පවුරු බිඳි සොයුරු බැමි


නාවලපිටියේ පදිංචි එම්.පී. තිලකරත්න හය දෙනකුගෙන් යුත් පවුලේ පස්වැන්නා විය. වැඩිමහලු සහෝදරයන් දෙදෙනෙකි. සහෝදරියන් දෙදෙනෙකි. බාල සහෝදරියකි. කුඩා කල සිටම කෙළිලොල් ගති පැවතුම් ඇති ඔහු පවුලේ සෙසු සාමාජිකයන් අතර කැපී පෙනෙන අයෙක් විය. 1988 වසරේ එක්තරා දිනක ඔහුගේ වැඩිමහල් සහෝදරියක් යාබද නිවසකින් පුවත්පතක් රැගෙනවිත් තිබුණේ කියවා ආපසු දෙන පොරොන්දුව පිටය. එවකට අද මෙන් පුවත්පත් සුලබ නොවූ අතර ඒවා මිලදී ගනු ලැබුවේද ගමක ඉඳහිට නිවසක පමණි. අවට බොහෝ පිරිස් පුවත්පත් කියවීම සඳහා එහි රොක්වීමද සාමාන්‍යයෙන් සිදුවිය. තිලකරත්න සිය නිවසේ තිබූ එම පුවත්පත කියවද්දී දුටුවේ එහි යුද හමුදාවට නවක සෙබළුන් බඳවාගන්නා බවට වූ දැන්වීමකි.
 
ඒ වනවිට 19 හැවිරිදි නව යොවුන්වියේ පසුවූ තිලකරත්න තුළ යුද හමුදාවට බැඳීම පිළිබඳ සිතක් පහළ වන්නට වූයේ එම දැන්වීම දෙතුන් වතාවක් කියවීමෙන් අනතුරවය. එසේම එම උනන්දුව ඇතිවන්නේ ඔහු තුළ පමණක්ම නොවේ. ඒ වනවිට 21 හැවිරිදි වියේ පසුවූ තම දෙවැනි වැඩිමහල් සොහොයුරු විජයබණ්ඩාර තුළද හමුදාවට එක්වීමේ අදහසක් ජනිත වී තිබිණ. ඒ අනුව දෙදෙනා එක්ව ඊට අයදුම්පත් යොමුකරන ලද්දේ කෙදිනක හෝ යුද සෙබළුන්වීමේ සිහින දකිමින්ය. අනතුරුව එලෙස යොමුකළ අයදුම්පතට ඊට සති කිහිපයක ඇවෑමෙන් කැඳවීම් ලැබුණේ සම්මුඛ පරීක්ෂණය සඳහා මහනුවර පිහිටි 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රපෝර්තු කරන ලෙස දන්වාය. සැබවින්ම එය දෛවෝපගත සිදුවීම් සමුදායක ඇරඹුමක් බව ඔවුහු කිසිවිට නොසිතූහ.
 
මෙලෙස කාලය ගෙවීයන්නට විය. හරියටම වසරක පමණ ඇවෑමෙන් එනම් 1989 වසරේදී තිලකරත්නට හා විජයබණ්ඩාරට යුද හමුදාවෙන් කැඳවීමක් ලැබිණ. එවක යුද හමුදාවට බැඳීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. බරපතළ ලෙස රටෙහි යුදමය වාතාවරණයක්ද නොවූ හෙයින් ඊට බඳවාගැනීම් සිදුවූයේ ඉඳහිටය. එනිසාම දෝ තිලකරත්තට හා විජයබණ්ඩාරට පුහුණුව සඳහා දැනුම්දීමක් ලැබෙන්නේ වසරකට ආසන්න කාලයක් ගතවූ පසුවය. ඒ අනුව එක්තරා දිනෙක ඔවුහු මැලේ වීදියෙහි පිහිටි යුද හමුදා කඳවුරකට සියලු බඩුභාණ්ඩද සමග වාර්තා කළහ. එහෙත් එහිදී දැනගැනීමට ලැබුණේ පුහුණුව සඳහා ඔවුන් පුහුණු පාසල් දෙකකට යොමුකිරීමට නියමිත බවය. එහිදී විජයබණ්ඩාර තුළ මතුවූයේ දෙගිඩියාවකි. තම බාල සහෝදරයා සමග එකට පුහුණුව හැදෑරීම ඔහුගේ අපේක්ෂාව වුවද, එහි පැවති වාතාවරණය තුළ එසේ නොවීමේ ඉඩක්ද ඇති බව ඔහුට ඒත්තු ගියේය. ඒ අනුව තම අදහස වෙනස් කර විජයබණ්ඩාර එහි කිසිවකුට නොදන්වා තම බඩුභාණ්ඩද සමඟ යළි නිවස කරා පිටත්විය. නමුත් ඊට පෙර ඔහු තිලකරත්න හමුවේ පොරොන්දු වූයේ තමන් නියත වශයෙන්ම මීළඟ පාඨමාලාව සමග යුද හමුදාවට එක්වන බවය.  “මල්ලි මම අනිවාර්යයෙන්ම ඊළඟ බැච් එකට එනවා” පිටත්වීමට පෙර තිලකරත්න හමුවේ ඔහු පැවසුවේය. එහිදී තම සහෝදරයාගේ නික්මයාම තදින් දැනුණද තිලකරත්න තුළ වූයේ බලාපොරොත්තු සහගත හැඟීමකි. එනම් මීළඟ පාඨමාලාව සමග ඔහු නොවරදවාම හමුදාවට එක්වන බවට වූ පොරොන්දුවයි. එයද සවියක් කොට ගනිමින් සෙසු පිරිස සමග දියතලාවේ පිහිටි ස්වේච්ඡා බළසේනා පුහුණු පාසල වෙත ගිය තිලකරත්න එහිදී ආධුනික පාඨමාලා අංක 11 යටතේ සිය පුහුණුව අරඹන ලද්දේ 1989 ජූලි මස 21 ලෙස දිනය සටහන් වෙද්දීය.
 
මෙලෙස කලක් ගතවිය. මාස හයකට ආසන්න පුහුණුවකින් අනතුරුව ආධුනික සෙබළ තිලකරත්නගේ පාඨමාලාවේ විසිරයාම සිදුවිය. එම ඓතිහාසික අවස්ථාවට ඔහුගේ මව, සහෝදරයන් මෙන්ම ඔහු සමග හමුදාවට බැඳීමට නියමිතව සිටි වැඩිමහල් සොහොයුරු විජයබණ්ඩාරද සහභාගි විය. තම බාල සහෝදරයා එදින නිල ඇඳුමෙන් සැරසී සිටි ආඩම්බරය දකිත්ම විජයබණ්ඩාර තුළ ඒ පිළිබඳ වූ උනන්දුව තවදුරටත් වැඩි වූයේය. එහිදීද ඔහු තිලකරත්න හමුවේ පවසා සිටියේ නොවරදවාම මීළඟ පාඨමාලාව සමග තමාගේ පැමිණීමද ස්ථිර බවය. විසිරයාමෙන් පසු 3වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත වූ ආධුනික සෙබළ තිලකරත්න නුවරඑළියේ පිහිටි එම ඒකක මූලස්ථානය වෙත වාර්තා කළේය. ඔහු එසේ පැමිණ දින දෙකක් ගතවත්ම කියූ පරිද්දෙන් තම සොහොයුරු විජයබණ්ඩාරද යුද හමුදාවට බැඳී දියතලාව ස්වෙච්ඡා පුහුණු පාසලෙහි සෙසු නිල පාඨමාලා අංක 12 යටතේ පුහුණුව සඳහා ගොස් තිබුණේ තිලකරත්න වෙත දුන් පොරොන්දුව ඒ අයුරින් ඉටුකරමිනි.
 
මෙලෙස මාස හයක් පමණ ගතවත්ම එක්තරා දිනකදී ඔහුට සිය ජීවිතයේ වඩා සතුටුදායක දිනක් උදාවිය. එනම් තම සොහොයුරු විජයබණ්ඩාර පුහුණුව නිමවා නුවරඑළියේ තමා සිටි කඳවුරටම පැමිණීමය. ඔහුද 3 සිංහ රෙජිමේන්තුවටම අනුයුක්තව තිබීම දෛවයේ හාස්කමක් මෙනි. ඒ සමඟම තවත් අහඹුවක් විය. එනම් නාවලපිටියේ පදිංචි “හජිරින්” නම් යහළුවකුද තම සහෝදරයා සමග එම පාඨමාලාව හදාරා එහි පැමිණ තිබීමයි. තිලකරත්න සිය සහෝදරයා සේම හජිරින්ද එකම ගමේ එකම විද්‍යාලයක ඉගෙනුම ලැබ තිබූ අතර හජිරින් තිලකරත්නගේ පන්තියේම සිටි අයෙක් විය. මෙලෙස සහෝදරයන්, යහළුවන් එකම වෘත්තියක එකට හමුවීම ඔවුන් සැමගේ මහත් අස්වැසිල්ලට හේතුවිය. තිලකරත්න හා විජයබණ්ඩාර අතර වැලි කෙළියේ පටන් තිබූ සහෝදර බැඳීම වැඩිහිටියන් ලෙස යුද හමුදාවට එක්වී වුවද ඒලෙසින්ම පැවැතිණ. වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනාටම එකම කඳවුරක සේවය කිරීමට ලැබීමද තවත් අහඹු සිදුවීමකි. එනිසාමදෝ වෘත්තිය තුළ ඔවුන් දෙදෙනාගේ බැඳීම දිනෙන් දින ශක්තිමත් විය. එය කොතෙක්ද යත් ඔවුන් එම කඳවුරේ මුර රාජකාරි සිදුකළ ඇතැම් අවස්ථාවල දෙදෙනාම වුවමනාවෙන්ම එකම බංකරයේ රාජකාරි යොදාගත් වාරද තිබිණ. 
 
1989 වසර අගභාගය වනවිට එතෙක් රට තුළ පැවති කැරලිකාරී වාතාවරණය ක්‍රමයෙන් පහව යමින් තිබිණ. එම කාලසීමාවේදී උඩරට පිහිටි වතුවල ආරක්‍ෂාව පිණිස 3 ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් නුවරඑළිය, ලක්ෂපාන, පල්ලෙකැලේ, නිල්දණ්ඩාහින්න, වලපනේ, ලිඳුල, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල සේවයේ නිරතව සිටියහ. මෙසේ රාජකාරි සිදුකරන අතරතුර එම ඒකකය වෙත හදිසි නියෝගයක් ලැබිණ. එමගින් කියැවුණේ උතුර ප්‍රදේශයේ රාජකාරි සඳහා කඩිනමින් එම බළඇණිය යා යුතු බවයි. ඒ අනුව වව්නියාවෙන් ඔබ්බට ඇති මාන්කුලම්, කොකාවිල්, පරන්තන්, අලිමංකඩ හා කන්කසන්තුරය කඳවුරුවල 3 සිංහ භටපිරිස් ස්ථාපිත කිරීමට නියමිත වූ අතර, එහි පළමු අදියර ලෙස මුලින් එක් කණ්ඩායමක් යැවීමට තීරණය විය. 
 
3 සිංහ රෙජිමේන්තු භටපිරිස් ඒ වන විට කිසි දිනක රාජකාරි සඳහා උතුරට ගොස් නොතිබිණ. එසේම, එම ඒකකය ආරම්භයේ පටන් උඩරට වතු ආශ්‍රිතව රාජකාරි ඉටුකළ හෙයින් ප්‍රමාණවත් තරම් යුද පුහුණුවක් ද ඔවුන් සතු නොවීය. මේ හේතුවෙන් උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා ක්‍ෂණිකව පිටත්වීමට පෙර එම භටපිරිස් සඳහා මසක පුහුණුවක් ලබාදීමට තීරණය විය. ඒ අනුව තලවකැලේ පිහිටි ලැමිලිය තේ කර්මාන්තශාලා පරිශ්‍රය ඒ සඳහා තෝරාගන්නා ලද අතර බළඇණියේ  “ඒ” කණ්ඩායම එහි පළමු පුහුණුව සඳහා යොදවනු ලැබීය. පුහුණුව අවසානයේ එම කණ්ඩායම කඩිනමින් උතුරු ප්‍රදේශයට පිටත්කර යැවීමට කටයුතු සූදානම් කෙරුණු අතර බළඇණියේ සෙසු පිරිස එහි යැවීමට නියමිත වූයේ ඉන් අනතුරුවය. ඒ වනවිට උතුරේ සාමකාමී වටපිටාවක් පැවති අතර, සාම ගිවිසුමක් ක්‍රියාත්මකව ත්‍රස්තවාදීන් සමග තිබූ සියලු ආකාරයේ එදිරිවාදිකම් ද අත්හිටුවා තිබිණ. 
ඒ අනුව, 3 සිංහ රෙජිමේන්තු සෙබළු 120 දෙනෙක් 1990 මැයි 18 දින නුවරඑළියේ පිහිටි සිය බළඇණි මූලස්ථානයේ සිට වවුනියාව දක්වා ගමනට මුල පිරූහ. එලෙස උතුර බලා යන පළමු කණ්ඩායමට සෙබළ තිලකරත්න හා සොහොයුරු විජයබණ්ඩාර සේම ඔවුන්ගේ පාසල් සගයා වූ හජිරින්ද අයත් විය. ඒ වනවිට නුවරඑළිය නගරසභා පිට්ටනිය අසල පිහිටි “සිනිසිටා” ශාලාව සමීපයේ උතුරට යාමට නියමිත සෙබළුන් රැගෙන යාම සඳහා ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් (ජසප්‍රසේ) බස් රථ හතරක් සූදානම්ව තිබුණි. එසේම, ඔවුන්ගේ බඩුභාණ්ඩ ගෙනයාමට අමතර යුද හමුදා ට්‍රක් රථයක් හා සිවිල් ලොරියක්ද එහි විය. එලෙස අවි ආයුධ ඇතුළු හමුදා ආම්පන්න සේම සෙබළුන්ගේ පුද්ගලික බඩුබාහිරාදියද එම රථවල    පිළි​ෙවළට ඇසිරූ ඔවුහු කපිතාන් වීරසූරිය යන නිලධාරිගේ නායකත්වයෙන් එදින උදෑසන උතුර බලා යන ඓතිහාසික ගමනට මුලපිරූහ. 
 
බොහෝ කලක් කඳුකරයේ වතු ආශ්‍රිතව රාජකාරි කරමින් සිටි සිංහ රෙජිමේන්තු භටපිරිස්වලට උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා පිටත්වීම නැවුම් අත්දැකීමක් විය. එහෙත් එතෙක් තමන්ට හුරුපුරුදු පරිසරයෙන් ඈත්වීමට සිදුවීම හේතුවෙන් ඇතැමුන් තුළින් දිස්වූයේ කනස්සලු ස්වභාවයකි. කෙසේ වුවද විජයබණ්ඩාර හා තිලකරත්නගේ මුහුණු තුළින් දිස්වූයේ උද්‌යෝගිමත් බවකි. ඊට ප්‍රධානම හේතුව වී තිබුණේ ඔවුන් දෙදෙනාටම එකට උතුරෙහි රාජකාරි සඳහා යාමට අවස්ථාව ලැබී තිබීමයි. එහිදීද එකම බස්රථයක එකම අසුනක වාඩිවී ගිය ඔවුන්ගේ සහෝදර බැඳීම සෙස්සන් ඉදිරියේ තවදුරටත් සපථ කළ සෙයකි. මේ අතර සෑම බස්රථයකින්ම මිහිරි සංගීත නාදයක් ඇසෙන්නට වූයේ විනෝද ගමනක සිරිය විහිදුවමිනි. එය නිරායාසයෙන්ම සිදුවූවක්ද නොඑසේ නම් රථපෙළෙහි ගමන්ගත් ජ්‍යෙෂ්ඨයකුගේ විධානයකින් මතුවූවක්ද පැහැදිලි නැත. ඉදිරියේදී තමන්ට කුමන ආකාරයේ අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුවද ඒ කිසිවක් ගැන තැකීමක් ඒහි වූ තරුණ සෙබළුන්ට නොවීය. එනිසාමදෝ කෙටි වෙලාවක් තුළ උසුළු විසුළු හා අත්පොළසන් නද වේගයෙන් ඇසෙන බස්රථ අතරේ සතුට දෝරෙ ගලා යන්නට වූයේය. එහිදී සෙබළ විජයබණ්ඩාර තමා ගමන්ගත් බස්රථයේ ප්‍රමුඛ ගායකයෙක් විය. විශේෂයෙන්ම ඔහු හමුදාවට බැඳීමට පෙර ජෝන් ද සිල්වා පදනම හා එක්ව වේදිකා නාට්‍ය කලාව පිළිබඳවද හදාරා තිබූ අතර ඔහු සතුව මනා ගායන කුසලතාවක්ද පැවැතිණ.
 
දීර්ඝ ගමනකින් අනතුරුව භටපිරිස රැගත් රථපෙළ වව්නියාව ප්‍රදේශ මූලස්ථානය වෙත ළඟාවිය. අතරමග සිදුවූ අනපේක්‍ෂිත ප්‍රමාදයන් හේතුවෙන් ඒ වනවිට තරමක් සවස් වී තිබිණ. කපිතාන් වීරසූරිය එහි බලධාරින් හමුවූ අතර තම කණ්ඩායම මාන්කුලම් හා කොකාවිල්හි ස්ථාපිත කරන ලෙස එහිදී ඔහුට උපදෙස් ලැබිණ. මාන්කුලම් දක්වා ගමන් ගැනීමේදී ඔවුනට ආරක්‍ෂාව සැපයීම සඳහා සන්නාහ සන්නද්ධ බළකායට අයත් භටපිරිසක් ද වව්නියාවේ සූදානම්ව සිටියහ. ඒ අනුව ඉදිරියෙන් සහ පිටුපසින් යෙදූ එම සන්නද්ධ රථවල ආරක්‍ෂාව මධ්‍යයේ 3 සිංහ රෙජිමේන්තු භටපිරිස් මාන්කුලම් දක්වා ගමන් ඇරඹූහ.
 
භටපිරිස මාන්කුලම් වෙත ළඟාවන විට බොහෝ හෙයින් අඳුරු වැටී තිබිණ. එදින රාත්‍රිය මාන්කුලම් කඳවුර අතිශය කාර්යබහුල විය. විශේෂයෙන්ම ආරක්ෂාවට අදාළ කටයුතු වෙනුවෙන් එහිදී හිමිවූයේ වැඩි ප්‍රමුඛත්වයකි. තවද රැගෙන ආ බඩු බෑමද එහි භටනිවාසවලට සෙබළුන් යොමුකිරීමද සෑම අයකුටම කඳවුරු පරිශ්‍රය හුරුකරවීමද අනෙකුත් පාලන අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමද සිදුකෙරුණු අතර එහිදී කණ්ඩායම් භාර සැරයන් මේජර් වරයා වූ සැරයන් මේජර් වීරසුන්දරගේ කටහඬ වැඩිපුර ඉස්මතු වී පෙනිණ. මේ අතර කඳවුර තුළ සිදුකෙරෙන එකී කටයුතුවලදී සෙබළ තිලකරත්න හා විජයබණ්ඩාර බොහෝවිට කටයුතු කරන ලද්දේ එකටමය.
 
එදින රාත්‍රියේම සැරයන් මේජර් වීරසුන්දර විසින් තම කණ්ඩායමේ සියලු භටපිරිස් එක්රැස්කොට මාන්කුලම් හා කොකාවිල් කඳවුරු සඳහා පිරිස කොටස් දෙකකට වෙන් කරන ලදී. ඒ වන විටද සෙබළ තිලකරත්න හා විජයබණ්ඩාර සිටියේ එකටමය. එහිදී ඔවුන් යළිත් වතාවක් එකම කඳවුරකට අයත්වීම පිළිබඳ ඔවුන් දෙදෙනාම පසුවූයේ ඉමහත් සතුටකිනි. නමුත් ඒකී සතුට ඔවුන් තුළ පැවතුණේ සුළු වෙලාවකි. අවසන් මොහොතේ එය සැරයන් මේජර්වරයාගේ නිරීක්ෂණයට ලක්විය. 
“උඹලා දෙන්නටම එකට ඉන්න බැහැ. එහෙම උනොත් අනවශ්‍ය ප්‍රශ්න. ඒ හින්දා දෙන්නා දෙකට බෙදියල්ලා. තිලකරත්න මාන්කුලම් නවතිනවා. විජයබණ්ඩාර කොකාවිල් යන්න ලෑස්ති වෙනවා.” 
 
සැරයන් මේජර් වරයාගේ ගාම්භීර විධානය එලෙස විය. ඉහත කටයුතු  හමාරවෙද්දී බොහෝ සෙයින් රෑ බෝවී තිබූ හෙයින් කොකාවිල් බලායන කණ්ඩායමේ ගමන පසුදිනට කල් තැබිණි. එදින රාත්‍රිය කිසිවකුට නොදැනුණද සෙබළ විජයබණ්ඩාරට හා තිලකරත්නට නම් නිදි වර්ජිත විය. පසුදින පටන් දෙදෙනා කඳවුරු දෙකකට බෙදීයාම මෙන්ම නුපුරුදු පරිසරයකට තනිව අනුගතවීම තවදුරටත් ඔවුන් තුළ නොඉවසිලිමත් බව වැඩිකරලීය.
 
කොකාවිල් දක්වා ගමන්ගැනීම සඳහා පෙර දිනයේ ඔවුන් පැමිණි වාහනම යොදාගැනිණ. එහිදී බස්රථයක්, ලොරිය හා ට්‍රක්රථ ඊට අයත් වූ අතර එම රථ පෙළ 60 දෙනකුගෙන් යුත් භටපිරිසක් සමග පසුදින එනම් 1990 ජූනි මස 19 වන දින උදෑසන මාන්කුලමෙන් ගමන් ඇරඹීය. එලෙස ඔවුන් කොකාවිල් බලා පිටත්වීමට අවසන් සූදානම සිදු කරද්දී සෙබළ තිලකරත්න ඒ දෙස බලාසිටියේ බිඳුණු සිතිණි. තම සහෝදරයා සමග එකම කඳවුරක රුඳීමේ අවස්ථාව නොලැබීම පිළිබඳ ඔහු තුළ වූයේ පශ්චාත්තාපයකි. හෙතෙම එහි සිටි සැරයන් මේජර්වරයා දෙස බැලුවේ අවසන් මොහොතේ හෝ තමාටද සහෝදරයා සමග කොකාවිල් යාමට අවස්ථාව ලැබේදෝයි යන බලාපොරොත්තු සහගත හැඟීමෙනි. නමුත් එය හුදු බලාපොරොත්තුවකට පමණක් සීමාවිය. මේ අතර පිරිස බස් රථයට ගොඩවෙද්දී ඒ අතර සිටි සෙබළ විජයබණ්ඩාර හදිසියේ දිවවිත් සොහොයුරු තිලකරත්න අත යමක් තැබීය. එය යතුරකි. විජයබණ්ඩාර සිය බඩු භාණ්ඩ රැගෙන යන ලද්දේ විශාල ප්‍රමාණයේ බෑගයකය. ඉබි යතුරු යොදා තිබූ එහි එක් යතුරක් එලෙස තිලකරත්න වෙත ලබාදුන් ඔහු යළි බස්රථයට නැගගත්තේය. තම සහෝදරයා ඔහුගේ ගමන් මල්ලද සමග කොකාවිල් බලා යන බැවින් එම ගමන්මල්ලේ යතුරක් එලෙස ඔහු අත තැබීම පිළිබඳ තිලකරත්න තුළ අදහසක් නොවීය.
 
මෙලෙස දින සති ගතවන්නට විය. තිලකරත්න හා විජයබණ්ඩාර මාන්කුලම් හා කොකාවිල් කඳවුරුවල රාජකාරි කරමින් සිටින අතරතුර තම මවටද ලිපි මගින් තොරතුරු දැනුම්දීමට අමතක නොකළහ. එසේම යාබද කඳවුරු දෙකක රාජකාරි කළද ඔවුනොවුන්ට එහිදී මුණගැසීමට කිසිවිට අවස්ථාවක් නොවීය. එහෙත් කඳවුරුවල පැවති ගුවන්විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඉඳහිට යම් යම් තොරතුරු හුවමාරු කර ගැනීමට ඔවුන් කටයුතු කළ අවස්ථා තිබිණ. මේ අතර තම පුතුන් දෙදෙනාම උතුරේ රාජකාරි සඳහා පිටත්ව යාම පිළිබඳව තිලකරත්නගේ මව පසුවූයේ ඉමහත් චිත්ත පීඩාවකිනි. ඒ නිසාම ඕ හැඬූ කඳුළින් පසුවූ වාරද බොහෝය. කෙසේ වුවද සති කිහිපයක ඇවෑමෙන් ඔවුන් දෙදෙනාගෙන්ම එකවර ලිපි ලැබීම ඇගේ ඉමහත් සතුටට හේතු විය. එකට නොසිටියද විජයබණ්ඩාර හා තිලකරත්න ආසන්න කඳවුරු දෙකක රැඳී සිටීමම ඈ හට අස්වැසිල්ලකි. කුමන තත්ත්වයක් යටතේ වුවද ඔවුනොවුන් කිසිවකුත් එකිනෙකා අත් නොහරින බවටත් දෙදෙනාම නිරුපද්‍රිතව යළි තමා බලන්නට පැමිණෙන බවටත් ඈ තුළ දැඩි විශ්වාසයක් පැවතුණේ කුඩා කල පටන් තම පුතුන් දෙදෙනා අතර වූ සහෝදර බැඳීමේ තරම ඈ හොඳින් දැනසිටි නිසාමය. 
 
මේ අතර, නිල වශයෙන් ප්‍රකාශ නොකළද 1990 ජූනි මස වෙද්දී කොටි සංවිධානය එතෙක් පැවති සාම ක්‍රියාවලියෙන් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට තිබිණ. එසේම, යුද හමුදාව කුපිත කරවන අයුරින් සෑම කටයුත්තක්ම සිදුකරන්නට වූ ඔවුහු ක්‍රමානුකූලව සිය බලය ව්‍යාප්ත කරන්නටද පටන් ගත්හ. ඒ සමඟම උතුරු ප්‍රදේශයේද යුදමය පරිසරයක් නිර්මාණය වන්නට වූ අතර එහිදී විශේෂයෙන්ම පලාලි, යාපනය කොටුව, කිළිනොච්චි, මාන්කුලම් හා කොකාවිල් යන හමුදා කඳවුරුවලට බලවත් ලෙස ත්‍රස්ත තර්ජන එල්ල වන්නට විය. දින සති ගෙවීයද්දීම මාන්කුලම් අවට ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයේ ඒකරාශිවීමක් සිදුවෙමින් පවතින බැව් එහි සිටියවුන්ට ඉවෙන් මෙන් දැනුණි. එනිසාම ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ප්‍රතිරෝධයට මුහුණදීමට අවැසි කටයුතු කඳවුර තුළ වහ වහා සංවිධානය කෙරිණ. 
 
1990 ජුනි 15 දින මාන්කුලමට රාත්‍රිය උදාවූයේ වෙනදාටත් වඩා අඳුර රජයමිනි. අවිනිශ්චිත බව මොහොතින් මොහොතේ තීව්‍ර වූ එම රාත්‍රිය නිසැක සතුරු ප්‍රහාරයක පෙරනිමිති පහළවිය. සැකය අවිශ්වාසය පිරි පරිසරය මාන්කුලම් කඳවුර වටා පාළු මූසල බවක් ද රජයන්නට වූයේය. සිතූ පරිද්දෙන්ම ඒ බිහිසුණු මොහොත උදාවිය. එදින හරියටම රාත්‍රි 12.10 පසුවත්ම වර්ෂාවක් පරිද්දෙන් කඳවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවන්නට වූයේ සමස්ත කඳවුරේම විදුලියද විසන්ධි කරමිනි. දිසා කිහිපයකින් එල්ල කෙරුණු එම ප්‍රහාරය කඳවුරේ භටපිරිස් බලාපොරොත්තු වූවාට වඩා බරපතළ විය. එදින සවස සාජන් මේජර්වරයා අවසානයට තමන්ට කියූ ධෛර්යසම්පන්න වදන් කඳවුරේ සෑම අයකුගේම දෙසවන්වල ඒ වනවිටද පිළිරුව් දෙමින් තිබිණ.  “උඹලා එකෙක්වත් බයවෙන්න එපා. කවුරුවත් පස්සට යන්නත් එපා. මම ඉන්නවා උඹලා එක්ක. ජීවත්වෙන්න ඕනෙ නම්  සටන් කරපල්ලා.” ඒ සැරයන් මේජර් වරයාගේ ආවේගාත්මක ප්‍රකාශය විය.
 
ඉතිරිය කොටස ලබන සතියට...