නවකතා කලාවට පණ පොවන අම්මයි තාත්තයි දුවයි


චන්දි - පවනි සහ ශාන්ත
 
නවකතා පොතට ආදරය කරන සාහිත්‍ය කලාවට පෙම්බඳින පාඨක ඔබට දශක ගණනාවක් පුරාවට ප්‍රබන්ධ ස්වරූපයෙන් ලෝකය කියවන්නට ඇය, ඔහු සහ දියණිය අතින් ලියවූ නිර්මාණයන් බොහෝයි. 
 
චන්දි කොඩිකාර ලේඛිකාවගේ නව කතා කියවා අඬන, හිනාවෙන, සුසුම්හලන පාඨකයන් බො​හෝය. මේ පොත් පවුලේ මුදුන් මුල ශාන්ත කුමාර විතාන පොත් පත්තර අතර ලියවුණු තවත් පාඨක හදවත් සොරා ගත් ප්‍රවීණ ලේඛකයෙකි. පවනි උමයංගනා ඒ පොත් මුදුන් මුලේ දළුලා වැඩුනු අතු රිකිල්ලකි. මේ ඒ   නවකතා ලියන සැමියා, බිරිඳ, දියණිය සුන්දර පවුල සමඟ කල ආදරණීය කතාබහකි.
 
චන්දි කොඩිකාර යනු මීට දශක තුන හතරකට එපිටදී දිගට හරහට නවකතා ලියමින්, නවකතා ලොවේ පාඨක ආදරය ඉහළින්ම දිනාගත් ප්‍රවීණ ලේඛිකාවකි. ඒවා අතර අතිශය ජනප්‍රිය වූ නවකතා දහයකට වැඩි ප්‍රමාණයක් ටෙලිනාට්‍යයන් ලෙසද නිර්මාණය වී ඇත. ඉන් රන්දෝලි, තරුපබා, රන්මසු වැස්ස, පිච්ච මල් බිසව්, චතුරිකා නවකතා වලින් නැගුණු රූපමය වපසරියන්ය. ඊට ලැබුණ ප්‍රේක්ෂක ආදරය ද ඉමහත්ය. දශක තුනකට අධික කාලයක් නව කතා ලොවේ පාඨක හදවත් තුල රැජිනක් වූ ඇයගේ මතකය අතීතයට රැගෙන ගියේ මෙසේය, 
 
මුල ඉඳන්ම මම නවකතා ලිව්වේ පත්තර වලට. පසුකාලීනව ඒ නව කතා තමයි පොත් විදිහට එලියට ආවේ. මම මුල්ම නවකතාව ලියන්නේ 1994 දි. නවකතාවක් පොතක් විදිහට එලියට ආවේ හිමයායක මල්පිපිලා කියන පොත. ඒ පොත අදටත් හරි ජනප්‍රියයි.
 
90 ගණන් වල ලංකාවේ තිබුණ හැම පත්තරයකටම මම නවකතා ලිව්වා. විශේෂයෙන් තරගකාරි පත්තර 4 කට එක පෙළට නව කතා ලිව්ව එකම ලේඛිකාව මම වෙන්න ඇති. ඒ කාලේ පත්තර වලට ලියපු හැම නව කතාවක්ම අතිශය ජනප්‍රිය වුණා. 
                      
ඒ කාලේ ලංකාවේ මොකක් හරි පත්තරයක් පටන් ගන්නවනම් මගේ නවකතාවක් අනිවාර්යෙන්ම පල කරනවා. පාඨකයෝ ඒ තරම් මගේ නවකතා වලට සමීප වෙලා හිටියා.
ඇයගේ ජීවිතයේ ස්වර්ණමය යුගය වන්නේ අසූව දශකයේ  අගභාගයයි....
 
"මම එතකොට වැඩ කලේ ලිට්ල්රෝස් ආයතනයේ රෙදිපිළි අංශයේ පිටකොටුව ශාඛාවේ වෙළඳ සේවිකාවක් විදිහට. ටික කලකට පස්සේ ලිට්ල් රෝස් පුවත්පත් ආයතනය ආරම්භ වෙනවා. එහි සේවයට යන්න ආසාව තිබුණත් දක්ෂ වෙළඳ සේවිකාවක ලෙස නම්දරා හිටපු නිසා මා ඉන් ඉවත් වෙනවට පාලනාධිකාරිය කැමති වුණේ නැහැ. ඒ නිසාම සැරසිලි කාන්තා පුවත්පතට සහ හඳ මාමා ළමා පුවත්පතට ලිපි ලියා සෑහීමකට පත් වෙන්න මට සිදු වුණා. එවකට හඳ මාමා පුවත්පතේ කතුවරිය වුණේ අනුල ද සිල්වා මහත්මිය. අනුල මහත්මිය කියන්නේ මාධ්‍ය ලෝකේ වීරවරියක ලෙසින් මගේ හිතේ ලැගුම් ගත්ත චරිතයක්. ඇය වනිතා විත්ති සඟරවේ සේවයට ගියාට පස්සේ දිගින් දිගටම එයට ලියන්න ඇය මා මෙහෙය වූවා. පසුව මම රස ප්‍රකාශන ආයතනයේ වැඩ කළා. මනහර සඟරාවේ වැඩ කළා. ඒ කාලේ මම පරිවර්තනත් කළා.
 
?කාලයක්ම පත්තර විකුණගන්න අතවශ්‍යම සාධකය වුණ නව කතා දැන් පත්තර වලින් ගැලවිලා තියෙන්නේ ඇයි?
 
රූපවාහිනී හෝ පරිගණක පිළිබඳ හාංකවිසියක් හෝ නොදැන සිටි අතීතයේදී ජාතික පුවත්පත්වල පළවුණ නවකතාවලට ඉහළ තැනක් හිමි වෙලා තිබුණා. ඒ හරහා ජනප්‍රිය වූ ලේඛකයන් බොහෝ දෙනෙක් ඉන්නවා. මම කුඩා කාලයේදී තාත්තා ගෙදරට සිළුමිණ පුවත්පත ගේනවා. ඒ කාලයේ එහි පළ වෙමින් තිබුණේ කරුණාරත්න සපුතන්ත්‍රී මහතාගේ ගංගා නවකතාව. එතකොට මම පහේ පන්තියේ. මම තාත්තාට හොරෙන් එ් නවකතා කියවනවා. ඒ කාලේ මටත් ලොකු හීනයක් තිබුණා කවදාහරි රටේ ජනප්‍රිය ලේඛිකාවක් වෙන්න. ඒත් මට පුවත්පත්වලට නවකතා ලියන්නට අවස්ථාව උදාවෙයි කියලා නම් සිහිනෙකින්වත් සිතුවේ නැහැ. 
 
?ජනප්‍රිය නවකතා වලට පාදක වුණ සිද්ධි වල ගැබ් වෙලා තියෙන්නේ වැඩිපුර ඔබේ අත්දැකීම්ද.   
 
මම විශ්වාස කරන දෙයක් තමයි මට මුණ ගැහෙන හැම කෙනෙක් තුලම නව කතාවකට හොඳ කතාවක් තියෙනවා කියන එක. ඒක මට අත්දැකීම් වලින්ම ඔප්පු වෙලත් තියෙනවා. සමහර නවකතා මම හිතලා ලියන ඒවත් තියෙනවා. ඒ ලියන ඒවා වුණත් පොත මුද්‍රණය වෙලා ආවට පස්සේ අහනවා මගේ කතාව කවුද ඔයාට කිව්වේ කියලා. මම හිතලා ලියන දේවල් වුණත් පොදු අත්දැකීමක්.
 
ප්‍රේමය සහ විවාහය ඇයගේ ජීවිතේ ලියවෙනන්නේ  පොත් පත්තර  තුලින්මයි...
 
82 අවුරුද්දේ තමයි ශාන්තව මට මුණ ගැහෙන්නේ. ශාන්ත මුණගැහෙනකොට ලේඛන කලාවේ පොඩි ආරම්භයක් එක්ක පොඩි පියවරක් තියලා තිබ්බා මිසක් ගමනක් ඇවිත් තිබුණේ නැහැ. ශාන්ත එතකොට ලියනවා. එයා ලියන ඒවා කියවලා තිබුණා මිසක් මුණගැහිලා කතා කරලා තිබුණේ නැහැ. හරි බරපතළ දේවල් ලියන්නේ. ඒ මං හිතේ මවාගෙන හිටියේ ලියන දේවල් වගේම පෙනුමෙනුත් දැවැන්ත කෙනෙක් කියලා. ඊට පස්සේ ධර්මසිරි ගමගේ මහත්මාගේ පහන් වැට කියලා ලේඛක හමුවක් තිබුණා. ඒකට මාත් ගියා. ඒ කාලේ මං යොවුන් ජනතා පත්තරේට ලියනවා. පහන් වැට ලේඛක හමුවෙදි මුණගැහුනම ඒ ඔයාද කියලා ඇහුව්වා. ඊට පස්සේ ඉතින් අපි කතා කරා ලියුම් ලිව්වා. කවි ලිව්වා. එහෙම එහෙම ප්‍රේමයකට පෙරලුනා. 86 අපි විවාහ වුණා. අපි විවාහ වෙනකොට අපි දෙන්නටම පිළිවෙලකට රැකියාවත් තිබුණේ නැහැ. 
 
විවාහ වෙද්දි පත්තරකාරයෙක් බඳිනවට ගෙදරින්  නම් කැමති වුණේ නැහැ.... මොකද අපි යමක් තිබුණ අය නෙමෙයි. එයාලා බලාපොරොත්තු වුණේ ඒ වගේ ජීවිතේකට යන කෙනෙක් නෙමෙයි. ඊට වඩා යමක් තියෙන කෙනෙකුට. ගෙදරින් එක එක දේවල් කියලා අධෛර්මත් කළත් එ් දෙවල් වලට මං සැලුනෙ නෑ. වැරදුනෙත් නෑ. එයා තමයි හරිම කෙනා කියලා හිතුවා... අපි දෙන්නාට මංගල උත්සවයක් ගන්න සල්ලිවත් තිබුණෙ නෑ. හැම දේම ගොඩනගාගත්තේ අපි දෙන්නාගේ මහන්සියෙන්. ඒ නිසා ඇත්තටම මට අද ජීවිතේ ගැන හැරිලා බලද්දි ලොකු ආඩම්බරයක් දැනෙනවා.
 
මම ලියන හැම ලිපියක්ම පත්තර කන්තෝරු වලට ගිහින් දීලා මට ලියන්න උනන්දු කළේ ශාන්ත තමයි. එයා නැත්නම් අද ලේඛන කලාවේ චන්දි කොඩිකාර කියලා කෙනෙක් නැහැ.
මගේ හැකියාවන් ඔක්කෙම ඉස්මතු කරගන්න අත දුන්නේ සැමියා. අදටත් එහෙමයි. දැවැන්ත හෙවනැල්ලක් වගේ මගේ පිටිපස්සේ ඉන්නවා. ලියන පොත්වල අඩුපාඩු පෙන්නලා දීලා කොටින්ම කියනවනම් මම ලියන එක විතරයි කරන්නේ. ඒක පොතක් දක්වා අරන් යන්නේ සැමියයි, මගේ දුවයි තමයි.
 
චන්දි කොඩිකාරටත්, ශාන්ත කුමාර විතානටත් දරුවන් දෙදෙනෙකි. පොත්පත් ලියන දෙමව්පියන්ගේ දරුවන් ගැන පුදුම විය යුත්තේ පොත් නොලියන්නේ නම්ය. ඒ සුන්දර පවුලේ දියණිය පවනි උමයංගනා අද ලේඛිකාවකි. එහෙත් පුදුම විය යුතු කරුණක් ඇත. පවුලම පොත් ලිව්වත් චන්දිගෙත් ශාන්තගෙත් පුත් පැමිණ ඇත්තේ වෙනස් මාවතකය.
"පුංචි කාලේ ඉඳලම පුතා දුවට වඩා වෙනස් පැතිකඩක් සොයාගිය කෙනෙක්... එයාගේ ලොකේ උනේ ක්‍රිකට්. ඒත් පුතාටත් ඉංගීසි, සිංහල භාෂා දෙකන්ම ලියන්න පුළුවන්. ඒත් එයා අපි වගේ පොත් කලාවට කැමති නෑ. පුතා නම් කවදාවත් පොත් ලියන එකක් නෑ.
 
නවකතා කලාවට ගීතකලාවට පුවත්පත්කලාව තුළ මේ රසවතා ගැන නොදන්නා පාඨකයකු නැති තරම් ය... මේ කතා ලියන සුන්දර පවුලේ මහා පුරුක ඔහුයි. ඔහු නම් ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතානයි. 
 
යොවුන් පුවත්පත් හරහා මාධ්‍ය කලාවට පිවිසි ශාන්ත කුමාර විතාන මහතා පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ ශකුවි යන නාමයෙනි. ඔහුගේ නවකතා රචනය ආරම්භ වන්නේ 1994 වර්ෂයේදීය.. ගණේමුල්ලේ සුරේන්ද්‍ර ප්‍රකාශකයෝ හරහා පළවෙනි පොත මුද්‍රණය කෙරන අතර 'සන්නලියන්ගේ පුරවරය' සහ 'නිල් වැස්ස' ඒ නවකතා පොත්ය. එම නවකතා ද්විත්වයම එකල ජනප්‍රිය වූ නවකතාවන්ය. 
 
ඊට පස්සේ 'සටන් බිමේ කතන්දරේ' පොත ප්‍රේම් දිසානායකගේ සුරස පොතක් විදියට පළ වුණා. 'ගිණි අවියක කඳුළු මලක්' ග්‍රන්ථය මල් පියළි ප්‍රකාශකයෝ එළි දැක්වුවා. පස්සේ ලංකාදීප පුවත් පතේ පළ කරපු චාරිකා සටහන් කීපයක් සූරිය ප්‍රකාශකයෝ එළි දැක්වූවා 'කිඳුරු කොදෙව්ව' කියලා. ඒ හැම පොතක්ම පාඨකයෝ වැළඳ ගත්තා..
 
?ඒත් අහස් වියන තරමට කවුරුත් වැළඳගත්තේ නෑ නේද?
 
ඇත්තටම ඔව් දැනට පොත් 110 කට ආසන්න ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඒත් අහස් වියනට පෙම් බැඳපු පාඨකයෝ තමයි වැඩිම.
 
අහස් වියන බලන ගොඩක් දෙනා ඒ දවස්වල හොයාගෙන එනවා. අදටත් අහස් වියන ලියන ශකුවි කවුද කියලා ගොඩාක් දෙනා හොයනවා. ඉරිදා ලංකාදීප සඳැල්ල පත්තරේ පලවූ අහස් වියන පොත් දහයක් විතර මේ වෙනකොට මුද්‍රණය කරලා තියෙනවා. ඊට අමතරව නව කතා, යොවුන් කතා, චරිත කතා, පොතුත් රචනා කරලා තියෙනවා.
 
"මම ඉස්සෙල්ලාම ලියන්න පටන්ගත්තේ උසස්පෙළ එහෙම ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ. පාසලේම මුද්‍රණය කරපු සඟරාවේ තමයි මගේ කවි පළවුණේ. ඊට පස්සේ සිංහල බෞද්ධයා, බුදු සරණ, නුවණ කියන සඟරා, පත්තර වලට කවි ලිව්වා. පාසලෙන් ඉවත් වුණාට පස්සේ ලංකාවේ තිබුණ සෑම පත්තරේකටම වගේ ලියන්න පටන් ගත්තා. කැම්පස් කාලේම තමයි මම පත්තරේ වැඩ කළේ. ඉතින් උදේට කැම්පස් යනවා හවසට කුමරි පත්තරේ වැඩට යනවා. ඒ දවස්වල කුමරි පත්තරේ කතෘ ධර්මරත්න පෙරේරා. ඒ දුන්න අවස්ථාව නිසා තමයි මේ මාවතට පාර කැපුනේ. ඒ හැඳුනුම් කමත් සමඟ 'පෙරමුණ' සඟරාවේ කර්තෘ කුමාර සිරිවර්ධන එහි කර්තෘ මණ්ඩලයට මාව බඳවාගත්තා. එහි පරිවර්තන ඇතුළු විවිධ දේ ලිව්වා. ඒ කාලේ එක පත්තරේකට ආටිකල් දහයක් විතර ලිව්වා එක එක නම් වලින්. ඉන් පසුව පෙරමුණ සඟරාවෙන් කුමරිය සඟරාවට මාරු වුණා. පසුව විශ්ව විද්‍යාලයේ අවසන් විභාගය අවසන් වෙලා දවස් දෙකකට විතර පස්සේ තමයි ලංකාදීප පත්තරයට සම්බන්ධ වුණේ. එතැන් පස්සේ ඉතින් ජීවිතේම පත්තරේ වුණා. 
කුමරි පත්තරේට ලියපු 'ටියුෂන් ක්ලාස්' කියලා විහිලු නිර්මාණයක් ගියා ඒක තමයි ඒ දවස් වල ජනප්‍රියත්වයට පත් වුණේ. මගේ නවකතා වලින් වැඩිම අලෙවියක් වුණේ 'අරලිය මලක්' කියන නව කතාව. ඒකට තාමත් ඉල්ලුම තියෙනවා.
 
අලුතෙන්ම ලියවුණු සිප්පි මාලය පොතේ පෙරවදනෙහි ඔබ ලියනවා ලොව කැළඹූ විචිත්‍ර පෙම් කතා අටක් ලියා  අවසානයට සිප්පි මාලය ලිවූ බව....  ඔබ ලියන දේ ගැනත් කියමු?
පොත් ලිවීම තමයි මට තියෙන සුන්දරම දේ. අධිවේගයෙන් මම ලියන්නේ පත්තරකාරයෙක් නිසා වෙන්න ඇති. සිප්පි මාලය මා අතින් ලියවුණු විශේෂ වූ නවකතාවක්. ඒක නුවර වැව වටා ගෙතුණු කතාවක්. නුවර වැවේ ඉතිහාසය සොයා යද්දි මාව පැටළුනේ විශාල පඹ ගාලක. කොහොම හරි ලිහා ගත්තා. මොකද මහනුවර රාජාධානි ඉතිහාසය ගැටලු සහගතයි. ඒ සිදුවීම් ගලපගන්න දුෂ්කර වුණා.
 
  ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ බිසව වුණු වෙන්කත රෙන්ගම්මාල් මදුරාසි කුමරියගේ නිවාස තිබිලා තියෙන්නේ මුහුද ආසන්නයේ ඇය මුහුදට බෙහෙවින් ප්‍රිය කරනවා. කොච්චරක් ප්‍රිය කරනවද කිව්වොත් ඒ මදුරාසි වෙරළෙන් ගෙනාපු සිප්පි කටු දෙකක් දාපු මාලයක් අනෙක් රන් මාල අතර පැළඳ සිටියා. ඇයට ඒ වෙරළ සිහිපත් වෙන්න තමයි රජතුමා නුවර වැව හදලා තියෙන්නේ. ඒ වටා ගෙතුණු කතාවක් තමයි මේ සිප්පි මාලය කියන්නේ.
 
මේ වන විට ග්‍රන්ථ විසි හයක් රචනා කොට ඇති චන්දිගෙත් ශකුවිගෙත් එකම දියණිය පවනි උමයංගනා නව පරපුරේ තරුණ ලේඛිකාවකි. මේ ඇයගේ හඬයි.
 
පුංචි කාලේ ඉඳලා කියවීමට ලොකු ඇබ්බැහිවීමක් තිබුණා. ඒ ඇබ්බැහිය තමයි ලියන්න කැමැත්තක් ඇති වීම දක්වා දුර දිග ගියේ. ඇත්තටම චන්දි කොඩිකාර සහ ශාන්ත කුමාර විතාන කියන ලේඛකයන් දෙපළගේ දරුවෙක් වීම ගැන ගොඩක් සතුටුයි. ලේඛණ කලාවට ආවේ ඇත්තටම ගෙදර අභාෂය නිසා. ඒක ඉබේටම යොමු වුන දෙයක්.. මම වෘත්තින් කිහිපයක්ම කළා. මාර්කටින් පැත්තෙන් වැඩ කර කර ඉන්නකොට රිවිර පුවත් පතට ලියන්න පටන් ගත්තා. රිවිරෙන් ඉවත් වෙලා ඇඩ්වටයිසින් ෆර්ම් එකක වැඩ කළා. වෘත්තීන් කීපයක නියලුනත් ඒ අතරතුරත් මම පුවත්පත් වලට ලිවවා.
 
පාසල් කාලේ සඟරා වලටත් ලිව්වා.. අවසානයේ මං තේරුම් ගත්තා මට හරියන එකම රස්සාව පත්තර රස්සාව කියලා.
 
දැනට වෙබ් අඩවියකත් වැඩ කරනවා.
 
?මුලින්ම පොතක් ලිව්වේ...
 
පාසල් කාලේ තමයි මුල්ම පොත ලිව්වේ. ළමා කතා පොතක්. දඟකාර හා පැන්චා කියලා. නවකතාවක් මුලින්ම ලිව්වේ 2011 දි අපි අඬන්නේ නෑ කියන කතාව. එතනින් පස්සේ දිගටම මම නවකතා ලිව්වා.
 
පළවෙනි නවකතාව ලිව්වාට පස්සේ අම්මායි තාත්තයි මට මුකුත්ම කිව්වේ නෑ. එයාලා මට ලියන්න කියලා බල කලෙත් නැහැ. හැබැයි මගේ ගමනට පාර පෙන්නුවා. 
හැමදාම මගේ පොත් වල මුල්ම පාඨකයෝ දෙන්නා වෙන්නේ අම්මායි තාත්තායි. පොත ලිව්වාම හරි වැරදි බලන්නේ ඒ දෙන්නා. ගෙදර පොත් ලියන අතරේ හරි සුන්දර දේවලුත් වෙනවා. අම්මායි තාත්තයි දෙන්නාම පොත් ලියන්නේ පාන්දරට... මට ඉතින් ඒවට නියමිතයි කියලා වෙලාවක් නැහැ.
 
මම ලියන පොත් වල පිටපතක් බලන්න ගත්ත තැන ඉදලා අම්මාගෙන් බැනුම් ඇහිල්ලෙ නම් අඩුවක් නෑ. "අම්මාලා කවදාත් පොත්ම ලියන්න ඕන නැත්නම් වෙන රැකියාවක් කරන්න ඕන කියලා බලපෑම් කළේ නෑ.. මම විෂයන් ගණනාවක් ඉගෙන ගෙන තියෙනවා. ෆැෂන් ඩිසයිනින්, ව්‍යාපාර කළමනාකරනය.. කරාටෙ කළු පටි පැලඳලා තියෙනවා. මම ආසයි විවිධ දේවල් ඉගෙන ගන්න. ඒ හරහා මම අත්විඳින සිදුවීම් තමයි ගොඩක් පොත් වලට ගන්නේ.
 
කතා ලියන්න මාතෘතාව කොතනින් හම්බ වෙනවද කියලා කියන්න බැහැ. සමහර ගීත වලින් වස්තු බීජ ලැබුණ අවස්ථා තියෙනවා. දැනට මම නවකතා 26 ක් ලියලා තියෙනවා.
මේ පාර සාහිත්‍ය මාසයට "හස්ති වර්ණ" ලියවෙන්නේ අලින්ට වෙන හානි එක්ක. ඒක ආදර කතාවක් වුණත් ඒතුල කතා කෙරෙන්නේ අලි වෙනුවෙන් හඬක් වගේ. ඇත්තම කියනවනම් පොත් ලියවිල්ල අපේ ගෙදර කර්මාන්තය වගේ. පොත් වලට සම්බන්ධ නැත්තේ අපේ මල්ලි විතරයි. මගේ සැමියත් ඒ කර්මාන්තයේ කොටස් කරුවෙක්. අපේ පොත් වල කවර කරන්නේ දිනෙෂ් පෙරේරා මගේ ආදරණීය මහත්තයා.
 
 
■ නදීශා අතුකෝරළ