නිරිඇල්ලේ තරුණිය ඇළට වැටී මැරුණාද ?දියේ ගිල්ලෙව්වාද ?


පොලිස් පොතෙන්

රත්නපුරේ ඇලපාත නිරිඇල්ල ග්‍රාමය ගෙවුණු 27 වැනි සඳුදා දහවල් වෙද්දී සැකයෙන් සහ භීතියෙන් වෙලී ගියේය. මෑතක දී උපාධිය හිමිකරගත් සුන්දර යුවතියක් රැකියාවට යද්දී නිවසට නුදුරු බෝක්කුවක් අසල වතුරේ වැටී ජීවිතක්‍ෂයට පත්වීම ඊට හේතුයි. 

ඇය නමින් පී.ජී. සුවිනී දිනාදරී ජයසිංහ (25) නම් වූවාය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මීට දෙමසකට පෙර උපාධිය ලැබ තාවකාලික රැකියාවක නියුතු වූවාය. රත්නපුර නව නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයක රැකියාවට එන්නට නිවසින් එදින පාන්දර හයයි විස්සට පිටත් වූ ඇය නිවසට මීටර් දෙසියක් දුරදී පාර අද්දර බෝක්කුවක් අසල බට පඳුරක මුනින් අතට වැටී සිටිය දී ගම්වාසීන්ට හමුවුණේ පැය තුන හමාරකට හතරකට පසුවය.   


ගමේ කාගේත් හිත් දිනාගත් මව්පිය දෙපලකගේ වැඩිමහල් දරුවා ඇය විය. මව්පියන් මෙන්ම උසස් පෙළ හදාරන මල්ලිත්, පාසල් යන නංගිත් සුවිනීත් ගමේ කාගේත් ආදරය දිනා සිටියහ.   


ඇගේ හදිසි මරණය ලැව් ගින්නක් සේ කට කතාවෙන් සහ සමාජ මාධ්‍ය ජාලා වලින් පැතිර ගියේ නිරිඇල්ලේ උපාධිධාරිනියක් දූෂණය කර මරා දමා ඇති බවයි. ඇය වැඩට යන්නට ආ පාරේ එක් පැත්තක පුරන්ව ගොස් පිට්ටනියක් බවට පත්ව තිබූ කුඹුරකි. අනික් පැත්තේ නිරිඇලි ගඟය. ඇය පොත්තබැවිල පාරේ බස් එකේ රත්නපුර නගරයට යන්නට පැමිණ තිබේ. නිවසේ සිට බස් යන එන පාරට මීටර් පන්සියයත් හයසියයත් අතර දුරක් පවතී. පාර තරමක් පාළුය. නමුත් පාගමනින් යන එන මිනිසුන් මෙන්ම යතුරු පැදි, ත්‍රිරෝද රථ ආදිය නිතර ගමන් කරන ගුරු පාරකි.   


සුවිනී මෙදින නිවසින් පිටවී ඇත්තේ පාන්දර හයයි විස්සටය. ඒ හයයි තිස් පහේ බස් එකට යන්නටය. එදින ඒ මොහොත වනවිට ඉර පායා නොතිබුණි. අහස අඳුරු වලාවෙන් පිරී තිබුණි. සුවිනිට පිටුපසින් පාසල් දරුවන් දෙදෙනකු ද එමින් සිටියෝය. මේ පාර අනාරක්‍ෂිත නැත. පාන්දර, මහ දවල් පමණක් නොව ගොම්මනේ ද බාල, තරුණ, මහලු සෑම කෙනෙක්ම යන එන පාරකි. පාරේ වංගු කිහිපයක් ඇති අතර තරමක පාළු ස්වභාවයක් උසුලයි. නමුත් ගම්මුන්ට ඒ පාළු බව දැනෙන්නේ නැත.   
කළු පැහැති සායකින් සහ කළු පැහැති අත් දිග ටී ෂර්ටයක් වැනි ඇඳුමකින් සැරසී අත් බෑගයක් ද රැගෙන ඉදිරියෙන් යන සුවිනී පාර අතර මැද වංගුවක දී ඇය පසුපසින් ආ පාසල් සිසුන් දෙදෙනාට නොපෙනී ගියේය. ඔවුන් ඒ ගැන තැකීමක් නොකර පාසල් යන්නට ගියහ.   
මේ අතර වෙනදා සුවිනී සමග වැඩට යන්නට එන මිතුරියක් එදින එන්නට පමා වූවාය. සුවිනී නිවසින් හයයි විස්සට පිටත්ව තිබුණ අතර මිතුරිය හයයි විසිපහට පිටත් වූවාය. ඇයට අතරමග දී ත්‍රිරෝද රථයක් මුණගැසී ඇය ඉන් පාරට ආවාය. නමුත් සුවිනී එදින හයයි තිස් පහේ බස් එකට රත්නපුරේ එන්නට ගොඩ නොවූවාය.   
මේ අතර සුවිනීගේ මව ද පෙරවරු අටට පමණ මේ පාරෙන් ආවාය. පාන්දර හය හමාරත් හතයි දහයත් අතර මේ ගුරු පාර පාසල් ළමයින්ගෙන්, දිනපතා වැඩට යන්නට එන ගම්වැසියන් නිතර එහාමෙහා යන මිනිසුන්ගෙන් බහුල පාරකි. 

 
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ ඇයට පෙම්වතෙක් ද සිටී. ඔහු කොට්ටාව, හෝමාගම ප්‍රදේශයේය. නවය හමාර දහය වනවිට නිවසට ඔහු දුරකතන ඇමතුමක් දී සුවිනී වැඩට ගොස් නැති බව මව්පියන්ට දැනුම් දුන්නේය. මව්පියන් දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන සොයා බලා කලබලයට පත්වූහ.   
“ලොකු දූ වැඩට යන්න හයයි විස්සට ගෙදරින් ගියා. හයයි තිස්පහේ බස් එකට ගොඩවෙලා නෑ.” මව්පියන්ගේ පණිවිඩයෙන් ඒ වනවට ගමේ ගෙවල්වල හිටි ඥාතීන් සහ හිතවතුන් කිසියම් කලබලයකට සහ තැති ගැන්මකට පත්වූහ. එම පණිවිඩය අනුව නිවසත් බස් රථය එන පාරත් අතර වූ මීටර් පන්සියයක් හය සියයක් අතර දුරක දී ඇයට යමක් විය යුතුය. නැත්නම් ත්‍රිවිල් එකකින් හෝ වෙනත් වාහනයකින් ගියා විය හැකිය. එහෙම ගියත් වැඩට නොගියේ ඇයි? කා තුළත් කැකෑරුණ පැනයක් විය.   
මේ පණිවිඩයට රොක් වූ කවුරුත් ඇය ගමන් කළ පාර දිගේ දෙපැත්ත විපරමින් ආහ. ගෙදර සිට මීටර් දෙසීයක පමණ දුරින් පිහිටි බෝක්කුවට මීටර් තිහ හතළිහක් ඈතින් පාරේ ඉවුර දෙසින් තරුණියකගේ කකුල් දෙකක් වැනි දෙයක් දිස්විය. පාරේ සිට බලද්දී මෙතැන පාරට පෙනෙන්නේ නැත. තවදුරටත් විපරම් කරද්දී මුනින් අතට දියමත වැටී සිටි සුවිනිගේ නිසල සිරුර හමුවිය. සිරුරේ කොන්දට කොළ රොඩු වැටී තිබුණි. ඇය ගෙනා වතුර බෝතලය, අත් බෑගය, ජංගම දුරකථනය පෙනෙන්නට නොවීය. වම් පාදයේ දණහිස සහ දණහිසින් උඩට සාය තෙක් පැටලුණු කොළ පැහැති පෝර කවරයකි. ඇගේ ප්‍රාණය නිරුද්ධව ඇති බව කාටත් පැහැදිලි විය. ඇලපාත පොලීසියට වහාම දැනුම් දී තිබුණි.   
පොලීසිය එහි එන්නට පෙරම සමාජ ජාලා මාධ්‍ය වලින් සහ කටකතා වලින් පැතිර ගියේ නිරල්ගම උපාධිධාරිනියක් දූෂණය කර මරා දමා ඇති බවකි. පොලීසිය පැමිණ විමර්ශන ඇරඹුවේය. ඇලපාත පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.එස්.පී. කරුණරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ අවට සෝදිසිකර සැකකටයුතු දෙයක් ඇද්ද යන්න නිරීක්‍ෂණය කරන ලෙසය. එවැනි සැකකටයුතු කිසිවක් හමු නොවිණි. රත්නපුර පොලීසියේ ස්ථානීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද පැමිණියේය.   
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් නිතීඥ සුමිත් ආනන්ද මහතා ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයට පැමිණියේය. මුනින් අතට තිබු සිරුර උඩුබැලි අතට හරවනු ලැබීය. ඇගේ අත්බෑගය වතුර බෝතලය සිරුරට යටවී තිබී හමුවිය. ඇඳ සිටි සාය සිරුරට තද වන සේ වූ එකක් විය. දණහිසෙන් අඟල් හයක් පමණ උඩට එය එසවී තිබුණේ සායේ රැළි කිහිපයක් ද මතුකරවමිනි.   


“මේවා සහගහන අපරාධ. කුරා කූඹියෙකුටවත් කරදරයක් නැති ළමයෙක්. මේ වගේ අහිංසකාවියකට මේ අපරාධය කළ එකාට හොඳක්නම් වෙන්න එපා.” ඇගේ මරණය ඝාතනයක් බවට නිගමනය කළ සමහරු දෙස් දෙවොල් තැබූහ. නමුත් සිරුරේ බාහිරට පෙනෙන්නට කිසිදු තුවාලයක් හෝ වෙනත් සලකුණු නොවීය. ගොතා තිබූ හිස කෙස් කැරැල්ලක් කෝටුවක පැටලී තිබුණි.   


“අපරාධය කරපු එකා කොණ්ඩෙ ලී කෝටුවේ ගැටගහන්න ඇති” බලා සිටි සමහරුන්ගේ නිගමනය විය. සිරුර කපා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මරණයට හේතු දන්වන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.   
සිරුර රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට යැවිණි. ඒ වනවිට සුවිනී දූෂණය කර මරාදමා ඇති බව කටකතා සහ ඇතැම් සමාජ ජාලා මාධ්‍යවල නිගමනයන් විය. පසුදා දහවල් රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂ වෛද්‍ය කේ. මුදිත කුඩාගම මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීය. මෙවැනි මරණයන් පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ රැසක් පවත්වා ඇති වෛද්‍ය විශේෂඥයෙකි.   


ඒ වනවිට රත්නපුර ශික්‍ෂණ මහරෝහලේ මෘත ශරීරාගාරය අවට සුවිනීගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන බව දැනගෙන පැමිණියේ විශාල පිරිසකි. ඒ හැම කෙනෙකු තුළින්ම දිස්වූයේ ඇය දූෂණය කර මරා දමා ඇති බවට වූ නිගමනයක් ලැබේවිය යන විශ්වාසයයි. එහි සිටි සමහරුන්ට පශ්චාත් මරණ පරීක්‍ෂණය අවසන් වනතුරු ඉවසිල්ලක් නොවීය.   
කෙසේ වෙතත් සිරුරේ බාහිර තුවාල කිසිවක් නොවූ අතර ඇයට ලිංගික අතවරයක් හෝ දූෂණයට ලක්වූ බවට කිසිදු සලකුණක් නොවූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී වෛද්‍යවරයාට තහවුරු වී තිබුණි. සිරුරේ සිරිම් තැලීම් වැනි සලකුණු ද නොවීය. ශරීරයේ අභ්‍යන්තර කොටස් රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යැවීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා තීරණය කළේ මරණයට හේතුව පිළිබඳ විවෘත තීන්දුවක් දෙමිනි.   


“එහෙම වෙන්නේ කොහොමද? සාය යට පෝර කවරයකුත් හිර කරලා තිබුණා. කන්‍යාභාවයවත් විනාශවෙලා නෑ කියලා මිනිය කපපු දොස්තර කියලා තියනවා. අපිට ඒක පිළිගන්නම බෑ. බෝකුවෙන් වැටුනා නම් බෝක්කුව ළඟ මිනිය තියෙන්න ඕනෑ. ඊට මීටර් විසිපහක් තිහක් ඈතින් මිනීය තිබුණේ. මේ වගේ අපරාධයක් අපේ ගමේ කවදාවත් වෙලා නෑ.” එවැනි නිගමනයන්ට පැමිණී ගම්වැසියන්ගේ අනන්‍යතාව හේළි කිරීමට තදින්ම අකමැති විය.   


“මේක කොහොම කිව්වත් අපරාධයක්. අපේ නම්ගම් ගියාම මේ අපරාධය කළ එකාලා තනියම ඔය පාරේ යන අපේ ළමයි, බිරින්දලැ ඊළඟ ගොදුර කරගන්න බැරි නෑ. ඔය අපරාධකාරයා මෙතන ඉන්නත් බැරි නෑ. ඒ හින්දා අපේ නම් ගම් වත් පින්තූරවත් දාන්න එපා මහත්තයෝ”යැයි ඉල්ලීමක් කළහ.   
නිරල්ගම වසම බාර ග්‍රාම නිලධාරිනී හර්ෂණී නානායක්කාර මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ තමන් මේ වසමේ සේවයට පැමිණි හය වසරක කාලය තුළ මෙවැනි සිදුවීමක් සිදුවු පළමු අවස්ථාව මෙය බවයි. සුවිනීට හෝ ඇගේ මව්පියන්ට, නංගිට මල්ලිට තරහ කාරයෙක් සිටි බව කවුරුත් නොකියන බව කී ග්‍රාම නිලධාරීවරිය පැවසුවේ සුවිනීගේ පවුලේ අය ගමේ කාටවත් කරදරයක් හිරිහැරයක් ඇති අය නොවන බව පසක් කරමිනි.   


කෙසේ නමුත් කවුරුවත් එල්බගෙන සිටින තීන්දු තීරණ අනුව පරීක්‍ෂණ පවත්වන්නට පොලීසියට හැකියාවක් නැති බව විමර්ශනය කරන පොලීසිය අවධාරණය කළේය.   
“ගමේ අයට විවිධ නිගමනවල ඉන්න අයිතියක් තියනවා. නමුත් විමර්ශනය කරන නිලධාරීන්ට ගමේ අනියත බියක් ඇති කරන්න බෑ. මේ සිද්ධියේ කාලරාමු ආදිය සැලකිල්ලට ගත්තාම අපරාධයක් බවට නිගමනය කිරීමේ ඉඩකඩ කරුණු අඩුයි. මේ තරුණිය පාරෙ අයිනෙන් යද්දී ලිස්සලා අඩි අටක් දහයක් විතර පල්ලම ඔස්සේ වතුරට වැටුණ ද කියලා හොයලා බලන්න ඕනෑ. වතුරට වැටිලා ඇය ගොඩ එන්න දඟලන කොට වතුරේ තිබුණ පෝර කවරයක් කකුල් වල පැටලුනා ද දන්නේ නෑ. ඒ ළඟ පාත එළවලු කොටුවක් තියනවා. ඒකෙ පාවිච්චි කළ පෝර කවරයක් වතුරට වැටිලා තිබුණද? වතුරට වැටුණු මියගිය තරුණියට සිරුරට තදවනසේ ඇඳ තිබූ සාය නිසා වතුරෙන් ගොඩට එන්න අපහසු වුණා ද? මුනින් අතට වැටී සිටි ආකාරය අනුව ඇය වතුරෙන් උඩට එන්න වෙර දැරුවාද? මේවා මෙවැනි සිද්ධියක දී විමර්ශකයන්ගේ අවධානයට යොමු වෙනවා. ගැලරියට ඕනෑ විදියට අපරාධ විමර්ශනය කරන්න බෑ. සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවලා තියනවා. රස පරීක්‍ෂකවරයාගේ තීන්දුව අනුව ඉදිරි පොලිස් පරීක්‍ෂණ මෙහෙයවනවා. ඒනිසා මේ සිද්ධිය දිහා එක් අන්තයකින් පමණක් බලලා අනියත බියක් කුකුසක් ඇති කර නොගත යුතුයි. ඇයට ක්‍ෂණික හෘදයාබාධයක් ආවාද කියන්න දන්නේ නෑ. අපේ විමර්ශන අවසන් නැති නිසා දැන්ම ඒ ගැන මොකුත් කියන්න බෑ.” විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියෙක් පැවසුවේය.   


ඒ නිසා සුවිනී දිනාදරී ජයසිංහ නම් භද්‍ර යෞවනියගේ මරණය සමාජයට අලුත් පාඩමක් කියා දෙයි. ඇගේ මරණයට හේතුව නිගමනය කරන රජයේ රස පරීක්‍ෂකවරයාගේ තීන්දුව එනතුරු අභිරහසක් වූ මරණයේ සත්‍ය වටහා දෙනු ඇත. 

 

 

සටහන හා ඡායාරූපය
අජිත්ලාල් ශාන්තඋදය