නිදාගන්න ඇඳක් දෙන ඉන්දියාවේ රෑ බස් රථ


ඉන්දියාවේ දී මේ දිනවල රැයක් ගත කිරීමට සාමාන්‍ය හෝටලයක කාමර මිල ඉන්දීය රුපියල් 2500 ත් 3000ත් අතර වෙයි. එය ලංකාවේ මුදලින් නම් රුපියල් 12,000කට ආසන්නය.
මේ මුදලට ගත හැක්කේ තරු දෙකේ හෝටලයක හෝ ගෙස්ට් හවුසියක වායුසමනය කරන ලද කාමරයකි. පසුගිය වසර පහ හය කාලය ඇතුළත ඉන්දියාවේ මෙවැනි කාමරයක මිල වැඩිවී ඇත්තේ ඉන්දීය රුපියල් 500කින් සහ 1000කින් පමණය. අපේ මුදලින් නම් එය ‘‘ඩබල්’’ වෙලාය.


සංචාරකයකුට වියදම් අඩුකර ගැනීමට නම් රැයක් දෙකක් දුම්රිය නිදන මැදිරියක ගමන් කිරීම සුදුසුය. එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ අපට හිතෙන හිතෙන වෙලාවට ඉන්දියාවේ දුරගමන් සඳහා දුම්රිය නිදන මැදිරි වෙන්කර ගැනීමේ අපහසුතාවයි. අඩුම තරමේ දිනකට කලින්වත් වෙන් කිරීම් කරගත යුතුය.


ඉන්දියාවේ රාත්‍රී දුර ගමනකදී ඊළඟට යොමුවිය යුත්තේ බස් රථයකටය. එයිනුත් වායු සමනය කරන ලද බස් රථයක් තෝරාගතහොත් වඩාත් පහසුය. ඉන්දියාවේ බොහෝ පිරිස් වායු සමනය කළ බස්රථ දිවා කාලයේ දී පවා තෝරා නොගනිති. ඒ නිසා තදබදයකින් තොරව දිවා කාලයේ දී වුව ගමනක් යෑමේ දී වායු සමනය කළ බස් රථයකින් නිදහසේ ගමන් කළ හැකිය. ඒවායේ අසුන් පිරෙන්නේ අඩකින් පමණය.


විදේශීය සංචාරකයකුට ඉන්දියාවේ බස් රථයකින් ගමන් කිරීමේ දී මුහුණපාන ගැටලුවක් වන්නේ බොහෝ මගීන්ට මෙන්ම කොන්දොස්තරවරයාට ද ඉංග්‍රීසි කතා කිරීමේ අපහසුතාවයි. එහෙත් ඉංග්‍රීසි කතා කළ හැකි කීප දෙනෙක් හෝ මේ බස් රථවල ගමන් කරති.
මුම්බායි සිට නාෂික් බලා ගිය කිලෝ මීටර 160ක බස් රථ ගමනේ දී සංචාරකයන්ට කතාබහේ දී පිහිට වූයේ ජාවි නමැති මහත්මයෙකි. හැන්දෑවේ 3.30ට පමණ පිටත් වූ නාෂික් බස් රථය ගමනාන්තයට ළඟා වූයේ රාත්‍රී 8.30 ට පමණය. ඉන්පසුව රැයක් නැවතී පසුදා අවුරන්ගාබාද් කරා යා යුතුව තිබිණ. ඒ කිලෝමීටර 180ක පමණ දුරකි. එය ද වායු සමනය කළ බස් රථයකිනි. ඒ සඳහා ද පැය 4ක් පමණ ගතවිය.


පසුදා අවුරන්ගාබාද් සිට රාත්‍රී ගමනක් අපට තෝරාගත යුතු විය. ඒ ඊළඟ දිනයේ උදෑසන මුම්බායි ගුවන් තොටුපොළ කරා පැමිණිය යුතු බැවිනි. ඒ සඳහා රාත්‍රී බස් ගමනක් සැලසුම් කළේ අපේ අවුරන්ගාබාද් මිතුරා ජිතේන්ද්‍රය. ඔහු උදෑසන දහයට පමණ මා වෙනුවෙන් අසුනක් වෙන් කළේය. රාත්‍රී ගමන පැය දහයකි. 
ඉන්දීය රුපියල් 1200ක් (ශ්‍රී ලංකා රුපියල් 5000 ක්  පමණ) ගෙවා අසුන වෙන් කළ පසු ඔහු මට කීවේ අපූරු කතාවකි.
‘‘මම මහත්තයට උඩ තට්ටුවේ තනි ඇඳක් වෙන් කළා.’’
‘‘ඇඳක්’’


‘‘ඔව්. හොඳට නිදාගෙන හෙට උදේම මුම්බායිවලින් බහින්න පුළුවන්’’
එය තට්ටු දෙකේ බස් රථයක් විය යුතු යැයි මම සිතුවෙමි. බස් රථය අවුරන්ගාබාද් නගරයෙන් පිටත් වන්නේ රාත්‍රී 9.30ට වුවද නමයට බස් නැවතුම්පොළට ආ යුතු බව ප්‍රවේශපත්‍රයේ සඳහන්ව තිබිණි. ඊට අමතරව බස් රථයේ අංකය, රියැදුරුගේ හා කොන්දොස්තරවරයාගේ නම් සමග දුරකථන අංක මෙන්ම ඒජන්සියේ දුරකථන අංක ද ඇතුළත් වට්ස්ඇප් පණිවුඩයක් මගේ දුරකථනයට එවා තිබිණ. ඒ හදිසි අවශ්‍යතාවක් වුවොත් සම්බන්ධ කර ගැනීමටය.
අප රාත්‍රී 9.00ට බස් නැවතුම්පොළට පැමිණිය ද බස් රථය ආවේ හරියටම රාත්‍රී 9.30ටය. ජිතේන්ද්‍ර මා සමග බස් රථය ඇතුළට ගොස් මගේ කුටියේ අංකය සොයා ගත්තේය. සුවිසල් බස් රථයේ ඇතුළත දෙපැත්තේම ඇඳන් පෙළකි. මට ලැබුණේ උඩතට්ටුවේ තනි ඇඳකි. පහළ තට්ටුවේද තනි ඇඳකි. දකුණු පැත්තේ තනි ඇඳන්ය. වම් පැත්තේ තට්ටු දෙකේම යුගළ ඇඳන්ය. කාමරයක් පරිද්දෙන් තිර යොදා ඒවා වසා ඇත. අවශ්‍ය නම් තිර විවෘත කරගෙන ගමන් කළ හැකිය. ඇඳේ නිදාගෙනම තිරය මදක් විවර කරගෙන ගමන් කිරීමේ දී විදුලි බුබුලෙන් එළි වූ නගරයේ වීදි දර්ශනය වෙයි. 


මෙම බස්රථවල තනි ඇඳන් 12කි. උඩ 6 ක් හා පහළ 6ක් වශයෙනි. උඩ හා පහළ යුගළ ඇඳන් 12කි. මගීන් 36 දෙනකුට නිදාගෙන ගමන් කළ හැකිය. උඩ ඇඳට නැගීමට කුඩා ඉණිමගකි.
යහනට දෙන කොට්ටයට උඩින් කෝකටත් මගේ එක් බෑගයක් තබා මම නිදන්නට උත්සාහ කෙළෙමි. බස් රථයේ ගමන ආරම්භ කර පැයකටත් අධික කාලයක් ගතවනතුරු මම නිදාගෙනම අප පසුකරන විදුලි බුබුලෙන් එළි වූ වෙළෙඳ ශාලා, නිවාස හා මිනිසුන් දෙස බලා සිටියෙමි. මේ නම් අපූරු අත්දැකීමකි. ඉන්පසු මට ඉබේටම නින්ද ගොස් තිබිණි. පැය දහයක ගමන අතර තුර තුන් පොළකම මගී අවශ්‍යතා සඳහා විනාඩි 15ක් පමණ බස් රථය නැවැත්වූ බව මට දැනිණ.
පැය ගණනක් ගමන් කිරීමෙන් පසු බසය නවත්වන අවසන් නැවතුම් පොළ කොන්දොස්තරවරයා නිවේදනය කළේ ඉංග්‍රීසි වචන ද මිශ්‍ර කරගත් මරාති භාෂාවෙනි. තවත් පැය කිහිපයක් ගමන් කළ යුතු නිසා මම ද බසයෙන් බැස්සෙමි. මා ආපන ශාලාවක් දෙසට යනවිට නැවතුම්පොළෙහි තිබුණේ අපගේ බස් රථය ද ඇතුළු බස් රථ තුනකි.
එහෙත් ආපසු පැමිණීමේ දී එය එකම ස්වරූපයේ එකම පාටින් යුතු බස් රථ හතක් වී තිබිණ. නිදිමර ගාතේ සිටි මට මේ බස් රථ හතෙන් මගේ රථය තෝරා ගැනීමට නොහැකි විය.
අනුමාන කළ බස් රථ දෙකකට පමණ ගොඩ වුවද එය මගේ බස් රථය නොවේ. මා එහි රියැදුරන් කීප දෙනකුගෙන් ඒ පිළිබඳව ඇසුව ද ඔවුනට ඉංග්‍රීසි කතා කළ නොහැකි විය. 
‘භාෂා නහී’ කියමින් ඔවුහු මට කන් නොදුන්හ. එක් රියැදුරෙකු අතින් කීවේ මගේ බස් රථය පිටත්ව ගිය බවයි. ඇමතුමක් දීමට හැකි වුවත් මගේ දුරකථනයේ සම්බන්ධතා ජාලය ඇනහිටලාය. මඳක් කල්පනාකර බැලූ මම මගේ බස් රථය යයි අනුමාන කරමින් තවත් රථයකට ගොඩවීමි. එය මගේ බස් රථයයි. මගේ තනි ඇඳේ තිබූ බෑගය දුටු පසු මට දැනුණේ මහත් අස්වැසිල්ලකි.


මෙම බස් රථ ද ඒවායේ පාට ද මිනිසුන් ද එක වාගේ නිසා වික්ෂිප්ත භාවයට පත් වූ පසු හඳුනා ගැනීමට අපහසුය. නන්නාඳුනන රටක කඩමණ්ඩියක රාත්‍රී එකට දෙකට මගේ ගමන් බෑගය ද නැතිව අතරමං වීමට සිදුවූවා නම්...

ඉන්පසු මට හොඳින් නින්ද ගියේය. මට ඇහැරුණේ වීදුරු කවුළු අතරින් යාන්තම් හිරු එළිය වැටෙද්දීය. එහෙත් ඒ වන විටත් ධාරානිපාත වර්ෂාවක් ඇද හැළෙමින් තිබිණ.
මා බැසිය යුතු ස්ථානය ගැන කීපවරක්ම මම කොන්දොස්තරවරයාට සිහිපත් කළෙමි. එහෙත් මට එහි දී බැස ගත නොහැකි වූයේ අධික වර්ෂාව නිසාය. මුම්බායි ගුවන්තොටුපොළට කිට්ටු තවත් ස්ථානයක් වූ අන්දේරි වලින් බැස ගන්නැයි මට උපදෙස් දුන්නේ කොන්දොස්තරවරයාය. මම අන්දේරිවලින් බැස ගතිමි.
මෙවැනි ස්ලීපර් බස් රථ ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සුලභය. එය කදිම අත්දැකීමකි.

 

 

■ රොඩ්නි විදානපතිරණ