දින 21 ක් සිහිසුන්ව සිට පණ ලැබූ විරුවෙක්


සටන් බිම තුළ මියයාම් හෝ තුවාලවීම් යනු සාමාන්‍ය කරුණකි. ඒ අතර ද අනපේක්ෂිත සිදුවීම් මෙන්ම අදහාගත නොහැකි සත්‍යයන්ට ද මුහුණ පෑමට සිදුවේ. තිස් වසක් පුරා පැවති යුදමය කාල සීමාව මුළුල්ලේ සිදුව ඇති එවැනි අහඹු සිද්ධි ගැණිය නොහැකි තරම්ය. ඇතැම් ඒවා සමහරු දනිතත් බොහෝ සිදුවීම් අප්‍රකටය. ඊට මුහුණපෑ අය   හැරුණු විට   කිසි​ෙවකුත් ඒ පිළිබඳව නොදනිති. එසේම ඒවා ඉතා සංවේදී, නීරස සිදුවීම් වුව ද, වසංකළ නොහැකි එම සත්‍ය කතා වත්මන් පරපුර මෙන්ම අනාගත පරපුර ද දැනගත යුතුමය. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ සෑම සිදුවීමක් පිටුපසම ජීවිතයක් තිබූ හෙයිනි. 


ඒ 1998 වසර අග භාගයයි. කොටි ත්‍රස්තවාදය රට පුරා අඩු වැඩි වශයෙන් ව්‍යාප්තව පැවති කාලවකවානුවේ ත්‍රීකුණාමලය නිලාවේලි හි ස්ථාපිත 222 වැනි බළසේනා බලප්‍රදේශයේ ද නිරන්තරව පැවතියේ අවිනිශ්චිත බවකි. සාම්බලතිව්, එරක්කණ්ඩි, කුඹුරුපිටිය, සල්ෆයාරු, තිරියාය, තාවුල්වැව, ගෝමරන්කඩවල, මොරවැව, විල්ගම්වෙහෙර, කින්නියා ඇතුළු ප්‍රදේශ රැසක් එම බළසේනාවට අයිතිව තිබූ අතර, දමිළ ජනතාව විසූ ගම්මාන රාශියක් ද පැවති හෙයින් එහි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සුලභ විය. කාලතුවක්කු හමුදාවට අයත් කර්නල් ජන්මික ලියනගේ ගේ අණදීම යටතේ වූ එම බළසේනාව වෙත, ඉහත තත්ත්වය මත ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පැවරී තිබුණේ අසීමිත වගකීමකි. එනිසාම බළසේනාවේ ආරක්‍ෂාව පිණිස රෙජිමේන්තු කිහිපයකට අයත් භට පිරිස් ස්ථානගතව සිටි අතර, ප්‍රදේශය අවට සීමිත ක්‍රියාන්විත දියත්කිරීම සඳහා නිලධාරියකු හා තිස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද එහි නිරන්තරව සූදානම් ව තැබිණ. 


එවක එම බළසේනාවේ බුද්ධි නිලධාරී ලෙස කටයුතු කරන ලද්දේ 2 ගජබා රෙජිමේන්තුවට අයත් කපිතාන් නිශාන්ත හෙට්ටිආරච්චි නම් නිලධාරියෙකි. දිනක් ඔහු වෙත ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් පිළිබඳ හෝඩුවාවක් ලැබිණි. ඒ යාබද ගමක පදිංචි මුස්ලිම් ජාතිකයකු මාර්ගයෙනි. කඩ හිමිකරුවකු වූ ඔහු, කලක් ත්‍රස්තවාදීන්ට ද උදව් උපකාර කොට තිබූ අයෙකි. නමුත්, පසු කාලීනව එම සාමාජිකයින් ඔහුගෙන් අනවශ්‍ය ලෙස කප්පම් ගැනීම, පහරදීම් හා අඩතේට්ටම් සිදුකිරීම නිසා ඔහුට එම සංවිධානය සමඟ පැවතියේ වෛරයකි. එකල දිගින් දිගටම ත්‍රස්තවාදීන්ගේ පීඩනයට ලක්වූ සාමාන්‍ය ජනතාව හමුදාව වෙත එලෙස තොරතුරු සැපයීම සුලභව සිදුවිය. මෙම මුස්ලිම් ජාතික කඩහිමියා ද රහසේම හමුදාව වෙත තොරතුරු සපයන්නට වූයේ තවදුරටත් ත්‍රස්තවාදීන්ගේ පීඩනය දරාගත නොහැකිව තිබූ බැවිනි.


එලෙස ලද විශ්වාසදායක තොරතුර පිළිබඳ බුද්ධි නිලධාරී විසින් බළසේනාධිපති දැනුවත් කිරීමෙන් අනතුරුව, අදාළ ප්‍රදේශයේ සීමිත ක්‍රියාන්විතයක් දියත් කිරීමට සැලසුම් කෙරිණ. ඒ සඳහා බළසේනාවේ ස්ථානගත හදිසි ක්‍රියාන්විත සඳහා වෙන්වූ ඛණ්ඩයේ 16 දෙනකුගෙන් යුත් පිරිසක් සූදානම් කෙරුණු අතර, එදින එම පිරිසට නායකත්වය දෙනු ලැබුවේ ලුතිනන් ලලිත් සිල්වා නම් නිලධාරියෙකි. 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් අයකු වූ ඔහු තම ඒකක කණ්ඩායමක් සමඟ බළසේනාවේ ආරක්‍ෂක කටයුතු සඳහා යාව කටයුතු කළ නිලධාරියෙකි. ඒ අනුව ලැබී තිබූ සියලු බුද්ධි තොරතුරු විමර්ශනය කිරීමෙන් අනතුරුව, එම නිලධාරීගේ නායකත්වයෙන් පැය 72ක ක්‍රියාන්විතයක් අරඹන ලද්දේ 1998 දෙසැම්බර් 16 වැනි දින මැදියමෙහිය. 

 


222 බළසේනාවේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරකින් යුත් ප්‍රදේශයේ තැනකට අලුයම් කාලයේ පැමිණෙන ත්‍රස්තවාදීන් පිරිසක් වෙත රැකසිට පහරදීම එම ක්‍රියාන්විතයේ අරමුණ විය. ඒ අනුව ලුතිනන් ලලිත් සිල්වා සමඟ අටදෙනකුගේ කණ්ඩායමකුත්, සෙසු අටදෙනා සැරයන් නන්දන යන අය සමඟද ගමන් ඇරඹූහ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බහුල එම ප්‍රදේශයේ නිරතුරු සිවිල් වැසියන් ද ගැවසුණ බැවින් රහස්‍යභාවය තබාගෙන භූමියේ ගමන් කිරීම ඔවුනට බෙහෙවින් අසීරු කටයුත්තක් විය. කෙසේ හෝ බොහෝ විමසිලිමත්ව හා පරිස්සම් සහගතව ගමනේ නියැළී ඔවුහු එදින අලුයම වෙද්දී නිශ්චිත ස්ථානය කරා ළඟාවීමට සමත්වූහ. 


ලුතිනන් සිල්වා සමඟ රැකසිට පහරදීමේ ක්‍රියාන්විතය සඳහා සිය භට පිරිස අදාළ ස්ථානයට ළඟා වී නියමිත තැන ස්ථානගත වෙනතෙක්ම ඒකක බුද්ධි නිලධාරී වූ කපිතාන් හෙට්ටිආරච්චි ද බළසේනා මූලස්ථානයේ සංඥා මැදිරියට වී අඛණ්ඩව විමසිලිමත්ව සිටියේය. එය සතුරු භූමියේ කෙරෙන ක්‍රියාකාරකමක් බැවින් කිසිදු අත්වැරැද්දකට ඉඩක් නොමැති බව ඔහු දනී. අනතුරුව ඔහු සැලසුම් කළ පරිදි ක්‍රියාන්විතයේ පළමු අදියර නිමවූ පසු නිදාගැනීමට යන ලද්දේ මැදියමද ඉක්මවාය. 


මේ අතර ලුතිනන් ලලිත් සිල්වා සමඟ කණ්ඩායම සතුරු පෙරමඟ රැකවල්ලා ඉදිරියෙන් ද සැරයන් නන්දන සමඟ වූ කණ්ඩායම පැති ආරක්ෂාව යොදමින් නියමිත තැන ස්ථානගත වෙන්නට වූහ. මෙලෙස කාලය තප්පර විනාඩි ගතවෙද්දී ඉදිරියේ වූ අතුරු මාර්ග දෙකක් එකිනෙක මුණගැහෙන හංදිය ලුතිනන් සිල්වාගේ කණ්ඩායමේ සෘජු ඉලක්කය වූයේය. නිහඬතාව රැඳි අඳුරේ ඔවුනගේ දෑස් ඉදිරියට දැල්වී තිබුණේ ඇහිපිය වැටෙන්නට හෝ ඉඩක් නොතබාය. සුළු අත්වැරැද්දකින් වුව රහස්‍යභාවය ගිලිහී ගියහොත් ඇතිවිය හැකි අවදානමේ තරම ඔවුහු හොඳින් දැන සිටියහ. එනිසාමදෝ එකිනෙකාගේ හුස්ම වැටෙන වේගය පවා සීරුවෙන් සිදුවූ සෙයකි. 


මෙලෙස ගතවෙන්නට වූයේ තවත් මිනිත්තු කිහිපයකි. කව්රුන් හෝ අතුරු මාර්ගයට සමාන්තරව භූමිය තුළින් ගමන් ගන්නා අයුරක් පෙනෙන්නට වූයේ කළු පැහැති ඡායා මතුකරමිනි. විපරම හා විමසිල්ල රැඳි භට පිරිස්වල ත්‍රීව්‍ර වූ දෑස් අඛණ්ඩව ඒ වෙතම එල්ල වෙද්දී ත්‍රස්තවාදීන් රැසක් එකා පිටුපස එකා වෙන ලෙස ඉදිරියෙන් ගමන් කරන්නට වූයේ ලැබී තිබූ බුද්ධි තොරතුරුවල සත්‍යතාව මොනවට පැහැදිළි කරමිනි. ඔවුන්ද භූමි උපක්‍රම දත් උපායශීලී උන් බැව් පැහැදිළි වූයේ ඒ කිසිවකුත් මාර්ගය මතින් ගමන් නොකිරීමෙනි. එසේම ඔවුන් සෑම අයෙක් අතම සුළු අවි සහ බර අවි රැඳි බැව් ඔවුන් විපරමින් ගමනේ යෙදෙන ආකාරයෙන් සනාථ විය. සියල්ල ඇස් මානයේ එලෙස සිදුවෙද්දී, තවදුරටත් අපතේ හරින්නට කාලයක් ලුතිනන් සිල්වාගේ කණ්ඩායමේ කිසිවකුට ඉතිරි නොවීය. ඒ සමගම  ‘‘ෆයර්” කිසිවකු මොරගා කිව් විධානයත් සමඟම සතුරන් වෙත වෙඩි වරුසාවක් එල්ල කරන්නට වූයේ වැස්සක් පරිද්දෙනි. 


එලෙස ක්ෂණිකව එල්ල වූ ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදීන් අන්දමන්ද වූ සෙයකි. නමුත්, ඒ අතරම අනපේක්ෂිත යමක් සිදුවෙමින් තිබිණ. එනම් හමුදා භටපිරිස් බලාපොරොත්තු වූවාට වඩා වැඩි ත්‍රස්තවාදීන් පිරිසක් එහි පැමිණ තිබීමය. යාබදව සිටි සෙසු ත්‍රස්ත කණ්ඩායම් වෙතින් එහිදී හමුදා භටපිරිස්වලට එල්ලවෙන්නට වූයේ නොසිතූ ප්‍රතිප්‍රහාරයකි. මෙලෙස දෙපාර්ශ්වය අතර විනාඩි කිහිපයක් පුරා පැවති අඛණ්ඩ ගැටුම අතරතුර අඳුරේ ඇදී ආ වෙඩි උණ්ඩයක් ලුතිනන් සිල්වාගේ උදරයේ දකුණුපසින් ඇතුළු වූයේ සියල්ල උඩුයටිකුරු කරමිනි. ඒ සමඟම යාබදව සිටි තවත් සෙබළකුගේ අතකටද වෙඩි ප්‍රහාරයක් එල්ලවිය. 


තුවාල ලද සැණින් නිරෝෂන් නමැති තම සහායක සෙබළා වෙත ඒ බව දැනුම් දුන් සිල්වා, ඒ වෙන විටත් ශරීර කොටස් ඉවතට පැන තිබු තම උදරයේ තුවාලය සුරතින් තද කරගත්තේය. දෙපිරිස අතර ඒ වෙනවිටත් ප්‍රහාර සිදුවෙමින් පැවති අතර සෙබළ නිරෝෂන් එහිදී බඩගාගෙන ගොස් එම සිදුවීම පිළිබඳ තම කණ්ඩායමේ සිටි කෝප්‍රල් පියරත්න දැනුවත් කිරීමට කටයුතු යෙදීය. ඒ සමගම කෝප්‍රල් පියරත්න වහ වහා තම නිලධාරියා වෙත බඩගාගෙන පැමිණ ඔහුව ඔසවාගනිමින් සිටි තැනින් පසුපසට ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ලද්දේ සතුරු වෙඩි ප්‍රහාර අතරේමය. ඒ සමගම යාබදව ස්ථානගතව සිටි සැරයන් නන්දනගේ කණ්ඩායමද ඔවුනට එකතු වූ අතර අනතුරුව වෙඩි තබමින්ම ඔවුහු තුවාලකරුවන්ද සමග පසුපසට පැමිණීමට කටයුතු කළහ.


මේ අතර, ඒ වෙනවිට බළසේනා මූලස්ථානයේ නින්දේ පසුවූ බුද්ධි නිලධාරී හදිසියේ අවදිවූයේ විශාල තිගැස්මක් සමඟිනි. එහිදී ඔහුගේ සිරුර දහඩියෙන් නැහැවී තිබූ අතර, නින්දේ දුටු සිහිනයක් හේතුවෙන් හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. ඒ වෙනවිට ඔහු නින්දට වැටී පැය දෙකතුනකට වැඩි නොවූ නමුත්, එම කෙටි කාලසීමාව තුළ වුව ඔහු දැක තිබුණේ භයානක සිහිනයකි. එනම් කඳවුරෙන් පිටතට ගිය භටපිරිසට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් ලුතිනන් සිල්වා ඇතුළු සෙබළු කිහිපදෙනෙක්ම බරපතළ ලෙස තුවාල ලබා උදව් ඉල්ලමින් සිටින බවත්ය. පියවි සිහියට එත්ම එය සිහිනයක් බැව් දැනුණද ඒවෙන විටත් අදාළ නිලධාරියා සමග පිරිසක් කඳවුර එළියේ ක්‍රියාන්විතයක නිරතව සිටින බව කපිතාන් හෙට්ටිආරච්චිට ක්ෂණිකව සිහිවිය. හෙතෙම එසැණින් සංඥා මැදිරිය කරා දිවයන්නට වූයේ සිතතුළ දෙගිඩියාවකින් යුතුවය.
සංඥා මැදිරියට ආසන්නවෙත්ම ඔහුට ඇසුණේ එහි පණිවුඩ හුවමාරු යන්ත්‍රය ඔස්සේ කිසිවකු නැවත නැවත කතාකරමින් උදව් ඉල්ලන ආකාරයත් එහි සංඥා ක්‍රියාකරුවන් දෙදෙනාටම නින්ද ගොස් තිබු ආකාරයත්ය. එහිද ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු, එම සෙබළුන්ට තරවටු කරමින් එළියේ සිටි භටපිරිස පිළිබඳ විමසන්නට විය. එහිදී ඔවුනට සත්‍ය ලෙසම ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, එහිදී ලුතිනන් සිල්වා බරපතළ ලෙස තුවාල ලබා ඇතිබවත් දැන ගන්නට ලැබිණ. තමා සිහිනෙන් දුටු දේ එලෙස සත්‍ය වී තිබිම කපිතාන් හෙට්ටිආරච්චිට ඇදහිය නොහැකි විය. එහිදී මොහොතක් හෝ අපතේ නොහැර හෙතෙම බළසේනාධිපති වෙත ගොස් උද්ගතව ඇති තත්ත්වය පිළිබද දැනුවත් කළ අතර එහිදී බළසේනාධිපති වහා මැදිහත්ව සිද්ධිය වූ ප්‍රදේශයට අතිරේක භට පිරිසක් පිටත්කර යැවීමට ද, තුවාල කරුවන් රැගෙන ඒමටද අවශ්‍ය කටයුතු යෙදීය.


බළසේනාවේ සංඥා නිලධාරී ලෙස කටයුතු කරන ලද්දේ 2/ලුතිනන් කණිෂ්ක ජයවර්ධනය. තොරතුරු ලද වහාම ඔහුද සංඥා මැදිරියට දිවවිත් තුවාල ලත් තම සහෝදර නිලධාරියා රෝහල කරා රැගෙනයාම වෙනුවෙන් අවැසි පණිවුඩ අදාළ ස්ථාන සමඟ හුවමාරු කරගන්නට විය. ඒ වෙනවිටත් තුවාලකරු රැගෙනඒම සඳහා යුනිකෝන් රථයක් පිටත්කර යවා තිබුණු නමුත්, උද්ගතව ඇති අවදානම වටහාගත් බළසේනාධිපති සිය කැබ් රථය ද තුවාල ලත් නිලධාරියා රැගෙන ඒම සඳහා පිටත්කර හැරියේය. එහිදී සංඥා නිලධාරීයා ද කිසිවකුගේ දැනුම්දීමකින් තොරවම එම කැබ් රථයට ගොඩවූයේ තම සහෝදර නිලධාරියා පිළිබඳ වූ අසීමිත හැඟීමෙනි.


(කැලේ මැද්දෙන් රෝහල කරා ගිය අවදානම් ගමන ලබන සතියේ)