නාවික සෙබළුන්ට නිල ඇඳුම් මහන උතුරේ කාන්තාවෝ


දූපතේ ඇති පැරණි නටබුන් 

 

  • වැලි පොළඟා යන මාරාන්තික සර්ප විශේෂය බහුලව ගැවසෙන බව කියන ඩෙල්ෆ්ට් දූපතේ සර්ප දෂ්ටනයන්ට හසුවන බොහොමයක් රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට උපකාර වන මූලික වෛද්‍ය ප්‍රතිකාර දෙනුයේ එකී මූලික රෝහලේ සිටින එකම වෛද්‍යවරයා වන වෛද්‍ය අධිකාරී තරිඳු නයනජිත් සූරියආරච්චි මහතා සහ හෙද හෙදි කාර්ය මණ්ඩලය විසිනි.
  • යුද්ධය කාලේ අවම පහසුකම්වත් නැතුව  අපහසුතාවයට පත්ව සිටියා. මේ වනවිට තත්ත්වය මඟ හැරිලා සාමකාමී පරිසරයක් ගොඩනැගිලා. මෙම ආයතනයේ සේවය කරලා මට ලැබෙන වැටුපෙන් මම මගේ මංගල කටයුතුවලට අවශ්‍ය ආභරණ පවා හදාගත්තා.
  • මත්ස්‍ය කර්මාන්තය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව වූ ඩෙල්ෆ්ට් දූපතේ පාසල් අටක්, පල්ලි දහතුනක්, හින්දු කෝවිල් දාහතක් පවතින අතර එහි  ඉන්ධන සැපයුම් සේවාවද පිරිපහදු කළ පානීය ජල සැපයුම් සේවාව ද සිදු කරගෙන යන්නේ නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.

වෙඩි උණ්ඩයට සිත්පිත් නැත. ගිනි අවිය අත දරණ මිනිසාට හිතක් පපුවක් තිබිය යුත්තේ ඒ නිසාය. එකිනෙකාට අවි අමෝරා ගත් යුද සංග්‍රාමයක දී දකුණෙන් එල්ල වුවද උතුරෙන් එල්ල වුවද පණ අදින්නේ මිනිසත්කමමය.

එදා  යුද්ධයේ අඳුරු සෙවනැල්ලක දැවටී ගත් ඩෙල්ෆ්ට් දුපතේ අද සාමයේ අරුණලු‍ ගලායමින් පවතී.


2007 මැයි මස 24 වැනිදා දූපතට දකුණින් පිහිටි නාවික හමුදා ආරක්‍ෂක ස්ථානයක් බිඳීමට මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටු 6 ක් සහ ප්‍රහාරක යාත්‍රා 12 ක් ඇතුළු මුහුදු කොටි බෝට්ටු 18 ක් පැමිණ ඩෙල්ෆ් දුපත අත්පත් කර ගැනීමට උත්සාහ දැරූ LTTE උත්සාහය ව්‍යාර්ථ කොට ගතවූ කාලය වසර දාසයකි.
එල්ල කළ ප්‍රහාරයෙන් නාවිකයන් 4 දෙනෙක් මිය ගොස් තවත් නාවිකයින්  4 දෙනෙකු තුවාල ලබා තිබුණි.


එකී සටනේදී නාවික හමුදාවේ ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රාව මගින් කොටි මුහුදු බළකායේ කොටි බෝට්ටු දෙකක් සම්පූර්ණයෙන් විනාශ කර ඇති අතර සතුරු කණ්ඩායමට ඩෙල්ෆ්ට් දූපතට ගිනිකොන දෙසින් පිහිටි නාච්චිකුඩා දෙසට පලා යාමට සිදු විය.


ඩෙල්ෆ් යනු පෝක් සමුද්‍ර සන්ධියේ ඇති මහ සයුරෙන් වටවූ ලංකාවට අයත් විශාලතම දූපතය.
අඩු ජන ගණත්වයක් ඇති ඩෙල්ෆ්ට් දූපතේ වතගොත සොයා ඉරිදා ලංකාදීප අප එහි ගමන් කළෙමු.
වර්ග km 48.5 ක වපසරියකින් යුතු ඩෙල්ෆ් දූපත වටා මුහුදු තීරය කිලෝමීටර් 30කි. 


4500 කට ආසන්න ජනතාවක් ජීවත් වන එහි දෙමළ කිතුනුවන් සියට 60.3% සංඛ්‍යාවක් සහ හින්දු දෙමළ ජනතාව 36.7%  එහි වාසය කරති. 
ඩෙල්ෆ්ට් දූපතේ බොහොමයක් නටබුන් ගොඩනැගිලි සහ වටපිටාව තුළ යුරෝපීය යටත් විජිත ඉතිහාසයේ උරුමයන් කියා පාන අතර දුර අතීතයේදී “ගවයන්ගේ දූපත”‍ ලෙස හැඳින්වූ එය ලන්දේසීන් විසින් ඩෙල්ෆ්ට් දූපත ලෙස නම් කරනු ලැබ ඇත.


සාම්ප්‍රදායික දෙමළ නමකින්ද එම දූපත අතීතයේ ”‍නෙඩුන්තීව්”‍ (Neduntivu) ලෙසද හඳුන්වා ඇති නමුත් සුප්‍රසිද්ධ ජාත්‍යන්තර නාවික සිතියම්වල එනම් එක්සත් රාජධානියේ හයිඩ්‍රොග්‍රැෆික් (United Kingdom Hydrographic Office) කාර්යාලය විසින් නිකුත් කරන ලද අද්මිරාල් ප්‍රස්ථාරවල, එම දිවයින “ඩෙල්ෆ්ට්”‍ ලෙස සිතියම්ගත කර ඇත.
එහි අදටත් නටබුන් ඇති බලකොටුව මෙන්ම වර්තමානයේ ඉදිකොට ඇති නිවාස බොහොමයක්  ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ එම භුමියේම ඇති හුණුගල් සහ මළ කොරල්පර පාෂාණ වීම විශේෂත්වයකි.


එදා යුද ගිනිදැල් ඇවිලී ගිය ඩෙල්ෆ්ට් දූපතේ  දමිළ කතුන් නාවික හමුදා නිල ඇඳුම් මසන නේවී ඇපරල් ආයතනය  සහෝදරත්වයේ  ජාතීන් අතර ඇති සංහිඳියාවේ ලෙංගතුකම ලොවට කියා පාන අපූරු වැඩ බිමකි.


දමිළ කතුන් හතළිස් පස් දෙනකු සේවයේ නියුතු එම  ආයතනයේ නිමවෙන නිල ඇඳුම් නාවික හමුදාවේ නිල උපදේශකයන්ගේ උපදෙස් වලට අනුව නිම වන්නකි.
එහිදී අපට හමු වූ මැහුම් සේවිකාවක වන බාස්කරන් සුගන්ධි මහත්මිය මෙසේ පැවසීය.
“අද අපි සාමකාමී පරිසරයක අපේ එදිනෙදා කටයුතු කරගෙන යනවා. යුද්ධය වගේම දූපතේ යටිතල පහසුකම් නොවීම ඉස්සර ජල ගැටලු‍ව නිසාත් අප පීඩාවට පත්ව සිටියා.
නමුත් මේ වන විට මෙහි පැවති ජල ගැටලු‍ව  නාවික හමුදාවේ මැදිහත්වීමෙන් විසඳී තිබෙනවා.
ඒ වාගේම මෙම නේවි ඇපරල් ආයතනයේ ලැබෙන වැටුපෙන් පවුලේ ආර්ථිකය හොඳින් පවත්වාගෙන යමින් විවිධ කටයුතුවලට බැංකුවලින් ගත් ණය වාරිකත් ගෙවාගෙන යන්න හැකියාව ලැබී තිබෙනවා.

 

නේවි ඇපරල් ආයතනයේ සේවක සේවිකාවෝ...

වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය


ඇත්තටම අප යුද්ධ කාලේ ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. ගමනා ගමන පහසුකම් පවා නැවතිලා අපහසුතාවට පත්ව සිටියා. අද වනවිට නාවික හමුදාව ඒ සඳහාත් මගී යාත්‍රා සේවය සපයමින් පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යනවා.


නේවි ඇපරල්හි මැහුම් සේවිකාවක ලෙස සේවයේ නියුතු කේ. සිවාජිනී මහත්මිය මෙසේ පැවසීය.
යුද්ධය කාලේ අවම පහසුකම්වත් නැතුව  අපහසුතාවයට පත්ව සිටියා. මේ වනවිට තත්ත්වය මඟ හැරිලා සාමකාමී පරිසරයක් ගොඩනැගිලා. මෙම ආයතනයේ සේවය කරලා මට ලැබෙන වැටුපෙන් මම මගේ මංගල කටයුතුවලට අවශ්‍ය ආභරණ පවා හදාගත්තා. මෙහි නිලධාරීන් පවා බොහොම හොඳින් අපට සලකනවා.
යුද්ධය කියන්නේ ජාතීන් අතර කිසිදාක නොතිබිය යුතු දෙයක්.
යුද්ධය නිම වූ බිමේ තරුණ ජීවිත මත් රකුසාගෙන් රැක ගැනීමටද ඩෙල්ෆ් හී රැකවල්ලා සිටින නාවික හමුදාව දරන උත්සාහයද විශිෂ්ටය.
ඔවුන් සතු දත්ත අනුව පසුගිය 2022 වර්ෂයේදී සිදුකළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය kg 1363.502කි 
කේරළ ගංජා kg 5731.155ක් මෙන්ම අයිස් kg 148.148 අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම 2023 වර්ෂයේදී ද මාස හතරක කාලයේ සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය kg 203.126කි, කේරළ ගංජා ප්‍රමාණය kg 2123.37කි, අයිස් ප්‍රමාණය kg 4.527කි


ඩෙල්ෆ්ට් දූපතට විශාල සේවාවක් සලසන තවත් ප්‍රධාන ආයතනයක් වන්නේ එහි ඇති ඩෙල්ෆ් මූලික රෝහලය.
වැලි පොළඟා යන මාරාන්තික සර්ප විශේෂය බහුලව ගැවසෙන බව කියන ඩෙල්ෆ්ට් දූපතේ සර්ප දෂ්ටනයන්ට හසුවන බොහොමයක් රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට උපකාර වන මූලික වෛද්‍ය ප්‍රතිකාර දෙනුයේ එකී මූලික රෝහලේ සිටින එකම වෛද්‍යවරයා වන වෛද්‍ය අධිකාරී තරිඳු නයනජිත් සූරියආරච්චි මහතා සහ හෙද හෙදි කාර්ය මණ්ඩලය විසිනි.
රෝහලට අනුයුක්ත වියයුතු ව්‍යෛවරුන්ගේ කාඩරය වෛද්‍යවරු දෙකක් වුවද එම රෝහලේ රෑ දවල් නැතිව රෝගීන්ට ප්‍රතිකාර කරන්නට සිටින එකම වෛද්‍යවරයා තරිඳු නයනජිත් මහතාය.


දෂ්ටනයට ලක් වූ රෝගියාට සිදු කෙරෙන මූලික වෛද්‍ය ප්‍රතිකාරවලින්  අනතුරුව ඔහු හෝ ඇයගේ ජීවිත රැක ගැනීමේ උදාර කාර්යභාරය පැවරෙනුයේ නාවික හමුදාවේ මුහුදු ගිලන් රථ සේවාවටය.
කිනම් කුණාටු තත්වයකදී වුවද රෝගියාව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යෑමේ කාර්යභාරය මැනවින් ඉටු කරන හමුදාවේ දත්තයන්ට අනුව වැලි පොළඟා දෂ්ට කිරීමෙන් ඔවුන් බේරාගත් ජීවිත සංඛ්‍යාව සියයකට අධිකය.


මත්ස්‍ය කර්මාන්තය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව වූ ඩෙල්ෆ්ට් දූපතේ පාසල් අටක්, පල්ලි දහතුනක්, හින්දු කෝවිල් දාහතක් පවතින අතර එහි  ඉන්ධන සැපයුම් සේවාවද පිරිපහදු කළ පානීය ජල සැපයුම් සේවාව ද සිදු කරගෙන යන්නේ නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.
ඩෙල්ෆ්ට් දූපතේ සංචාරකයින්ගේ සිත් ඇදබැඳ ගන්නා දර්ශන අතර කැලෑ අශ්වයින්  සිය ගණනක් ගැවසෙන වෙල්ල ප්‍රදේශය අමතක කළ නොහැකි ස්ථානයකි.
එහි බ්‍රිතාන්‍ය සමයේ මෙරටට ගෙන්වනු ලැබූ  සත්ත්වයන්ගෙන් පැවත එන බව කියන මෙම කැලෑ අශ්වයින් සැඳෑ කාලයේ ඩෙල්ෆ් දූපත මධ්‍යයේ ඇති තෘණ භුමිය අසල දක්නට ඇත.
නේවි ඇපරල් ආයතනය, මත්ද්‍රව්‍ය වැටලීම් ඩෙල්ෆ් දුපතේ තවත් තොරතුරු විමසනු පිණිස අප නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් යූ.වී.එම්.පී. පෙරේරා මහතාගෙන් විමසා සිටියෙමු.
ඩෙල්ෆ් දූපතේ ජන ජීවිතය බොහොම දුෂ්කරයි. රැකියාවන් ගත්තත් එහි තියෙන්නෙ කරවල වේලන සහ රා මදින ඒ වගේ කර්මාන්ත.
ඉතින් ඒවට යොමු වෙන්න කාන්තාවන් අකමැතියි. ඇතැම් කාන්තාවන් රැකියාවකට හෝ දූපතෙන් පිටව යාපනයට යන්න කැමති නෑ. නේවි ඇපරල් ආරම්භ වන්නේ අද්මිරාල්  විජේගුණරත්නගේ මැදිහත් වීමෙන්.


ජන ජීවිත නගාසිටුවන්න සුදුසු පරිසරය සකසන්න නාවික හමුදාවට අවශ්‍ය වුණා. ඒ අනුව තමයි එය නේවි ඇපරල් ඇරඹෙන්නේ.
මට මතකයි ඒ කාලේ ඒ තරුණියන්ව බූස්ස ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකට සති දෙක පුහුණුවකට යොමුකොට ඉන් පසු තමයි නේවි ඇපරල් ඇරඹුවේ.
මේ වනවිට පුහුණු සේවිකාවන් 45 පමණ එහි සේවය කරනවා.


ඒ වගේම ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන සැපයුම සිදු කරන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. ඊට අමතරව ඕනෑම රාත්‍රියක ඕනෑම කුණාටු සහිත තත්ත්වයකදී අසනීප තත්ත්වයට පත්වෙන රෝගීන් යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය මුහුදු ගිලන්රථ සේවාව නාවික හමුදාව විසින් පවත්වාගෙන යනවා.
වැලි පොළඟා දෂ්ටනයෙන් රෝගියෙක් පැය භාගයක් වගේ ඇතුළත මිය යෑම සිදුවන බව කියනවා. එවැනි රෝගීන් හැකි ඉක්මනින් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාම සිදු කරනවා. 

දූපත පිහිටා ඇති අයුරු

දූපතේ ඇති මගී ප්‍රවාහන සේවාව


ඒ ආකාරයෙන් ජීවිත රැසක් බේරගන්න නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
කැබිනට් අනුමැතියකට අනුව එහි මුහුදු  ගමන් ප්‍රවාහනය සැපයෙන්නේ නාවික හමුදා බෝට්ටුවලින් නොමිලේ.
ඒ කරන සේවාවත් සමග ඔවුන් සහ නාවික හමුදාව අතර බැඳීමක් පවතිනවා.
කොවිඩ් කාලේ වුණත් එම ජනතාව තනි නොකර ඔවුන්ට අවශ්‍ය සියලු‍ පහසුකම් සපයන්න නාවික හමුදාව කටයුතු කළා.
ඒ වගේම අප රට තුළට ගලා එන මත්ද්‍රව්‍ය මැඩලීමේ වැටලීම් අපි දිගින් දිගටම සිදු කරනවා.
සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලුම දෙනා අපේ දරුවෝ. මේ දරුවන්ට හානිදායක වන ආකාරයට රට තුළට ගලා එන්නට තැත් කරන මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරමින් ඒවාත් අඩංගුවට ගන්න අප නිරන්තරයෙන් කටයුතු කරනවා.


පසුගිය දිනකත් එවැනි හෙරොයින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළා. ‘ඩෙල්ෆ්” ආශ්‍රිත මුහුදු මාර්ගයෙන් ඉරානයට අයත් බෝට්ටු බලු‍කිස්තානය හරහා මාලදිවයින යන ප්‍රදේශ දක්වා මත්ද්‍රව්‍ය ජාලයන් ලෙස ක්‍රියාත්මක වෙනවා. 


මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණු වහාම අප එය මැඩලන්න කටයුතු කරනවා.
ගැඹුරු මුහුද ආවේක්ෂණ ක්‍රියාවලි සඳහා අපේ යාත්‍රා යොමුකර තිබෙනවා.


 කිසිවිටෙකත් අපගේ නිරීක්ෂණයෙන් මිදී මත්ද්‍රව්‍ය රටට ගලා ඒමට අප ඉඩ තබන්නේ නැහැ. 
ඒ වගේම මේ එළඹිලා තියෙන්නේ කේරළ ගංජා විශාල වශයෙන් රට තුළට ගලා එන කාලයක්.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ ජනවාරි මාසේ වෙනකොට කේරල ගංජා අස්වැන්න නෙළීම සිදු කරනවා.
ඉන්පසුව එය වේලලා  අප්‍රේල් ජූනි යන කාලවලදී දිවයිනට විවිධ මාර්ග ඔස්සේ ගෙන ඒම සිදු කරනවා. නාවික හමුදාව ඒ සියල්ල මැඩලීමට කටයුතු කරනවා.
ඒ වගේම තමයි ඩෙල්ෆ් දූපත සංචාරක කලාපයකට සංචාරකයින්ගේ සිත් ඇදබැඳ ගන්නා දූපතක්.
එහි එක කලාපයක් තියෙනවා අශ්වයින් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා.


පසුගිය දිනක අප එම අශ්වයන් කීපදෙනෙක් ත්‍රිකුණාමලය හමුදා කඳවුරට ගෙනියලා අභිජනන කටයුතු සිදු කළා. ඔවුන්ගෙන් ඉතා ශක්තිමත් අශ්වයන් බිහි කරලීමට හැකි වේ යැයි අප බලා බලාපොරොත්තු වනවා.


විශේෂ ස්තුතිය ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතාට.

 

සටහන හා ඡායාරූප
රේඛා තරංගනී ෆොන්සේකා