තාක්ෂණයේ සිරවීම


 

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. තාක්ෂණික දියුණුවත් සමග ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු සොයා ගැනීම අද කළුනික සොයනවාටත් වඩා අපහසුය. නමුත් ජංගම දුරකථන භාවිතයේ ඛේදනීය තත්වය වන්නේ නූතන තරුණ පරපුර ජංගම දුරකථනයේ සිරකරුවෙකු බවට පත්ව තිබීමයි.


දියුණු ලෝකයේ තාරුණ්‍යයට තාක්ෂණය කියන්නේ අත්‍යවශ්‍යම දෙයකි. ජංගම දුරකථනයේ ප්‍රයෝජන රැසක් පවතින බව සැබෑය. නමුත් ‘පිහිය රත්තරන් වුණු පලියට බෙල්ල කපා ගන්නේ නැත.’ කොතරම් ප්‍රයෝජන ලබාදුන්නද ඇබ්බැහි භාවිතා කිරීම තුළින් ජීවිත විනාශය කරා රැගෙන යාමේ හැකියාවද ජංගම දුරකථනය සතුවේ. මේ සියලු දේවල් තීරණය වන්නේ භාවිතා කරන්නා මත වේ. කෙතරම් සාර්ථක මෙවලමක් වුවත් වත්මන් තරුණ පරපුර මෙය අවභාවිතයකින් තොරව පරිහරණය කරනු ලබයි. ඔවුන් හුරුවී තිබෙන්නේ ජංගම දුරකථනය තුළම ජීවත් වීමටයි. නිවස තුළ බස්නැවතුම්පොළ මහ මග යන ඕනෑම තැනකදී ඔවුන්ගේ සිත යොමුවන්නේ ජංගම දුරකථනය වෙතටයි. තමන්ගේ මව්පියන් සමග කතා කරන්නට, නිදහසේ පොතක් කියවන්නට, පරිසරය විඳින්නට අද තරුණයන්ට කාලයක් නොමැත. මන්ද ඒ තරමටම ඔවුන් ජීවත්වන්නේ ජංගම දුරකථනයට කොටුවෙලා ය.
ඔවුන් මොහොතකට හරි ජංගම දුරකථනයෙන් දුරස් වන්නේ නින්දට යන මොහොතේ දී පමණි. අද තරුණ තරුණියන්ගේ පරිකල්පන ශක්තිය, ලේඛන හැකියාව, සාහිත්‍ය රසවින්දනය ගිලිහී ගොස්ය. ජංගම දුරකථනය තුළම ජීවත්වන ඔවුන් නොදැනුවත්වම සාහිත්‍ය රසය දුරස් වී ඇත. අද භාෂාව දියුණු වනවාට වඩා සිදු වී ඇත්තේ භාෂාව විකෘති වීමයි. ජංගම දුරකථනය ඔස්සේ තරුණ පරපුර සිංglish  භාෂාවකට හුරු වී ඇත. එදා මෙන් සාහිත්‍යධරයන්, කවියන් බිහි නොවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. අද සෑම සම්බන්ධතාවක්ම ජංගම දුරකථනයට කොටු වී ඇත.


 ජංගම දුරකථනයට කොටුවෙලා පවත්වන සම්බන්ධතා හරිම කෘත්‍රිමයි. ඇතැම් අවස්ථාවන්වලදී තරුණ තරුණියන් ජංගම දුරකථනය ඔස්සේ නාඳුනන පුද්ගලයන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගැනීම සිය ජීවිත අඳුරට ඇදගන්නා අවස්ථා අද සමාජයේ ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. කෙසේ නමුත් ජංගම දුරකථන භාවිතයෙන් මුළුමනින්ම ඉවත්වීමේ හැකියාව නැත. වැදගත් වන්නේ අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමයි.


නිලූෂි නිලුනිකා කුමාරි
කැලණිය විශ්වවිද්‍යාලය.