දරුවන්ට ලියන්න සඟරාවක් පටන්ගත් සෝභිතයේ විදුහල්පති


 

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යනුවෙන් කියමනක් තිබේ. ‘පෑන කඩුවට වඩා බලවත්ය’ යන කියමන ද අපි අසා ඇත්තෙමු. ළමයි පාසලට ඇතුළත්ව පන්තියෙන් පන්තිය ඉහළට යද්දී ඔවැනි  කියමන් ඉගෙන ගනිති. ඒ කියමන් තුන හතර වැනි පන්තිවලදීම ඉගෙනගන්නට දරුවන්ට අවස්ථාව ලැබෙන්නේ නම් මොනතරම් හොඳද?


සපුගස්කන්ද සෝභිත විද්‍යාලයේ ඉගෙනුම ලබන මල් වැනි පුංචි දරු පැටවුන්ට ඒ කියමන්වල වටිනාකම තේරුම් ගන්නට ඉඩ සලසා පෑනේ වටිනාකම අත්විඳින්නට ද ඉඩ සලසාදීම පසුගියදා විද්‍යාල බිමේදීම සිදුවිය. ඒ විදුහල්පති තිලකරත්න ලියනගේ ගේ මූලිකත්වයෙන් බිහි වූ ‘ප්‍රතිරාව’ සඟරාව නිකුත් කිරීමේ උත්සවයේ දී ය.
සපුගස්කන්ද සෝභිත කියන්නෙ පහ වසර දක්වා පමණක් පන්ති තියෙන ප්‍රාථමික විද්‍යාලයක්. පහේ ශිෂ්‍යත්ව විභාගෙන් සමත්වෙලා වෙනත් විද්‍යාලවලට ළමයින් යනවා. ඉතිං අපේ වගකීම වෙන්නෙ හයේ පන්තියට වෙනත් විදුහල්වලට ඇතුළත්වෙන ළමයින් දැනුමෙන් හැකියාවෙන් සන්නද්ධ කරලා ඒ ඒ පාසල්වලට යැවීමයි. ඒ කාර්යභාරයේදී අපේ පාසලට පැවරිලා තියෙන්නෙ ලොකු වගකීමක්. ඒ නිසා මම මුල ඉඳලම ළමයින්ව ලියන්න කියවන්න නිවේදනය කරන්න කතාකරන්න නටන්න පුරුදු කරවනවා”
විදුහල්පති තිලකරත්න ලියනගේ පවසයි.


ගමේ පාසලෙන් ඉගෙන දෙල්ගොඩ පිරිවෙනෙන් උසස්පෙළ සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වන ඔහු එහිදී උපාධියට හදාරන්නේ සිංහල, ජනසන්නිවේදනය සහ පුරාවිද්‍යාව යන විෂයයන්ය.  පසුව ගුරුපත්වීමක් රැගෙන අධ්‍යාපන ප්‍රවාහයට එකතුවන ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස හෙයියන්තුඩුව මහින්ද විද්‍යාලයේත් කඳුබොඩ මහා විද්‍යාලයේත් සේවය කළේය.


“ඔය අතරෙ තමයි සපුගස්කන්ද සෝභිත විද්‍යාලයෙ විදුහල්පති තනතුර පුරප්පාඩු වුණේ. නමුත් ඒ කාලෙ කවුරුවත් මේ පාසල බාරගන්න කැමැති වුණේ නැහැ. හේතුව ඒ කාලෙ මේ පාසලේ පැවති තත්ත්වය.  ඒත් මම පාසල බාරගත්තා. මට පාසල හදන්න සිදුවුණේ මුල ඉඳලමයි. පාසලේ දරුවො පුංචි අය නිසා දරුවන්ගෙ විනය ප්‍රශ්න මුකුත් නැහැ. මට වෙනස්කරන්න වුණේ ගුරුවරුන්ගෙ ආකල්පයි මව්පියන්ගෙ ආකල්පයි. පටන්ගන්න වුණේ එතැනින්. 
මුලින්ම අත ගැහුවෙ ගුරුවරුන්ගෙ ආකල්ප වෙනස්කරන කටයුත්තට. එයාලට විවිධ වැඩමුළු තිබ්බා. ධනාත්මකව හිතන්න පුරුදු කළා. හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ. ඒ නිසා අපි දෙයක් හිතුවොත් ඒ දේ කරන්න අපට පුළුවන්. ගුරුවරු එතෙන්ට ගෙනාවම ඉතිරි කටයුතු පහසුවෙන්ම කරන්න පුළුවන්. ඊට පස්සෙ මම අපේ ගුරු මණ්ඩලය ආනන්ද වගේ වෙනත් ඉස්කෝලවලට එක්ක ගිහින් ඒ පාසල්වල උගන්වන හැටි අධ්‍යයනය කරන්න ඉඩ සැලසුවා. ඒක අපූරු පාඩමක් වුණා. ඉන්පස්සෙ කළේ ඉලක්ක දීම සහ වගකීම් පැවරීම. ටික කාලයක් යද්දි ගුරුවරු තමන්ගෙ වගකීම ඉටුකරන්න පුරුදු වුණා. ළමයින්ගෙ බාහිර කුසලතා හඳුනාගෙන ඒවා දියුණු කරගන්න ළමයින්ට උදව්කරන්න පටන්ගත්තා. ඔන්න ඔය විදිහට තමා ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයි අසූ තුනක් පාස්වුණේ. මම පාසල බාරගන්න කලින් ශිෂ්‍යත්වයෙන් පාස් වුණේ ළමයි විසිගානක්. ඒකම ජයග්‍රහණයක්” 
දැන් සෝභිත විද්‍යාලය කලාපයේ බොහෝ පාසල් අතර ප්‍රකටය. සෝභිතයෙන් ආ දරුවෝ අන් දරුවන්ට වඩා කැපීපෙනෙනසුලුය. ඔවුන්ගේ දැනුම පුළුල්ය. කියවන්නට රුසියන්ය. ලියන්නට හපන්නුය. නිවේදනයට හපන්නුය. චිත්‍ර අඳින්නට හපන්නුය. නටන්නට හපන්නුය. ළමයි එතැනට ගෙනෙන්නට තිලකරත්න ලියනගේ විදුහල්පතිවරයා මුලින්ම කළේ දරුවන් කියවීමට පෙලඹවීමය.


“අපි පුංචිකාලෙ කොයිතරම් නම් පත්තර කියවනවද? විජය, මිහිර, නවයුගය වගේ පත්තර සතිය ගානෙ කියවනවා. ඒත් අද කියවීම ළමයි අතරින් ගිලිහිලා ගිහින්. ළමයි විභාග මුල්කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක හිරවෙලා ඉන්නෙ. මව්පියො හිතන්නෙ නැහැ ළමයි කියවන්න පුරුදුවුණා නම් ශිෂ්‍යත්ව වගේ විභාගවලින් පහසුවෙන් සමත්වෙන්න පුළුවන් කියන කාරණාව. ළමයෙක් පොතක් පත්තරයක් ඉල්ලු‍වත් අම්මලා කියන්නෙ ඕවා වැඩක් නැහැ. පාඩම්වලට අදාළ දෙයක් විතරක් කියවන්න කියලයි. ඒත් මම ළමයින්ට කියවන්න පුරුදු කළා. පාසලේ පුස්තකාලෙට ළමයින්ව යොමුකළා. ළමයි හරිම ආශාවෙන් පොත් පත්තර කියවන්න පටන්ගත්තා. එතකොට ළමයින්ගෙ වෙනසක් ඇතිවුණා. පොත් පත් කියවන ළමයි අනෙක් ළමයින්ට වඩා කැපීපේනවා. එයාලා හැම දෙයක් ගැනම ටික ටික හරි දන්නවා. එයාලට ජීවිතයට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් වෙනවා. අභියෝග ආවාම ඒවට මුහුණ දෙන හැටි එයාලා දන්නවා. එයාල කොතනදි හරි කියවපු දෙයක් එයාලට මතක් වෙනවා. වසීලිස්සා කොහොමද ඒ වෙලාවෙ හැසිරුණේ කියලා එයාලට මතක් වෙනවා. තව එක එක චරිත යම් යම් සිදුවීම්වලට මුහුණදුන් හැටි මතක් වෙනවා. එහෙම අත්දැකීම් නැති අය ප්‍රශ්න  ඉදිරියෙ අසරණ වෙනවා. අන්න ඒකයි කියවීමේ තියෙන වාසිය. මම වුණත් පුංචි දවසෙ ඉඳලම අතට අහුවෙන හැම අකුරක්ම කියෙව්වා. විශ්වවිද්‍යාලෙට යන්න මට පුළුවන් වුණෙත් ඒ කියවීමේ පරිචය නිසා.
කියවන්න හුරු වුණ ළමයින්ට ඊළඟට පුරුදු කළේ ලියන්න. හැම පන්ති කාමරයකම බිත්ති පුවත්පතක් හදලා තියෙනවා. ළමයි ලියන රචනා ලිපි අඳින චිත්‍ර හැම දේම මේ බිත්ති පුවත්පතේ ප්‍රදර්ශනය කරනවා. තමන් ලියපු දෙයක් අනිත් අය කියවනවා කියන්නෙම ළමයෙකුට සතුටක්. ළමයි ඒ සතුට අත්විඳිනවා වගේම තව තවත් ලියන්න පෙලඹෙනවා. හොඳ නිර්මාණ දැක්ක හැටියෙ අපේ ගුරු මව්වරු පියවරු ඒ නිර්මාණ අගය කරනවා. අඩුපාඩු කියල දෙනවා. ඒ තේමාවෙන් ලියැවුණු වෙනත් උසස් නිර්මාණ උදාහරණයට අරගෙන ඒ නිර්මාණ ලියලා තියෙන හැටි ළමයින්ට කියලාදෙනවා. මේ නිසා ළමයි නිර්මාණ ඇතුළෙම ජීවත්කරවන්න පුළුවන් වෙලා තියෙනවා.


ඔහොම කාලයක් ගියාම තමයි මේ ළමයින්ගෙ නිර්මාණ ඇතුළත් කරලා සඟරාවක් මුද්‍රණය කරන්න ඕනැ කියලා හිතුවෙ.  අපි සඟරාවක් මුද්‍රණය කරනවා ඒකට නිර්මාණ දෙන්න කිව්වාම ළමයි හරිම උනන්දුවෙන් නිර්මාණ ලබාදුන්නා. ඒ හැම නිර්මාණයක්ම අපි උනන්දුවෙන් කියවලා හොඳම නිර්මාණ තෝරගත්තා. නමුත් අනිත් නිර්මාණ එකක්වත් කුණුකූඩෙට එහෙම  දැම්මෙ නැහැ. ඒවත් බිත්ති පුවත්පතේ පළකළා.
අපේ පාසලේ  මාධ්‍ය ඒකකයක් තියෙනවා. ඒ ළමයින්ට පුහුණුවක් දුන්නා කොහොමද පත්තරයක් සඟරාවක් හදන්නෙ කියලා. ඒ කටයුත්තට ප්‍රවීණ මාධ්‍යවේදි සමන් ප්‍රියංකර නම්මුනිගේ, කුසලා වෙත්තසිංහ ඇතුළු පිරිසක් අපිට සහයෝගය දුන්නා. මම කැලණිය විශ්ව විද්‍යාලෙන් ඉගෙනගත් ජනසන්නිවේදන විෂයයත් ලොකු පිටිවහලක් වුණා. ඔය විදිහට දිගින් දිගටම ළමයින්ගෙ නිර්මාණ ශක්තිය දියුණු කරන්න අපි කටයුතු කළා. ප්‍රතිරාව නමැති අපේ සඟරාව ඒ කැපවීමේ ප්‍රතිපලයක්. සඟරාව නිකුත් වුණාම ළමයින්ගෙ මව්පියන්ගෙ ඇස්වල  සතුටු කඳුළු පිරෙනවා මම දැක්කා’‘

 

ගුරු ප්‍රතිභා අගැයීම ලබා...


විදුහල්පතිවරයා පවසද්දී මගේ මතකය දිවගියේ ගම්පහ බණ්ඩාරනායක විදුහලටය. එවකට එහි ප්‍රාථමික අංශයේ විදුහල්පති වූ ප්‍රවීණ කිවියර විල්ප්‍රඩ් කරුණානායක මහතාගේ මග පෙන්වීමෙන් පාසල් සඟරාවක් පළකෙරිණි. මගේ පළමු නිර්මාණය මුද්‍රිත අකුරකින් දැක්කේ එදාය. එදා මට දැනුණු සතුට ඉන් පසු කිසි දවසක දැනී නැති තරම්ය. එබැවින් තම නිර්මාණයක් සඟරාවක පළවීමෙන් දරුවකුට දැනෙන සතුට කොයිතරම් දැයි මට වැටහේ. 
මම යළිත් මේ අපූරු විදුහල්පතිවරයා දෙසට හැරෙමි.


“අපේ පාසලේ සතියකට දවස් දෙකක් රැස්වීම් තියෙනවා. අඟහරුවාදා සිංහල රැස්වීම, සිකුරාදා ඉංග්‍රීසි රැස්වීම. මේ රැස්වීම් දෙකේදීම ළමයින්ට එයාලගේ කථිකත්වය වර්ධනය කරගන්න නිවේදන හැකියාව වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ළමයි බොහොම උනන්දුවෙන් රැස්වීමට ඉදිරිපත්වෙලා කතා කරනවා. කවි කියවනවා. සිංදු කියනවා. සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම. ”


සිංහල මාධ්‍යයෙන් උගන්වන පාසල්වල ඉංග්‍රීසි භාෂාවට ලැබෙන්නේ අඩු සැලකිලිය. ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට අවශ්‍ය මව්පියවරු තම දරුවා ගමේ පාසලෙන් ඈත්කරන්නේය. එවැනි වාතාවරණයකදී මෙබඳු පුංචි පාසලකින් ළමයින්ට සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන්ද එක සේ ශිල්ප දක්වන්නට අවස්ථාව ලබාදීම මොනතරම් හොඳද?
“මගෙ අදහස අපේ පාසල් සඟරාව මාස දෙකකට වරක් ප්‍රකාශයට පත්කිරීමයි. ඒ සඳහා අනුග්‍රහය දෙන්න පිරිසක් ඉදිරිපත්වෙලා ඉන්නවා. ඒක දරුවන්ගෙ වාසනාවක්.  මාස දෙකින් දෙකට සඟරාවක් පළකරන්න ලැබෙනවා කියන්නෙ පාසලේ ජයග්‍රහණයකුත් වෙනවා. මගේ අනිත් වැඩපිළිවෙළ ළමයින්ට කලාත්මක ඡායාරූප කලාවත් පුරුදුකිරීමයි. ඒ වැඩසටහනත් ඉක්මනටම පටන්ගැනීමටයි සූදානම. ඊට පස්සෙ ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න සැලසුමක් තියෙනවා.” 
අද රටේ, සමාජයේ, සංස්කෘතියේ විනාශයට එක් හේතුවක් වන්නේ දරුවන් කලාවෙන් ඈත්වීමය. එවිට ළමයින් සංවේදී නොවී යාන්ත්‍රික මිනිසුන් බවට පත්වේ. පොඩ්ඩ බැරිවෙද්දි ගහ මරා ගන්නට යන්නේ එවැනි යාන්ත්‍රික මිනිසුන්ය. ඉතින් යහපත් සමාජයක් හදන්නට නම් ළමයි කලාවට යොමුකළ යුතුය. සපුගස්තැන්නේ සෝභිත විදුහලේ විදුහල්පති තිලකරත්න ලියනගේ කරන්නට හදන්නේ සංවේදී සමාජයක් බිහිකරන්නටය. ඔහුගේ මේ සද්කාර්යය සෝභිතයට හෝ සපුගස්කන්දට පමණක් සීමා නොවී මුළු ලංකාවටම ව්‍යාප්තවන්නේ නම් එය සුබ පණිවිඩයකි. 


මෙවැනි අනාගත දැක්මක් ඇති විදුහල්පතිවරුන් සොයා ඇගයීමට ලක්කරන්නට  බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ගුරු ප්‍රතිභා වැඩසටහනක් හඳුන්වා දුන්නේය. එහිදී 2019, 2020, 2021, යන වසර තුනේදීම හොඳම විදුහල්පතිවරයෙකු ලෙස සම්මානිත වන්නට සපුගස්කන්ද සෝභිතයේ විදුහල්පති තිලකරත්න ලියනගේ සමත්විය. අවාසනාවකට දැන් ඒ ගුරු ප්‍රතිභා වැඩසටහන ක්‍රියාත්මක නොවේ. ඒ ද අපේ රටේ හැටිය. හොඳ දේවල්වල ආයුෂ අඩුය.
“අපේ පාසලේ ළමයින්ගෙ හැකියාව ගැන තේරුම් ගන්න එක උදාහරණයක් කියන්නම්. සෝභිතයෙ ඉගෙනගෙන දැන් කොළඹ ආනන්දෙ ඉගෙන ගන්න එක ළමයෙන් පාසල් සංගම් දහනවයක තනතුරු උසුලනවා. ඒ වගේ දක්ෂ ළමයි බිහිකරන්න ඕනැම පාසලකට පුළුවන්. අවශ්‍ය වෙන්නෙ අලු‍ත් විදිහට සිතීමයි කැපවීමයි”
සෝභිතයේ විදුහල්පතිවරයා කී කතාව ද මෙහි ලියා තැබිය යුතුමය.

 

 

■ ශාන්ත කුමාර විතාන