පාසල් දරුවන්ගේ කුසගිනි නිවන මිනිසා


 

  • කලවාන වගේ ප්‍රදේශවල ගොඩක් දිළිඳු අය ඉන්නවා. ඒ වගේ පවුල්වල මව්පියන්ගේ දරුවන් තමයි මේ අත්දැකීම් හුඟාක් අත්විඳින්නේ. වැඩිහිටි කෙනෙක් කොහොමහරි කුසගින්න දරාගත්තත් දරුවෙක් කොහොමද කුසගින්න දරාගන්නේ? 

තුන්වේල හොඳට කාලා, සුපිරි වාහනයකින් පාසල් යන දරුවන් අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා. එමෙන්ම උදේට පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීලා දිවා ආහාරය නොගෙන පාසල් ගොස් අකුරු කරන දරුවනුත් අපේ රටේ ඉන්නවා. අකුරු කරන්නට අවශ්‍ය පැන්සල, පාට පෙට්ටිය, ඇතුළු පොත්පත්, පෑන් පැන්සල් මිල වැඩි වීමත් එක්ක මව්පියන් වගේම දරුවනුත් අසරණ වෙලා. වේලක්, දෙවේලක් නොකා හරි මව්පියන් තම දරුවන් පාසල වෙත එවන්නේ තමන්ට වඩා තම දරුවන් ඉදිරියට ගෙන ගොස් රටේ ඉහළම තැනක හොඳ පුරවැසියන් බවට පත් කරන්නයි. 


එහෙත් වර්තමානයේ පාසල් එන බොහෝ දරුවන්ගේ කුස පිරෙන්නේ පාසලේ වතුර කරාමයෙනුයි. වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමග දෙවේල කෑ මිනිස්සු එක් වේලකටත්, තුන් වේල කෑ මිනිස්සු දෙවේලක් අමාරුවෙන් ආහාර ලබා ගනිති. ඔවුන් පවසන ආකාරයට, දැනට ආපනශාලාවකින්, හෝටලයකින් ආහාර ගැනීමට, ඉඩමක් උකස්කළ යුතු බව කතාවට කියති. වෙනදා ගෙදරින් දෙන රුපියල් විස්ස රැගෙන පාසලේ ආපන ශාලාවෙන්  වඩයක් කා තේ එකක් බිව් ඇතැම් දරුවන්,  අද වෙන විට එම කෑම දෙස බලමින්  බඩ පිරෙන තුරු කරාමයෙන් වතුර බොන තත්ත්වයකට පත්ව තිබේ.


එවැනි තත්ත්වයක් පවතින වකවානුවක, මෙවැනි කාර්යයක් සිදු කිරීම ඉතා පැසසුම්දායකය. බොහෝ ධනවතුන් පෙර මෙවැනි කටයුතු සිදු කළද, අවිනිශ්චිතතාව හේතුවෙන් ඔවුහු පසුබා සිටිති. කලවානේ සරත්චන්ද්‍ර රාමනායක මහතා, දිනපතා පාසල් දරුවන් සියයක් වෙත, මේ වෙන විට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන අතර, ඉදිරියේදී එය  ළමුන් දහස දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම උතුම් සත්කාරය පිළිබඳව ව්‍යවසායක සරත්චන්ද්‍ර රාමනායක මහතා  අප සමග මෙලෙස ප්‍රකාශ කළේය.


‘‘මමත් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. ඔවුන් අධ්‍යාපනය හදාරනකොට අඩුපාඩු තිබුණේ නැහැ. ඒත් මේ රටේ දරුවන් උදෑසන රැස්වීමේදී කලාන්තය දාලා ඇදවැටෙන පුවත් අහන්න ලැබෙනවා. ගොඩක් දරුවන් උදේට කාලා ඇවිත් නැහැ. දවල්ට කෑම ගෙනත් නැහැ. දෙමාපියන්ට පුළුවන්නම් තමන්ගේ දරුවෝ බඩගින්නේ පාසල් එවන්නේ නැහැ. තමන්ට කන්න තියෙන කෑම එක හරි දරුවන්ට දීලා ගොඩක් දෙමාපියන් බඩගින්නේ ඉන්න අවස්ථා අපි අහල දැකලා තියෙනවා. රටේ හැමෝම අසරණයි මේ මොහොතේ. මම තීරණය කළා පාසල් දරුවන් වෙනුවෙන් මට හැකි දේ මේ වෙලාවේ කරන්න. ඒ අනුව තීරණය කළා නිකම් කෑම වේලක් වෙනුවට දරුවන්ට පෝෂ්‍යදායක ආහාර වේල් දිනපතා නොමිලේ ලබා දෙන්න. ඒක අපට කරන්න පුළුවන් කියලා මට හිතුනා. දෙන්න පුළුවන්කම තියෙනවනම් මම නොදී ඉන්නේ නැහැ කිසිම දෙයක්. මෙම කටයුත්ත පටන් ගන්නකොට ගොඩක් අය කිව්වා ව්‍යාපාරය එක්ක මෙවැනි  වැඩ පටලවගෙන ආයතනයෙන් ලාභ ගන්න බැහැ කියලා. එහෙත් හැමෝටම අසීරු අවස්ථාවේ දරුවන් වෙනුවෙන් අපි මේ දේ පටන් ගත්තා. අපට පුළුවන් මේ දෙය කරන්න. කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි අපි නොකර ඉන්නේ කියලයි මට හිතුණේ.


‘‘අද රටේ තියෙන තත්ත්වය එක්ක, බොහෝ මව්පියන්ට, දරුවන් පාසල් යවනකොට විවිධ අපහසුතා මතුවෙනවා. හුඟාක් ව්‍යාපාර වුනත් මේ දවස්වල බොහෝ අපහසුතා මැද්දේ ඒ හිමිකරුවන් පවත්වාගෙන යන්නේ. කලවාන වගේ ප්‍රදේශවල ගොඩක් දිළිඳු අය ඉන්නවා. ඒ වගේ පවුල්වල මව්පියන්ගේ දරුවන් තමයි මේ අත්දැකීම් හුඟාක් අත්විඳින්නේ. වැඩිහිටි කෙනෙක් කොහොමහරි කුසගින්න දරාගත්තත් දරුවෙක් කොහොමද කුසගින්න දරාගන්නේ? අපි මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කළ යුතුමයි. අපි මුලින් දරුවන් සිය දෙනෙකුට කෑම දෙන්න පාසල් වලින් තෝරා ගත්තා. ආරම්භයේදී කලවාන ජාතික පාසල වෙත ආහාර ලබා දුන්නා ළමයින් සියයකට. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ කටයුත්ත තවත් පුළුල් කරලා දරුවන් දහසකට දිනපතා දිවා ආහාරය ලබා දෙන්න. මේ සඳහා අපට විවිධ පුද්ගලයන්, ආයතන, සුබ පතන්නම් එකතු කර ගන්න සූදානමින් ඉන්නේ. එමෙන්ම Rain Forest Community Kitchen Grand ආයතනයෙන් කෑම මිලට ගන්නා හැම කෙනෙක්ම මෙම කටයුත්ත සඳහා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ, ඔවුන් ගන්න කෑම එකෙන් වැඩිපුර මුදලක් අය කරනවා කියන එක නෙවෙයි. ඔවුන් ගන්න කෑම එකකින් අපිට ලැබෙන ලාභයෙන් කොටසක් මේ වැඩසටහන සඳහා අපි යොදවනවා. ඔවුන් නොදැනීම මේ කටයුත්තට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම පළමු දිනයේ හැර අනෙකුත් දිනවල අපි කෑම පාසල් වෙත යවනවා. පාසල් වලින් තමයි අවශ්‍ය දරුවට කෑම එක ලබා දෙන්නේ. අපි ඒ දරුවන්ගේ මුහුණවත් දකින්නේ නැහැ. මම මේ දේවල්  කරන්නේ පටු අරමුණු  බලාපොරොත්තු නොමැතිව, හිතේ සතුටින් විතරයි’’.


මේ සම්බන්ධයෙන් පොදුවේ අදහස් දක්වමින් ඇතැම් දරුවන්ගේ මව්පියන් ප්‍රකාශ කළේ, “මෙවැනි කාලයක, දරුවන් පාසල් එවන එක අභියෝගයක්. උදේට හීල් බත් ටිකක්, පාන් කෑල්ලක් කාලා දරුවන් පාසල් එන්නේ. පාසල ඉවර වෙලා එනකොට රොටියක් පුච්චලා තියන්නවත් අපට වත්කමක් නැහැ. ඉස්සර යන්තම් හරි ළමයින්ට මොනවා හරි කන්න දුන්නා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. අද කෑවම හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. හිටපු ගමන් බඩු මිල ඉහළ යනවා. කූලි වැඩක් කරලා ගන්න දවසේ කුලිය එදා හවස කඩයට දීලා ගෙදර එනවා. දැන් ණයට දෙන කඩත් අඩුයි. අපේ වියදම තරමට වැටුපක් අපිට ලැබෙන්නේ නැහැ. අපි දන්නවා දරුවන් දුක් විඳිනවා කියලා. එක සපත්තු කුට්ටම අඩිය හිල් වෙනකම් දානවා, දැන් සපත්තු කුට්ටමක් තියා සෙරෙප්පු දෙකක් අරන් දෙන්නවත් අපිට සල්ලි නැහැ. පාසල් උපකරණ ටික අරන් දෙන්නේ අමතර වැඩක් කරලා. ඒත් අඩුපාඩු තියෙනවා. ළමයින් අපිට කියනවා ඉස්සර නම් අනිත් ළමයින් හරි බත් ගෙනාවම කට කට කනවා කියලා. දැන් ගොඩක් ළමයින් බත් ගේන්නෙත් නැහැලු‍. මෙවැනි තත්ත්වයක් මතයි අපි ළමයින් පාසල් එවන්නේ. රාමනායක මහතා කරන මේ කටයුත්ත ඉතා උතුම් දෙයක්”‍ යැයි ඔවුහු පැවසූහ.


රටේ පවතින තත්ත්වය මත මෙවැනි දරුවන් බොහෝ පාසල්වල සිටින බව අපි කවුරුත් දනිමු. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙවැනි උතුම් ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්නේනම් එය පැසසිය යුතු කරුණකි. “හෙට ලොව දරුවන්ට”‍ යැයි කියා ඇත්තේ එහෙයිනි. ඔවුන්ට හෙට දින දිනන්නට යම් හෝ පුංචි ශක්තියක් වෙන්නේ නම් මෙවන් කාලයක එය කියා නිම කළ නොහැකි උතුම් ක්‍රියාවකි. ව්‍යවසායක සරත්චන්ද්‍ර රාමනායක මහතාට මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

කලවාන
■ උපේන්ද්‍ර ප්‍රියංකර
ජාතුංගම