පූනානි කඳවුර කොටින්ගෙන් බේරාගන්න කළ සටනක්


  •  ඔවුන් ඇදගෙන හිටියේ අපේ හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම්. ගමන් කළේත් අපේ අයගේ පිළිවෙළට, දෙදෙනෙක් අතර විශාල පරතරයක් තබාගෙන. එහෙම විශාල පිරිසක් අනෙක් පැත්තෙන් කැලෑවට රිංගනවා අපි දැක්කා. අප ඉදිරියේ සිටින පිරිසද මෙතනින් ඉවත්වේවි යැයි අපට සැක හිතුනා. තවත් බලා සිටියොත් අතට ආ කුරුල්ලා නැතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි පහර දෙන්න පටන් ගත්තා. අපි පහරදීම ආරම්භ කරලා ඒක අල්ලගෙන සිටින අතරේ අපගේ සහායක කණ්ඩායම් ද එතනට ළඟා වේවි කියලා අපි හිතුවා.
  • කෙසේ හෝ ලොකු පරිශ්‍රමයක් යොදා වැව් බන්ඩ් එක අසලට යාමට මට හැකියාව ලැබුණා. එහි කුඩා ගල් තලාවක් වැනි කොටසකට නැග අපගේ සටන් භූමිය දෙස බැලූ විට අපගේ සහෘදයන් දක්ෂ ලෙස සතුරාට ප්‍රතිප්‍රහාර දෙමින් යුද ශිල්ප අනුගමනය කරමින් වැව් බන්ඩ් එක දෙසට ළඟා වෙමින් සිටින බව පැහැදිලිව දක්නට ලැබුණා. එහෙත් අනෙක් පස බලද්දී දුටු දේ ඊට වඩා භයානකයි. ත්‍රස්තයන්ගේ තවත් විශාල පිරිසක් ඈතට විහිදී ගිය පෙළක් වශයෙන් ප්‍රහාර දෙමින් ඉදිරියට මතුවෙමින් සිටින බව එහිදී නිරීක්ෂණය වුණා. ඔවුන් ඇඳ සිටියේ ද අපගේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම්. ඔවුන් අපගේ උදව්වට පැමිණෙන කණ්ඩායම දැයි සැක හිතෙන තරමට ඔවුන් අපේ අයට සමාන වුණා.

තිස් වසක් යුද්ධයේ බිහිසුණු අත්දැකීම් අපි කොතෙකුත් අසා ඇතිවාට සැකයක් නැත. එහෙත් අපි යුද්ධයේ හැම අහුමුල්ලක්ම දැන අවසන් යැයි කිවහැක්කේ කාටද? රිවිරැස, ජයසිකුරු, අකුණුපහර ආදී නොයෙක් නාමකරණ යටතේ සිදුකළ සුප්‍රසිද්ධ ඇතැම් මෙහෙයුම් ගැන අප ඇති තරම් කියවා තිබෙනවාටද සැකයක් නැත. 

එහෙත් අප නොඇසූ නොකියවූ නොදුටු තවත් කතා බොහොමයක් මේ කාලය තුළ සැඟව තිබේ. 


මේ තවත් එවැනි කතාවකි. මේ කතාවේ කතානායකයා කමාන්ඩෝ සැරයන් ටී.ඩබ්. කරුණාරත්න ය. ඔහු ආබාධිත රණවිරුවෙකි. 1995 දී හමුදාවට බැඳී 1998 ජයසිකුරු මෙහෙයුමේ දී තුවාල ලබා ආබාධිත වූ ඔහුට සැරයන් නිලයෙන් ඉහළට යා නොහැකි විය. මේ ඔහු කියන්නේ බිහිසුණු එහෙත් ජයග්‍රහණයෙන් කෙළවර වූ සටනකි. ඒ පූනානි කඳවුරට පහර දීමට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එළුෑ සැලසුමක් ව්‍යර්ථ කළ මෙහෙයුමකි. 


ඒ කාලේ ඒ කියන්නේ මීට වසර විසි අටකට පෙර 1995 මැයි වන විට මම 1 වැනි කමාන්ඩෝ රෙජිමේන්තුන්තුවේ චාලි කණ්ඩායමට අනුයුක්තව පූනානි කඳවුරේ තමයි ස්ථානගතවී සිටියේ. ඒ කාලය පැවතුණේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ කාලයක් ලෙසයි. ඒත් මේ සිදුවීම වන අවස්ථාව වන විට ත්‍රස්තවාදීන් විසින් සටන් විරාමය කඩකොට හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ලකොට තිබුණා. 


අපිට හදිසියේ ලැබුණු බුද්ධි තොරතුරකින් කියවුණේ අප සිටි පූනානි කඳවුරට ත්‍රස්තයන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවයි. අපිට එය වළක්වා ගැනීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වුණේ ඔවුන් අපිට පහර දීමට ප්‍රථම අප ඔවුන් සොයාගොස් පහර දීමයි. 


එහෙත් ත්‍රස්තවාදීන්ගේ මූලික කඳවුර තිබෙන්නේ කොහේද? ඔවුන්ගේ සැලසුම කුමක්ද? කියලා අපි දන්නේ නැහැ. නමුත් නිතර ත්‍රස්තවාදීන් සැරි සැරූ බවට තොරතුරු වාර්තා වී තිබුණු කැලෑබද ප්‍රදේශයක් කෙරෙහි අපේ අවධානය යොමු වුණා. අපි කොමාන්ඩෝ බළකාය හැටියට අපිටම ආවේනික වූ ක්‍රම අනුගමනය කරමින් කණ්ඩායම් තුනක් වශයෙන් සතුරා පැමිණිය හැකි යැයි උපකල්පනය කළ ප්‍රදේශයට ඇතුළු වුණා. 


ඒක මේ දැන් කියනවා වගේ පහසු වුණේ නැහැ. තොරතුරු රැස් කරලා යම් කිසි ඉලක්කයක් ඇතිව තමයි ඒ ගමන ආරම්භ කළේ. ඒ වගේම අපි කැලෑවට ඇතුළු වෙනවා කවුරුවත් දකින්න බැහැ. ඒ නිසා අපි ගමන් ඇරඹුවේ රාත්‍රි කාලයේ. කැලැවට ගැළපෙන ආරක්ෂක හිස් වැසුම් දාගෙන කැළෑවට ගැළපෙන ඇඳුම් ඇඳගෙන තමයි අපි ගියේ. සමහර තැන්වල දී අපි බඩගාගෙන ගියා. සමහර තැනක දී බාගෙට කොන්ද නවාගෙන ගියා. සැක සහිත අවස්ථාවල දී ගස් උඩ නැගලා නිරීක්ෂණය කළා. 


කිලෝමීටර් පහකට වැඩි ප්‍රමාණයක් කැලෑව ඇතුළට යන විට කිරිමිච්චියකුලම් වැව සමීපයට පැමිණීමට හැකි වුණා. එතන දී අපේ කණ්ඩායම දෙකට බෙදිලා වැව දෙපසින් දෙපැත්තට ගියා. අපේ කණ්ඩායම ටිකක් ඉදිරියට යන විට වැව් බන්ඩ් එකේ කවුද පිරිසක් ඉන්නවා දැක්කා. තවදුරටත් නිරීක්ෂණය කරන විට ඒ ත්‍රස්තවාදීන් බව තහවුරු වුණා. ඔවුන්ගෙන් එක් පිරිසක් නාන අතර, අනෙක් පිරිස රැකවල්ලාගෙන සිටින බවට තහවුරු වුණා. 


 

මේ අවස්ථාවේදී අපගේ අදහස වූයේ වහාම ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඒ බව අප කණ්ඩායමට නායකත්වය දුන් ලු‍තිතන් කමල් ධර්මවර්ධනගෙන් (වර්තමානයේදී කර්නල්වරයෙකු වශයෙන් සේවය කරන දක්ෂ නිලධාරියෙකි) විමසුවා. පසුව අපේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් ශ්‍රීනාත් රාජපක්ෂ සර්ගෙන් විමසුවා. ඒ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හරහායි. එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තිය ගැන අදහසක් නැති නිසා අපගේ චාලි කණ්ඩායමට සහාය වීමට ඩෙල්ටා කණ්ඩායම හා බ්‍රාවෝ කණ්ඩායම පැමිණෙන තෙක් සටන පටන් නොගන්නා ලෙස අපිට උපදෙස් ලැබුණා. 


එහෙත් ඒ වන විට අපිට සහායට එන බව කී කණ්ඩායම හිටියේ අප සිටි තැනට බොහෝ දුරින්. ඔවුන් පැමිණීමට ද බොහෝ වේලාවක් යන බව අපිට පැහැදිලියි. මොකද ඔවුන් පැමිණිය යුත්තේ ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශ හරහා පයින්ම නිසා ඒ අතර වෙනත් ගැටුම් ද ඇතිවිය හැකි බව අපට වැටහුණා. ඒත් උපදෙස් වලට පිටින් යා නොහැකි නිසා අප ත්‍රස්තවාදීන් නිරීක්ෂණය කරගෙන අදාළ තැන ස්ථාන ගතවී සිටියා. මෙසේ වේලාව ගතවන විට අපි දැක්කා අර ත්‍රස්ත කණ්ඩායමට තරමක් දුරින් තවත් ත්‍රස්තවාදීන් පිරිසක් විවෘත භූමිය හරහා ගමන් කරනවා. 

 


ඔවුන් ඇදගෙන හිටියේ අපේ හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම්. ගමන් කළේත් අපේ අයගේ පිළිවෙළට, දෙදෙනෙක් අතර විශාල පරතරයක් තබාගෙන. එහෙම විශාල පිරිසක් අනෙක් පැත්තෙන් කැලෑවට රිංගනවා අපි දැක්කා. අප ඉදිරියේ සිටින පිරිසද මෙතනින් ඉවත්වේවි යැයි අපට සැක හිතුනා. තවත් බලා සිටියොත් අතට ආ කුරුල්ලා නැතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි පහර දෙන්න පටන් ගත්තා. අපි පහරදීම ආරම්භ කරලා ඒක අල්ලගෙන සිටින අතරේ අපගේ සහායක කණ්ඩායම් ද එතනට ළඟා වේවි කියලා අපි හිතුවා. 
අප සැඟවී සිටි වනරොදේ සිට වැව් බන්ඩ් එකට මීටර 75ක් පමණ දුරක් තිබූණා. ඒ දෙසට පහර දෙමින් යායුතුව තිබුණේ විවෘත භූමියක් මැද්දෙනුයි. ඒක අතහැර දමා තිබූ කුඹුරු යායක් වැනි භූමියක්. අප එම විවෘත භූමිය හරහා භාගයක් පමණ දුර යද්දී හතර වටින්ම අපිට ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. විවෘත භූමියක් නිසා ඒක අපිට ගොඩක් අවාසි සහගත වුණා. අපිට මුවාවෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ත්‍රස්තයන්ගේ ප්‍රහාරය එන්න එන්නම දරුණු වුණා. ඒ වෙලාවේ අපේ ඉහළ සිට පහළට සියලු‍ම නිලධාරීන් එකාමෙන් තම තමන්ගේ කාර්යභාරය මනාව ඉටු කරමින් සතුරාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තා. ඒ වෙලාවේ සැහැල්ලු‍ වගේම බර අවි වලින්ද පහර දෙන්න ගත් තීරණය නිසා ත්‍රස්තයන් විශාල පිරිසකට හානි වුණා. අපගේ අදහස වුණේ වැව් බන්ඩ් එක අල්ලා ගැනීමයි. මට මතකයි මා ත්‍රස්තයන්ට ප්‍රහාරයක් එල්ලකර පහත් වනවාත් සමග ඔවුන් විසින් එල්ල කරන ලද උණ්ඩයක් මා අසලින් ගොස් කෝප්‍රල් සෙනෙවිරත්නගේ හිසකෙස් වල ගෑවී නොගැවී ඇදී ගිය ආකාරය. ඒක ට්‍රේසර් උණ්ඩයක් නිසා අපිට පෙනුණා. අනෙක් උණ්ඩ සුලං කපාගෙන යන හඬ පමණයි දසතින් ඇසුණේ. ඒ වෙලාවේ නොදැනුනාට ආපස්සට දැන් හිතනකොට මොන තරම් බිහිසුණු අත්දැකීමක්ද කියලා හිතෙනවා. 
කෙසේ හෝ ලොකු පරිශ්‍රමයක් යොදා වැව් බන්ඩ් එක අසලට යාමට මට හැකියාව ලැබුණා. එහි කුඩා ගල් තලාවක් වැනි කොටසකට නැග අපගේ සටන් භූමිය දෙස බැලූ විට අපගේ සහෘදයන් දක්ෂ ලෙස සතුරාට ප්‍රතිප්‍රහාර දෙමින් යුද ශිල්ප අනුගමනය කරමින් වැව් බන්ඩ් එක දෙසට ළඟා වෙමින් සිටින බව පැහැදිලිව දක්නට ලැබුණා. එහෙත් අනෙක් පස බලද්දී දුටු දේ ඊට වඩා භයානකයි. ත්‍රස්තයන්ගේ තවත් විශාල පිරිසක් ඈතට විහිදී ගිය පෙළක් වශයෙන් ප්‍රහාර දෙමින් ඉදිරියට මතුවෙමින් සිටින බව එහිදී නිරීක්ෂණය වුණා. ඔවුන් ඇඳ සිටියේ ද අපගේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම්. ඔවුන් අපගේ උදව්වට පැමිණෙන කණ්ඩායම දැයි සැක හිතෙන තරමට ඔවුන් අපේ අයට සමාන වුණා. තවත් නිරීක්ෂණය කරද්දී ඔවුන්ගේ පිරිස කෙළවර නොපෙනෙන විශාල පිරිසක් බවට පරිවර්තනය වෙමින් පවතින බව දැකගත හැකි වුණා. කාලය අපතේ යැවිය නොහැකිය. මා අසල සිටි කමාන්ඩෝවරයෙකු වූ ගුණසේකර ටී, එන් ගෙන් බයිනෝ එ​ෙකන් අපේ ඒ පිරිස හොඳින් නිරීක්ෂණය කළා. ඔවුන් ත්‍රස්තවාදීන්ම බව තහවුරු වුණා. වහා ක්‍රියාත්මක වී ගුණසේකරගේ LMG බර අවිය මගින් එම ත්‍රස්ත පිරිසට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. එම ත්‍රස්ත පිරිසට ඒක රේඛීය වන ලෙස පැත්තෙන් ඔවුන්ට වැදුන ප්‍රහාරය හමුවේ ඔවුන්ට කරකියා ගතහැකි දෙයක් නොමැතිව බිම ඇද වැටෙන බව අප මදක් ඉහළ සිට නිරීක්ෂණය කරන විට දැකගත හැකිවුණා. 


මේ වන විට එම ගල් තලාවට පැමිණ සිටි සියලු‍ම කමාන්ඩෝවරුන් ත්‍රස්තවාදීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. සැරයන් සාලිය, සැරයන් ජානක, ඒ වගේම ඒ වන විටත් තුවාල වී සිටි ලු‍තිනන් උබේසිරිවර්ධන හා ලු‍තිනන් රුබේරුද ත්‍රස්තවාදීන්ට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කළා. එම ප්‍රබල ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුවුණා. තවත් සටන් කිරීමට ඔවුන්ගේ කිසිවෙක් ඉතිරි වුණේ නැහැ. 

 


මේ වන විට අඳුර වැටෙමින් තිබුණා. අපිට උදව්වට පැමිණි ඩෙල්ටා කණ්ඩායම ද ත්‍රස්තයන් සමග මගදීම සටනකට ඇවිලී තිබූ බව අපිට පසුව දැනගන්නට ලැබුණා. පුනානි කඳවුරට පහර දීමේ සූදානමෙන් එදා ඒ ප්‍රදේශයේ අවට ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් එක්රැස්වී සිටි බව අපිට තහවුරු වුණා. එහෙත් අපේ ප්‍රහාර හමුවේ ඔවුන් විශාල පිරිසක් මිය ගියා. සුළු පිරිසක් පලා ගියා. කොහොම වුණත් ඒ සටනෙන් පුනානි යුද හමුදා කඳවුරට පහර දීමේ ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. 


මෙම සටන නිමාවන විට අපිට දක්ෂ කමාන්ඩෝවරුන් හතර දෙනෙකු අහිමි වුණා. කෝප්‍රල් නීල්, කෝප්‍රල් සිරිවර්ධන, කෝප්‍රල් බණ්ඩාර, ලා/කෝප්‍රල් සිල්වා එලෙස අපට අහිමි වූ රණවිරුවන් අතරට එක්වුණා. ඒ වගේම ලු‍තිනන් උබේසිරිවර්ධන, ලු‍තිනන් රුබේරු ඇතුළු සැලකිය යුතු පිරිසක් තුවාල ලැබුවා. තුවාල වූ සහෘදයන්ට එතනදීම හැකි පමණ ප්‍රතිකාර කළා. අනිත් කණ්ඩායම් ද අප සිටින තැනට පැමිණි පසු මියගිය විරුවන් හා තුවාල වූ විරුවන්ද රැගෙන රාත්‍රියේම කඳවුර බලා පිටත් වුණා.

 

 

සටහන
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක