පෘතුවියේ වහල මත ධාවනය වන දුම්රිය


ටිබෙට් සානුව හරහා දිව යමින් මුහුදු මට්ටමේ සිට මීටර 5702 ක් දක්වා ඉහළට නැගෙන ලෝකයේ උසම දුම්රිය මාර්ගය වූ  චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගය සැබැවින්ම ඉංජිනේරු විද්‍යාවේ ප්‍රාතිහාර්යයක් ලෙස සැලකේ.


මධ්‍යම චීනයේ ෂිනින්ග් නගරයේ සිට ටිබෙටයේ ලාසා නගරය දක්වා කිලෝ මීටර 2000 කට ආසන්න දුරක් චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගය දිව යයි. එක් අවස්ථාවකදී මුහුදු මට්ටමේ සිට මීටර 5702 ක් ඉහළින් එම දුම්රිය ධාවනය වීම හේතුවෙන් පෘතුවියේ වහල මත ධාවනය වන බව පවසයි. කහපැහැති තණකොළ මැදින් පෘතුවියේ උසම කඳු පන්තිය අතරින් දිව යන චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයට ඇතැම් අවස්ථාවන් හි මිනිස් වාසස්ථානයක් හමු නොවන තරම්ය.


හිමාල කඳු පන්තිය අතරින් ධවානය වෙද්දී දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව නතරවුවහොත් දැඩි සුළං හමන උස්බිමේ දිවි රැකගත හැක්කේ මගීන් ටික දෙනකුට පමණි. මක්නිසාද යත් පානය කිරීමට ජලය හෝ හිසට සෙවණක් ලබා ගැනීමට ගසක් හෝ ඔවුන්ට සොයා ගැනීමට හැකිවන්නේ නැත. දැක ගැනීමට හැකිවන්නේ හිමාල කඳුකරයට අවේනික ගව විශේෂයක ඇට සැකිලි සහ මාඕ යුගයට අයත් හමුදා ගොඩනැගිලිවල නටබුන්ය.

 


වර්තමානයේ එක් දුම්රිය ගමනකින් ලාසා නගරයට ඇතුළුවීමට හැකියාව තිබුණත් චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගය ගැන කතා කරන විට කාගේත් සිත් තුළට නැගෙන්නේ දුම්රිය මාර්ගය ඉදිකිරීමට ප්‍රථම හිමාල කඳුකරය අතරින් ලාසා නගරයට ළඟා වීමට උත්සාහ දැරූ විදේශීය පුද්ගලයන්ගේ වික්‍රමාන්විත ගැනය. එහිදී කාගේත් සිත් තුළ මුලින් මතකයට නැගෙන්නේ ලාසා නගරයට ඇතුළු වූ ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයා වූ තෝමස් මැනින්ග් ය. ඔහු 1811 වසරේදී චීනයේ ග්වන්ජෝ නගරයේ සිට කල්කටාව දක්වා ගමන් කළේය.
සාඕ නම් චීන ජාතික කතෝලිකයකු සමඟ ඔහු කිසිදු අභියෝගයකින් තොරව භූතාන - ටිබෙට් දේශ සීමාව තරණය කළේය. මාස ගණනක් දැඩි බාධක මැද සිදුකළ සංචාරයේදී ටිබෙට් අගනගරය වූ ලාසා වෙත ඔහුගේ අවධානය යොමු විය. ලාසා යනු අපිරිසිඳු දුප්පත් නගරයක් යැයි තෝමස් මැනින්ග් ගේ අදහස විය. කෙසේ වෙතත්, චීනය වෙනුවෙන් ටිබෙටය පාලනය කළ ඇම්බන් ඔහු සිරගත කිරීමට පෙර සය හැවිරිදි දලයි ලාමා හමුවීමටද මැනින්ග් ට හැකිවූයේය. දම්වැල් දමා දේශ සීමාවට රැගෙන ගොස් පිටුවහල් කරන ලෙස ජාචින්ග් අධිරාජ්‍යයා නියෝග කරන තෙක්, ඔහු සිරගතව සිටියේය. මැනින්ග් ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ ගත් බොහෝ දෙනෙක් ජීවිතයෙන්ද වන්දි ගෙව්වේය.
ලෝකයෙන් සැඟවී සිටි ලාසා නගරයට ලෝකයේ අවධානය යොමු කිරීමට අවසානයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට හැකිවිය. බ්‍රිතාන්‍යය සහ ටිබෙටය අතර වෙළෙඳ ගැටලු‍වල අවසානය දකින ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නියෝග කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ක්‍රියාත්මක වූ හමුදා බලඇණියක් වූ ටිබෙට් දේශසීමා කොමිසම හමුදා බලය යොදා ගනිමින් ටිබෙටය යටත් කර ගැනීමට සමත් විය. විනාඩියට පතොරම් සිය ගණනක් පිටවෙන තුවක්කුවලට එරෙහිව ටිබෙටයට කළ හැකි කිසිවක් නොවීය. ගැටුමෙන් බොහෝ දෙනෙකුට දිවි අහිමි වූ අතර දිවි බේරා ගත්තන් ටිබෙට් දේශසීමා කොමිසමට යටත් විය. බ්‍රිතාන්‍යය ටිබෙටය යටත් කර ගැනීමට සමත් වීමත් සමඟ දලයි ලමා මොන්ගෝලියාවට පැන ගිය අතර 1904දී බ්‍රිතාන්‍ය අධිරාජයා ටිබෙටය සමඟ නව ගිවිසුමකට අත්සන් තැබුවේය.


චීනය සහ චීනයේ ඥාති සොහොයුරා වූ ටිබෙටය සම්බන්ධ කරන පෙකණිවැල ලෙස හැඳින්වෙන චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයේ පළමු අදියර 1984 වසරේදී ආරම්භ විය. ලොව උසම දුම්රිය මාර්ගය වන්නේද චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයයි.

 


සංචාරක ලේඛකයෙකු වූ පෝල් තැරොක්ස් 1980 දශකයේ මැද භාගයේදී චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇත. නමුත් ඒ වන විට දුම්රිය මාර්ගයේ දෙවන අදියර අවසන් වී නොතිබිණ.


තාප බලයෙන් බලගැන්වුණු දුම්රියකට පෝල් තැරොක්ස් ගොඩ වී ඇති අතර එම දුම්රියට ගමනාන්තයට ළඟාවීම සඳහා පැය තිහක කාලයක් ගතවී ඇත. නමුත් 2018 වසර වන විට සම්පූර්ණ ගමන අවසන් කිරීම සඳහා ගතවන්නේ පැය හතක කාලයකි.


පෝල් තැරොක්ස් සිය දුම්රිය ගමන පිළිබඳ ඔහුගේ සංචාරක සටහනේ සඳහන් කර තිබුණේ ඉතාමත් කටුක අත්දැකීමක් ලෙසය. දුම්රියෙන් ගමන් කරන විට යකඩ කුකුලකු මත නැගී ගමන් කරන ආකාරයක් තමන්ට දැනුණු බව ඔහු සිය සංචාරක සටහනේ දක්වා ඇත. එසේම මගීන් පොරබැදීම් සහ ගමන ආරම්භ කර පැයක් යන්නටත් මත්තෙන් එන්ජිමට අවශ්‍යය ජලය අවසන් වීම සිය අත්දැකීම තවත් කටුක කළ බව ඔහු සිය සංචාරක සටහනේ දක්වා ඇත.


ඔහු දුම්රියෙන් පැමිණ ලාසා නගරයට පිටත් වීමට ප්‍රථම ගොල්මුඩ් නැමැති ගරා වැටීමට ආසන්න ගොඩනැගිලිවලින් යුත් නගරයක රාත්‍රියක් ගතකර පසු දින දහවල් කාලයේදී ලාසා නගරය වෙත පිටව ගිය බව පෝල් තැරොක්ස් ගේ සංචාරක සටහනේ අවසන් පරිච්ඡේදයේ දැක්වේ.


තවදුරටත් ගොල්මුඩ් නගරය පිළිබඳ පෝල් තැරොක්ස්ගේ හඳුන්වාදීම සත්‍ය නොවේ. නව ගොල්මුඩ් නගරය ඉතාමත් නවීන නගරයකි.
චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයේ ගොල්මුඩ් නගරයේ සිට ලාසා නගරය දක්වා වූ දෙවන අදියර 2006 වසරේදී විවෘත විය.


ජනාධිපති හු ජින්තාඕ 2006 වසරේ දී ගොල්මුඩ් දුම්රිය ස්ථානය විවෘත කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගොල්මුඩ් සිට ලාසා වෙත දිවෙන මෙම දුම්රිය මාර්ගයේ දෙවෙනි කොටස දුම්රිය මාර්ග පිළිබඳ ලෝක ඉතිහාසයේ ප්‍රාතිහාර්යයක් බවත් චීනයේ ජයග්‍රහණයක් බවත්ය.


කිසිවෙකුත් සාර්ථකව ඉදිකර අවසන් වෙතැයි නොසිතන චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගයේ දෙවැනි කොටස වූ කිලෝමීටර 1200 ක දුර සාර්ථකව අවසන් කිරීම සැබැවින්ම ප්‍රාතිහාර්යයකි. මෙවැනි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කළහොත් තාර්කික මනසක් ඇති ඕනෑම පුද්ගලයකු එය මෝඩ අදහසක් යැයි පවසමින් අමතක කරනු ඇති බව නිසැකය.


ටිබෙට් සානුව තුළ ශීත දේශගුණය කෙතරම් දැඩිදැයි කිවතොත් ටිබෙටයට තුන්වෙනි ධ්‍රැවය යැයි අන්වර්ථ නාමයක් ලැබී ඇත. ටිබෙට් සානුව තුළ හමන සුළඟ කුඩා ළමයකු ගසාගෙන යාමට තරම් ප්‍රබලය. දැඩි ශීත දේශගුණය හේතුවෙන් පාදයේ ඇඟිලි කීපයක් අහිමි වීමට තරම් ඇතමෙකු අවාසනාවන්ත විය හැක.


චින්හායි - ටිබෙට් දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී පරිසරය විසින් ඉංජිනේරුවන්ට විශාල අභියෝග ගණනාවක් එල්ල කර ඇත. දුම්රිය මාර්ගයේ බොහෝ දුරක් පාලම් මතින් ඉදිවී ඇත.
චීනය ඔවුන්ගේ චීන මහා ප්‍රාකාරය පිළිබඳ ආඩම්බර වන ආකාරයෙන්ම ඔවුන්ගේ අහස් දුම්රිය පිළිබඳවද ආඩම්බර වේ.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු