නෙදර්ලන්තයේ තිබෙන අපේ කාලතුවක්කුව


 

“ක්‍රිස්තු වර්ෂ1658-1796 ලන්දේසි පාලන සමයේ දී ලන්දේසීන් විසින් එදා අපේ රටෙන් රැගෙන ගිය අවි ආයුධ රැසක් බාර දීමට යයි” යනුවෙන් වූ පුවත පසුගියදා අප ඉරිදා ලංකාදීපයේ පළ කෙරිණ. ශතවර්ෂ දෙකහාමාරකට පෙරදී ලන්දේසින් එදා අපෙන් රැගෙන ගිය ආයුධ මොනවාද? ඒවා අපේම යැයි ඔප්පු කිරීමට සාධක තිබිය යුතුය.


ආචාර්ය ගංගා රාජිණි දිසානායක යනු අපේ ඉතිහාසය, ජනවර්ග මෙන්ම සංස්කෘතිය ඇතුළු විෂයයන් ගැන පුළුල් දැනුමක් ඇති විද්වත් චරිතයකි. ඇය මේ සූදානම් වෙන්නේ එම ඉපැරණි අවි ආයුධ අපේම යැයි කරුණු සහිතව ඔප්පු කර පෙන්වීමටය. ඵ් අනුව අද ඇය අපට විස්තර කරන්නේ එම ආයුධ අතරට අයත් යැයි සඳහන් වෙන කාලතුවක්කු ආයුධය ගැනය.


මෙම ඉපැරණි ආයුධ අපේම යැයි තහවුරු කරගත් පර්‌යේෂණයට ඇතුළත් කණ්ඩායම A SHIKKER, D VAN DE BOGAARD, G.R. DISSANAYAKE, A. DE ZOYSA, R. BROWN, K. SMITH A. PAPPOT සහ අචාර්ය ගංගා රාජිණි දිසානායක.


විස්තර සොයාගත් හැටි


මුලින්ම අප කණ්ඩායමට මේ ගැන දැන ගැනීමට ලැබුණේ 2019 වසරේදීයි. මෙම කෞතුක භණ්ඩ රැසක් තැන්පත් කර ප්‍රදර්ශනයට තබා තිබෙන්නේ නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ. එහි ඇති සියලුම භාණ්ඩ ගැන ඔවුන් නිරන්තරයෙන් පර්‌යේෂණ සිදු කරනවා.

යටත් විජිත සමයේ දී තිබූ භාණ්ඩ සහ අනෙකුත් ඓතිහාසික වූ භාණ්ඩ ගැන එලෙසින් පර්‌යේෂණ කිරීමට එරට ආයතන තුනකට වගකීම් පවරා ඇති බව අපට දැන ගැනීමට ලැබුණා. ඒ භාණ්ඩ අතරින් මෙම ආයුධ 6 සඳහා විශේෂිතව පර්‌යේෂණ කළ යුතුය යන නිගමනයට එම පර්‌යේෂණ ආයතන එළඹ තිබෙන්නේ 2019 වසරේදීයි.
නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරය පර්යේෂණ කළ හේතුව


මෙම භාණ්ඩවල ඇති විශේෂත්වය නිසා එලෙස කරන්නට ඇති. මෙම ආයුධ 6 අතරින් CANNON හෙවත් කාලතුවක්කු ආයුධය විශේෂිත වූවක් ලෙස දක්වා තිබෙනවා. එහි ඇති කැටයම් සහිත කලාවේ ඇති දුර්ලභ විශිෂ්ටත්වය මෙන්ම තාක්ෂණයෙහි විශේෂත්වය මුල් වෙන්නත් ඇති.


මෙතරම් විශේෂ වූ මෙම කාලතුවක්කුව සාදා ඇති විදිය 


අපේ පර්‌යේෂණ  කණ්ඩායම මෙම කාලතුවක්කුව ගැන පර්‌යේෂණ කරද්දී මෙහි මැෂින් එක ක්‍රියාත්මක කළ හැකි විදිය ගැන වෙනම පර්‌යේෂණයක්  කළා. ඒ දෙදෙනාගේ නිගමනයට අනුව මේ වගේ කාලතුවක්කු ඒ කාලයන් හිදී ලෝකයේ සෑම රටකම තිබී ඇති බව තහවුරු කරගෙන. ඒ කාලයේ බොහෝ දෙනා අතර කාලතුවක්කු ගැන තිබී ඇත්තේ ලොකු උන්මාදයක්. කාලතුවක්කු යුද්ධ කිරීමට  යොදා ගැනීමට අමතරව අලංකාරව තබා ගත හැකි නිර්මාණ ලෙස නිවෙස්වල තබා ගැනීමටත් ඒ කාලයේ මිනිස්සු උනන්දු වූ බව සඳහන් වෙනවා. කුඩා ornament එකක් වගේ වුවත්. මෙහි ඇති විශිෂ්ටම දේ වෙන්නේ අදටත් ක්‍රියාත්මක කරවිය හැකි වීමයි. කුඩා ඊයම් බෝලයක් දමා වෙඩි තැබීම කළ හැකියි. ඒ තාක්ෂණය සැබැවින්ම අප පුදුමයට පත් කරවන්නක්.


මෙවැනි කාලතුවක්කු 6 ක් එකල රජු සතුව තිබූ බව රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ ඇතුළත් වෙනවා.


අපි අපේ අතීතයේ අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. එනම් එකල හෙළදිව යනු අය බදුවලින් සාරවත්ව තිබූ පොහොසත් රාජ්‍යයක්. එනිසා තමයි ඉස්තරම්ම දේ මාළිගයේ විසිතුරු භාණ්ඩ ලෙස එක් රැස් කර ගෙන තිබූ බව සඳහන් වෙන්නෙ.


නිශ්චිතවම මෙය අපේ කාලතුවක්කුවක් කියලා නිගමනය කරන්නෙ


මෙම කුඩා කාලතුවක්කුව ලන්දේසීන්ගෙන් ලෙව්කේ පරම්පරාවේ කෙනෙක් ලබාගෙන. පසුව මෙම ලෙව්කේ විසින් හැඩ වැඩ දමා, නිමවා ගත් බව සඳහන් වෙනවා. නිකම්ම යකඩ නිර්මාණයකට රනින් සහ රිදියෙන් වැඩ දමා මැණික් ගල් ඔබ්බවා නිමවා ඇති අයුරු ඉතා අනර්ඝයි. ලෝකයම මෙම නිර්මාණය ගැන විස්මයට පත් වන්නෙ ඒ නිසාමයි. නෙදර්ලන්තය ඔවුන්ගේ ජාතික කෞතුකාගාරයේ වසර 200ට වැඩි කාලයක් ඉහළම තාක්ෂණය යොදාගෙන සංරක්ෂණය කිරීම අපි ගරු කළ යුතු දෙයක්. මීට පෙරත් මෙම කාලතුවක්කුව ගැන පර්‌යේෂකයින් විවිධ පරීක්ෂණ කර ඇති බව සඳහන් වෙනවා. ඒත් මොන රටට අයත් ද යන්න ඔවුන් තහවුරු කරගෙන තිබුණේ නැහැ. අවසන මෙය අපේම නිර්මාණයක් බවට තහවුරු කර ගත්තේ අපේ කණ්ඩායම වීම තවත් විශේෂත්වයක්.


මිල කළ නොහැකි මේ අනර්ඝ නිර්මාණය අපේ රටේ සංචාරක  කර්මාන්තයේ ආකර්ෂණය උදෙසා ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගැනීමෙන් විශේෂ සංචාරක ආකර්ෂණයක් ලබා ගත හැකියි. එමෙන්ම සංචාරක කර්මාන්තයට හොඳ ආදායමක් ද උපයා ගත හැකි බව මගේ අදහසයි. 

 

 

■ සඳුන් ගමගේ