දළදාව රැකදුන් උඩරට විහාර වංශය


 

දඹරන් බුද්ධ ප්‍රතිමාව වඩා හිඳුවා ලීමට එකල රජු විසින් පූජා කරන ලද ඇත්දළින් වටිනා මැණික් ඔබ්බවා නිමවන ලද දළකඩමය මකර තොරණද නිධන් සොරු හා පුරාවස්තු සොරුන් විසින් පැහැරගන්නා ලදී

සකල ලෝ වැසි සිංහල බෞද්ධ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ලබන බදාදට යෙදී තිබේ. ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික ආගමික වශයෙන් ඓතිහාසික වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇති බව පුරාණ ලේඛනයන්හි දැක්වේ. සමස්ත ලෝකවාසී බෞද්ධයින්ට ඇසළ පොහොය ශාසනික වශයෙන් වැදගත් වීමට කරුණු කාරණා කිහිපයක් යෙදී ඇත. ඒවා නම් අප මහ සිදුහත් බෝසතුන් වහන්සේ බුදු වීමට පස් මහ බැලුම් බැලීමේන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායාදේවින් වහන්සේගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පෝය දිනකදීය.


එසේම උන්වහන්සේ ලෝක සත්ත්වයින් සසර දුකින් මුදවාලනු පිණිස ගිහිගෙය හැර මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත් ගිහිගෙයින් නික්ම සය වසරකට පසු ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග මහණුන් උදෙසා ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිදු කරන්නේද ඇසළ පොහෝ දිනකයි. තවද තීර්ථකයන්ගේ හීන මානය බිඳ ඔවුන් දමනය කරනු පිණිස අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්ඛ මුලයෙහිදී යමා මහා පෙළහර පාන්නේද මතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට විජම්බණ දේශනා කරන්නේද බණ අසා කොණ්ඩඤ්ඤ තාපසතුමාගේ සෝවාන් වීම සිදුවන්නේද ඇසළ පොහොය දිනයකදීය. එසේම ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩමකර වස් වැසුවෙ මේ දිනය විවාරස්ථානවල භික්ෂූන් වහන්සේලා පෙරවස් විසීම සමාරම්භ කරන්නේද ඇසළ පොහෝ දිනකයි. ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කරන්නේද මෙම පොහෝ දිනයේදීය.


ශ්‍රී ලාංකික බෞද්ධයින්ටද වැදගත් වෙන කාරණා කිහිපයක් මෙම පොහොයට යෙදී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොවූයෙන් වර්තමානයේ තායිලන්තය නමින් හඳුන්වන සියම් රටින් ප්‍රවර උපාලි මහ තෙරුන් වහන්සේ ඇතුළු පිරිස වඩම්මවා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපය කරන්නේද බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රඳුන් තනන්නට මඟුල් ගල තැබීම හා එහි ධාතු නිධානය ප්‍රතිහාර්යයන් මධ්‍යයේ සිදුවෙන්නේද ඇසළ පොහෝ දිනකයි. ශ්‍රී ලාංකිකයින් ඉමහත් ශූද්ධාවෙන් පෙළගැසෙන කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු දවස කලිගු දේශයෙන් හේමමාල කුමරිය හා දන්ත කුමරුන් විසින් ශ්‍රී ලංකාවට වඩම්මවන ලද දළදා වහන්සේ මහජනයා උදෙසා ප්‍රදර්ශනය කරමින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ සමරම්භය සිදු වෙන්නේද ඇසළ පොහෝ දිනකදීය.


එවක් පටන් අප අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ සුවාසූ දහසක් වූ ධර්මස්ඛන්ධය ස්පර්ශ වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට ජීවමාන බුදුන් වහන්සේ හා සමානව පුද සත්කාර කරමින් එකල අපේ වීර ධීර සිංහල බෞද්ධ අභීත ගිහි පැවිදි විරු දෙවිවරුන් උන්වහන්සේව සිය පණ දෙවෙනි කොට ආරක්‍ෂා කරන්නට විය. දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය හා සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ සේද සලකන්නට විය.


පසු කාලීනව ශ්‍රී ලංකාවට එල්ල වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වන පරසතුරු මංකොල්ල කාරයින්ගේ ආක්‍රමණ හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගයේ එවක් පටන් වැඩ සිටි ශ්‍රී දළදා වහන්සේව ආරක්‍ෂා කරනු පිණිස කන්ද උඩරට හා සබරගමුවේ රහසිගත ගල්ලෙන් වෙහෙර විහාරස්ථානයන්හි සඳහා තැබීමට එකල ගිහි පැවිදි විරු දෙව්වරුන් කටයුතු කළහ. සබරගමුවේ රත්නපුර, කුරුවිට දෙල්ගමුව රජ මහා විහාරයේ ඇති ඓතිහාසික පූජනීය දළදා වහන්සේව පුරා වසර 43 ක් සඟවා තැබූ අදටත් වන්දනා මාන කළ හැකි පූජනීය ස්මාරකයකි.  මේ ලිපියෙන් මා උත්සහා ගන්නේ දළදා වහන්සේව සඟවා තැබූ කන්ද උඩරට රාජධානියේ එවැනි වෙහෙර විහාර ඓතිහාසික ස්ථාන පිළිබඳව කෙටි අවබෝධයක් ලබා දීමටයි. මන්දයත් එවැනි ස්ථාන විරුවන් නොසිටින්නට අද අපට වන්දනා කරන්නට දළදා වහන්සේ නමක් ඉතිරි නොවන්නට ඉඩ තිබුණි.


පළමු වැනි විමලධර්මසූරිය රජතුමා (1592- 1603) මහනුවර දළදා මන්දිරයක් කරවා කුරුවිට දෙල්ගමුව රජ මහා විහාරයෙහි සඟවන ලද දළදා වහන්සේව වඩම්මවා පුද පූජා පවත්වා ඇත. දළදා වහන්සේ තමන් සතු වීම රාජ්‍යත්වයේ උරුමයක් ලෙස ලක්වැසියන් සැලකූ බැවි, බටහිර පරදේශක්කාර සතුරු මංකොල්ලකාරයින් දළදා වහන්සේව අත්පත් කර ගැනීමටයි මාන බැලුවේ.


පරසතුරු ආක්‍රමණ නිසා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් දළදා වහන්සේව වඩම්මවාගෙන ගොස් සඟවන්නේ මැදමහනුවරය සෙනරත් රජු කලක් (1604-1634) කීර්ති ශ්‍රී රාජසිංහ රජු කලත් පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ හේතුවෙන් දළදා වහන්සේව කෙටි කලක් මැදමහනුවර දළදා මාලිගාවක් කරවා තැන්පත් කර ඇත.
මහනුවර මහියංගණ මාර්ගයේ කි.මී. 32 ක පමණ දුරින් කඳුකර පෙදෙසක මැදමහනුවර දළදා මාලිගය තිබූ ස්ථානයේ මැදමහනුවර රජ මහා විහාරය ඉදිකර ඇත. පැරණි දළදා කරඬුවක් ඇතුළු ඓතිහාසික නෂ්ටාවශේෂ බොහෝමයක් මෙහි විසිර පවතී.


ඓතිහාසික ගනේගල පුරාණ ලෙන් විහාරයේ දළදා වහන්සේ කලක් සඟවා තැබූ බව කෙවුල්ගම හා බඹරගල තුඩපත්හි දැක්වේ. මහනුවර හුන්නස්ගිරියේ සිට කි.මී. 7 ක පමණ දුරින් මෙම ලෙන් විහාරය පිහිටා ඇත. දුෂ්කර වනගොමු මධ්‍යයේ පිහිටා ඇත. ලන්දේසි ආක්‍රමණ හේතුවෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මහනුවර දළදා මාලිගාවෙන් දළදා වහන්සේව කෙවුල්ගම විහාරයට වඩම්මවා මාස 9 ක පමණ කාලයක් රහසිගතව පුදසත්කාර පවත්වා තිබේ. එසේම කන්ද උඩරට කිනිකදුර ගල්ලෙහිත්, නාවනගල කන්දෙත්, මීමුරෙත් දළදා වහන්සේව ආරක්‍ෂාව පිණිස සඟවා තැබූ බව පැවසේ. තවත් කලෙක ආරක්ෂාව පිණිස කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා වහන්සේ වසර 3 ක් කෙවුල්ගම ගනේගල ගල්ලෙන් රජ මහා විහාරයේ සඟවා පුද සත්කාර කළ බවද සඳහන් වේ. රාජාධිරාජසිංහ රජුද මෙම විහාරයට ගම්වර පූජා කොට ඇත. මෙම කාලයේ මෙහි විහාරාධිපති වූයේ අති පූජනීය රඹුක්වැල්ලේ රතනජෝති නම් මහා යතිවරයාණන්ය. පැරණි අවශේෂ බොහෝමයක් අභාවයට ගොස් ඇති නමුදු එකල දළදා වහන්සේ සඟවා තිබූ බව කියන එපැරණි දැව කරඬුවක් අදටත් දක්නට ඇත.


බඹරගල තුඩපතෙහි සඳහන් පරිදි කෙවුල්ගම ලෙන් විහාරයෙහි සඟවා තැබූ දළදා වහන්සේ මෙම ගමට යාබද පමුණුතැන්න ගම්මානයේ වනපියසක පිහිටි කිරිකඳුර (කිනිකඳුර) නම් ලෙනක ටික දිනක් සඟවා තබා ඇත. වර්ෂ 1765 දී හා 1802 දී ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ අවස්ථාවන්හිදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා වහන්සේව ආරක්‍ෂාව පිණිස හඟුරන්කෙත මැදපිටිය අරත්තන රජ මහා විහාරයේ සඟවා තබා වතාවත් කළ බව මන්දාරම්පුර පුවතෙහි හා දළදා වින්තිය නම් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වේ.
ක්‍රි.ව. 1802- 1803 කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසි ආක්‍රමණ හේතුවෙන් අරත්තනට සමීපයෙහි වූ කිතුල්පේ රාජ මහා විහාරයේ දළදා වහන්සේ සඟවා තැබූ බව දළදා වංශ කතාවේ කියැවේ. දළදා වහන්සේගේ වැඩි රැකවරණය පතා පසු කාලීනව හේවාහැට, වෑගම පිහිටි ඉපැරණි ලෙන් විහාරයක උන්වහන්සේව සඟවන ලද බව මෙම විහාරයේ ස්ථාපිත 15 වැනි සියවසට අයත් ඉපැරණි ශිලා ලේඛනයක සඳහන්වෙයි. මෙම විහාරය ගම්පොළ රාජධානි සමයේ හෙණකද බිසෝබණ්ඩාර දේවිය විසින් තැනවූ බවද කියවේ.
බඹරගල රජ මහා විහාරස්ථ ඉපැරණි පුස්කොළ පත් ඉරුවක දැක්වෙන පරිදි කන්ද උඩරට ඉංග්‍රීසි සතුරු ආක්‍රමණ උත්සන්න වූ විට රඹුක්වැල්ලේ රතනජෝති නාහිමියෝ ක්‍රි.ව. 1814 දී දළදා හාමුදුරුවෝ සුරක්ෂිතව නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරයට රැගෙන ගොස් තිබේ. අවුරුද්දක් වැනි කාලයක් කොත්මලේ ඓතිහාසික පුසුල්පිටිය විහාර පරිශ්‍රයේ වූ සපුගසක බෙනයක දළදා වහන්සේ සඟවා තබා දිවි හිමියෙන් ආරක්‍ෂා කොට නියමිත පුද සත්කාර ඉටුකර ඇත. එවක් පටන් මෙම පූජනීය ශාකය ‘කොත්මලේ දළදා සපුව’ නමින් අද දක්වාම ජීවමානව සැදැහැති ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව ඇත.
මහනුවර යුගයට අයත් බිතු සිතුවමින් හැඩගැන්වුණු රංපුහුල් නිධානයක් මත ඉදිවුණු සුවිසල් දෙමහල් ටැම්පිට විහාරයකින්ද, දෙතිස්ඵලරූහ බෝධීන් වහන්සේ නමකින් ප්‍රධාන ඓතිහාසික විහාරාංග රැසකින් සමන්විත තුරුගොමු මැදිව පිහිටි පුසුල්පිටි විහාරය දුටුගැමුණු නිරිඳුන්ගේද, ලංකාවේ අවසන් මහ රහතන්වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේගේද පාදස්පර්ශයෙන් පිවිතුරු වූ පිං බිමකි.


මෙකී පිංබිම නිධන් සොරුන්ගේ පාපතර ග්‍රහණයට නිරන්තරයෙන් ලක්වෙති. මලියදේව මහරහතුන් විසින් වැඩම වූ දඹරන් බුද්ධ ප්‍රතිමාවද සොරාගෙන ඇත. දුටුගැමුණු නිරිඳුගේ රාජාභිෂේකය සිහිවීම පිණිස ඉදිකර ඇති කුඩා චෛත්‍ය වහන්සේද නිධන් සොරු බිඳ ඇත.
දඹරන් බුද්ධ ප්‍රතිමාව වඩා හිඳුවා ලීමට එකල රජු විසින් පූජා කරන ලද ඇත්දළින් වටිනා මැණික් ඔබ්බවා නිමවන ලද දළකඩමය මකර තොරණද නිදන් සොරුන් හා පුරාවස්තු සොරුන් විසින් පැහැරගන්නා ලදී. 


මෙලෙස ආරක්‍ෂාව පතා කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ 1815 උඩරට ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව එවක මහනායක හිමිවරුන් හා ප්‍රභූන් විසින් 1815 අප්‍රේල් මස 24 වැනි දින කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සිට හිඳගල රජ මහා විහාරයට වඩම්මවා අනතුරුව සෙංකඩගල ශ්‍රී දළදා මාලිගයට පෙරහරින් වැඩමවා එහි කරඬුවක තැන්පත් කොට එදා සිට අද දක්වාම පුද සත්කාර පවත්වාගෙන එයි.


සියලු ලෝක සත්ත්වයින්ට පින්බර ඇසළ මංගල්‍යයක් වේවා...

ශ්‍රී ලංකා සිරි දළදා පහන්ක්‍රම සංගමයේ ලේඛකාධිකාරී, ශ්‍රී දළදා පිහිට පුවත්පතේ කර්තෘ, ලේඛක, කොත්මලේ 


■ නාරද ඩී. ලියනආරච්චි 
([email protected])