දින 21 ක් සිහිසුන්ව සිට පන ලැබූ විරුවෙක්


පසුගිය සතියේ ඉතිරිය


මියගිය රණවිරුවාට හදිසි සැත්කමක්....


තුවාල ලත් ලුතිනන් සිල්වා ද ඔසවාගත් භට පිරිස් කෙසේ හෝ කිලෝමීටර් කිහිපයක් දුර ගෙවා දමා අවදානම් කලාපයෙන් බැහැරට ඒමට සමත්වූහ. යාබද පිහිටි ඉරක්කණ්ඩි හමුදා අනුඛණ්ඩය වෙත යාම ඔවුන්ගේ අභිප්‍රාය විය. ඒවෙන විටත් අදාළ සිදුවීම පිළිබඳව එම කඳවුරේ භට පිරිස් ද බළසේනාව හරහා දැනුවත්ව තිබිණ. ඉරක්කණ්ඩි කඳවුරේ කඳවුරු භාර නිලධාරී වූයේ 2/ලුතිනන් සම්පත් කුමාරසිංහය. එහිදී වහා ක්‍රියාත්මක වූ ඔහු භට කණ්ඩායමක් ද සමඟ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරියට යන්නට වූයේ තුවාල ලත් තම සහෝදර නිලධාරියා ඇතුළු පිරිස රැගෙන ඒම සඳහාය. ඒ අනුව සැලකිය යුතු වේලාවකින් අනතුරුව අදාළ පිරිස හා සම්බන්ධ වීමට ඔවුනට හැකිවිය. 

 

ඉරක්කණ්ඩි කඳවුර අසලට තුවාල ලත් නිලධාරී රැගෙන ආවද ඔහුගේ තත්ත්වය බෙහෙවින් අසාධ්‍ය වී තිබිණ. නමුත් එහි සිටි කිසිවකුට ඔහු වෙනුවෙන් කළහැකි යමක් ඉතිරිව තිබුණේ ද නැත. ඒ වනවිට බෙහෙවින් අසාධ්‍යව සිටි සිල්වා ගේ සිරුර ලේවලින් නැහැවී තිබුණු අතර ඔහු පියවි තත්ත්වයක පසු නොවීය. නමුත් හෙතෙම සිය උදරයෙහි වූ තුවාලය තද කරගත් සුරත ඉවතට ගෙන නොතිබිණ. මේ අතර තම ඒකකයටම අයත් සහෝදර නිලධාරී පත්ව ඇති ජීවිත අවදානම දකිත්ම 2/ලුතිනන් කුමාරසිංහට ඉවසුම් නැතිවිය. ඔහු ලුතිනන් සිල්වාගේ හිස අතගාමින් බළසේනාවේ සිට වාහනයක් එනතුරු පසුවූයේ නොඉවසිල්ලෙනි. ඒ වන විට ද ඔහුගේ දෑස් ඇරී තිබුණ ද ඔහු තුළින් කිසිදු චලනයක් නොවීය. හුස්මක් හෝ නොවැටෙන තරමට නිසලතාවක් පෙන්වූ හෙයින් 2/ලුතිනන් කුමාරසිංහ, අකමැත්තෙන් වුව ද ලුතිනන් සිල්වා ගේ විවරව තිබූ දෑස් හෙමින් සීරුවේ වසා දැමුවේ කඳුළු සඟවා ගනිමිනි. 

 

ලුතිනන් සිල්වා ( චායාරූපයේ මැද අත් බැඳගෙන ) තම භට පිරිස සමග


මඳ වේලාවක් ගතවෙත්ම බළසේනාවේ සිට පැමිණි යුනිකෝන් රථය ඉරක්කණ්ඩි හමුදා අනුඛණ්ඩය අසලට ළඟාවිය. සහායක භට පිරිසක් ද සමඟින් 2/ලුතිනන් සමන් කුමාර යන නිලධාරීන් ඉන් බැස ගත්හ. ඔහු බළසේනාවේ ආරක්‍ෂක කණ්ඩායමේ ඛණ්ඩ භාර නිලධාරිවරයකු වූ අතර හෙතෙම තුවාලලත් ලුතිනන් සිල්වා යටතේ රාජකාරි නියුතු ඔහුගේම ඒකකයට අයත් නිලධාරියෙකි. බළසේනාවේ විශේෂ ආරක්‍ෂක ඛණ්ඩය සමග ඔහු ද සීමිත ක්‍රියාන්විතවලට සහභාගී වෙන අතර මෙම සිදුවීමට පෙර දිනයේ ද එවැනි මෙහෙයුමක නිරතව සිට ඔහු යළි කදවුරට පැමිණ තිබිණ. විශේෂයෙන්ම ඉරක්කණ්ඩි ප්‍රදේශයේ සිදුකළ මෙම ක්‍රියාන්විතය සඳහා ද ඔහු යාමට නියමිතව සිටිය දී ලුතිනන් සිල්වා ඊට එක්ව තිබුණේ සිය උවමනාවටමය. තමන්ට අත්විඳීමට තිබූ අවදානම් අවස්ථාවක් මඟහැර තම සහෝදර නිලධාරියා එලෙස අනතුරට පත්වීම පිළිබඳව 2/ලුතිනන් සමන් කුමාර තුළ වූයේ පශ්චාත්තාපයකි. 


පැමිණි සැණින් තුවාල ලැබ සිටි සහෝදර නිලධාරී තමා පැමිණි රථයට ඇතුළු කර ගැනීමට සූදානම් වූයේ එහි සිටි 2/ලුතිනන් කුමාරසිංහගේ ද සහාය ඇතිවය. නමුත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ යුනිකෝන් රථය වෙනත් වාහනවලට වඩා තරමක් උසින් පිහිටා තිබීමත්, තුවාලලත් ලුතිනන් සිල්වා බෙහෙවින් අඩපණ වී තිබීමත් හේතුවෙනි. විශේෂයෙන්ම උදර ප්‍රදේශයේ සෙලවීමක් ඇතිවුවහොත් ඔහුගේ තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකිව තිබීම අනෙක් අවදානම විය. කෙසේ හෝ ඔවුන් උපරිම පරිස්සමෙන් තුවාලකරු ඔසවා යුනිකෝන් රථයට ඇතුළු කිරීමට යත්ම 2/ලුතිනන් සමන් කුමාරගේ සුරතට කිසියම් තෙත සහිත යමක් මිරිකී ගියේය. විමසිලිමත් වීමේ දී එය ලුතිනන් සිල්වාගේ උදර ප්‍රදේශයේ වූ තුවාලය තුළින් පිටතට ආ අභ්‍යන්තර ශරීර කොටසක් බැව් පැහැදිලි විය. එවන් පසුබිමක ඔහුව එම රථයට ඇතුළු කිරීම කිසිසේත් කළහැකි නොවීය. එසේම යුනිකෝන් රථය ධාවනයේ දී අධික ලෙස ගැස්සීමකටද ලක්වෙන හෙයින් එමඟින් ඔහුගේ ජීවිත අවදානම තවදුරටත් උත්සන්න වියහැකි බව 2/ලුතිනන් සමන් කුමාරට පැහැදිලි විය. එබැවින් ඔහු බළසේනා මූලස්ථානය වෙත දන්වා සිටියේ තුවාලකරු රැගෙන යාම සඳහා වෙනත් සැහැල්ලු වාහනයක් එවන ලෙසය. කෙසේ හෝ ඒ වෙන විටත් බළසේනාධිපති සිය නිල වාහනයම ඒ සඳහා පිටත්කර එවා තිබුණේ උද්ගතව ඇති තත්ත්වය ඉවෙන් මෙන් දැනී තිබූ හෙයිනි. 


මඳ වේලාවක් ගතවෙත්ම බළසේනාවේ සිට කැබ් රථය එහි පැමිණියේය. සංඥා නිලධාරී 2/ලුතිනන් කණිෂ්ක ජයවර්ධන හා වෛද්‍ය සහයකයකු ද එහි වූහ. එහිදී තත්පරයක් හෝ අපතේ නොයැවූ ඔවුහු වහ වහා ලුතිනන් සිල්වා ඊට නංවාගෙන ක්‍ෂණිකවම පිටත්වූහ. එහිදී අඳුරේම වළගොඩැලි සහිත අතුරු මාර්ගයේ කැබ් රථය ඉදිරියට ඇදෙන්නට වූයේ එහි ඇති උපරිම වේග සීමාවෙනි. “වළවල් වල දාන්න එපා. පුළුවන් තරම් ගස්සන්නෙ නැතුව යමං” ලුතිනන් සිල්වාගේ හිස තම උකුලු මත තබා ගනිමින් 2/ලුතිනන් කණිෂ්ක රියදුරාට බලකරන්නට වූයේ ඒ වෙනවිටත් තම සහෝදර නිලධාරියා පෙළුණු අපහසුතාවයේ තරම හොඳින් දත් හෙයිනි. එසේම ඔහුගේ තත්ත්වය තවදුරටත් බරපතළ වූයෙන් ඔහුව බළසේනා මූලස්ථානය වෙත රැගෙන යාම අනවශ්‍ය ප්‍රමාදයකට හේතුවිය හැකි බැව් කණිෂ්කට අවබෝධ විය. ඒ පිළිබඳව බළසේනාධිපතිවරයා ද දැනුවත් කළ ඔහු තුවාලලත් නිලධාරී ඉඳුරාම ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල කරා රැගෙන යාමට කටයුතු යෙදීය. 


කැබ් රථය යන මාර්ගය තුළ මාර්ග බාධක කිහිපයක් පසුකළ යුතු වූ අතර, සාමාන්‍ය අවස්ථාවක දී නම් ඒ සෑම තැනකම තියුණු පරීක්ෂාවකට ලක්වෙන අතර, ඒ සඳහා සැලකියයුතු කාලයක් ද ගතවීම නොවැළැක්විය හැකිය. නමුත් එම අවස්ථාවේ ඇතිවිය හැකි අවදානම හොඳින් තක්සේරු කොට තිබූ බළසේනාධිපති, ඔවුන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව එම මුරපොළවල් පසුකිරීමට හැකි පරිදි කටයුතු සුදානම් කරන ලද්දේ ලුතිනන් සිල්වාට නොපෙනෙන ආශිර්වාදයක් සලසමිනි. කෙසේ හෝ එකී සියලු උත්සාහයන් අවසන අලුයමට පෙර තුවාලකරු ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල කරා රැගෙන යාමට සමත්විය. ඒ වෙන විටත් රෝහල් කාර්ය මණ්ඩලය ඔහු වෙනුවෙන් සියලු කටයුතු සලසා තිබූ අතර බලසේනාධිපතිගේ මැදිහත් වීමෙන් ලුතිනන් සිල්වාව අනුරාධපුරයට රැගෙන යාම සඳහා ත්‍රිකුණාමලය චයිනබේ කඳවුරෙහි Y-12 වර්ගයේ ගුවන් යානයක් පවා සූදානම් කොට තිබුණි. 


රෝහල වෙත රැගෙන ආ සැණින් ලුතිනන් සිල්වා එහි ඇති ශල්‍යාගාරය වෙත ඇතුළත් කෙරිණ. ඒ වෙන විට ඔහු සිහිමද තත්ත්වයේ පසුවුව ද ඔහුගේ සුරත තුවාල සිදුවූ තැනින් ඉවතට ගෙන නොතිබීම පුදුම සහගත විය. තම උදරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පවා වෙඩි වැදුණු තැනින් පිටතට මතුවීම හේතුවෙන් ඔහු එය සිය සුරතින් තදකරගෙන තිබුණේ වෙඩි වැදුණු තැන සිටමය. කෙසේ හෝ ඔහුගේ අත ඉන් නිදහස් වූයේ වෛද්‍යවරු ඊට ප්‍රතිකාර ලබාදෙන මොහොතේය. ඒ වෙන විට ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ ද ලේ වහනයක් සිදුවී තිබූ බැවින් එවා ඉවත් කිරීමට වෛද්‍යවරු අපමණ වෙහෙසක් ගත්හ. නමුත් ඒ අතරේ ලුතිනන් සිල්වා පූර්ණ ලෙසම සිහිසුන්ව ගියේ සියළුදෙනා තුළ ප්‍රශ්නාර්ථයක් ඇති කරමිනි. ඒ සමඟම ඔහුව වහාම අනුරාධපුර රෝහල වෙත යැවීමේ බලවත් අවශ්‍යතාව මතුවිය. අභ්‍යන්තර අවයවවලට පවා හානි සිදුවී තිබූ බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳ වෛද්‍ය කණ්ඩායම තුළ පැවතියේ අවිනිශ්චිත බවකි. කෙසේ හෝ ඒ වෙන විටත් එහි සුදානම්ව තිබූ ගුවන් යානයෙන් ප්‍රමාදයකින් තොරවම ඔහුව අනුරාධපුර රෝහල කරා රැගෙන යාමට කටයුතු කෙරිණ. එහිදී තුවාලකරු පිළිබඳ පැවති ජීවිත අවදානම නිසාම ඔහු සමඟ ගුවන් යානයේ වෛද්‍යවරයකුද ගමන් ගත්තේ වැඩි පරෙස්සමටය 


මෙලෙස කෙටි වේලාවක් තුළ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගොඩබෑ ගුවන් යානයෙන් රැගෙන ආ ලුතිනන් සිල්වාව එතැන් සිට වේලාසනින්ම සුදානම් කර තිබූ ගිලන් රථයක් මඟින් අනුරාධපුර මහ රෝහල කරා රැගෙන යන ලදී. එහිදී ඔහුව වාට්ටු අංක 06ට ඇතුළත් කෙරුණු අතර ඒ වෙනවිට අලුයම තුන පමණ වී තිබිණ. මේ අතර තවත් යමක් සිදුවෙමින් තිබිණ. එනම් බළසේනාධිපති කර්නල් ජන්මික ලියනගේ,  ලුතිනන් සිල්වා තුවාල වූ තැන පටන් ඔහුව අනුරාධපුර රෝහල වෙත රැගෙන ඒම දක්වා වූ කාලසීමාව මුළුල්ලේම සිය කඳවුරෙහි සංඥා මැදිරිය තුළටම වී හිඳිමින් තව නිලධාරීන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කළහැකි සෑම සම්බන්ධීකරණ කටයුත්තක්ම අඛණ්ඩව සිදුකරමින් සිටීමය. 


ලුතිනන් සිල්වා රෝහලට රැගෙන ආවද ඒ වෙන විට ඔහු වෙනුවෙන් තබා තිබූ සියළු බලාපොරොත්තු බිඳවැටී තිබුණේ අවාසනාවන්ත අයුරිනි. අනුරාධපුර රෝහලේ එම වාට්ටුභාර වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ තුවාලලත්  නිලධාරී මියගොස් ඇති බවය. මේ අතර, එදින අලුයම එම වාට්ටුව භාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කඩිනමින් එහි පැමිණියේ බරපතළ රෝගියෙකු වෙනුවෙන් හදිසි ශල්‍යකර්මයක් කිරීම සඳහාය. ඔහු නමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර සේනාරත්නය. කඩිමුඩියේ ශල්‍යාගාරය වෙත යන අතරේම ඔහු විමසා සිටින්නට වූයේ ලුතිනන් සිල්වා පිළිබඳවය. ඒ වෙන විටත් තුවාලකරු ගැන සියලු තොරතුරු ඔහු දැනසිට තිබුණි. නමුත් එහිදී රෝහල් වාට්ටුව භාර වෛද්‍යවරයාගේ නිගමනය වූයේ අදාළ තුවාලකරු මියගොස් ඇති බවය. නමුත් වෛද්‍ය සුධීර ඉන් සෑහීමකට පත් නොවීය. “කමක් නැහැ එයාව ඉක්මනින් තියටර් එකට එවන්න” අධිෂ්ඨානශීලී මුහුණින් ඔහු ශල්‍යගාරය වෙත පිවිසෙද් දී මියගොස් ඇති බවට නිගමනය කොට පසෙක දමා තිබූ ලුතිනන් සිල්වා වහා ශල්‍යාගාරය වෙත යොමුකෙරිණ.


(ඉතිරි කොටස ලබන සතියේ)