දරුවන් ඉහළටම ඔසවන අමුතු ඉස්කෝලෙ


පාසලේ ආචාර්ය මණ්ඩලය

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් හා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්

දරු දැරියන් විසින් සාදාගත් සංගීත උපකරණ

සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරු දැරියන් රිය පෙරහරකින් පාසල වෙත රැගෙන ආ අයුරු හා පිළිගත් අයුරු

 

අප මේ කියන්නට යන්නේ සිය ගුරු වෘත්තීය මැනවින් අවබෝධ කර ගනිමින් දුප්පත් දරුවන් වෙනුවෙන් දෙවියන් වූ ගුරුවරුන් පිරිසක් පිළිබඳවය. එම පාසල කලවාන, දෙල්ගොඩ ජනපදය විද්‍යාලයයි. එම පාසලේ ගුරුවරුන්ගේ මහත් කැපවීම මත,  අවුරුදු විසි පහකට පමණ පසුව මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන් දෙදෙනකු සමත් වී ඇති අතර,  සාමාන්‍ය පෙළ විභාගයෙන් වසරින් වසර ඉදිරියට පැමිණ මෙවර එම පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්  සිසුන් සියලු‍ම දෙනාම එම විභාගයෙන් සමත්ව සියයට  සියයක ප්‍රතිඵලයක් රැගෙන  කලාපයේ ප්‍රථම ස්ථානයත් හිමිකර ගෙන තිබේ. 

බුද්ධාගමට A ගත් දමිළ දරුවෝ

මෙම කතාව ඔවුන් ලබාගත් එම විභාග ප්‍රතිඵලය ගැන ම නොව, එම පාසලේ සිසු, සිසුවියන්  හා ගුරුවරුන් කළ කැපවීම තුළින් සමාජයට දෙන පණිවිඩයයි.  එම විභාග ජයග්‍රහණය කිරීමට එම විද්‍යාලයෙන් දරුවන් පස් දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති අතර ඔවුන් පස් දෙනාම උසස් පෙළ අධ්‍යාපනයට සුදුසුකම් ලබා තිබේ. ඒ අතර, සාමාන්‍ය පෙළ විභාගය සඳහා  දමිළ ජාතික, හින්දු ආගම අදහන දරුවන් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් තිදෙනා බුද්ධාගම විෂය සඳහා ‘ඒ’ සමාර්ථ දෙකක් හා ‘බී’ සමාර්ථ එකක් ලබා ගනිමින් සමත්ව තිබේ. අනිත් දරුවන් දෙදෙනා බුද්ධාගම විෂය සඳහා ‘ඒ’ සමාර්ථ දෙකක් ලබා ගනිමින් සමත්ව තිබේ. අනෙකුත් පාසල්වල බොහෝ දරුවන්  බුද්ධාගම විෂයයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වෙද්දී,  දමිළ ජාතික, හින්දු ආගම අදහන දරුවන් මෙලෙස බුද්ධාගම විෂය ඉහළ ලෙස සමත් වීම  විශේෂත්වයකි.

මෙම විභාග ජයග්‍රහණය ලබාගැනීම සඳහා ඔවුන් පැමිණ ඇත්තේ කටුක ගමනකි. වෙනත් ජනප්‍රිය පාසල්වල දරුවන්ට මෙන් සුපිරි වාහනයකින් හෝ පාසල් බස් රථයකින් පැමිණ පාසල ළඟින් බැස ගොස් ඉගෙනගැනීම මෙම දරුවන්ට සිහිනයකි. එවැනි දරුවන් සිටිනවාද යන්නත් ඔවුහු නොදනිති. උදේට බඩගින්නේ ඇල් වතුර කෝප්පයක් බී හෝ කහට කෝප්පයක් බී පාසල වෙත එන බොහෝ  දරුවන්ට පාසල තුළදී ආහාර පාන ලබාදෙන්නේ ගුරුවරුන් විසිනි. ඔවුන් වැඩිපුර කෑම පැකට් කිහිපයක් සකසාගෙන එන්නේ මේ දරුවන් වෙනුවෙනි. තම පාසලේ දරුවන් කුසගින්නේ සිටියදී තමන්ට උගුරෙන් පහළට දිය පොදක් නොවැටෙන බව එම පාසලේ ගුරුවරු පැවසූහ. එදා වේල හම්බ කරන දෙමාපියන්ගේ දරුවන් මෙම පාසලට පැමිණෙන අතර, සියයට අසූවක පමණ දරුවන්ගේ මව හෝ පියා නොමැති බවද පාසල් බලධාරීහු පවසති. ඇතැම් දරුවන්ගේ දෙමාපියන් දෙදෙනාම නොමැති බවද පැවසේ . අධ්‍යාපනය ලබාදෙනවාට අමතරව, ඔවුන්ට මව්පියන්ගෙන් ලැබියයුතු ආදරය, සෙනෙහස පාසලේ ගුරුවරුන් විසින් දරුවන්ට ලබා දෙති. එමෙන්ම දරුවන් ඉල්ලන පාසල් ඇඳුම්, පාසල් උපකරණ, කෑම බීම ලබා දෙන්නේද පාසලේ ගුරුවරුන් විසිනි. එයට පාසලේ දරුවෝම සාක්ෂි  දරති.

ජයග්‍රහණය

මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව හා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව ඔහුන් කලකට පසුව විශාල ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. අපි මේ කතාව ඔබට කියන්නේ ඔබේ දරුවාට, ඔබට, මේ කතාවෙන් ගතයුතු පාඩම් රැසක් තිබෙන නිසාවෙනි. ළමයින් අදක්ෂයි කියා මගහරින ඇතැම් දෙමාපියන්ට, ගුරුවරුන්ට කදිම පාඩමක් මොවුන් කියාදී ඇත. කෑම, පාසල් උපකරණ නැතිව වුවත්, කොතරම් දුෂ්කරතා මැද සිය අරමුණ වෙත යාමට මෙම පාසලේ ගුරුවරුන් දරුවන් යොමු කර තිබේ. අද ජීවිතය කටුක වුවත්, ඉදිරියේදී එය රෝස මල් යහනක් කරගන්න පුළුවන් බවත්, එයට එකම විසඳුම බාධක, අභියෝග මැඩගෙන හොඳින් ඉගෙනගැනීම බව නිතර දරුවන්ගේ ඔළුවට යොමු කිරීමට මෙම පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරු කටයුතු කරති. පාසල තුළ වුවත්, අවම පහසුකම් සහිතව, සීමිත ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබා ඔවුන් මෙම විභාග ජයග්‍රහණය කර තිබේ. පාසලේ ප්‍රාථමික ශ්‍රේණිය සඳහා සිටින්නේ පුහුණු ගුරුවරුන් තිදෙනෙකු පමණි. එම ගුරුවරුන්ගෙන් එක් ගුරුතුමියක් දෙමළ විෂය ඉගැන්වීමට එම පාසල වෙත අනුයුක්ත කර ඇති අතර පසුව ඇය ප්‍රාථමික පන්තිවල ගුරු පුරප්පාඩුව පිරවීම සඳහා යොමු කර සිටී.

කලකට පසුව ලැබුණු  මෙම ජයග්‍රහණය පිළිබඳව ප්‍රදේශවාසීන් සිය ප්‍රශංසාව පුද කර සිටි අතර, විභාග ජයග්‍රහණ ලැබූ දරුවන්  කොළණිය හන්දියේ සිට පාසල වෙත රථ පෙරහරකින් රැගෙන විත් එම දරුවන්ට හා  ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ට තෑගි හා සමරු තිළිණ ලබා දීමට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් කටයුතු කළහ.

භාණ්ඩ නැතත් සංගීතය තිබේ

මෙම පාසල තුළ සංගීත විෂයට ආසා දරුවන් සිටියත් සංගීත උපකරණ පාසල සතුව නොමැති බව දෙමාපියෝ පවසති. ළමයින් වෙනත් පාසල්වල හෝ පත්තර පිටුවලින් දැක ඇති සංගීත උපකරණ, ලෑලි කැබලි හා පරණ කම්බි යොදා, සාදාගෙන භාවිත කරන අතර, එයින් නැගෙන මිහිරි සංගීතයක් නොමැති වුවද ඔවුන් එය සංගීත භාණ්ඩයක් ලෙස සිතා පාවිච්චි කරති. එමෙන්ම ක්‍රීඩා භාණ්ඩ ඇතුළු බොහෝ අගහිඟකම් පාසල තුළ එමටය. එහෙත් දරුවන්ගේ හැකියාව, අරමුණු නොසිඳී ගලායන්නට ගුරුවරු වග බලා ගනිති. මේ එම විද්‍යාලයෙන් අපට ඇසුණු ගුරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා  දෙමාපියන්ගේ අදහස්ය.

“ඔයාට පුළුවන්” කියලමයි  ගුරුවරු කිව්වේ

සාපෙළ සමත් වූ  ඩබ්ලිව්.කේ. තිළිණි දමයන්ති .


“මම මේ ඉස්කෝලේට ආවේ අට වසරේදී. එතකොට හිටියේ ප්‍රින්සිපල්  සෝමසිරි සර්. මම මේ ඉස්කෝලෙට එනකොට මොකුත් දැනගෙන හිටියේ නැහැ.


සෝමසිරි සර් වගේම වර්තමාන විදුහල්පති ප්‍රසාත් ප්‍රියදර්ශන සර් වගේම ගුරු මණ්ඩලය මට විශාල ශක්තියක් වුණා. මට ලොකු දැනුමක් තිබුණේ නැහැ, ප්‍රින්සිපල් සර් වගේම ගුරුවරුන් මාව උනන්දු කළා. මට කවදාවත් බැහැ කිව්වේ නැහැ. ඔයාට පුළුවන් කියලා කිව්වේ. සාමාන්‍ය පෙළ ලියන්න අපේ ඉස්කෝලේ පස් දෙනෙක් හිටියා. අපි අමතර පන්ති ගියේ නැහැ. අපේ ගුරුවරු අපිව මහා රෑ තියාගෙන අපිට කන්න දීලා ඉගැන්නුවා. ගොඩක් උදව් කළා. නිදි වරාගෙන අපේ පාඩම් වැඩ ටික ගුරුවරුන් කළා. සෙනසුරාදා, ඉරිදා අමතර දවස්වල පවා අපිව ඉස්කෝලෙට ගෙනල්ලා ඉගැන්නුවා. අද අපි මෙහෙම විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්නේ අපේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය කරපු කැපකිරීම නිසා.  අපට හම්බ වුණේ ගුරුවරුන් වගේ ඉන්න දෙවිවරුන් වගේ පිරිසක්. නම් වශයෙන් කියන්න බැරි වුන විශාල පිරිසක් අපිට උදව් කළා. ඒ හැමෝටම ස්තූතියි.” 

‘‘ගුරුවරු අපට තුන්වේලම  කන්න දීලා අපට පොත්පත් පවා  දුන්නා ’’

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ එම පාසලේ ශිෂ්‍ය කේ. විශ්වනාදන් 


“මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් අරන් සමත් වුණා.

අපේ ගුරුවරුන් දෙවියන් වගේ අපේ පස්සෙන් හිටියා. මගේ පාසල දුෂ්කර පාසලක්. දුෂ්කර ගමනක් ඇවිත් තමයි මේ ප්‍රතිඵලය ගත්තේ. ඉස්සර පාසල් ආවා, ගෙදර ගියා. කට්ටි පැන්නා. ගොඩක් දවස්වලට ඉස්කොලේ ආවේ නැහැ. ඉස්කෝලේ ආවේ ‘එන්නම් වාලේ’. පස්සේ අපේ ප්‍රසාත් ප්‍රින්සිපල් සර් ආවට පස්සේ පාසල් එන්නේ නැති ළමයි පණිවිඩ ඇරලා ඉස්කෝලෙට ගෙන්න ගෙන ඉස්කෝලේ ගුරුවරු එක්ක අපිට රෑ පන්ති තියලා සියලු‍ම විෂයන් ඉගැන්නුවා. ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්, ඒ වගේම ගුරුවරු එකතු වෙලා තුන් වේලම කන්න දීලා, අපිට අවශ්‍ය පොත් පත් පවා ලබා දුන්නා. අපිව ආරක්ෂා කරගෙන රෑ දහය , එකොළහ විතර වෙනකම් ඉගැන්නුවා. පුදුම කැපකිරීමක් තමයි කළේ. ඉතින් අපිටත් ඉගෙන ගන්න ආස හිතුණා. එයාලා කරන කැපවීම දැකලා කොහොම හරි  විභාගය පාස් වෙලා, එයාලා කරපු දේට වටිනාකමක් දෙන්න ඕනැ කියලා අපි තීරණය කළා. ඇත්තටම, අපිව ඒ මට්ටමට අපේ ගුරුවරුන් තල්ලු‍ කළා. අපි දැනගත්තා එයාලා මෙච්චර මහන්සි වෙන්නේ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව, අපිව අනිවාර්යයෙන් පාස් කරන්න ඕනැ නිසා කියලා. ඉතින් අපිත් ඒ දේ කළා. අපේ ගුරුවරුන්ගේ කැපවීම තමයි අපේ ජයග්‍රහණය. උදව් උපකාර කළ හැමෝටම ස්තූතියි.”

‘‘ති​ෙයන ඇඳුමක් ඇඳන්, සපත්තු  නැතිව හරි ඉස්කෝලෙ එන්න’’ 

දෙල්ගොඩ ජනපදය විද්‍යාලයේ විදුහල්පති ප්‍රසාත් ප්‍රියදර්ශන 


“මේ ජයග්‍රහණය ඉතා අමාරුවෙන් ගත්ත එකක්. මෙම ජයග්‍රහණයට මව්පියන්ට වැඩිය ගුරුවරුන් ලොකු කැපකිරීමක් කළා. මව්පියන් ඒකට සහයෝගය දුන්නා.


අපේ පාසලේ ළමයි එකසිය පනහක් ඉගෙනුම ලබනවා. අපේ ස්කෝලෙට එන්නේ ගොඩක් ආර්ථික අපහසුතා ඇති මව්පියන්ගේ දරුවො. අපි කියලා තියෙන්නේ, කන්න නැතත්, අඳින්න නැතත්, පොත් පත් නැතත් ඉස්කෝලෙට එන්න කියලා. වැස්ස දවසට ළමයින් පාට ඇඳුමක් ඇඳන් ඉස්කෝලේ එන්නේ. ගොඩක් ළමයින්ට තියෙන්නේ එක ගවුමක්, එක කලිසමක්, ෂර්ට් එකක්. සපත්තු නම් ගොඩක් දරුවන්ට නැහැ. සපත්තු නැතිව ආවට කමක් නැහැ කියලා අපි කියලා තියෙන්නේ. තියෙන ඇඳුමක් ඇඳන් ඇවිත් ඉගෙන ගන්න කියලා කියලා තියෙන්නේ. සමහර දරුවන්ට දිවා ආහාරය නැහැ. එහෙම දරුවන්ට අපේ ගුරුවරුන් කෑම ගෙනත් දෙනවා. එවැනි එක දරුවෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියලා සමත් වුනා. ඒ දරුවගේ අම්මා තාත්තා දෙන්නම නැහැ. හිටියේ ආච්චි අම්මා ගාව. පස්සේ ආච්චි අම්මාත් නැති වුණා. පස්සේ ඒ ළමයා යාළුවෙකුගේ ගෙදර ඉඳන්  පාසල් ආවේ. අපි ඒ ළමයගේ සියලු‍ම අවශ්‍යතා සොයා බලා කරලා දුන්නා. සමහර දරුවන්ට බස් එකේ එන්න සල්ලි නැහැ. මම ගුරුවරුන් එක්ක එකතුවෙලා සල්ලි එකතු කරලා ඒ බස් ගාස්තුව ගෙවා දානවා.” 


“අපි දරුවන්ට කිව්වේ, පුතාලා දුවලා ඉගෙන ගන්න, අඩුපාඩු ගැන අපි බලන්නම් කියලා. සමහර දරුවන් ආර්ථික අපහසුතා නිසා ඉකෝලෙට එන්නේ නැහැ. එහෙම දරුවන් ඉන්න ගෙවල් මම හොයාගෙන ගිහින් මව්පියන්ට අධ්‍යාපනයෙ තියෙන වටිනාකම කියලා දීලා, ආපසු පාසල වෙත කැඳවා ගන්නවා. සමහර මව්පියන් හිතන් ඉන්නේ බස් එකේ බෝඩ් එක කියවගන්න ඉගෙන ගත්තම ඇති කියලා. පස්සේ අනුන්ගේ ත්‍රීවීල් එකක් හයර් කරලා හරි, තේ වත්තක, කඩයක හරි වැඩකරලා සල්ලි හොයා ගන්න පුළුවන් කියලා ඔවුන් හිතන්නේ. ඒත් මම දරුවන්ට කියන්නේ, ඉගෙනීම එක විභාගයකින් තක්සේරු කරන්න එපා කියලා. මම කියන්නේ ඔබේ ඉලක්කය සරසවිය දක්වා යාම හා ජීවිතය පුරාම රස්සාවක් කරන ගමන් හරි ඉගෙනීම තමයි ජීවිතය කියලා. ගුරුවරුත් ළමයින් තේරුම්ගන්න ඕනැ. එතකොට එයාලට උගන්වන්න හරි පහසුයි. කිසිම දරුවෙක් අදක්ෂ නැහැ. ඔවුන් තුළ දක්ෂතා තියෙනවා. ඒක එළියට ගන්න ගුරුවරුන් දක්ෂ වෙන්න ඕනැ. ”


“මම හරි ආඩම්බරයෙන් කියනවා, අපේ පාසලේ විභාග පාස් වෙච්ච එක දරුවෙක්වත් ටියුෂන්වලට සල්ලි දීලා නැහැ. අපේ පාසලේ  ගුරුවරුන්ගේ කැපවීම, උනන්දුව මත තමයි මේ ජයග්‍රහණ ලබාගත්තේ.  ඒ නිසා තමයි, අපේ පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පස් දෙනාම සියයට සියය ප්‍රතිඵලය අරන්, නිවිතිගල කාලපයේ එක වුණේ. අනික, අපේ පාසලේ හින්දු ආගම අදහන දමිළ ජාතික දරුවන් තුන් දෙනෙක් බුද්ධ ධර්මය විෂයට ‘ඒ’ සමාර්ථ දෙකක් හා ‘බී’ සාමාර්ථයක් අරන් පාස් වෙලා තියෙනවා. සිංහල දරුවන් දෙදෙනාත් බුද්ධ ධර්මයට ‘ඒ’ සමාර්ථ දෙකක් අරන් සමත් වෙලා තියෙනවා. මේක අපේ පාසලේ ගුරුවරුන්ගේ කැපවීම මත ලබා ගත් ජයග්‍රහණයක්.”

 

‘‘විභාගය ඉවර වෙනකම් දරුවන්ගේ නිවස, පාසල දෙකම වුණේ පාසලයි”

විද්‍යා විෂය භාර ගුරුවරයකු වන  පී.එම්. ඉසුරු සම්පත් විභාග ප්‍රතිඵලය ලබාගැනීමට පුළුවන් වුණේ.

 

අපේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්, ආර්ථික අපහසුතා මැද ජීවත් වන පිරිසක්. දරුවන්ගෙන් සියයට අසූවකට විතර, එක්කෝ අම්මා නැහැ, නැත්නම් තාත්තා නැහැ. සමහර දරුවන්ගේ අම්මා, තාත්තා දෙන්නම නැහැ. ඉතින් ඒ දරුවන් අපෙන් අධ්‍යාපනය වගේම ඔවුන්ට අහිමි වූ මව් පිය සෙනෙහස බලාපොරොත්තු වෙනවා. අපි ඔවුන්ට සලකන්නේ අපේම දරුවන්ට වගෙයි. ඇඳුම්, සපත්තු, කෑම හුඟක් දරුවන්ට නැහැ. අපි ගුරුවරුන් එකතුවෙලා ඒ හැම දෙයක්ම පුළුවන් විදිහට දරුවන්ට දෙනවා. අපි දරුවන්ට කියන්නේ, කොහොම හරි ඉගෙන ගන්න, අනිත් දේවල් අපි බලා ගන්නම් කියලා. අපි විභාගයට මාස දෙකකට කලින් ළමයින් පාසලේ නතර කර ගත්තා. ගෙදර යැව්වේ නැහැ.  දරුවන්ගේ ආරක්ෂාවට ගුරුවරුන් වගේම එන්න පුළුවන් දෙමාපියන් දිනපතා ගෙන්න ගත්තා. ළමයින් පාසල තුළ නතර කරගන්න හේතුව, සමහර  ළමයින්ට ගෙදර ගිහින් පාඩම් වැඩ කරගන්න පසුබිමක් නැති හින්දා. කෑම බීම ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ට අධ්‍යාපන කටයුතු ගෙදර ඉඳන් ඇවිත් කරන්න අපහසු බව අපි මුලින් තේරුම් ගත්තා. පස්සේ අපි මේ ළමයින්ට උගන්නන්න ඕනැ සැලස්මක් හැදුවා. ඔවුන්ට සම්මාන ගන්න පුළුවන්, ලේසි විෂයයන් වැඩියෙන් ඉගැන්නුවා. අපේ ඉලක්කය වුණේ, ඔක්කොම දරුවන් සමත් වෙලා උසස් පෙළ කිරීම සඳහා සුදුසුකම් ලබා දීම. පස්සේ උදේ අටේ ඉඳන් රාත්‍රි එකොළහ වෙනකම් ගුරුවරුන් මාරු වෙවී ළමයින්ට ඉගැන්නුවා. අමාරු විෂයයන් නැවත නැවත ඉගැන්නුවා. විභාගය ඉවර වෙනකම් දරුවන්ගේ නිවස, පාසල දෙකම වුණේ පාසලයි. ගුරුවරුන් ලොකු කැපකිරීමක් කළා. දරුවන්ට අවශ්‍ය කෑම ගෙනාවේ අදාළ දවසේ උගන්වන්න එන ගුරුවරුන්. ඒ වගේම, අපේ ප්‍රසාත් ප්‍රියදර්ශන විදුහල්පතිතුමා, අප සමග නිරන්තරයෙන් සිටිමින්, අපිට අවශ්‍ය උපදෙස් පහසුකම් ලබා දුන්නා. මේක ගුරුවරුන් ඇතුළු සාමූහිකව ලබාගත් ජයග්‍රහණයක් .

‘‘අපේ දරුවෝ ක්‍රීඩාවට දක්ෂයි,  ඒත් පහසුකම් නෑ’’ 

පාසලේ ක්‍රීඩා ගුරුතුමා, එන්.ජී.ඒ. මධුෂ්ක ප්‍රියංග නානායක්කාර

“අපේ පාසලේ දරුවන් අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවලටත් දක්ෂයි. දරුවන් කොට්ඨාස, කලාප,


පළාත් ක්‍රීඩා උත්සවවලදී ක්‍රීඩා ඉසව් ජයග්‍රහණය කරලා සමස්ත ලංකා පවා ගිහින් තියෙනවා. ළමයින් කොච්චර දක්ෂ වුණත් පහසුකම් නැහැ. පාසලට හරි හමන් ක්‍රීඩාංගණයක් නැහැ. අවශ්‍ය ක්‍රීඩා උපකරණ නැහැ. පසුගිය කාලේ කොට්ඨාස තරගවලින් අපේ පාසලේ දරුවන් දෙදෙනකු ධාවන තරගවලින් ජයග්‍රහණය කළා.  ඉදිරි තරගවලට සහභාගි වෙන්න ඔවුන්ට අවශ්‍ය  ක්‍රීඩා සපත්තු තිබුණේ නැහැ. ක්‍රීඩා සපත්තුවල මිල එක්ක, දුප්පත් දරුවන්ගේ දෙමාපියන්ට ඒක ලොකු අභියෝගයක්. ළමයින්ට සිහිනයක්. පස්සේ අපි කතා කරලා පසුගිය පොසොන් පොහොය දිනයේදී පාරේ යන වාහන හෝදන්න පටන් ගත්තා, දරුවොත් එක්ක සපත්තු කුට්ටම් දෙක ගන්න සල්ලි හොයා ගන්න. දවසෙම හෝදලා එකතු වුනේ රුපියල් 65000 ක් වගේ මුදලක්. පස්සේ  කලවාන ප්‍රදේශයේ කැම්පස් එකක මල්ලී කෙනෙක් අපිට උදව් කළා. එහෙම ගිහින් නිවිතිගල කලාපයේ එක වෙලා, සබරගමුව පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා සහභාගි වුණා. ක්‍රීඩාවට දක්ෂ දරුවන් ගොඩක් පාසලේ ඉන්නවා. එහෙත් පහසුකම් නැහැ. අපේ පාසලේ ආර්. නිමල් රාජ් නමැති සිසුවා මැරතන් තරග වලින් ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. එවැනි දක්ෂ දරුවන් විශාල පිරිසක් අප පාසලේ ඉන්නවා. ක්‍රිකට්, එල්ලේ වගේ ක්‍රීඩා වලින්  හොඳ කණ්ඩායම් පාසලේ ඉන්නවා. ගුරුවරුන් තමන්ට හැකි ලෙස දරුවන් ඉල්ලන සියලු‍ම දේ අරන් දෙනවා. සමහර දරුවන්ගේ ඇඳුම් පවා අරන් දෙන්නේ ගුරුවරුන්. මේ දරුවන් වෙනුවෙන් යම් උදව්වක්, උපකාරයක් කරන්න පුළුවන් පිරිසක්, ආයතනයක් ඉදිරිපත් වුණොත් ඒක දරුවන්ට ශක්තියක්.”


“සුපිරි පහසුකම් අපේ දරුවන්ට එපා, අවම පහසුකම් ටිකවත් දෙන්න” . 


-පාසලේ අධ්‍යාපන හදාරන දරුවකුගේ මව්පියන් පොදුවේ අදහස් දක්වමින් .


“අපි එදා වේල හොයාගන්න කුලියක් මලියක් කරන මිනිස්සු. මේ දරුවන්ගෙන් සියයට අසූවක විතර අම්මා හරි තාත්තා හරි නැහැ.


ආර්ථික අපහසුතා මැද්දේ තමයි ළමයින් පාසලට එවන්නේ. එහෙම එන දරුවන්ට පාසල තුළ  ක්‍රීඩා කරන්න සුදුසු පිට්ටනියක් නැහැ. සංගීත විෂය ඉගෙන ගන්න ආස වුනත් සංගීත උපකරණ කිසිවක් නැහැ. ළමයින් ආශාවට ලී කෑල්ලක පරණ කම්බි ගහලා සංගීත උපකරණ හදාගෙන තියෙන්නේ. පාසල තුළ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් පවා නැහැ. පාසලේ එක පැත්තක් ටික ටික ඇළ ඉවුරට කඩාගෙන යනවා. පාසල සතුව තියෙන්නේ කුඩා විද්‍යාගාරය එක්ක ගොඩනැගිලි තුනයි. මව්පියන් තාවකාලිකව පුළුවන් විදිහට හදපු කෑල්ලක් තියෙනවා. ඒක වැස්ස දවසට ඉන්න බැහැ, තෙමෙනවා කියලා දරුවෝ අපිට කියනවා. පාසලේ තිබුණ පරිගණක දෙකම කැඩිලා හුඟක් කල්. හුඟාක් අපහසුතා මැද්දේ අපේ දරුවන් ඉගෙන ගන්නේ. අඩුම ගානේ, දුෂ්කර පාසල් වෙත ලැබෙන සපත්තු වව්චර් එකවත් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. ගොඩක් ළමයින් කැඩිච්ච සපත්තු දාගෙන පාසල් එන්නේ. සමහර ළමයින් සපත්තු නැතිව පයේ කටු ඇනගෙන, පයින්ම පාසලට එනවා. දුප්පත් අපේ දරුවෝ, දරුවන් නෙවෙයි ද?  (අදහස් දැක්වූ මව්පියන් කඳුළු සලමින්) සුපිරි පාසල්වල සුපිරි පහසුකම් අපේ දරුවන්ට එපා. අවම පහසුකම් ටිකවත් දෙන්න. මේ දරුවන් ඉන්න හැටි බලන්න එන්න. කවුරු හරි පිරිසක්, අපේ දරුවන් වෙනුවෙන් ඉගෙන ගන්න උදව්වක් කරනව නම් ලොකු පිනක්. ”


අනේක කම්කටොලු‍, බාධක මැද, මේ දරුවන් අධ්‍යාපන සිහිනය ජයගෙන අනාගතය ලස්සන කරගෙන රටට වැඩක් කිරීමට බලාපොරොත්තු වෙති. මෙම පාසලෙන් ඉගෙනුම ලැබූ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම රාජ්‍ය ආයතන නිලධාරීහු සිටිති. ඔවුනුත් පුළුවන් ලෙස පාසල වෙත උදව් උපකාර කරති. මෙම අහිංසක දරුවන්ගේ මුහුණට සිනහවක් රැගෙන එන්නට පුළුවන් නම් එය විශාල පුණ්‍ය කටයුත්තකි. උදව් කිරීමට  පුළුවන් පුද්ගලයකු හෝ කණ්ඩායම්, ආයතනයක් වෙතොත් පහත දුරකථන අංකය ඇමතීමෙන් එම පාසල සම්බන්ධ කරගත හැකිය.


එම පාසල සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය : 0719334702 (විදුහල්පති ප්‍රසාත් ප්‍රියදර්ශන මහතා)

 

ඡායාරූප සහ සටහන
■ කලවාන උපේන්ද්‍ර
ප්‍රියංකර ජාතුංගම