දැන් හඳුන්කූරු විකුණන ’ක්‍රිකට් කැප්ටන් ’


පිටකොටුවෙන් ජර්සි අරන් ලෝක කුසලානයට ගිහින් සීයකුත් ගහලා 

ලෝක කුසලාන තරගාවලියේදී

 

ක්‍රිකට් කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන ක්‍රීඩාවක්. අපේ රටේ ගත්තත් වෘත්තීය මට්ටමට කිට්ටු වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් ප්‍රධාන ධාරාවෙන් පිටත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු ක්‍රීඩකයින් ගේ ජීවන තත්ත්වය ඒ ආකාරයෙන් යහපත් මට්ටමක නොතිබෙන්න පුළුවන්. අද අපි කියන්න යන්නේ අන්න ඒ ආකාරයේ අනුවේදනීය කතාවක්.


මා ඉදිරිපිට සිටින අධිෂ්ඨානශීලී මිනිසා දශක දෙකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. 1998 වසරේ ඉන්දියාවේ පැවති ප්‍රථම දෘෂ්‍යාබාධිත ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ ඔහුගේ නායකත්වය යටතේ.
චන්දන සූරිආරච්චි නම් ඔහුට කියන්නට ඇති කතාවයි මේ.


”‍අනූ අට අවුරුද්දේ මුල්ම වරට දෘෂ්‍යාබාධිත ක්‍රීඩකයින් වෙනුවෙන් ලෝක කුසලානයක් පැවත්වුණා. ඒක තිබුණේ ඉන්දියාවේ. මම මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ මේ තරගාවලියේදී. ඇත්තටම කිව්වොත් ඒ කණ්ඩායමට නායකත්වය දුන්නෙත් මම. 


මේ තරගාවලිය ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකානු දෘෂ්‍යාබාධිත කණ්ඩායම. ඔවුන්ට එරෙහිව නවදිල්ලියේ පැවති තරගයේදී මට ශතකයක් වාර්තා කරගන්න පුළුවන් වුණා. ඒක තමයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ මුල්ම ශතකය.


අපි හැමදාම ලෝකයේ මුල්ම කණ්ඩායම් කිහිපය අතරේ හිටියත් ඇත්තටම අපේ කණ්ඩායමට හැමදාම ලැබුණේ කුඩම්මාගේ සැලකිලි.
ක්‍රිකට් කිව්වොත් ඔබට පෙනෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන වැනි දේ පමණයි. ප්‍රධාන පෙළේ ක්‍රිකට් හැරුණාම අන්තර් සමාජ මට්ටමෙන්, විවිධ වයස් මට්ටම්වලින් පාසල් ක්‍රිකට්, කාන්තා ක්‍රිකට්, දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ආදී තවත් ක්‍රිකට් ස්ථර කිහිපයක් තියනවා.
ශ්‍රී ලංකාවේ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් තිබෙන බවත් ඔවුන් ඒ සෑම ලෝක කුසලාන තරගාවලියකදීම පාහේ මුල් ස්ථාන කිහිපයේ සිටින බවත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක්.


මගේ නායකත්වයෙන් 2012 සහ 2014 ලෝක කුසලාන තරගාවලි වලදි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන ඒමට සමත්වුණා.
අනෙකුත් ක්‍රිකට් රටාවන් ගත්තාම අපිට ඒ තරම් ලොකු අනුග්‍රාහකත්වයක් ලැබෙන්නේ නෑ. නමුත් අපි සෑම ලෝක කුසලාන තරගයකදීම රටේ ගෞරවය ඉහළින් තබන්න සමත් වෙනවා.


හැම ලෝක කුසලාන තරගයකදීම අපේ ගමන නතරවුණේ අති දක්ෂ ඉන්දියානු හෝ පාකිස්තානු කණ්ඩායමක් ඉදිරියේ. ඔවුන් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින්. ඔවුන්ට අපිට වගේ ජීවත් වෙන්න වෙනත් ප්‍රශ්න නැහැ.


අවුරුදු විසිපහක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තවමත් ජාතික කණ්ඩායම නියෝජනය කරන මට මේ වෙද්දිත් ස්ථීර ආදායම් මාර්ගයක් නැහැ. දෘෂ්‍යාබාධිත කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය එයයි. තවත් ටික කාලයකින් මා ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ නම් අනාගතය ඉතාම අවිනිශ්චිතයි.
ලෝක කුසලානයට යන්න ඇතැම් විට පිටකොටුව පීරල එකම ජාතියේ ජර්සි පහළොවක්  හොයාගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. නමුත් ඇත්ත කතාව එයයි. සමහරවිට අනුග්‍රාහකයෙකුගෙන් ජර්සි ලැබුණොත් අපි ඒවා ඊළඟ ලෝක කුසලානයටත් භාවිතා කරනවා.


2012 ලෝක කුසලාන තරගාවලියට යන්නත් ඒ ආකාරයෙන් ජර්සි හොයන්න සිදුවුණා. ඒ වග දැනගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ගේ අනුග්‍රාහකත්වයෙන් අපිට ජර්සි සහ පුහුණුවීම්වලට අඳින ඇඳුම් කට්ටල කිහිපයක් ලැබුණා.


පසුව අප දිගින් දිගටම ජයග්‍රහණ ගෙනෙන විට අනුග්‍රාහකයින් මගින් විටින් විට ඇඳුම් කට්ටල අපට ලැබුණා. නමුත් ඉඳහිට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා අනුග්‍රාහකත්වයක් ලැබුණේ ක්‍රීඩා ඇමතිවරයා හරහා ලැබුණ අනුමැතියකින් විතරයි. අපේ දස්කම් උපරිමයෙන් ලබා දුන් නිසා පමණයි ක්‍රීඩා ඇමතිවරයාගෙන් පවා එවන් සහනයක් ලැබුණේ.
බොහෝමයක් දෙනා මේ කතා දන්නේ නැහැ. නමුත් මම මුල ඉඳන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් හා සම්බන්ධ නිසා මම මේ හැම දෙයක්ම දන්නවා. අපි විශාල දුක් ගැහැට මැද මෙතැනට ආවේ. අපිට ලැබුණු සුළු දෙයක් හෝ ලැබුණේ අපි දක්වපු දස්කම් නිසා පමණයි.


මම මේ දවස්වල කරන්නේ හඳුන්කූරු සම්බන්ධ ස්වයං රැකියාවක්. එයින් විශාල ආදායමක් නම් ලැබෙන්නේ නෑ. මේ දිනවල ගාලු‍ ප්‍රදේශයට ලැබෙන වැස්සත් එක්ක ඒකත් කරගන්න හරිම අමාරුයි. ගෙදර බඩු මුට්ටු උකසට තියලා තමයි එදිනෙදා ජීවිතය පවා ගැටගහගන්නේ.


අපිට ආබාධිත දීමනාව ලබා දෙන්න කියල රජයෙන් ඉල්ලීමක් කළ නමුත් ඒක තවම ලැබුණේ නැහැ. මම ආධාර ඉල්ලලා කාටවත් කරදර කරන්න කැමතිත් නෑ. මේ වෙලාවේ කාටහරි මැදිහත් වෙලා මට රස්සාවක් හොයලා දෙන්න පුළුවන් නම් මම ඔහුට හෝ ඇයට සදා ණයගැතියි.”‍


ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම නියෝජනය කරන්නෙත් අපේම රට. ඔවුන් ලබන ජයග්‍රහණ හරහා අවසානයේ ගෞරවය ගෙනෙන්නෙත් රටට. නමුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතා දුක්ඛදායකයි. කිසියම් වගකිවයුත්තෙක් මැදහත් වී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට යමක් කළ හැකි නම් එය විශාල පුණ්‍යකර්මයක් බවයි අපට පැවසිය හැක්කේ.

 

 

 

සටහන: 
■ කංචන පිටිගල