිය නොගිය නිසා පොල් කටුවල ඇඳපු නිර්මාණ එම පිටුවට මම එක්  කළා. ඊට පස්සේ 2021 වසර වෙනවිට, හිතපු නැති විදිහට ඒක මිනිසුන් අතරට ගියා. අලුත් දෙයක් නිසා, ඒ නිර්මාණ කතා කරලා ගෙවල්වලට ගෙන්නවා ගත්තා.” 

 

 පොල් කටු නිර්මාණ 

ශශික හා පවුලේ සාමාජිකයන් 


“අපේ නිර්මාණ පොඩ්ඩක්  සීමිතයි. මොකද, ඔක්කොම එක එක බැගින් අතින්ම නිර්මාණය කරන්න ඕනෑ. එකම නිර්මාණයෙන් සියයක් ඉල්ලු‍වත් ඒවා එක එක අඳින්න ඕනෑ. හැම නිර්මාණයකටම මම මිලදී ගන්න අයට ඉහළම සාධාරණයක් ඉටු කරනවා.” 


“පොත්වලට අඳිනවා, හෝටල්වල හා පන්සල්වල චිත්‍ර අඳිනවා  වගේම පින්තූරත් මම අඳිනවා. එවැනි දේවල් ලොකුවට ලැබෙන්නේ නැහැ. එම නිසා ප්‍රමුඛ ආදායම් මාර්ගය රැඳිලා තියෙන්නේ මෙම  පොල් කටු නිර්මාණත් එක්ක. මේ හැම නිර්මාණ කටයුත්තක් සඳහාම මගේ බිරිඳ වන ගිවින්දි ගයාංගි පියසිංහගෙන් ඉහළ  දායකත්වයක් ලැබෙනවා. මොකද බිරිඳටත් චිත්‍ර ශිල්පය පුළුවන් නිසා. මගේ මේ හැකියාවට විවිධ අවස්ථාවලදී සම්මාන, සහතික රජයෙන් ලැබිලා තිබෙනවා. 2013 වසරේ බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශණයේදී සම්ප්‍රදායික චිත්‍ර අංශයෙන් ප්‍රථම ස්ථානය මට ලැබුණා. ඒ වගේ සම්මාන රැසක් විවිධ තරගවලදි මට ලැබිලා තියෙනවා.”


“පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණු පොත හරහා නිර්මාණ ඉල්ලනවා. ඔවුන් කියන්නේ අපිත් මෙහේ හිටියට ගොඩාක් දුක් මහන්සියෙන් තමයි මුදල් හම්බ කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් අඩුවට දෙන්න කියලා. මම හැම නිර්මාණයක්ම කාට අලෙවි කළත් අලෙවි කරන්නේ ඉතාමත් සාධාරණ මුදලකට තමයි.” 


“මට මේ නිර්මාණ කටයුතු  පුළුල්ව තවත් හොඳට කරගෙන යන්න අවශ්‍යයි. නිෂ්පාදනය වැඩි කර ගන්න ඕනෑ. ඊට ඇති එකම බාධකය වැඩ පොළක්  නොමැතිවීමයි. ඊට රජයෙන් හෝ යම් කිසි ආයතනයක් ඉදිරිපත්ව උදව්වක් කළ හැකි නම් ගොඩක් වටිනවා. එහෙම වුණොත් මගේ  නිර්මාණ තවත් අයට උගැන්විය හැකියි. එමගින්  රැකියා නොමැති අයට රැකියා අවස්ථා නිර්මාණය කර දෙන්න පුළුවන්” යයි කීය.

 

ලබා ඇති ඇඟයීම්


ඩිලාන් ශශික ප්‍රනාන්දු නම් මෙම උත්සාහවන්ත තරුණයාගේ බලාපොරොත්තු විශාල ගොන්නක් නොමැත. ගෙයක් හදාගැනීමත්, වැඩ පොළක් නිර්මාණය කර ගැනීමත්, තම දැනුම හා පොල් කටු නිර්මාණ ශිල්පය රැකියා නොමැති මෙන්ම, ඒ පිළිබඳව දක්ෂතාවක් ඇති පිරිසකට ලබාදීමත්  වැනි ඉතාමත් කෙටි  බලාපොරොත්තු කීපයක් පමණක් ඔහුගේ සිතේ ගොනුව තිබේ.  ඊට යම් බලාපොරොත්තුවක් එක් කරදීමට රජයේ වගකිවයුතු අංශ හෝ වෙනත් පෞද්ගලික අංශයක් කටයුතු කරදීමට ඉදිරිපත් වෙන්නේ නම් ඩිලාන් ශශික වැනි උත්සාහ වන්ත දිරිය තරුණයන්ට එය වු කලී මහඟු‍  ආශිර්වාදයක් වෙනු ඇත.


[email protected] ඊමේල් ලිපියෙන් ඔහු සම්බන්ධ කර ගත හැකිය.

 

 

■ තලවකැලේ- ශාන්ත  
    චන්ද්‍රසිරි හුලංනුගේ