පළමු ’ස’ ප්‍රසංගය දා ලුම්බිණියේ කලබලය


උපාලිගේ දියණිය, වික්ටර්, උපාලි සහ සමන් ආතාවුදහෙට්ටි

 

ප්‍රවීණ ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහගේ අතීත රස මතක අවුස්සමින් යන ගමනේ දී සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ගැනත් පණ්ඩිත් අමරදේවයන් ගැනත් අපි කතාබහ කළෙමු. ‘ස’ ප්‍රසංගය උපාලි වීරසිංහට තවත් අත්දැකීම් රැසක් එක් කළ ප්‍රසංගයකි. 


?පසුගිය සති දෙකේ අපි කතා කළේ සරච්චන්ද්‍ර මහත්තයත් අමරදේව මහත්තයත් සමග ඇති මතක ගැන. භාරතයේ ප්‍රකට සංගීතඥයෙක් වුණු රවි ශංකර් ලංකාවෙ ප්‍රසංගයක් පවත්වපු වෙලාවෙ ඔබ විශේෂ සිදුවීමකට මුහුණ දුන්නා කියන්නෙ ඇත්ත ද?  


ඔය ප්‍රසංගය පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ. වේදිකා ආලෝකකරණය කළේ මහින්ද ඩයස් මහත්තයා. විදෙස් රටක ශිල්පියෙක් ලංකාවට ඇවිත් ප්‍රසංගයක් පවත්වද්දි එහි ආලෝකකරණය මහින්ද ඩයස් මහත්තයට පැවැරුණොත් ඔහු එය බාර දෙන්නෙ මට. ඔහු එහෙම කළේ මට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට තිබුණු හැකියාව නිසා. රවි ශංකර්ගෙ ප්‍රසංගය බාර දුන්නහම මම එය බාර ගත්තෙ බොහොම කැමැත්තෙන්. මොකද එතුමගෙ සිතාර් වාදනය සජීවීව අහන්න මම හරිම කැමැත්තෙන් හිටියේ. 


ප්‍රසංගය පවත්වපු දවසෙ ආලෝකකරණ කටයුතු සකස් කිරීම අවසන් කරලා මම ශාලාව ඉදිරිපිටට ගියා. එතකොට ප්‍රසංගය පටන් ගන්න පුංචි වෙලාවක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. එහෙම ගියෙ එතැනින්  බැල්කනියට යන්න හිතාගෙන. මම ඉදිරිපිටට යනකොට එතැන අමරදේව මහත්තය හිටියා. මම එතුමා ළඟට ගිහින් කතා කළා. අමරදේව මහත්තයට මිලදී ගන්න පුළුවන් වෙලා තිබුණෙ බැල්කනි ටිකට් එකක්. ඒ නිසා මම අමරදේව මහත්තයා එක්කරගෙනම බැල්කනියට ගියා. ඒ වෙනකොට බැල්කනිය ප්‍රේක්ෂකයින්ගෙන් පිරිලා. පිටිපස්සෙ බිත්තියට හේත්තු වෙන්න අසුන් තුනක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. අපි එයින් දෙකක වාඩි වුණා. 


රවි ශංකර් වාදනය ආරම්භ කළහම අමරදේව මහත්තයා එයට සමගාමීව තාලෙ අල්ලන්න පටන් ගත්තෙ පුටුවෙ වාඩිවෙලා නර්ථනයක යෙදෙනවා වගෙයි. තාලෙ අල්ලද්දි අමරදේව මහත්තයගෙ අත් දෙක සමහර වෙලාවට මගෙ ඇඟෙත් වදිනවා. ඒත් මම ඒක කරදරයක් විදිහට සැලකුවෙ නැහැ. අමරදේව මහත්තයා ප්‍රසංගය වින්ඳෙ එයට සමවැදිලා වගෙයි. ප්‍රසංගය ඔහොම යන අතරේ අමරදේව මහත්තයා මගෙන් ඇහුවා ‘උපාලි, රවි ශංකර්ව මුණ ගැහෙන්න විදිහක් නැද්ද, ආරංචි විදිහට නම් කාටවත් එයාව හම්බවෙන්න දෙන්නෙ නැහැ’ කියලා. මම එතකොට එතුමට කිව්වා ‘ඉන්ටවල් එක වෙලාවෙ අපි පහළට යමු’ කියලා. 


?අමරදේව මහත්තයා කැමැති වුණා ද පහළට යන්න? 


ඔව්. පහළට යමු කියලා මම කිව්වෙ යම් සැලසුමක් හිතේ තියාගෙන. අපි පහළට ගියෙ විවේකය පටන් ගන්න ටික වෙලාවකට කලින්. එහෙම ගිහින් වේදිකාව පිටුපසට වෙන්න පහළින් තිබුණු පුටුවක මම අමරදේව මහත්තයව වාඩි කළා. විවේකයට වේදිකාවෙ තිර වහපු ගමන් වේදිකාවට නැගලා මම රවි ශංකර් මහත්තයට කිව්වා ‘අමරදේව මහත්තයා ප්‍රසංගය බලන්න ඇවිත් ඉන්නවා, හැබැයි එතුමට ඔබතුමාව මුණගැහෙන්න විදිහක් නැතුව ඉන්නේ’ කියලා. 


මම එහෙම කිව්වා විතරයි රවි ශංකර් ගත් කටටම ඇහුවෙ Where is Amare කියලා.  එතකොට මම කිව්වා අමරදේව මහත්තයව මං ඔබතුමා ළඟට එක්කරගෙන එන්නම් කියලා. ඊට පස්සෙ රවි ශංකර් වේදිකාවෙන් බැහැලා වැසිකිළිය තිබුණු පැත්තට ගියා. මමත් අමරදේව මහත්තයා වාඩි කරවපු තැනට ගිහින් එතුමවත් එක්කරගෙන රවි ශංකර් ගිය පැත්තටම ගියා. වැසිකිළියට ගිහින් එළියට එනකොට තමයි රවි ශංකර් අමරදේව මහත්තයව දැක්කේ. රවි ශංකර් අමරදේව දැකපු ගමන් ‘හලෝ අමරේ’ කියලා හයියෙන් කෑ ගැහුවා. 


ඊට පස්සෙ ඒ දෙන්නා වැලඳ ගත්ත හැටි මට තවම මතකයි. භාත්කණ්ඩ විශ්වවිද්‍යාලෙ එකට ඉගෙන ගන්න කාලෙ තමයි අමරදේව මහත්තයයි රවි ශංකර් මහත්තයයි අතරේ ඒ තරමට හිතවත් කමක් ඇතිවෙලා තිබුණේ. විවේක කාලයෙන් වැඩි කොටසක් රවි ශංකර් ගත කළේ අමරදේව එක්ක. ඔහු කොළඹ නැවතිලා හිටපු හෝටලේ විස්තරත් අමරදේව මහත්තයට දුන්නා. පහුවෙනිදා එන්න කියලත් කිව්වා. අමරදේව මහත්තයා මටත් කතා කළා රවි ශංකර් මුණගැහෙන්න හෝටලයට යන ගමනට. හැබැයි මම ගියේ නැහැ. එතුමා පහුවෙනිදා ගිහින් රවි ශංකර්ව මුණ ගැහිලා තිබුණා. 


?ආචාර්ය වික්ටර් රත්නායක ඔබේ ජීවිතයේ තවත් සුවිශේෂී චරිතයක්. කොහොමද එතුමව මුලින්ම මුණගැහුණේ? 


දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත්වෙලා තියෙන, ඒ කාලෙ රජයේ ලලිත කලා ආයතනයේ මම ඉගෙන ගත් බව අපේ ආරම්භක සාකච්ඡාවෙදි මම ඔබට කිව්වා. අපේ නැටුම් පංතිය තිබුණෙ බිම් මහලේ කාමරයක. අපි එතැන නැටුම් ඉගෙන ගන්නකොට හැමදාම වගේ ඊට ඉහළින් පිහිටි මහලෙන් හරිම මිහිරි වයලින් වාදනයක් ඇහෙනවා. මේ වයලින් වාදකයා කවුද කියල හොයල බලපුවහම ඔහු වික්ටර් රත්නායක. මම එතකොට පළමුවැනි වසරේ. වික්ටර් රත්නායක මහත්තයා තුන් වැනි වසරේ. මම නැටුම් ඉගෙන ගන්නවා. වික්ටර් රත්නායක මහත්තයා සංගීතය ඉගෙන ගන්නවා. 


?ඔය කියන කාලෙ වෙනකොට වික්ටර් රත්නායක මහත්තයා රටේ ජනප්‍රිය චරිතයක් ද? 


ඔව්. යම් පමණකට ජනප්‍රියයි. මොකද ඔය වෙනකොට ගුවන් විදුලියෙ සරල ගී වැඩසටහන්වල එතුමගෙ ගීත ප්‍රචාරය වෙනවා. මම පත්තරවලත් වික්ටර් රත්නායක මහත්තයගෙ පින්තූර දැකල තිබුණා. රජයේ ලලිත කලා ආයතනයේ වික්ටර් රත්නායක මහත්තයා හිටපු පංතියෙම හිටියා සේන ජයන්ත වීරසේකර කියලා කෙනෙක්. සේන ජයන්තත් දක්ෂ සංගීතඥයෙක්. වික්ටර් රත්නායක මහත්තයා නුවර ඉඳලා ඇවිත් මුලින්ම නවාතැන් අරන් තිබුණෙත් සේනලගෙ ගෙදර. සේනගෙ තාත්තා තමයි මාලිගාවත්තෙ පාරකුත් නම් කරලා තියෙන ජයන්ත වීරසේකර. 


සේන මගෙ යාළුවා. විවේක වෙලාවට සේන මාත් එක්ක කතා කරන්න එන්නෙ වික්ටර් රත්නායක එක්ක. ඔන්න ඔහොම තමයි වික්ටර් රත්නායක මම  මුලින්ම හඳුනා ගත්තේ. හැබැයි එතුමා මගේ ඉතාම සමීප මිත්‍රයෙක් වුණේ ‘ස’ ප්‍රසංගයේ වේදිකා ආලෝකකරණ කටයුතුවලදී. 

?ඔබ පළමු ‘ස’ ප්‍රසංගයේ ඉඳලම එහි වේදිකා ආලෝකකරණ කටයුතුවලට සම්බන්ධ වුණා ද? 


ඔව්. පළමු ප්‍රසංගයේ පටන් අවසන් ප්‍රසංගය දක්වා මම ‘ස’ ප්‍රසංගයේ වේදිකා ආලෝකකරණ කටයුතු කළා. ආරම්භයෙදි මහින්ද ඩයස් මහත්තයා යටතේ තමයි ‘ස’ ප්‍රසංගයේ ආලෝකකරණ කටයුතු කළේ. පසුව මම තනිවම වේදිකා ආලෝකකරණ කටයුතු පටන් ගත්තා. ඒක එහෙම වුණු විදිහ මම ඔබට පසුව කියන්නම්. 


ආරම්භක ‘ස’ ප්‍රසංගය පැවැත්වුණේ එක්දහස් නවසිය හැත්තෑ තුනේ ජුලි මාසේ. මුල්ම ප්‍රසංගය පැවැත්වුණෙත් එයට පෙර පුහුණුවීම් කළෙත් ලුම්බිණි රඟහලේ. ඔය කාලෙ මහින්ද ඩයස් මහත්තයා ළඟ වැඩකළා ලක්ෂ්මන් පෙරේරා සහ එම්.එස්. කරුණාදාස කියලා දෙන්නෙක්. ඒ දෙන්නම මට වඩා ජ්‍යෙෂ්ඨයි. ලක්ෂ්මන් අයියයි කරුණාදාස අයියයි තමයි ‘ස’ ප්‍රසංගය ආරම්භක අවධියේ වේදිකා ආලෝකකරණ කටයුතු නිර්මාණය කළේ. 

 

උපාලිගේ වේදිකා ආලෝකකරණයෙන් හැඩවුණු අවසන් ‘ස’ ප්‍රසංගය 

 


?ආරම්භක ‘ස’ ප්‍රසංගයෙදි ප්‍රේක්ෂකයින් ලුම්බිණියේ දොරගුළු කඩාගෙන ආපු බව අපි අහලා තියෙනවා. ඔබට එම සිදුවීම මතක ද? 


ඒක කවදාවත් අමතක වෙන්නෙ නැති සිදුවීමක්. ප්‍රේක්ෂකයින් දොර ජනෙල් කඩාගෙන ඇතුළට ආවේ. එහෙම දොර ජනෙල් කඩාගෙන ඇතුළට ආපු අය නවත්තන්න සංවිධායක මණ්ඩලය කටයුතු කළේ නැහැ. මොකද මිනිස්සුන්ට මේ ප්‍රසංගය ගැන තිබුණු කැමැත්ත තමයි එයින් එළියට ආවේ. එදා සෑහෙන පිරිසක් ලුම්බිණි රඟහලේ හිටගෙනත් ප්‍රසංගය බැලුවා. සමහරුන්ට නම් ප්‍රසංගය පෙනුනෙත් නැහැ. ඔවුන් සිංදු ඇහුවා විතරයි. 


?‘ස’ ප්‍රසංගයේ අනෙකුත් මතකවලට යන්න කලින් ඔබ මහින්ද ඩයස් මහත්තයගෙන් ඉවත් වෙන්න මුල්වුණු සිදුවීම ගැන කතා කරමු? 


ඒක වුණේ මෙහෙමයි. වේදිකා ආලෝකකරණ කටයුතුවලට අමතරව මහින්ද ඩයස් මහත්තයා එයට සම්බන්ධ සියලු ලියකියවිලි සහ මූල්‍ය වගකීම මට භාරදීල තිබුණේ.  එතුමා ළඟ මම වැඩ කරපු සම්පූර්ණ කාලෙම ඔය වගකීම් දෙකම භාර දීලා තිබුණෙ මට. මම එය බෙහොම උනන්දුවෙන් නිවැරදිව කළා. ඔහොම වැඩ කරගෙන යන අතරේ මහින්ද ඩයස් මහත්තයගෙ බිරිඳ ටික කලකට ඇමෙරිකාවට ගියා ඇගේ නැගණිය ළඟට. ඔය අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා මහින්ද ඩයස් මහත්තයා ළඟ වැඩ කරපු තවත් ආලෝකකරණ ශිල්පියෙක්. 


ඔහු මාත් එක්ක තරහින් හිටියේ. මොකද මම ඉන්නකම් ඔහුට අවශ්‍ය විදියට හැසිරීමට නොහැකි බවත් හොරකම් කිරීමට නොහැකි බවත් ඔහු දැනගෙන හිටියා. මම මත්පැන් පානය කරන කෙනෙක් නෙමෙයි. මම ඔය කියපු කෙනා හොඳට බොනවා. බිරිඳ රට ගිය නිසා මහින්ද ඩයස් මහත්තයත් තනිවෙලා වගේ හිටියේ. එතුමා ඒ නිසා ඔය පුද්ගලයත් එක්ක බොන්න පුරුදු වුණා. එහෙම බොන ගමන් ඔහු මහින්ද ඩයස් මහත්තයට මා ගැන සෑහෙන බොරු කියල තිබුණා. ඔහුට ඕනෑ වුණේ මාව මහින්ද ඩයස් මහත්තයගෙන් ඉවත් කරන්න. 

 

‘ස’ ප්‍රසංගයක් අවසන් වී සමරු අත්සන් තබන වික්ටර්. අබේවර්ධන බාලසූරිය, සොයුරු සෝමපාල රත්නායක සහ උපාලි පසෙකින් සිටිති 

 


?මහින්ද ඩයස් මහත්තයා මොකද කළේ ඉතිං? 


එක්දහස් නවසිය අසූඑකේ අප්‍රේල් දොළොස් වෙනිදා මම ගියා මහින්ද ඩයස් මහත්තයා හම්බ වෙන්න. අලුත් අවුරුද්දට කලින් පඩි ගන්න ගියේ. ඒ වෙලාවෙ එතුමා මට හොඳටම බැණලා පඩි දෙන්නෙ නැහැ කිව්වා. ඒ විතරක් නෙවෙයි, වික්ටර් රත්නායක මහත්තයගෙ ‘ස’ ප්‍රසංගයට විදුලි ලාම්පු ඇතුළු අනෙක් උපකරණ මීට පස්සෙ දෙන්නෙත් නැහැ කිව්වා. ‘ස’ ප්‍රසංගයේ ආලෝකකරණ කටයුතු මහින්ද ඩයස් මහත්තයා සම්පූර්ණයෙන්ම භාරදීල තිබුණෙ මට. මම කලින් කියපු පුද්ගලයා මගෙන් පළි ගන්නයි මහින්ද ඩයස් මහත්තය ලවා එහෙම කළේ. 


මම ඒ වෙලාවෙ මහින්ද ඩයස් මහත්තයට කිව්වා ‘මම වැරැද්දක් කරලා තියෙනව නම් අයින් වෙන්නම්, ඒත් වික්ටර් රත්නායක මහත්තයා මොකක්ද කරලා තියෙන වරද’ කියලා. ‘අපි දැන් ලංකාව පුරා ‘ස’ ප්‍රසංග සිය ගාණක් කරල තියෙනවා, එක රුපියලක් අඩු නැතිව වික්ටර් රත්නායක මහත්තයා අපට ගෙවල තියෙනවා නේද’ කියලත් මම ඇහුවා. එතකොට එතුමා කිව්වා ‘ඒවයින් වැඩක් නැහැ, මම මීට පස්සෙ ‘ස’ එකට ලයිට් දෙන්නෙ නැහැ’ කියලා. 


මම ඒ වෙලාවේ මහින්ද ඩයස් මහත්තයට කිව්වා ‘මට තේරෙනවා වෙලා තියෙන්නෙ මොකක්ද කියලා, කොහායි කාක්කයි අඳුන ගත්ත දවසට සර්ට ඇත්ත වැටහෙයි’ කියලා. මම එහෙම කිව්වා විතරයි මහින්ද ඩයස් මහත්තයා ඇහුවා what is the meaning of that?  කියලා. එතුමට සිංහල භාෂාව ටිකක් අමාරුයි. මම කියපු දේ නොතේරුණු නිසයි එහෙම ඇහුවේ. කොහාගෙයි කපුටගෙයි කතාව තේරුම් කරල දීලා ‘මම ඉවත් වෙලා යන්නම්, ඒත් ‘ස’ ප්‍රසංගයට ලයිට් දෙන එක නවත්තන්න එපා’ කියලා මම යළිත් කිව්වා. ඒත්  මහින්ද ඩයස් මහත්තයගෙ හිත වෙනස් වුණේ නැහැ. ඒ නිසා ‘මාව තාත්තා කෙනෙක් වගේ බලා ගත්තට බොහොම ස්තූතියි’ කියලා එතුමට දණ ගහලා වැඳලා මම පිටවෙලා ආවා. 
මෙම සිදුවීම වුණේ අප්‍රේල් දොළොස් වෙනිදා. ඊළඟ ‘ස’ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණෙ අප්‍රේල් දාහත හරි දහඅට හරි. ඒ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. 


ලබන සතියට...

 

 

■ උත්පල දිසානායක