දොඩංදූවෙන් නැව් නැගී ජාඩි ගේන්න දකුණු ඉන්දියාවට ගිය ගමන


 

මීට වසර සියයකට පමණ පෙර බොහෝ ප්‍රදේශවල ජාඩි වෙෙළඳාම සුලබව පැවතුණි. ජාඩි රැගෙන ජාඩි කත්කාරයා, ජාඩි බයිසිකල්කාරයා සතියකට හෝ දෙකකට වරක් ගමේ කඩේට පැමිණියේය. බර කරත්ත සහ අත් කරත්ත වලින්ද වෙළෙඳාම සඳහා ජාඩි රැගෙන ගියහ. කුඹුරු අස්වද්දන කාලයේත්, ගොයම් කපා පාගන කාලයේත් වෑදම් බතට ජාඩි නැතුවම බැරි ආහාරයක් විය. ජාඩි ගැන දන්නා අයට ඒ නම මතක් කළ පමණින් රස සිහිපත් වන තරමට ජාඩි කටට හුරුව පැවතිණි.   

ජාඩි කෑල්ලක් සමග පොල් සම්බෝලයක්ද තිබුනානම් ‘බතට පොත යැයි’ ජනවහරේ එන කතාවක් ද තිබේ. බුලත් විටට කට හුරු කරගෙන සිටි එදා ගැමියාට වෙනත් හැම දේකටම වඩා ජාඩිවල රසය හොඳින්ම දැනුනි.   


එදා මුළු රටටම පාහේ ජාඩි සපයන ලද්දේ දොඩන්දූවේ පිරිසකි. දොඩන්දුවේන් ආරම්භ වූ එම කර්මාන්තය පසුව වාද්දුව දක්වා ද, හබරාදුව සහ කොග්ගල යන ප්‍රදේශ කරා ද ව්‍යාප්තව ගොස් පැවතිණි. දොඩන්දූවේ තරුණ පිරිසක් 1900 දී පමණ තමන් විසින්ම නිර්මාණය කරගත් රුවල් යාත්‍රා විශේෂයක් මගින් දකුණු ඉන්දියාවේ කොචින් බලා ගොස් ජාඩි නිපදවා ගෙන ඒමෙන් මෙරට ජාඩි කර්මාන්තය ආරම්භ වී ඇත. මුලින්ම ජාඩි ලෝකෙට හඳුන්වා දී ඇත්තේ ද එම පිරිස විසිනි. ලු‍ණු දැමීමෙන් මාලු‍ කල් තබා ගත හැකි බව දැන සිටි එම පිරිස එරට දී ඉතා සුළු මුදලකට මාළු තොග වශයෙන් මිල දී ගෙන ලු‍ණු සහ සියඹලා යොදා ජාඩි සාදා ඒවා සිමෙන්ති ටැංකිවල පදම් වන්නට තබා පීප්පවල බහා තබා දොඩන්දූව වරායෙන් මෙරටට රැගෙන ආහ. 

 
සියඹලා අවශ්‍ය තරම් කොචින් වලදී මිලදී ගත හැකි විය. ජාඩි පීප්ප සෑදීමට අවශ්‍ය කරන ලෑලි සහ යකඩ පටි ආදිය ද මුල් කාලයේ කොචින්වලින් මිලදී ගෙන තිබුණි. ටික කලක් ගත වන විට සියඹලාවලට වඩා ගොරකා යෙදීමෙන් ජාඩි වැඩි කාලයක් තබා ගත හැකි බව සොයා ගත් මෙම පිරිස ජාඩි නිපදවීම සඳහා අවශ්‍ය කරන ලු‍ණු සහ ගොරකා දෙකම ලංකාවෙන් රැගෙන ගොස් ඇත. ගොරකා යෙදීම නිසා ජාඩිවල රසය ද වැඩි වී ඇත. ජාඩි පීප්ප සෑදීමට දක්ෂ වඩු කාර්මිකයන් ද මෙරටින් කැඳවාගෙන ගොස් ඇත. ජාඩි පීප්ප නිපදවීමට අවශ්‍ය ලෑලි සහ යකඩ පටි ආදිය ද මෙරටින් රැගෙන ගොස් ඇත. කෙටි කාලයක් තුළ ජාඩි කර්මාන්තය ව්‍යාපාරයක් ලෙස දියුණු කරා යද්දී ජාඩි සාදා ගෙන ඒමට කොචින්වලට සහ මල්පෙට ද දොඩන්දූව වරායෙන් පිරිස් පිටත්ව ගොස් තිබුණි.   
දොඩන්දූව වරායේ සිට රුවල් යාත්‍රාවල නැගී මුහුද මැදින් දකුණු ඉන්දියාව බලා ගිය ඒ ගමන අද මෙන් පහසු දෙයක් නොවීය. කුණාටු මෙන්ම දැඩි රැල්ල සහිත බිහිසුණු මහ මුහුදේ දී දියවැල් මගින් ඇති කරන ලද බාධක මැඩ ගෙන ඔවූහු මෙම ගමන පිටත්ව ගියහ. මෙය ජීවත්වීම සඳහා මුදලක් සොයා ගැනීම සඳහාම ගිය ගමනක් ලෙස සැලකිය නොහැක. මුහුදු යාත්‍රා මගින් රටින් රටට ගොස් වෙළෙඳාම් කළ අපරදිග මහා වෙළෙඳ සමාගම්වල මුහුදු වීරයන් ආදර්ශයට ගෙන මෙම පිරිස ද දේශයකින් දේශයකට ගොස් අලු‍ත් ව්‍යාපාරයක් කිරීමටත්, වීරත්වයක් නිසා මෙවැනි ගමනකට එක් වූවා යැයි සිතිය හැක. අඹු දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් පවා මෙම ගමනට දැඩි විරෝධතාවක් මතුව පැවතුන ද ඒ ගැන නොසලකා ඔවුන් මෙම ගමන පිටත්ව ගොස් තිබුණි.   


ඔවුන් මෙම ගමන සඳහා යොදාගත් රුවල් යාත්‍රා හෙවත් වෙළෙඳ නෞකා අඩි සියයක් දිගින්, අඩි විස්සක් පළලින් සහ අඩි 12ක් උසින් යුක්ත විය. දොඩන්දූවේ වැසියන්ට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක් අභිමානයක් ගෙන දෙමින් මීට වසර සීයකට පමණ පෙර එම යාත්‍රා දොඩන්දූවේම විසූ නැව් තැනීම පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය පිරිසක් විසින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. පටුවත විතාන සහ මානවඩු යන පරම්පරා දෙක නැව් තැනීමෙහි ලා විශේෂඥයෝ වූහ. දොඩන්දූවේ වැසියන් මහා ඔරුව ලෙසින් හැඳින් වූ මෙම රුවල් යාත්‍රා ‘අපේ අවසාන සිංහල නැව්’ ලෙස ද බොහෝ දෙනා හඳුන්වති. වියල් දෙකකින් සහ කොල්ලෑවකින් සමන්විත වූ මෙම යාත්‍රා කුඹ ගස් දෙකක් සහ රුවල් තුනක ආධාරයෙන් ක්‍රියාත්මක විය. ටොන් 75 ක් දක්වා බර රැගෙන යා හැකි මෙවැනි යාත්‍රා හැටක් පමණ 1920 පමණ වන විට දොඩන්දුව වරායේ තිබී ඇත. මෙම යාත්‍රා තැනීම කවර යුගයක ආරම්භ වූයේ දැයි යන තොරතුරු සොයා ගත නොහැකිය.   


මෙම යාත්‍රා වලට නායකයෙක් ද විය. මරක්කල ඇහේ යනුවෙන් හැඳින්වුණු ඔහුට මහ මුහුද ගැන මනා අවබෝධයක් තිබුණි. එන්ජිමක් පවා නොමැතිව සුළං බලයෙන් පමණක් ක්‍රියාත්මක වූ මෙම රුවල් යාත්‍රාවලට අද මෙන් එදා දියුණු සංඥා ක්‍රම ද කිසිවක් නොතිබුණි. එකම උපකරණය වූ කොම්පාසුව උපයෝගී කරගෙන මරක්කල ඇහේ මුහුදු වතුර දිහාත්, රැල්ල දිහාත්, වළාකුළු දිහාත්, සුළඟ ගැනත් බලා මේ ගමන පිටත්ව ගොස් තිබුණි.  
විසිඑක් වැනි සියවසේ මුල් යුගය වන විට පවා මාළු කල්තබා ගැනීම සඳහා අයිස් භාවිතයට ගෙන නොතිබුණි. වාහන පහසුකම් පවා නොතිබුණු එකල අලු‍ත් මාළු කෑල්ලක් රසවිඳීමට හැකියාව ලැබී තිබුණේ මුහුදුකරය අවට සහ නගරවල ජීවත් වූ අයට පමණි. පිටිසර අයට අලු‍ත් මාළු කෑල්ලක් රස විඳීමට අවස්ථාව ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. මේ නිසා එකල ජනතාව අතර ජාඩි සඳහා හොඳ ඉල්ලුමක් ගොඩනැගී පැවතුණි.   


ක්ෂුද්‍ර ජීවීන් මුසු නොවන ලෙස මාළු කල්තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ජාඩි හැඳින්විය හැක. මාළු, ලු‍ණු සහ ගොරකා සමග මිශ්‍රකර වාතය මුසු නොවන ලෙස මාසයක පමණ කාලයක් තැබීමෙන් ජාඩි නිපදවා ගත හැක. මෙහිදී ලු‍ණුවලට මාළුවල ඇති ජලය උරා ගැනීම සිදුවේ. මෙය ආසෘතිය ලෙස හැඳින්වේ. මේ සඳහා ගොරකා ද උදව්වේ. ලෝකෙ අදටත් ජාඩි හදන්නේ දොඩන්දූව ඇතුළු මුහුදු කරේ වෙසෙන ඉතා සුළු පිරිසක් පමණි. ලොව බොහෝ රටවල මාළුවලට ලු‍ණු යොදා කරවල සහ උම්බලකඩ නිපදවීම කරගෙන ගියද, ජාඩි නිපදවීම සඳහා ගොරකා භාවිත කිරීම අපේම අය සොයාගත්, අදටත් අපේම අය පමණක් භාවිත කරන අපිටම ආවේණික ක්‍රමයකි.   
ජාඩි සෑදීම සඳහා යොදා ගත් පීප්පවල මූඩිය වාත්තු කළා සේ හරියටම තිබිය යුතුවේ. එසේ නොවුනහොත් ජාඩි පීප්ප තුළට වාතය ඇතුළු වීමෙන් පණුවන් ගසා ජාඩි නරක් වීම සිදුවේ. දෙදෙනකු වඩාත් හොඳින් එකට ගැලපෙන විට ජාඩියට මූඩිය වගේ යැයි කියමනක් අපේ ජනවහරට පැමිණ ඇත්තේ ද මේ නිසා විය හැක. එකල ජාඩි පීප්ප පිටින් වෙෙළඳසැල්වල අලෙවිය සඳහා තබා තිබුණි. දොඩන්දූව පියරතන විද්‍යාලය අසල සිට දොඩන්දුව පාලම දක්වා මීටර් 500 පමණ ගාලු‍ පාර දෙපස එකල ලෑලි ගසා සකස් කළ ජාඩි කඩ 100ක් පමණ තිබී ඇත. 1970 පමණ වන විට එම සංඛ්‍යාව 21ක් බවට පත්ව තිබුණි. මුළු රටටම ජාඩි සපයන ලද්දේ දොඩංදූවේ තිබූ ජාඩි කඩවලිනි. එකල ජාඩි වෙළෙඳාම සඳහා වෙන්වූ කඩ බොහෝ නගරවල මෙන්ම ගම්බදව ද වූහ. කොළඹ තොටළඟ එකල ජාඩි වෙ​ෙළදාම ඉතා සරුවට සිදුවුණු ස්ථානයක් ලෙස සැලකේ. ජාඩි කර්මාන්තය සමග ජාඩි මුදලාලිලා පැළැන්තියක් ද මෙරට තුළ ඇති විය.   
ජාඩි කර්මාන්තයේ යෙදුණු පවුලක සාමාජිකයකු වන දොඩන්දූව ගාලු‍ පාරේ පදිංචි සිව් දරු පියකු වන වඩුමේස්ත්‍රිගේ නන්දසේන (76) මහතා ජාඩි කර්මාන්තය පිළිබඳව අදහස් පළ කරමින් මෙසේ කීය.   


‘1910 දී පමණ ජාඩි හදාගෙන එන්න දකුණු ඉන්දියාවේ කොචින් බලා ගිය පළමු කණ්ඩායමේ කෙනෙකු ලෙස මගේ සීයා වන වඩුමේස්ත්‍රිගේ සිද්දප්පු මහතා හැඳින්විය හැකියි. අපේම අය හැදු රුවල් යාත්‍රාවලින් තමයි ඒ ගමන පිටත්ව ගොස් තිබුණේ. එක් යාත්‍රාවක ජාඩි මුදලාලි සමග 8-10 ත් අතර පිරිසක් ගමන් ගත්තා. ජාඩි පීප්ප හදාගැනීමට අවශ්‍ය කරන ලෑලි සහ යකඩ පටි ආදියත් රැගෙන ගියා. ජාඩි පීප්ප හදන්න සූරිය, හල්මිල්ල, තේක්ක වැනි ලී වර්ග තමයි වැඩිපුරම යොදා ගත්තේ. ජාඩි පීප්ප සැදීමට දක්ෂ වඩු කාර්මිකයන් ද මේ ගමනට සම්බන්ධ කරගත්තා. මුලින්ම ගිය පිරිස ජාඩි හදාගෙන ආවේ පීප්ප නොමැතිවයි. මෙම ගමන සඳහා යොදා ගත්තේ නොවැම්බර් මස සිට අප්‍රේල් මස දක්වා වන මාස හයක පමණ කාලය පමණයි. දකුණු ඉන්දියාවේ අපේ අයගේ මාලු‍ වාඩි විශාල වශයෙන් තිබුණා. ඒ වාඩි ඉස්සරහ සිමෙන්තිවලින් ටැංකි බැඳලා ඒවායේ වහලට රට උළු සෙවිලිකර තිබූ බව මගේ සීයා මට කියා තිබුණා. අපේ ජාඩි මුදලාලිලා එහේ අයගෙන් මාළු මිලදී ගෙන තියෙන්නේ මාදැල් පිටින්මයි. එම මාළුවල බඩ වැල් ඉවත් කරලා පිරිසිදු කර තියෙන්නෙ එහේ සිටිය ගෑනු අය සහ පිරිමි අයයි. ජාඩි හදන්න 90% උපයෝගී කරගෙන තිබුණේ කුම්ඹලාවොයි. ඊට අමතරව පරව්, බෝල්ලෝ, කෙලවල්ලො, තෝරු වැනි මාළු වර්ග යොදා ගත්තා. එහේ අය ලවා ලු‍ණු කුට්ටි වංගෙඩිවලට දමා කොටලා අරගෙන තමයි ජාඩි දැමීම සිදු කර තියෙන්නෙ. ලු‍ණු සහ ගොරකා පදමට යොදාගෙන ජාඩි දමන එක අපේම අය විසින් පමණක් කර තිබෙනවා.   


ජාඩි සෑදීම සඳහා සකස් කරගත් මාළු, පදමට සකස් කරගත් ලූණු සමඟ ගොරකා සමග සිමෙන්ති ටැංකිවල මාසයක් පමණ තිබෙන්නට හැර තමයි ඒවා පීප්පවල බහා රුවල් යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒම සිදු කර තියෙන්නෙ. ටැංකි තුළට මාළු, ලු‍ණු සහ ගොරකා දමා අඩියක් පමණ පිරුණු පසු ඒ මතට ගෝනි කීපයක් දමා හොඳින් තදවන සේ කිහිපදෙනකු විසින් පයින් පෑගීම කර තිබෙනවා. තුන් වාරයක් පමණ එලෙස සිදු කර ටැංකිය පිරුණු පසු එම ටැංකි තුළට වාතාශ්‍රය ඇතුළු නොවන සේ හොඳින් වසා දැමීම සිදු කර තිබෙනවා. පීප්පවල ජාඩි ඇසිරීමෙන් පසු ටැංකිවල අවසානයට ඉතිරි වන ලු‍ණු සහ මාළු ලේ මිශ්‍ර වීමෙන් සෑදුණු ‘ලු‍නිජ්ජ’ නැමැති රසකාරකය බුරුම කටුවකින් ජාඩි පීප්පය සිදුරු කරලා ඒ තුළට වත්කර මූඩිය ගැසීම කර තිබුණා.   


මගේ සීයට වගේම මගේ තාත්තටත් හොඳට ජාඩි දාන්න පුළුවන්. හොඳට ජාඩි දාන්න හැමෝටම බැහැ. ඒකට හොඳ අත් ගුණයක් තිබිය යුතුයි. මගේ තාත්තා ජාඩි හදාගෙන එන්න දකුණු ඉන්දියාවේ මල්පේ බලා කිහිප වතාවක්ම ගියා. ඒ ගිය ගමනෙදී 1948 දී මගේ උපන් දිනයට වික්ටෝරියා මහ රැජිණගේ රුව සහිත පවුම් දෙකේ රන් කාසියක් රුපියල් 80 කට ඉන්දියාවෙන් මීලදී ගෙනවිත් මට තෑගි කළා. එම රන් කාසිය සහ දකුණු ඉන්දියාවෙන් ගෙනා රන් මුද්දක් අදටත් මා ළඟ සුරැකිව පවතිනවා.   
ජාඩි කර්මාන්තයේ නිරත පවුලක සාමාජිකයකු වන දොඩන්දුව ගාලු‍ පාරේ පදිංචි පී. ඩබ්ලිව්. ගාමිණී ජයරත්න මහතා : මාගේ සීයා වන ගාල්ලගේ එලියස් ද සිල්වා මහතාත්, සීයගෙ පියා වූ ගාල්ලගේ උදාරිස් ද සිල්වා මහතාත් ජාඩි කර්මාන්තයට මුල සිටම සම්බන්ධ වී සිටියා. අද දක්නට ලැබෙන දොඩන්දුව ධීවර වරාය වෙනුවට දාහත්වැනි සියවසේ සිටම ආසියාවේ ප්‍රකට නාවික වරායක් බවට දොඩන්දූව වරාය පත්ව තිබූ බවට බොහෝ සාධක ලැබී පවතිනවා. එවකට විදේශීය නාවිකයන් ‘තොට්ටම්තිව්’ යනුවෙන් මෙම වරාය හඳුන්වා තිබෙනවා. පරවි, තිසර සහ කෝකිළ යන සංදේශ කාව්‍යවල ද මුහුදු නැව් ගමනා ගමනය සිදු වූ දොඩන්දුව ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා.   
දොඩන්දූවේ නාවිකයන් දකුණු ඉන්දියාවේ නාගුර්, නාගපට්ටනම්, කේරල, මදුරේ, කාවේරි වැනි වෙරළබඩ ප්‍රදේශ කරා රුවල් නෞකාවලින් මෙරට තිබූ කරාබුනැටි, කරුංකා, කුරුඳු, ගම්මිරිස්, කළු‍වර ලී, ඇත්දළ, කැස්බෑ ලෙලි නිෂ්පාදන, මුව අං, රේන්ද, ඉදිකොළ නිෂ්පාදන ආදිය රැගෙන ගොස් ජාත්‍යන්තර වෙ​ෙළඳාමේ නිරත වූ බවට සාධක පවතිනවා. එම රුවල් යාත්‍රාවලින් මෙරටට ජාඩි, රට උළු, කරවල, තඹ සහ පිත්තල භාණ්ඩ, රෙදිපිළි, විශේෂයෙන්ම චීන පටපිළි ආදිය රැගෙන ඇවිත් තිබෙනවා. 1970 පමණ වනවිට මාගේ මවගේ පියා සහ ඔහුගේ පියා දේශීය ව්‍යාපාරිකයන් බවට පත්ව මඩකළපුව ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වෙෙළඳ ඒකාධිකාරයක් පවා පවත්වාගෙන යන්නට සමත් ව තිබුණා. ජාඩි වෙළෙඳාමට අමතරව ඔවුන් හාල්, සිල්ලර බඩු සහ රෙදිපිළි වෙළෙඳාම ද සාර්ථකව කළා. ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ජාඩි මුදලාලිලා ලෙස රුවල් යාත්‍රා මගින් දකුණු ඉන්දියාව බලා ගොස් මෙරටට ජාඩි හදාගෙන ඇවිත් ඒවා තොග වශයෙන් අලෙවි කිරීම සිදුකර තිබුණා.   


මුලින්ම මේ ගමන සඳහා අපේම අය නිර්මාණය කරගත් මහ ඔරුව නැමති රුවල් යාත්‍රා යොදාගෙන තිබුණා. මෙම යාත්‍රා මගින් ලංකාව වටේටම ද වෙළෙඳාම් කටයුතු කරගෙන ගොස් තිබුණා. ජාඩි පීප්පයක් හෝන්ඩර 12ක් පමණ බරයි. එවැනි පීප්ප 300ක් පමණ එකවර රුවල් යාත්‍රාවකින් මෙරටට රැගෙන ආවා. මෙරටට රැගෙන ආ ජාඩි රට පුරාම වෙළෙඳාම පිණිස ගෙන ගියේ කරත්තවලින්. බර කරත්තයකින් වරකට ජාඩි පීප්ප එකක් හෝ දෙකක් වෙළෙඳාම පිණිස රැගෙන ගියා.   
ජාඩි හදාගෙන එන්න දකුණු ඉන්දියාව බලා රුවල් යාත්‍රා මගින් ගිය ගමනට සතියකට පමණ කාලයක් ගතව තිබුණා. සමහර ගමන්වලට මාසයක පමණ කාලයක් ගතව තිබුණා. සුළඟේ හැටියටයි ගමන. සුළං පාර වැරදුණොත් යාත්‍රාව කොයි අතක යනවද කියලා හිතාගන්න බැහැ. සුළං නොමැති අවස්ථාවල මහ මුහුද මැද පාවෙමින් සිටින්නත් සිදු වුණා. මේ ගමන සඳහා තෝරාගෙන තිබුණේ හොඳ හයිය හක්තිය තියෙන, මහ මුහුද හොඳට හුරු අයයි. හාල්, පොල්, වතුර ඇතුළු මාසයකට පමණ අවශ්‍ය කරන සියලු‍ දේ අරගෙනයි මේ අය දොඩන්දූව වරායෙන් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණේ.   


මුළු ලෝකෙටම ජාඩි නැමති රසවත් හා ගුණවත් ආහාරය හඳුන්වා දුන්නේ දොඩන්දූවේ අයයි. දොඩන්දූවේ ඇම්. ඇස්. ද සිල්වා, මහවඩු කළුඅප්පු, වඩුගේ පුංචි සිංඤෝ, වඩුගේ බස්තියන් යන මහත්වරු ඇතුළු පිරිසක් මේ ගමන සඳහා දකුණු ඉන්දියාව බලා ගිය මුල්ම පිරිසට අයත් වෙනවා. ඒ අය මුහුදු වීරයන් ලෙස සැලකිය යුතුයි. පසු කාලය වන විට අපේ අය සතුව තිබූ අපේ රුවල් යාත්‍රා අභාවය කරා ගියා. ඉන්පසු ජාඩි රැගෙන ඒමට මාලදිවයිනේ සමාගම් සතු ‘සුළුප්පු’ නැමති රුවල් යාත්‍රා යොදා ගත්තා.   
දොඩන්දූව කුමාර කන්දේ පදිංචි 90 වන වියේ පසුවන ආර්. කේ. සීලවතී මහත්මිය : මගේ පුරුෂයා වන දිවංගත එච්. පී. බී. දිනෙස් සිල්වා මහතා ප්‍රධාන පෙළේ ජාඩි ව්‍යාපාරිකයෙක් ලෙස 55 පහක පමණ කාලයක් කටයුතු කළා. ඔහු ජාඩි හදාගෙන එන්න 18 වතාවක් පමණ ගුවන් මගින් පමණක් දකුණු ඉන්දියාව බලා ගියා. ඔහුට සහෝදරයෝ හත් දෙනෙක් සිටියා. ඉන් පස්දෙනෙක්ම ජාඩි ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කළා. මාගේ පුරුෂයා ජාඩි කර්මාන්තයට යොමුව තිබුණේ වයස අවුරුදු 17 දී එනම් 1930 වසරේදීයි. ඔහුට භාෂා හයක් කතා කිරීමට ද හැකියාව තිබුණා. එහෙ මාළු අල්ලන හැටි දැක්කහම අපේ මුහුදේ මාළු ඉන්නවද කියලා හිතනවා කියලා මට මගේ පුරුෂයා කියලා තිබුණා. එක මා දැලක් ඇද්දාම ඒදැල ගොඩට ඇද ගන්න බැරි තරම් මාළු අසු වෙන බව ඔහු මට කියලා තිබුණා. අල්ලන්න තරමට මාළු විකුණා ගත නොහැකි නිසා මාදැල් පිටින් මාළු සුළු මුදලකට මිලදී ගෙන අපේ අය ජාඩි දැමීම සිදුකර තිබුණා. අපේ අය දොඩන්දූවේ සිට දුම්රියෙන් තලේමන්නාරම දක්වා ගියා. එතැන් සිට දුම් නැව් වලින් මල්පෙට ගිහින් ජාඩි හදාගෙන මාලදිවයිනේ සුළුප්පු නැමති රුවල් යාත්‍රාවලට බාර දීලා ගුවන් මගින් ලංකාවට ආවා. සතියක් දෙකක් ගත වන විට එම සුළුප්පු ජාඩි පීප්ප අරගෙන දොඩන්දූව වරායට ආවා. 1969 ඇති වූ සුළි සුළඟින් රාමේශ්වරම් පාලම කැඩී යාමෙන් පසු ගුවන් මගින් දකුණු ඉන්දියාව බලා ගොස් ජාඩි කර්මාන්තය කරගෙන එන්නට අපේ අයට සිදු වුණා. අපේ අය දකුණු ඉන්දියාවේ ඉදලා එනකොට රන් ආභරණ ඇතුළු වටිනා බොහෝ දේවල් රැගෙන ආවා. පසු කාලය වන විට ජාඩි කර්මාන්තයෙන් උපයාගත් ආදායමෙන් විශාල ප්‍රමාණයක් රජයට බදු වශයෙන් ගෙවන්නට අපට සිදු වුණා. මේ නිසා මේ වටිනා කර්මාන්තය නතර කර දමන්නට අපට සිදුවුණා. මගේ පුරුෂයා දකුණු ඉන්දියාවේ ගිහින් එන විට ගෙන එන ලද රන් කාසි විශාල ප්‍රමාණයක් අප සතුව තිබුණා. එයින් එකවර රන් කාසි අසූවක්ම විකුණා දමා මුදල් කරගන්නට මෙම කර්මාන්තය නැති වීම නිසා අපට සිදුවුණා.   
වසර 55 ක කාලයක සිට ධීවරයකු ලෙස කටයුතු කරන දොඩන්දූව වැල්ල අද්දර පදිංචි ඒ. එල්. නන්දසේන (77) මහතා.   
1950 පමණ වන විට දොඩන්දූවේ අය ජාඩි හදාගෙන එන්න දකුණු ඉන්දියාව බලා ගියේ ගුවන් මගිනුයි. ඔවුන් නොවැම්බර් මාසේ මුල දකුණු ඉන්දියාව බලා ගොස් ජනවාරි මාසය පමණ වනතුරු එහි රැඳී සිටිමින් ජාඩි නිපදවීම කළහ.   


ජාඩි හදන්න ගන්න මාළුවලට ඇල්වතුර කිට්ටු කරන්නෙවත් නැහැ. ලු‍ණු මිශ්‍ර වතුරේ විනාඩි කීපයක් තිබෙන්න හැර ඒ මාළු ජාඩි හදන්න ගන්නවා. මාළුවාගේ ඔලු‍වත් එක්කම කද දෙකට පළලා කදේ හරස් අතට පිහියකින් කටුව දක්වාම ඉරි ගසනවා. මාළුවාගේ කරමල් සහ බඩවැල් ඉවත් කරනවා. ඉන්පසු හොඳින් මූඩිය වැසිය හැකි බඳුනක හෝ ටැංකියක යටට ලු‍ණු ගොරකා තට්ටුවක් යොදලා ඒ මත මාළුවන් තැන්පත් කිරීම කරනවා. එසේ කරද්දී මාළුවාගේ ඔලු‍ව කොටසට වැඩිපුර ලු‍ණු කුඩු ටිකක් දමනවා. මාළුවාගේ කදේ ඉරි ගැසූ ස්ථානවලට ලු‍ණු හොදින් කා වැද්දීම කරනවා. එක මාළු තට්ටුවක් දමා අවසන් කළ පසු නැවත ලු‍ණු සහ ගොරකා තට්ටුවක් දමා නැවත මාළු තට්ටුවක් ඇතිරීම කරනවා. මාළු අතුරා අවසන් කළ පසු උඩටත් ලු‍ණු සහ ගොරකා පදමට යොදනවා. මාළු ඇසිරීම කළේ බඳුනක නම් එහි මූඩිය හොඳින් වසා මාසයක පමණ කාලයක් තැබූ විට ජාඩි සෑදෙනවා. එම මාළු ඇසිරීම කළේ සිමෙන්ති ටැංකි වල නම් මාසයක් පමණ කාලයක් ගත වූ පසු ඒවා පීප්පවල තැන්පත් කිරීම කරනවා. සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ ජාඩි පීප්පයක් අඩි හතරක් පමණ උසයි. පීප්පය තුළට පදමට සකස් කරගත් ලු‍ණු සහ ගොරකා දමලා ජාඩි ඇසිරීම කරනවා. ජාඩි තට්ටුව දැමූ පසු ඒ මතට ගෝනි කීපයක් දමා ඒ මතට කෙනෙකු බැස ජාඩි හොඳින් තදවන සේ පාදවලින් පෑගීම කරනවා. ඉන්පසු නැවත ජාඩි තට්ටුවක් දමා නැවත පැගීම කරනවා. මේ අයුරින් පීප්ප වල ජාඩි තැන්පත් කිරීමෙන් පසු එහි මූඩිය හොඳින් වසා තැබීම කළ යුතුයි. මේ අයුරින් පීප්පවල තැන්පත් කළ ජාඩි ආහාරයට ගන්නේ තවත් මාසයක පමණ කාලයක් හොඳින් පදම් වූ විටයි.   
1960 පමණ වන විට ගුවන් මගින් දකුණු ඉන්දියාවට ගොස් ජාඩි හදා ඒවා පීප්පවල තැන්පත් කළ දොඩන්දූවේ අපේ ඥාතීන් ඒවා මාලදිවයිනේ සමාගම්වලට අයත් සුළුප්පුවලට දී නැවත ගුවන් මගින් ලංකාවට ආවා. එම සමාගම් මගින් ජාඩි පීප්ප පැට වූ සුළුප්පු සති දෙක තුනකින් දොඩන්දූව වරායට රැගෙන ආවා. ජාඩි දැමීම සඳහා භාවිතා කළ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පීප්ප එකල තිබුණා. දොඩන්දූව වරායේ රේගුව ගල ළඟට සුළුප්පු සේන්දු වූ විට පිලා ඔරුවලින් ගිහිල්ලා වරකට එක ජාඩි පීප්පය බැගින් මුහුදු වෙරළට රැගෙන ආවා. අනතුරුව එම ස්ථානයේ පොල් ගසක් දෙකට පලා තනාගත් ආධාරකයක් තබා තිබුණා. එම ආධාරකය මත ජාඩි පීප්පය තබා තල්ලු‍ කරගෙන ඒ අසල තිබූ රේගුවට රැගෙන ආවා. රේගුවට අදාළ රේගු ගාස්තු ගෙවූ පසුව ජාඩි පීප්ප ඒවායේ හිමිකරුවන්ට රැගෙන යාමට අවසර ලැබුණා. සුළුප්පුවල සේවය කළේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජාතික අයයි. 1960 දී දොඩන්දූව වරායේදී සුළුප්පුවක් පෙරළීමෙන් එහි සිටි ද්‍රවිඩ ජාතිකයන් හත් දෙනෙකු මියගියා.   


එකල මේ රටේ ගමක රේගුවක් තිබුණා නම් ඒ එකම ගම දොඩම්දූවයි. රේගුව පවත්වාගෙන ගිය ස්ථානයේ තිබූ ගොඩනැගිලිවලට සුනාමියෙන් දැඩි හානි සිදු වුණා. රේගුව පිහිටා තිබු මාර්ගය අදටත් හැඳින්වෙන්නේ රේගුව පාර ලෙසයි. එකල රේගුව පාර දෙපස එක දිගට ජාඩි පීප්ප ගොඩගසා තිබුණා.   
මුල් කාලයේ ජාඩි දැමූ බොල්ලො සීයක් රුපියල් 1.50 කටත්, ජාඩි පීප්පයක් රුපියල් 30ටත් අලෙවි කර තිබෙනවා. අපි දන්න කාලේ ජාඩි දැමූ කුම්බලාවෙක් සත 03කට අලෙවි වුණා. බෝල්ලෝ, කුම්බලාවෝ, හුරුල්ලෝ වැනි මාළු වැඩිපුර ජාඩි හදන්න ගත්තා. වැඩිපුර දැල්වලට අසූ වූ අවස්ථාවල තෝර, පරව්, තලපත්, බලයා, කෙළවල්ලා වැනි මසුන් ද ජාඩි හදන්න ගත්තා. ජාඩි පීප්පයක් විවෘත කළාම මුළු පලාතටම සුවඳ පැතිරෙනවා. ජාඩි පීප්පයක් මාස තුනක් හතරක් පදම් වූ විටයි වඩාත් රසවත් වෙන්නේ. ජාඩි පීප්පයක් නරක් නොවී වසරක තරම් කාලයක් වුවත් තබාගත හැකියි.   


ජාඩි තරම්ම රසවත් රසකාරකයක් ලෙස ලු‍නිජ්ජ හැඳින්විය හැකිය. ජාඩි සෑදීමේ දී ඉතිරිවන ලු‍ණු සහ ගොරකා සමග මිශ්‍ර වූ මාලු‍ සාරය තමයි ලු‍නිජ්ජ ලෙස හැඳින්වෙන්නේ. මෙම සාරය හොඳට උණු කරලා කකාරවලා පෙරළා බෝතල්වලට දානවා. දෙහි ගෙඩි 10 ක පමණ යුශ ගෙන එයින් ටික ටික එම බෝතල්වලට දානවා. අවශ්‍ය තරම් ගම්මිරිස් කෑලි, කොච්චි කරලු‍ත් එම බෝතල්වලට දමා ටික දිනක් තිබෙන්නට හැර ප්‍රයෝජනයට ගත හැකියි. ලු‍නිජ්ජ හැන්දක් දෙකක් කට්ටසම්බෝලයට, පොල් සම්බෝලයට සහ පොල් මැල්ලු‍මකට දැම්මහම හරිම රසවත්. මෙම ප්‍රදේශයේ අය අදටත් බිලින් අච්චාරු ඇතුළු අච්චාරු හදනකොට ලු‍නිජ්ජ ටිකක් දාන්න අමතක කරන්නේ නැහැ. ඉස්සර ලු‍නිජ්ජ ටිකක් ජාඩි කඬේකින් නොමිලේම ලබා ගන්න පුළුවන්කම තිබුණා. ලු‍නිජ්ජ බෝතලයක් සත පනහක්, රුපියලක් වැනි මුදලකට අලෙවි වූ අවස්ථාද තිබෙනවා.   
1900 දී පමණ ආරම්භ වූ දකුණු ඉන්දියාව බලා ගොස් කළ ජාඩි කර්මාන්තය විදේශ විනිමය ප්‍රශ්නය, යුද කෝලාහල ඇතුළු විවිධ ප්‍රශ්න පැන නැගීම නිසා 1971 අප්‍රේල් මාසයෙන් පසුව නතර කරන්න සිදු වුණා.   


දොඩන්දූවේ සෝමපාල කළුපහන මහතාගේ කණ්ඩායම එලෙස ජාඩි නිපදවා ගෙන ඒම සඳහා පිටත්ව ගිය අවසන් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්ව තිබේනවා. 1971 න් පසු බලයට පත් විවිධ රජයන් සමඟ සාකච්ඡා කළ ද මෙම කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබී ගොස් තිබුණි.


(විශේෂ ස්තුතිය - රත්ගම, මෝරත්තුඩුව පදිංචි ඩී. අමරජීව රාජකරුණා මහතාට)

 

 

සටහන හා ඡායාරුප :
රත්ගම ගාමීණි මහදුර