තාත්තලාගේ සංසදය දරුවන් වෙනුවෙන් කැපවෙන ආදර්ශ පාසලක්


 

“මම ඉගෙන ගත්ත ඉස්කෝලෙ දැක්කම මට හරි දුකයි”

කීර්තිමත් ගායන ශිල්පියකු වන විජේසුන්දර වේරගොඩ, කඹුරාපොල ශ්‍රී රතනපාල විද්‍යාලය දැක කම්පිතව පැවසුවේ මීට වසර දහයකට පමණ පෙරය. එම පාසලේ හැත්තෑපස්වැනි සංවත්සරය වෙනුවෙන් ‘එකම රෑනෙ කුරුල්ලෝ’ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්නට සූදානමින් සිටින ඔහු දැන් සිටින්නේ තමා උගත් පාසල පිළිබඳව කිසියම් අස්වැසිල්ලකිනි.


අද එම පාසලේ විදුහල්පති වන්නේ චමින්ද බණ්ඩාර ජයසුන්දර ය. විද්‍යා උපාධියක් මෙන්ම කලා උපාධියක් ද සතු ඔහු රතනපාල විදුහලේ විදුහල්පති ධූරය බාරගන්නේ  මීට වසරකුත් සිව් මසකට පෙරාතුවය. එදා පටන්ම ඔහු පාසලට අලු‍ත් වෙනසක් දෙන්නට ඇප කැප වූයේය.


“කඹුරාපොල කියන්නෙ කුලියාපිටිය පොලිසියෙ නිතර නම සටහන් වෙන ගමක්. මත්පැන්වලට ප්‍රසිද්ධ, ගහ මරා ගැනීම් බහුල ගමක්. ඒ නිසාම ළමයින් පවා ප්‍රචණ්ඩයි. මේ ගමට එන්න ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් පවා අකමැතියි. පාසල ගැනවත් ළමයින්ගෙ අධ්‍යාපනය ගැනවත් මව්පියන්ටවත් උනන්දුවක් තිබුණෙ නැහැ. ඒ නිසාදෝ, මේ පාසලේ හිටියෙත් ළමයි 179 ක් වගේ සුළු පිරිසක්. ඒත් දැන් ළමයි 205 ක් ඉන්නවා. ලබන අවුරුද්දෙ පළමු වසරට ඇතුළුවෙන්න ඉල්ලු‍ම්පත්‍ර 36 ක් ඇවිත් තියෙනවා. ඉස්සර අලු‍තින් ආවෙ ළමයි දහයක්  වගේ සුළු ගණනක්. 


ඒ වගේම පහුගිය ශිෂ්‍යත්ව විභාගෙට ළමයි විසි එක් දෙනෙක් ලිව්වා. ඒ විසි එක් දෙනාම ලකුණු සියයට වඩා ගත්තා. ළමයි තුන් දෙනෙක් ලකුණු එකසිය හැත්තෑවට වඩා අරගෙන ශිෂ්‍යත්වයෙන් සමත් වුණා. ”


ආඩම්බරයෙන් පවසන චමින්ද ජයසුන්දර විදුහල්පතිවරයා,  පාසල බාරගත් විගසම කළේ පාසලේ පෙනුමේ සිට සියල්ලම වෙනස් කිරීමය. වෙනස පටන්ගත යුත්තේ වෙනසකිනි.  ඒ වෙනස ඔහු කළේ කෙසේදැයි ඔබ දන්නවාද?


“පාසල වෙනස් කිරීමේ පළමු පියවර විදිහට මම දැක්කේ මව්පියන්ගේ විශ්වාසය දිනා ගැනීමයි. මොකද, ඒ වෙද්දී පාසල ගැන මව්පියන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒකනෙ ගමේ පාසලට ළමයි බාර නොදී වෙන පාසල්වලට ළමයි බාරදෙන්නෙ. ගමේ පාසල හොඳයි කියන විශ්වාසය අම්මලට තාත්තලට දෙන්න මම කළේ මව්වරුන් පියවරුන් පාසලට සමීප කරවීම. ඔවුන් පාසලට කැඳවලා මේ ඉස්කෝලෙ හදන්න පුළුවන් කියලා ඒ අයට තේරුම් කරල දීලා අපි එකතුවෙලා ඉස්කෝලෙ හදමු කියලා ඒ අයට යෝජනා කළා. ටික දවසකදීම මම ඒක කරලා පෙන්නුවා.


දෙවෙනි කාරණය වුණේ ළමයින් විනයවත් පිරිසක් බවට පත් කිරීම. ඒ වෙද්දී පාසලේ විනය තිබුණෙ හොඳටම පිරිහිලා. ගමේම විනය පිරිහිලා තියෙද්දී පාසලේ විනය පිරිහීම පුදුමයක් නෙවෙයිනෙ. ඒ නිසා විනය හදන්න පටන්ගන්න ඕනැ ගමෙන් කියලා මම තේරුම් ගත්තා. මම කලාප අධ්‍යාපන කාර්යාලයෙන්  පොලිසියෙන්  උදව් ලබා ගත්තා. අද වෙද්දී රතනපාල ආදර්ශ විද්‍යාලය, විනයගරුක ළමයින්ගෙ තෝතැන්නක්.


තුන්වෙනියට කළේ පාසලේ බාහිර පෙනුම වෙනස් කිරීම. පාසලේ භෞතික සම්පත් විදිහට තිබුණෙ පරණ ගොඩනැගිලි කිහිපයක් විතරයි.. ඒ ගොඩනැගිලිවලට අලු‍තින් තීන්ත ආලේප කළා. බිත්ති වල චිත්‍ර ඇන්දෙව්වා. ළමයින්ගෙ නිල ඇඳුම වෙනස් කළා. පිරිමි ළමයි ඇන්ද නිල් කලිසම වෙනුවට සුදු කලිසම ඇන්දෙව්වා. ක්‍රීම් පාට ටයි පටියක් හඳුන්වා දුන්නා. මේ වෙනසත් එක්ක  ඔවුන් අලු‍ත් පිරිසක් වෙනවාය කියන හැඟීම ළමයින්ගෙ හිත්වලට කැව්වා. ඒ නිසා හැම ළමයෙක්ම අලු‍ත්වෙන්න, අලු‍තින් හිතන්න පුරුදුවුණා. 
හතරවෙනියට කළේ  ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවාගත්තු එක. ඒක ලෙහෙසි වුණේ නැහැ. මම විදුහලේ ඉගෙන ගත්තු කිර්තිමත් සිසුන් සොයාගෙන ගිහින් පාසල වැටිලා තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. පාසල ගොඩගන්න ඒ අයගෙන් සහයෝගය ඉල්ලා සිටියා. ඔය විදිහට එක් වූ ආදි ශිෂ්‍යයො පාසල ගොඩගන්න උදව් කරන්න පටන් ගත්තා. අද, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් සරත් අබේගුණවර්ධන ප්‍රමුඛ ගුරුවරු, හාමුදුරුවරු ඇතුළු උගත් පිරිසක් ආදි ශිෂ්‍ය සංගමයෙ ඉන්නව. ඒ අය හැමවිටම පාසලේ දියුණුව අපේක්ෂා කරන බව ගෞරවයෙන් සඳහන් කරන්න ඕනැ.


ඊළඟට, ගුරු මණ්ඩලයෙ හිත දිනාගත්තා. ගුරුවරු දිහා මානුෂීයව බලන්න පටන් ගත්තා. ගුරු මණ්ඩලය අතරෙ එකමුතුකම ඇති කළා. අද පාසලේ ගුරුවරු ස්ව කැමැත්තෙන්ම හවස  3.30 දක්වා පාසලේ ඉගැන්වීම් කටයුතු කරනවා. එක කාල පරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ නිසා ළමයින්ට ඉගෙනගන්න වැඩි කාලයක් ලැබිලා තියෙනවා.


ඊළඟට කළේ ළමයින්ගෙ ආකල්ප සංවර්ධනය කිරීම. අපේ ගමේ මව් පිය දූ දරු සම්බන්ධතා වල ලොකු දුරස් බවක් තිබුණා. මට අවශ්‍ය වුණා. අම්මා තාත්තා සහ දරුවන් අතර ලොකු බැඳීමක් ඇති කරන්න. මම ගමේම සම්පතක් වන බන්දුල ඇල්පිටිආරච්චි ගුරුතුමා ගෙන්නගෙන මව් පිය ගුණ සම්භාවනා වැඩසටහනක් පැවැත්තුවා. බන්දුල සර් ගීත ගයමින් අම්මාගෙ තාත්තාගෙ ගුණවරුණාව ඉදිරිපත් කළා. ඒ වැඩ සටහන ප්‍රතිඵල දායක වුණු නිසා හැම දෙමසකට වරක්ම ඒ වැඩ සටහන නවතාවයෙන් කරගෙන යනවා.”
“මම පාසල බාර අරන් ටික දවසකින් තේරුම් ගත්තා තාත්තලා හදා ගන්නෙ නැතුව ළමයි හදන්න බැහැ කියලා. ඉතින් මම පාසලේ හැම දරුවකුගෙම පියවරුන්ට පාසලට එන්න කිව්වා. ඒ අයගෙ සංසදයක් හදාගත්තා.  ඒ අයගෙ ආකල්ප වෙනස්කළා. තාත්තා කෙනෙක් කියන්නෙ කව්ද? තාත්තා කෙනෙකුගෙ වගකීම මොකක්ද? යුතුකම් මොනවද? කියන කාරණා ඒ අයට තේරුම් කරලා දුන්නා. අද ඒ සංසදයෙ පියවරු හරිම කැමැත්තෙන් පාසලට උදව් කරනවා.  දැන් ගමේ මත්වතුර අඩුවෙලා. අපරාධ පවා අඩුවෙලා. ඉස්සර ඇවිලෙන්න බලන් හිටිය උදවිය දැන් සාමකාමීව ජීවත් වෙනවා. පහුගිය ඇසළ පෝය දවසෙ ආගමික වැඩසටහන් මාලාවක් කළා. ධර්ම දේශනාම හයක් එක දිගට පැවැත්තුවා. ළමයින්ට දානෙ ඉව්වෙ, බෙදුවෙ, පියවරු. හැම තාත්තෙක්ම ඒ වැඩවලට දායකත්වය ලබා දුන්නා. අද පාසල ආරක්ෂා කරන්නෙත් ඔවුන්.”
පසුගිය දා කුලියාපිටිය දිසාපති කාර්යාලය හා ප්‍රධාන ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ ජනප්‍රිය රාජ්‍ය ආයතනය තේරීමේ  කටයුතු කළේය. එහිදී ළමයින් දෙසීයට අඩු පාසල් අතරින් හොඳම ග්‍රාමීය පාසල ලෙස තේරුණේ මෙම රතනපාල ආදර්ශ විදුහලයයි එය පාසලට ලැබුණු සුවිශේෂ සම්මානයකි.


දැන් පාසල ලහි ලහියේ සූදානම් වෙන්නේ සිය 75 වැනි සංවත්සරය පැවැත්වීමටය. ඒ වෙනුවෙන් කෙරෙන ප්‍රමුඛ කාර්යය විජේසුන්දර වේරගොඩ සහ බන්දුල ඇල්පිටිආරච්චි එක්ව පවත්වන ‘එකම රෑනෙ කුරුල්ලෝ’ සංගීත ප්‍රසංගයයි.

විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය සහ දරුවන්...

විදුහල්පති තුමා, දෙමව්පියන් සමග...


“අපේ 75 සංවත්සරය වෙනුවෙන් පාසල් ගීයට අලු‍ත් තනුවක් හඳුන්වා දුන්නා. ඒ වගේම 75 සංවත්සර ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය ලිව්වෙ ගමේ ඉන්න දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු ගුවන් විදුලියෙ වැඩකර විශ්‍රාමිකව ඉන්න  කෙනෙක්. නම සුනිල් රංචාගොඩ.
ඒ වගේම, මේ සංවත්සරය වෙනුවෙන් අපි පාසලේ ලොකු උත්සවයක් පවත්වනවා. අවුරුදු අසූව පැනපු පාසලේ ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වනවා. දක්ෂ කීර්තිමත් දරුවන් අගය කරමින් පාසල් මාතා අභිමානී සම්මාන ප්‍රදානය කරනවා. නිවාඩු නොගෙන පාසලට වැඩියෙන්ම පැමිණි ගුරුවරුන් අගය කරන සම්මාන පිරිනමනවා. ශිෂ්‍ය නායක වැඩමුළුවක් පවත්වනවා.”   


මේ ආදී ලෙසින් අලු‍ත් සංකල්පනා මැද කඹුරාපොල ශ්‍රී රතනපාල ආදර්ශ විදුහලට අලු‍ත් වෙනසක් හඳුන්වා දුන් චමින්ද බණ්ඩාර ජයසුන්දර යනු කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථියෙකි. සියනෑ අධ්‍යාපන පීඨයේ පුහුණුව ලද ඔහු ගුරුවරයෙකු ලෙස කලක් සේවය කළේ කැබිතිගොල්ලෑව, වාහල්කඩ විදුහලේය. එකල නොසිතූවිරූ මොහොතක ඔහු කොටි සහ හමුදාව අතර යුද්ධයකට මැදිවිය. ඉන් ඔහු ලද්දේ කම්පනයකි. ඒ කම්පනයෙන් ඔහු ගීතයක්ද ලිව්වේය.


‘ළා දලු‍ නටුව බිදුණු
සුහුඹුල් මල් කැකුළක
වනපස තුරු මුදුනින් ගිලිහුණා.
නිල්වන් අහස පුරා
අළු‍වන් දුමාරයෙන්
හිනැහෙන හිරු දෙවියන් සැඟවුණා’


ලෙසින් ඇරඹෙන එම ගීතය ගයන්නේ බන්දුල ඇල්පිටිආරච්චිය. ‘එකම රෑනෙ කුරුල්ලෝ’ ගීතවත් වෙද්දී බන්දුල ඒ ගීය ද ගයනු ඇත්තේය.
ශ්‍රී රතනපාල ආදර්ශ විද්‍යාලය, කඹුරාපොළට පමණක් නොව රටටම ආදර්ශයක්වීම මොනතරම් වාසනාවක්ද?

 

 

■ ශාන්ත කුමාර විතාන