පොඩි මිනිස්සු දෙදෙනාගේ ඔක්ස්ෆර්ඩ් දේශනය


උපාලි ලන්ඩනයේ දී...

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලත්, ස, පවන හා කම්පන යන අති ජනප්‍රිය වූ ඒක පුද්ගල ගී ප්‍රසංගවලත් ආලෝකකරණ ශිල්පියා වූ ප්‍රවීණ ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහගේ රස මතක කිහිපයක් පසුගිය සතියේ අපි මතු කළෙමු. මේ ඔහුගේ අතීත රස මතක ගොන්නේ තවත් කොටසකි.


ප්‍ර : මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සමග ඇති මතක රැසක් පසුගිය සතියේ කතා කළා. එතුමත් සමග ඔබ විදෙස් සංචාරවලට එක්වෙන්නත් ඇති?


 ඔව්. එතුමත් එක්ක විදෙස් සංචාර කීපයකටම මම සහභාගි වුණා. ඒ සංචාර අතරින් ‘මනමේ’ නාට්‍ය අරන් ලන්ඩන් ගිය ගමන මට අද වගේ මතකයි. එවකට ලන්ඩනයේ වාසය කළ නාමෙල් - මාලනී යුවළ තමයි ලන්ඩනයේ නාට්‍ය දර්ශන සංවිධානය කළේ. අපි ලන්ඩන්වල හිටපු කාලෙ අපට වෙනම ගෙයක් දීලා වීරමුණි යුවළ අපේ කණ්ඩායම හොඳින් බලාගත් බවත් කියන්නම ඕනෑ. 


නාට්‍ය පෙන්වන්න දවස් කීපයකට කලින් අපි ලන්ඩන්වලට ගියේ. ඒ දවස්වල මනමේ කුමාරිට රඟපෑවෙ කුමාරි මැණිකේ. ලන්ඩන්වලට ගිහින් දවස් දෙක තුනකට පස්සෙ ඇයට හරිහැටි කතා කරගන්න බැරි වුණා. එහෙ සීතල දේශගුණය ඔරොත්තු දෙන්නෙ නැතිව තමයි කුමාරිට එහෙම වුණේ. නාට්‍ය පෙන්වන්නෙ හෙට නම් අදත් ඇයගෙ උගුර හරිගියෙ නැහැ. සරච්චන්ද්‍ර මහත්තයා ඔය වෙලාවෙ විශාල අපහසුතාවකට පත් වුණා. එතුමා කල්පනා කර කර අපි නැවතිලා හිටිය ගෙදර එහාට යනවා මෙහාට යනවා. එහෙම ඇවිදින ගමන් ‘උපාලි දැන් අපි මොකද කරන්නෙ, ලංකාවෙන් නිළියක් ගෙන්න ගන්නත් කාලයකුත් නැහැනෙ’ කියලා කිව්වා.

 

උපාලි සහ සරච්චන්ද්‍රයන්ගේ දියණිය යශෝධරා

 
ඔය වෙනකොට සරච්චන්ද්‍ර මහත්තයගෙ බාල දුව යශෝධරාත් අපිත් එක්ක ලන්ඩන් ගිහින් හිටියේ. සරච්චන්ද්‍ර මහත්තයට කරගන්න දෙයක් නැති තැන යශෝධරාගෙන් ඇහුවා ‘දුවේ ඔයාට පුළුවන්ද මනමේ කුමාරිගෙ චරිතෙ කරන්න’ කියලා. හැබැයි සරච්චන්ද්‍ර මහත්තයා ටිකක් දෙගිඩියාවෙන් ඒක ඇහුවේ. මොකද ඇය ඊට පෙර කවදාවත් මනමේ කුමාරිගෙ චරිතෙ රඟපාලා තිබුණෙ නැහැ. අනෙක ඇය එතකොට පාසල් ශිෂ්‍යාවක්. සරච්චන්ද්‍ර මහත්තයා ප්‍රශ්නෙ ඇහුව ගමන් යශෝධරා දුව කිව්වා ‘මට පුළුවන් තාත්තේ’ කියලා. 


ඊට පස්සෙ රිහසල් පටන් ගත්තා. අපි ඉතිං බලා ඉන්නවා. සිරිසේන සූරියආරච්චිගෙ මද්දල් වාදනයට යශෝධරා ඉණට අත් දෙක තියලා ගමන් තාලය ඇල්ලුවෙ වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනට. සරච්චන්ද්‍ර මහත්තයටත් හිතා ගන්න බැරි වුණා යශෝධරා තාලෙ අල්ලපු විදිහ. ඊට පස්සෙ සිංදු එහෙමත් පුහුණු වෙලා පහුවෙනිදා තිබුණු දර්ශනයේ මනමේ කුමාරිට රඟපෑවෙ යශෝධරා. ඇය ඒක බොහොම හොඳින් කළා. ඊට දවස් කීපයකට පස්සෙ මනමේ නාට්‍යයේ තවත් දර්ශනයක් තිබුණා. ඒ වෙනකොට කුමාරි මැණිකේට හොඳයි. ඒ නිසා දෙවැනි දර්ශනයත් එතැනින් පස්සෙ තිබුණු අනෙක් දර්ශනත් රඟපෑවෙ කුමාරි. එදා ලන්ඩන්වල අන්තිම දර්ශනය පෙන්නපු දවසෙ සරච්චන්ද්‍ර මහත්තයා මම බලාපොරොත්තු නොවුණු දෙයකුත් කළා. 


ප්‍ර : ඒ මොකක්ද? 


අන්තිම දර්ශනය පෙන්නුවෙ මහ විශාල හෝල් එකක. ශාලාව පිරෙන්න සෙනඟ හිටියා. වේදිකාව ඉදිරිපිට තුන්වැනි මහලේ තිබුණු කුටියක ඉඳන් තමයි මම වේදිකාවෙ ආලෝකය හැසිරවීම කළේ. නාට්‍ය පටන් ගන්න කලින් සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා නාට්‍ය අවසන් කරන මොහොතෙ තිරය වහන්න කලින් මට වේදිකාවට එන්න කියලා. හැබැයි ඒක ටිකක් වෙලා යන වැඩක්. මොකද මම තට්ටු තුනක් බැහැගෙන එන්න ඕනැ. අනෙක මම එහෙම එන්න ඕනැ ප්‍රේක්ෂකාගාරය මැදින්. 


මම ඒ වෙලාවෙ සරච්චන්ද්‍ර මහත්තයට කිව්වා ‘සර්, මම තට්ටු තුනක් බැහැලා එන්න ඕනැ. එහෙම එද්දි ටිකක් වෙලා යයි. ඒ නිසා මම ස්ටේජ් එකට නෑවිත් ඉන්නම්’ කියලා. එතකොට සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා ‘තට්ටු තුනක් නෙමෙයි තට්ටු දහයක් බැහැලා හරි උපාලි එනකම් මම කර්ට්න් එක වහන්නෙ නැහැ’ කියලා.

 

සරච්චන්ද්‍ර, ඔහුගේ බිරිඳ ලලිතා සමග උපාලි

 

ප්‍ර : සරච්චන්ද්‍ර මහත්තයා එවන් ඉහළ ඇගැයීමක් ඔබට කළේ ඇයි? 


මනමේ පෙන්නන්න අපි ලන්ඩන් ගිය කාලෙ ලංකාවෙ වේදිකා ආලෝකකරණ කටයුතු කළේ බොහොම ප්‍රාථමික තාක්ෂණයකින්. හැබැයි ඒ වෙද්දි එහෙ වේදිකා ආලෝකකරණ තාක්ෂණය පරිගණකගත කරලා සෑහෙන ඉදිරියෙන් තිබුණේ. අපි ලංකාවෙදි ඒ කාලෙ වේදිකා ආලෝකකරණය කළේ නළු නිළියන් කරන රඟපෑමට අනුව. ලන්ඩනයෙදි ආලෝකකරණයට අනුව නළු නිළියන්ට රඟපාන්න වුණා. 


සරච්චන්ද්‍ර මහත්තයා බය වුණා මට ඔය තාක්ෂණය අල්ල ගන්න බැරිවෙයි කියලා. හැබැයි මම එය හොඳින් ග්‍රහණය කරගෙන මගේ කාර්යය ඉතාම හොඳින් කළා. මම කළ දේ අගයන්න තමයි එතුමා එදා එහෙම කළේ. විශ්ව විද්‍යාලයකින් ලබා ගන්න උපාධියකට වඩා මට ඒ ඇගැයීම වටිනවා. එදා දර්ශන වාර සියල්ල අවසන් වුණාට පස්සෙ සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා ‘උපාලි අපිව බේරා ගත්තා’ කියලා. 


ප්‍ර : ඔබ ඉතිං නාට්‍ය අවසන් කරන කර්ට්න් කෝල් එකේදි ස්ටේජ් එකට ආවද?  


ඔව්. නාට්‍ය අවසන් වෙනකොට මම පඩිපෙළ බැහැලා එන්න පටන් ගත්තා. ප්‍රේක්ෂකාගාරය මැදින් එනකොට සරච්චන්ද්‍ර මහත්තයා අත දික්කරලා ප්‍රේක්ෂකයින්ට මාව පෙන්නුවා. ඊට පස්සෙ මං ගැන කෙටි හැඳින්වීමකුත් කළා. ස්ටේජ් එකට නැග්ගහම එතුමා මාව පිළිගත්තෙ දෑතින්ම අල්ලගෙන. එතුමත් මමත් වේදිකාව මත හිටිය අනෙක් ශිල්පීනුත් ප්‍රේක්ෂකාගාරයට ආචාර කළාට පස්සෙ තමයි තිරය වහන්න පටන් ගත්තේ. 

 

අමරදේවයන් උපාලිගේ විවාහයේ සාක්ෂිකරු ලෙස අස්සන් කළ අයුරු.


ප්‍ර : ඔය ලන්ඩන් ගමනෙදි සරච්චන්ද්‍ර මහත්තයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙ දේශනයකුත් පැවැත්වුවා නේද? 


ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළ ආරාධනයකට අනුව තමයි එතුමා ඔබ ඔය කියන දේශනය කළේ. ඒක අහන්න සරච්චන්ද්‍ර මහත්තයා අපිටත් ආරාධනා කළා. මමයි ජයලත් මනෝරත්නයි හරිම ආසාවෙන් දේශනය අහන්න ගියේ. නාට්‍ය සහ රංග කලාව ගැන සරච්චන්ද්‍ර මහත්තයා දේශනය කළේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට. එය අහන්න බ්‍රිතාන්‍යයේ වගේම වෙනත් රටවලත් ආචාර්යවරු ආචාර්යවරියන් රැසක් ඇවිත් හිටියා. ශාලාව පිරී ඉතිරී ගිහින් තිබුණේ. 


එදා සරච්චන්ද්‍ර මහත්තයගෙ දේශනයට සමගාමීව අමරදේව මහත්තයා ගීත ගායනා කිරීමත් කළා. හැබැයි ආරම්භයේ දී දෙන්නම ගැටලුවකට මුහුණ දුන්නා. සරච්චන්ද්‍ර මහත්තයට දේශනය පවත්වන්න වුණෙත් අමරදේව මහත්තයට ගීත ගායනා කරන්න වුණෙත් වේදිකාවෙ තිබුණු එකම පෝඩියම් එකේ. සරච්චන්ද්‍ර මහත්තයයි අමරදේව මහත්තයයි දෙන්නම වැඩිය උස නැති නිසා පෝඩියම් එකට ආවහම දෙන්නම ප්‍රේක්ෂකාගාරයට පේන්නෙ නැහැ. ඒ වෙලාවෙ සංවිධායකයින් පෝඩියම් එකේ ගහලා තිබුණු මල් පොකුරු ගලවලා ඉවත් කළා. එතකොට තමයි දෙන්නගෙම මුහුණු ප්‍රේක්ෂකයන්ට පේන්න ගත්තේ. 


ඊට පස්සෙ සරච්චන්ද්‍ර මහත්තයා දේශනය පටන් ගත්තා. එතුමා දේශනය නවත්වන තැනදි අමරදේව මහත්තයා ගීතයක් ගායනා කරනවා. ගීතය ඉවර වුණහම නැවතත් දේශනය පටන් ගන්නවා. දේශනය එක් තැනකදි නවත්තලා යළි ගීතයක් ගායනා කරනවා. ඔය විදිහට ගිය වැඩසටහන අවසන් වෙනකන්ම ශාලාවෙ හිටිය අය අහගෙන හිටියෙ එයට සමවැදිලා. දේශනය අවසන් වුණාට පස්සෙ ප්‍රේක්ෂකාගාරයෙන් නැගුණෙ කන් බිහිරි කරවන තරමේ අත්පොළසන් හඬක්. 


ප්‍ර : අමරදේව මහත්තයත් එක්ක තියෙන මතක මොනව ද? 


අමරදේව මහත්තයට කේන්ති යන්නෙ හරිම අඩුවෙන්. හැබැයි දවසක් හොඳටම කේන්ති ගියා. එදා අපි අමරදේව මහත්තයගෙ ප්‍රසංගයකට පස්සර ගිහින් හිටියේ. ඒ දවස්වල සංගීත කණ්ඩායම, වේදිකා ආලෝකකරණ ශිල්පීන් ඇතුළු සියලු දෙනාම එකම බස් එකේ ප්‍රසංගයට යන්නේ. පස්සර ප්‍රසංගය සංවිධානය කළ අය අපට රාත්‍රි ආහාරය සූදානම් කරල තිබුණත් රෑ වෙච්ච නිසා ආහාර පිළුණු වුණා.  


ඒ නිසා රාත්‍රි ආහාරය නොගෙනයි අපි මහ රෑම කොළඹ එන්න පිටත් වුණේ. මගදිගට බල බල ආවත් එක හෝටලයක්වත් ඇරලා තිබුණෙ නැහැ. මට මතක විදිහට හාළිඇළ හරියෙදි කෑම කඩයක් විවෘත කරලා තිබුණා. ඒක තරමක් විශාල රෑ කඩයක්. සෑහෙන සද්දෙට බයිලා සිංදු එහෙමත් දාලා තිබුණේ. බස් එක එතැන නවත්තලා හැමෝම බැස්සා රාත්‍රි ආහාරය ගන්න. 


අමරදේව මහත්තයා හෝටලේ ඇතුළට එනකොටම මට කිව්වා ‘උපාලි, ඔය සිංදු දාලා තියෙන එක නවත්තන්න, නැත්නම් සද්දෙ අඩු කරන්න කියන්න’ කියලා. මුදල් අයකැමි ළඟට ගිහින් මම ඇහුවා ‘සිංදුවල සද්දෙ ටිකක් අඩු කරන්න පුළුවන්ද’ කියලා. අමරදේව මහත්තයා කෑම ගන්න ඇවිත් ඉන්න බවත් කිව්වා. මුදල් අයකැමි බොහොම කැමැත්තෙන් සිංදුවල සද්දෙ සෑහෙන අඩු කළා. හැබැයි සද්දෙ අඩු වෙලා තිබුණෙ ටික වෙලාවයි. ආහාර ගන්න පටන් ගත්තට පස්සෙ සිංදුවල සද්දෙ තිබුණටත් වඩා ආපහු වැඩි වුණා. 


ප්‍ර : ඇයි එහෙම සද්දෙ ආපහු වැඩි කළේ? 


 අමරදේව මහත්තයගෙ ප්‍රසංගවල තබ්ලා ගැහුවෙ විජේරත්න රණතුංග. විජේරත්න හරිම විහිළුකාරයා. ඔහු හිමින්සැරේ මුදල් අයකැමිට ගිහින් කියලා ‘කලින් දාලා තිබුණු බයිලා සිංදු ටික පුළුවන් තරම් සද්දෙට දාන්න, අමරදේව මහත්තයා ඒ සිංදුවලට හරිම ආසයි’ කියලා. එහෙම කියපු නිසා තමයි සිංදුවල සද්දෙ ආයෙත් වැඩි කරලා තිබුණේ. අමරදේව මහත්තයට ඔය වෙලාවෙ හොඳටම කේන්ති ගිහින් මෙහෙම කිව්වා. ‘උපාලි, අර මනුස්සයගෙන් ගිහින් අහන්න අපි කන්නද එපාද කියලා.’ 


මම ගිහින් මුදල් අයකැමිට කිව්වා ‘ඇයි සද්දෙ වැඩි කළේ. ඒක අඩු කරන්න’ කියලා. එතකොට ඔහු කිව්වා ‘මහත්තයලගෙම කෙනෙක් තමයි කිව්වෙ සද්දෙ වැඩි කරන්න, ඒකයි මම වැඩි කළේ’ කියලා. එහෙම කියලා ඔහු කලින් වගේම සද්දෙ සෑහෙන අඩු කළා. 


ලබන සතියට...

 

 

■ උත්පල දිසානායක