පුස්කොළ පොත්වල දැන් කාලේ කළු මදින හැටි


 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු 5200 ක්වූ ඉපැරණි පුස්කොළ පොත් එකතුව කළු මැද නැවත සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබේ. 


පන්සල් වහරේදී නේත්‍රා පිංකම යනුවෙන් හැඳින්වෙන පුස්කොළ පොත් නැවත කළු මැද සංරක්ෂණය කිරීමේ මෙම ක්‍රියාවලිය මෙරට පන්සල් ආශ්‍රිතව වසර දහස් ගණනක සිට පැවතගෙන ආ සුවිශේෂී වූ සංරක්ෂණ ක්‍රියාවලියකි. 


මෙරට බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වීමෙන් පසු අකුරු අමුණන මුද්‍රණ යන්ත්‍ර රටේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් තල්පත් ලිවීම අභාවයට යමින් අද වෙන විට ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය දක්වා එය ගමන් කිරීමත් සමඟ තල් පතෙහි අකුරු ලිවීමේ තාක්ෂණය මෙන්ම එය සංරක්ෂණය කිරීමේ තාක්ෂණය තව තවත් දුරස් වෙන්නට විය. 
වර්ෂ 2000 සියවස ආරම්භ වෙන තුරුත් බොහෝ කේන්දර ලියන ස්ථානවල කේන්දර පිටපත තල් පතෙහි ලියා දීමට කටයුතු කරමින් තිබුණත් අද වෙන විට එයද බොහෝ දුරට දුරස් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.


මෙවන් වටපිටාවක් තුළ, දැනට මෙරට තිබෙන බොහෝ වටිනා කරුණු අඩංගු පුස්කොළ පොත් මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුතු පුස්කොළ පොත් සංරක්ෂණය කරගැනීමේ තාක්ෂණයක් නොමැතිව සිටියදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු 5200 ක් වෙන පුස්කොළ පොත් එකතුව නැවත කළු මැද සංරක්ෂණය කිරීම සඳහා වූ තාක්ෂණය විශ්වවිද්‍යාලය තුළට නැවත ගෙන ඒමට එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් මහතා කටයුතු කිරීම පැසසිය යුත්තකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පුස්තකාලය දකුණු ආසියාවේ ඇති පුස්තකාල අතුරින් සුවිශේෂී පුස්තකාලයකි. එහි ඇති අති දුර්ලභ පොත් එකතුව මෙන්ම පුස්කොළ පොත් එකතුව සුවිශේෂී ස්ථානයක් ගන්නේ ඒ නිසාවෙනි.


තල්පතක ලිවිය යුතු දේ පන්හිඳෙන් අකුරු කපා ඒ තුළට කළු මැද තිබීම හේතුවෙන් එය භාවිත කිරීම තුළිනුත් භාවිත නොකර සිටීම හේතුවෙනුත් එහි අකුරු මැකී යාම සිදු වුවත් වසර දහස් ගණනක් ගියත් ඒ අපූරු තාක්ෂණය හමුවේ තල්පත විනාශ වීමක් සිදු වූ බවක් පෙනෙන්නට නැත.
ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සතු, යටත් විජිත යුගයේ කඩදාසි කොළවල මුද්‍රණය කරන ලද විවිධ වටිනා ලියකියවිලි, කාවන්ගේ ග්‍රහණයට හසුවීම මෙන්ම කාලානුරූපීව එම කඩදාසි දිරාගොස් දියවී යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද අපගේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණයෙන් නිමවුණු පුස්කොළ පොත් වසර සිය දහස් ගණනක් ගිය ද එය එලෙසින්ම පැවතීම තුළින් අපගේ මුද්‍රණ තාක්ෂණයේ අගය ලොවටම කියාපායි.
පසුගිය දා ලෝක උරුමයක් වශයෙන් නම් කෙරුනේ ද වසර 2500 ක් වූ අපගේ පෞඩ ඉතිහාසයක් ලියැවුණු මහාවංසය නම් වූ පුස්කොළ පොතයි.
එම පුස්කොළපොත් වසර සිය දහස් ගණනක සිට වර්තමානය දක්වා ආරක්ෂාවී තිබුණේ, ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණය අපගේ මහා සංඝරත්නයට තිබූ බැවිනි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් තල්පත් ලිවීම අභාවයට යාමත් සමඟ වර්තමානයේ අපගේ සඟ පරපුරෙන් එම තාක්ෂණය ඈත් වී යාම හේතුවෙන් සංරක්ෂණය කිරීමට තිබෙන පුස්කොළ පොත් සංරක්ෂණය කරගැනීමට අවශ්‍ය දැනුම නොමැති වීමෙන්ද දැනට විහාරස්ථානවල ඇති එම ඉපැරණි පුස්කොළ පොත් දැඩි අවදානමකට ලක්ව තිබේ .
මෙම පුස්කොළ පොත් ලිවීම සහ සංරක්ෂණය කිරීමේ පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ අපගේ මහා සංඝරත්නයට සහ මෙරට විහාරස්ථාන වලටයි. පිරිත් සජ්ඣායනයේ දී මහා සංඝරත්නය බොහෝ විට පිරිත් අඩංගු පුස්කොළපොත  භාවිත කළත් ගල් ලෑල්ල භාවිතා කිරීමට පෙර අතීතයේදී  කුඩා දරුවකුට පුස්කොළ පොත පිළිබඳ අවබෝධය ලැබුණේ පන්සලට අකුරු කරවීමට ගිය අවස්ථාවේදීය. 


එවකට මෙරට විහාරස්ථානවල හෝඩි පොත නම් වූ පුස්කොළ පොතක් තිබුණා යැයි ඉතිහාසයේ සඳහන් වේ. එම හෝඩි පොතට එදිනෙදා භාවිතාවෙන අක්ෂර මාලාව ඇතුළත් වී තිබූ බව සඳහන්ය. මේ පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන් පවසන ආකාරයට එම හෝඩිපොත සහ අද භාවිත වෙන හෝඩි පොතේ ඇති අක්ෂර මාලාවේ යම් යම් වෙනස්කම් ඇති බව සඳහන්ය. පන්සලේ නායක හිමියන් එම හෝඩිපොත ආශ්‍රයෙන් වැලිපිල්ලේ දරුවන්ට අකුරු ලිවීමට, කියවීමට ඉගැන් වූ බව සඳහන්ය.
වසර දහස් ගණනක් ඉපැරැණි වුවත් අපගේ පුස්කොළ පොත් ඉපැරැණි තාක්ෂණයෙන් සංරක්ෂණය කරගැනීමට අපගේ මහා සංඝරත්නයට දැනුම තිබුණත් මේ වෙන විට එම තාක්ෂණය දුරස්ව ගොස් තිබෙන බැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් පුස්තකාලයාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් මහතා ඉන්දියාවට ගොස් ඒ පිළිබඳ හැදෑරීමෙන් අනතුරුව පුස්කොළ පොත් සංරක්ෂණය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති මෙරට රාජ්‍ය ආයතන වෙන ජාතික පුස්තකාලය, ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වලට තම නිලධාරීන් පස්දෙනෙකු යොමුකොට ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාගත් බව මහේෂ්වරන් මහතා පවසයි.
එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ විශේෂ ශ්‍රේණියේ පුස්තකාල සහයකවරියක වශයෙන් කටයුතු කරන පුස්කොළ පොත් සංරක්ෂණය පිළිබඳ පුහුණුව ලැබූ රත්නායක මැණිකේ මහත්මිය පවසන්නේ මෙවන් කතාවකි.


‘‘පළමුව අප සිදුකරනු ලබන්නේ පුස්කොළපොතේ වෙළුම් ගලවා එහි ඇති තල්පත්වල ඇති දූවිලි ඉවත් කිරීමයි. පුස්කොළපොත්වල තල්පත් විවිධ ප්‍රමාණවලින් තිබෙනවා. පන්සිය පනස් ජාතකය නම් පත්තිරු දහසකටත් අධිකයි. මේ පුස්කොළ පොත් හඳුනා ගැනීම සඳහා මහා සංඝරත්නය කිසියම් සංඥා අකුරක් භාවිත කොට තිබෙනවා’’ යැයි ද ඇය පවසයි.
ඉන් අනතුරුව පුස්කොළ පොතේ පත්ඉරුවල ස්වභාවය අනුව ගැඩුම අඟු‍රු (ගැඩුම නමැති ගස්වල දඬු පුලු‍ස්සා ලබාගත් අඟු‍රු) දුම්මල තෙල්වලට කවලම් කළ යුතු වෙනවා.
මේ සියලු‍ දේ ගස්වලින් ලබාගන්නා ස්වාභාවික දේවල්. අවශ්‍ය ප්‍රමාණයට සාන්ද්‍රණය හදා ගැනීමෙන් පසු, පත් ඉරුවල හොඳින් තවරා හොඳින් වේළීම සඳහා මද පවනේ තැබිය යුතු වෙනවා. එසේ හොඳින් වේළුණු පසු පුලු‍න් කැබැල්ලක් ගෙන හොඳින් පිස දමා ඉතාමත් හොඳින් වේළුණු පසු පුස්කොළ පොත බැඳීමට උපයෝගි කරගන්නා පන්සල් වහරේ ඇති ‘හුයිය’  නමැති නූල භාවිත කරමින් එය ආපසු බැඳීම සිදු කරනු ලබයි.


මෙය හදිසියට කළ නොහැකි දෙයක් බව පවසන මැණිකේ මහත්මිය එය ඉතාමත්ම අවධානයෙන්, පරීක්ෂාවෙන්, ඉවසීමකින් යුතුව කළ යුතු දෙයක් බවද පවසයි. ‘‘මේ වෙන විට විශ්ව විද්‍යාලය සතු පුස්කොළපොත් 5200 ක එකතුව අතරින් පුස්කොළපොත් 1000 ක් පමණ සංරක්ෂණය කර තිබෙනවා’’ යැයි මැණිකේ මහත්මිය පවසයි.
 එවන් ආකාරයට වත්මන් පරපුර විසින් සංරක්ෂණය කරනු ලබන මෙම ඉපැරැණි පුස්කොළ පොත් තවත් වසර දහස් ගණනක් අපගේ ඉතිහාසය කියාපාමින් අමරණීයව වැජඹෙනු ඇත.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් මහතා ඉරිදා ලංකාදීපයට පවසා සිටියේ මෙරට විහාරස්ථානවල හෝ නිවාසවල මෙවැනි ඉපැරණි පුස්කොළ පොත් ඇත්නම් ඒවා තම නමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමේ හැකියාව ඇති බවයි. එසේත් නොමැති නම් එම පුස්කොළ පොත් සංරක්ෂණය කරගැනීමේ තාක්ෂණය ලබාදීමට සූදානම් බව ද ඒ මහතා පවසයි.


‘‘මෙරට ආක්‍රමණය කළ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ආක්‍රමිකයන්ට කීමට ඇත්තේ අපගේ විහාරස්ථාන ගිනිතබා මහා සංඝරත්නය ඝාතනය කොට පැහැරගෙන ගිය වස්තුව අතර ඇති අපගේ ඉපැරණි පුස්කොළ පොත් ඔබලාගේ කෞතුකාගාර තුළ තබාගෙන සිටියාට වැඩක් නැත. මේ වෙන විට එහි කළු මැදි අකුරු දුර්වර්ණ වී ඇතිවාට සැකයක් නැත. එහි ඇත්තේ අපගේ උත්තරීතර බෞද්ධ දර්ශනය හෝ හෙළ වෙදකම ඇතුළු වෙනත් ඉතිහාසයට සම්බන්ධ දෑ විය හැක. ඒවා මේ රටේ උරුමයයි. ඔබලා හඬ නගන මානව හිමිකම් නාමයෙන් එම උරුමය මේ රටට නැවත භාරදීමට කාලය පැමිණ ඇති බව හැඟී යයි’’. 

 

 

 

■ ෂේන් සෙනෙවිරත්න