දහ දොහක් මඟුල් කෑ බෘනායි රජ මගුල


 

බෲනායි අග්නිදිග ආසියාවේ, බෝර්නියෝ දූපතේ පිහිටි තෙල් සම්පතින් පොහොසත් පුංචි රාජ්‍යයකි. එක් පැත්තකින් මැලේසියාවටත්, අනෙක් පැත්තෙන් දකුණු චීන මුහුදටත් මැදිව පිහිටයි. ජනගහනය 4,60,345 කි. සුන්නි මුස්ලිම් බෲනායි රාජ්‍යයේ ෂරියා නීතිය ක්‍රියාත්මක වෙයි. රටේ පාලකයා පමණක් නොවෙයි, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමැතිවරයා, ආරක්ෂක ඇමැතිවරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙන්නේ ද සුල්තාන් හසනල් බොල්කියා ය. 


මේ පුංචි රාජ්‍යය, පසුගියදා දින 10 ක් අකර්මණ්‍යය විය. ඒ, මුළු රටම උත්සවශ්‍රීයෙන් ගත් බැවිනි. දකින දකින තැන සැණකෙළි ය. රට වැසියෝ කා බී විනෝද වූහ. කාර්යාල සහ පාසල්වලට විශේෂ නිවාඩු හිමිවිය. බෲනායි වැසියන්ට රජ මඟුල්ය. බෲනායි කුමරුන්ගේ රාජකීය මංගල උත්සවය හරි හරියට, දින 10 ක් තිස්සේ, මහ ඉහළින් පැවැත්විණි. බෲනායි රාජ්‍යයේ ඇත්තේ රාජාණ්ඩුවකි. රට පාලනය කරන්නේ රජුය. එසේත් නැතිනම් සුල්තාන්ය. හසනල් බොල්කියා වත්මන් සුල්තාන්ය. දින 10 ක් මඟුල් කා විවාහ වූයේ සුල්තාන් හසනල් බොල්කියාගේ 10 වැනි දරුවා මෙන්ම සිවුවැනි පුත්‍රයා ද වෙන අබ්දුල් මතීන් කුමරු ය. අබ්දුල් මතීන් කුමරු සුල්තාන්ගේ දෙවැනි බිරිඳගේ දරුවෙකි.


32 හැවිරිදි කුමරුගේ අත ගත්තේ සාමාන්‍ය පවුලක යුවතියකි. උගත්, බුද්ධිමත්, දක්ෂ, චාම් යුවතියකි. ඇය යංග් මූලියා අනීෂා රොෂ්නා ය. සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රස වෑහෙන ඕපාදූප සොයා ඒවා ප්‍රසිද්ධ කරන ‘පිපල්’ සඟරාවට අනුව, මතීන් කුමරු සහ අනීෂා වසර ගණනක් පෙම්වතුන් ලෙස සිට ඇත. මතීන් කුමරු වසර ගණනක් බෲනායි තරුණියන්ගේ සිහින කුමරු විය. ඔහු ටික් ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය හාදයෙකි. කඩවසම් රුවකට හිමිකම් කියන කුමරු, හමුදා නිලධාරියකු ද වෙයි. බෲනායි යුවතියන්ගේ පමණක් නොව, ආසියානු යුවතියන් බොහෝ දෙනකුගේ ද සිහින කුමරා ඔහුය. වඩාත් ආකර්ෂණය දිනූ තනිකඩයා ලෙස ද කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
 කුමරු සහ අනීෂා රොෂ්නාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය වසරේ දෙසැම්බරයේ සිදුවිය. මංගල උත්සවය මහ ඉහළින් ජනවාරියේ පවත්වන බව එහි දී නිවේදනය කෙරුණි. දින 10 ක රජ මඟු‍ල 7 වැනිදා ආරම්භ විය. ඒ, සම්ප්‍රදායික මුස්ලිම් පූර්ව විවාහ උත්සවයකිනි. නව මනාලිය, සුදු හිජාබයක් සහ සාම්ප්‍රදායික මැලේ මංගල ඇඳුමකින් සැරසී සිටියාය. ජනවාරි 11 වැනිදා සම්ප්‍රදායට අනුව, ආචාර වෙඩි මුර 17 ක් පැවැත්විණි. ගාම්භීර පෙරහරකින් ආ නව මනාලිය, පළමුවෙන්ම සුල්තාන් හසනල් බොල්කියා සහ සලේහා රැජිනගෙන් ආශීර්වාද ලබා ගත්තාය. ඉන්පසු කුමරු ආශීර්වාද ලබා ගත්තේය.


මංගල උත්සවය පැවැත් වූයේ ඉස්තානා නුරුල් ඉමාන් මාලිගය කේන්ද්‍රකොට ගනිමිනි. මෙම මාලිගය ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. මෙය, සුල්තාන්වරයාගේ නිල නිවහනය. කාමර 1,788 කින් සමන්විතය. නාන කාමර 257 කි. සුල්තාන් අශ්වයන්ට කැමතිය. ඔහු පෝලෝ ක්‍රීඩාවට ද කැමතිය. පෝලෝ ක්‍රීඩාවට යොදා ගන්නා අශ්වයන් 200කට මාලිගයේ විශේෂ අශ්ව ගාලකි. එය නිකම්ම නිකම් අශ්ව ගාලක් නොවෙයි, වායු සමනය කරන ලද අශ්ව ගාලකි. ‘ලොව විශාලතම මාලිගා නිවහන’ ලෙස වාර්තා අතරට එක් වී ඇත්තේ මෙම මාලිගයයි.

 


නව මනාලිය අනීෂාගේ පියා, බෲනායි රජ පවුලට සම්බන්ධය. ඇයගේ සීයා රාජකීය උපදේශකවරයෙකි. රජ පවුලේ සමීපම හිතවතෙකි. 29 හැවිරිදි අනීෂා උපත ලබා ඇත්තේ 1994 නොවැම්බර් 6 වැනිදා ලන්ඩන් නුවරදීය. ඇය බ්‍රිතාන්‍යයේ බාත් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. අද ඇය දක්ෂ ව්‍යාපාරික කාන්තාවකි. ප්‍රකට විලාසිතා සමාගමක් වන ‘‘සිල්ක් කොලෙක්ටිව්’’ සමාගමේ හිමිකාරිනිය ඇයයි. විදේශිකයන් අතරේ ප්‍රසිද්ධ ‘ඔතෙන්ටියරි’ සංචාරක ආයතනයේ සම හිමිකාරිනිය ද ඇයයි. 


සුල්තාන් හසනල් බොල්කියා සහ රජ පවුලේ සාමාජිකයන් ගත කරන්නේ උපරිම සැප ජීවිත බව පුනපුනා කිව යුතු නැත. රජ පවුලේ සාමාජිකයන් උත්සව සමරන්නේ ද මහ ඉහළිනි. එහෙයින් කුමරු දින 10 ක් මඟුල් කෑම අරුමයක් නොවෙයි. බෲනායි රාජකීයයන්ට මුදලින් අඩුවක් නැත. 1996 දී සුල්තාන්ගේ 50 වැනි උපන් දින සැමරුම සඳහා ඇස්තමේන්තුගත කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 25 කි. මයිකල් ජැක්සන්ගේ පෞද්ගලික ප්‍රසංගයක් සහ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් (වර්තමානයේ බ්‍රිතාන්‍ය රජු) සහභාගී වූ පෝලෝ තරගයක් ද එම උපන් දින සැමරුමට ඇතුළත් විය.


විවාහ මංගල උත්සවයට දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තෝ 5,000 ක් මංගල උත්සවයට සහභාගී වූහ. ආසියා රාජ්‍යයක් වෙන භූතානයේ, මැද පෙරදිග රාජ්‍යයන් වෙන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත්, සෞදියේත්, ජෝර්දානයේත් රජ පවුල්වල සාමාජිකයෝ ඒ අතර සිටියහ. අසල්වැසි ඉන්දුනීසියාවේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ, මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහීම්, සිංගප්පූරු අගමැති ලී සියැං ලූන් සහ පිලිපීන නායක ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) ද විශේෂ ආරාධිත අමුත්තන් අතරේ සිටියහ. රාජ්‍ය නායකයන් සහ රජ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබුණි.


නව යුවළ රිය පෙරහරකින්, බෲනායි රාජ්‍යයේ බන්ඩාර් සේරී බෙගාවන් නගරයේ වීදි සංචාරය කළේ, බෲනායි වැසියන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. නව යුවළ ගමන් කළේ රෝල්ස් රොයිස් රියකිනි.  රජ පවුලට ආදරය කරන වැසියෝ (විශේෂයෙන් තරුණියන්) රටේ නන්දෙසින් නව යුවළ දැක ගැනීමට අගනුවරට පැමිණ සිටියහ. බෲනායි රාජ්‍යයේ සියයට 80 ක් සුන්නි මුස්ලිම්ය. බෝර්නියෝ දූපතේ ඇති එකම ස්වෛරී රාජ්‍යය බෲනායි ය. බෲනායි අතීතයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. නිදහස ලැබුවේ 1984 වසරේදීය.

 

 

■ ලු‍සිත ජයමාන්න,
ඒ.එෆ්.පී. ඇසුරිනි.