තමාගත් ඡායාරූප දැක රණවිරුවා කම්පාවෙයි


ආධුනික සෙබළ සොබාසිරි 1990 මාන්කුලම් හිදී  දකුණු පස කෙළවර සෙබළ සූරියබණ්ඩාර කළු සුදු ඇඳුමෙන්

 

පසුගිය සතියේ ඉතිරිය

(මාන්කුලම් සටනේ මතක ඉතිරි කළ...)

දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මාන්කුලමට අදළව පැහැදිළි තත්ත්වයේ ඡායාරූප විසිගණනක් ලබාගත හැකි විය. අනතුරුව ඒ සියල්ල නිවසට රැගෙන ගිය ඔහු ඒවා නරඹමින් රස විඳින්නට වූයේ බොහෝ මතක සිහිගන්වමිනි. එසේම මියගිය තම සහෝදර සගයින් පිළිබඳ ඉතා දුක්බර මතකද එහි ඇතැම් ඡායාරූප දකිද්දී ඔහුව හදවත පෙ​ෙළන්නට විය. කෙසේ හෝ එම ඡායාරූප ඇල්බමයක බහා නිවසේ සුරැකිව තබන්නට ඔහු අමතක නොකළේය. 


මෙලෙස මසකට ආසන්න කාලයක් තම නිවාඩුව ගතකළ සෙබළ සූරියබණ්ඩාර, යළි රාජකාරි සඳහා වාර්තා කරනුයේ වව්නියාවටය. ඒ වනවිට එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයකම රාජකාරි භාරගෙන තිබුණේ 3 සිංහ භට පිරිස් විසිනි. කෙසේ නමුත් එහිදී පෙර මාන්කුලමේ තමන් සමග කටයුතු කළ වැඩිදෙනෙක් ඔහුට හමුනොවූහ. විශේෂයෙන්ම තමන් සතුව තිබූ ඡායාරූපවල දක්නට ලැබුණු සැරයන් උදේපාල, 2/ලුතිතන් ප්‍රසන්න ලියනගේ, සෙබළ නිමල් සිරිවර්ධන යන කිසිවෙකුත් එහි දී ඔහුට යළි මුණ නොගැසිණ. 


මේ අතර සැරයන් උදේපාල ද සැලකියයුතු කාලයක් රෝහලේ හා නිවසෙහි සිට ප්‍රතිකාර ලැබ යළි මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා එක්විය. නමුත් ඒවෙනවිට ඔහු සුවය ලබා තිබුණ ද තුවාල සිදුවීම හරහා දැනෙන තරමේ බලපෑමක් තම දෛනික කටයුතුවල දී එල්ලවී තිබිණ. මෙලෙස තවදුරටත් දින සති මාස ගත විය. එම කාලසීමාව තුළ යුද බිම තුළ මෙන්ම ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිත තුළ ද සිදුවූ වෙනස්කම් රාශියකි. මාන්කුලම් හා කොකාවිල් සිදුවීම් එලෙස අතීතයට එක්වෙද් දී සැරයන් මේජර්වරයකු ලෙස අනුපිළිවෙලින් උසස්වීම් ලැබූ උදේපාල 2010 අප්‍රේල් මස 14 වැනි දින යුදහමුදාවෙන් ඉවත්වෙනුයේ වෛද්‍ය වර්ග කිරීම් යටතේය. ඒ වෙනවිට දශක තුනක් තරම් දීර්ඝ කාලයක් යුදහමුදාවේ සේවය කොට තිබූ ඔහුට, එවක පැවති භට පිරිස් හිඟය මත නියමිත සේවා කාලය ඉක්මවා ද හමුදාවේ ගතකිරීමට අවස්ථාව ලැබී තිබිණ. 


ඉහත කොකාවිල් මාන්කුලම් සිදුවීම්වලට තවත් දශක කිහිපයක් ගතවිය. එතෙක් කිසිවකුගේ අවධානයට බඳුන්ව නොතිබුණු මෙම කතාවට යළි පණ ලැබුණේ එම සිදුවීමෙන් හරියටම වසර 28කට පසුවය. එනම්, 2018 වර්ෂයේදී මා විසින් රචනා කොට එළිදක්වන ලද “අවි බිමක ගිනියම” නම් ග්‍රන්ථය හරහාය. ඊට පාදක වූයේ ඉහත සඳහන් කළ මාන්කුලම් හා කොකාවිල් ප්‍රහාරයට අදාළ වෙන සම්පූර්ණ කතාවය. ඒ වෙන විට එම සිදුවීමට වසර 28ක් ගතව තිබුණි. සමාජයට සහමුලින්ම අමතකව තිබූ, එමෙන්ම යුද හමුදාව තුළ පවා වැඩි තොරතුරු සඳහන් නොවුණු එම සිදුවීම පිළිබඳ මවිසින් වසර තුනක අඛණ්ඩ ගවේෂණයක් සිදුකරන ලද්දේ සියුම් හෝඩුවාවල් ඔස්සේ පවා ඊට සම්බන්ධව ජීවතුන් අතර සිටින පුද්ගලයින් සොයා රටපුරා ඇවිදිමිනි.


එක්තරා දිනෙක පෙරවරුවේ කිසියම් අයකු එවකට මා සිටි කොස්ගම යුද හමුදා කඳවුරෙහි මාගේ කාර්යාලයට පැමිණියේය. ඒ 2016 වසරේය. ඉටි කවරයක බහාලූ පොතක් වැනි යමක්ද අතැතිව සිටි ඔහු කිසිවකු විසින් කළ දැනුම්දීමකට අනුව එලෙස පැමිණ තිබුණි. ඔහු නමින් 3 සිංහ රෙජිමේන්තුවට අයත් සැරයන් සූරියබණ්ඩාර විය. කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු ඒ වෙන විට ද පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ රාජකාරීන්හි නිරතව සිටි අයෙකි. ඊට පෙර කිසිදා හමු නොවී තිබූ ඔහු, එහිදී මා හමුවේ ඉතා ආචාරශීලීව පැවසුවේ තමා 1990 මාන්කුලම් සිදුවීමට සම්බන්ධ සෙබළ සූරියබණ්ඩාර නම් අයකු බවය. 26 වසරක මතකයක් ද රැගෙන එලෙස ඔහු මා කරා පැමිණීම මා හටද මහත් ආශ්වාදයක් විය. ඒ වෙනවිට එම කොකාවිල් මාන්කුලම් සිදුවීමට සම්බන්ධව මා විසින් මුලපුරා තිබූ ග්‍රන්ථයේ ඔහු ප්‍රධාන පාර්ශ්වකරුවකු වී සිටීම ඊට හේතුවයි. කෙසේ හෝ ඔහු හා පැය කිහිපයක් පුරා කතාබහ කොට ලබාගත් තොරතුරු සමුදාය පොතක් පිරෙන්නට තරම් විය. 


අපගේ හමුව අතරතුර එතෙක් ඔහු සුරැකිව තබාගෙන සිටි ඉටිකවරය මා වෙත දිගු කළේය. එහි බහා තිබුණේ පැරණි CR පොතක් හා සේයා පටල (Negative) කිහිපයකි. ප්‍රමාණයෙන් පිටු 40ක් තරම් වූ එම පොත කොතෙක් පරණ එකක් වී ද යත් එහි පිටකවරය හා ඇතැම් කොළ දුර්වර්ණ වී පුස් අල්ලා තිබිණ. පොතෙහි පළමු පිටුව ඉංග්‍රීසි භාෂාවෙන් කිසියම් දත්ත රැසක් වගුවක ආකාරයට සටහන් කර තිබුණු අතර එහි ඉහළ දකුණු කෙළවර  ‘‘එල් හැත්රු ප්‍රනාන්දු”, ගම්මාන 14, අංක 10, නල්ලච්චිය, තඹුත්තේගම ලෙස සඳහන් ලිපිනයක්ද විය. 


දෙවැනි පිටුවේ සිට පිටු 15ක් පුරා තිබුණේ කිසිවකුගේ අත්අකුරින් ලියු තොරතුරු සමුදායකි. එය මුළුමනින්ම 1990 මාන්කුලම් ප්‍රහාරය හා ඉන් පසුව කඳවුරේ දෛනික සිදුවීම් මාලාව පිළිබඳවය. මනරම් ලෙස අදහස් ගළපා පිළිවෙළට ලියා තිබූ එහි කර්තෘ වී තිබුණේ  ‘‘සොබාසිරි”  නම් වූ ආධුනික සෙබළෙකි.  ‘‘සර් මේක මාන්කුලමේ ඇටෑක් එක දවස්වල මගේ බංකරයේ ඉඳන් ආධුනික සෙබළෙක් ලිව්ව තොරතුරු තියන පොතක්” සූරියබණ්ඩාර මා හමුවේ පැවසුවේ එම පොත හා බැඳී තිබුණු අපූරු කතාව දිග හරිමිනි. 
මාන්කුලම් ප්‍රහාරයෙන් දින කීපයකට පසුව එහි උග්‍ර ආහාර හිඟයක් මතුවෙන්නට විය. එහිදී සෙබළ සූරියබණ්ඩාර, පුෂ්පජිත් නම් තවත් සෙබළකු සමග මාන්කුලම් කඳවුර ඉදිරිපිටට වෙන්නට වසා දමා තිබූ වී ගබඩාවකට ඇතුළු වෙනුයේ එහි සහල් හෝ වී ඇත්නම් රැගෙන යාම පිණිසය. ඒ වෙන විටද ත්‍රස්තවාදීන් ප්‍රදේශය වටකොට සිටි බැවින් ඔවුනට එම ක්‍රියාව සිදුකරන්නට වූයේ ඉතා පරෙස්සමෙනි. විවෘත කළ ගබඩා සංකීර්ණයේ එක් කොටසක වී හා සහල් මිටි විශාල ප්‍රමාණයක් තිබිණ. මේ අතර සූරියබණ්ඩාර එහි ඔබ මොබ ඇවිදින අතරේ ඔහුට එහි අල්මාරි ලාච්චුවක තිබී පිටු 40 ප්‍රමාණයේ සීආර් පොතක් හමුවිය. බැලූ බැල්මට එය එම වී මෝලේ අයිතිකරු විසින් පරිහරණය කළ වී සටහන් පොත බැව් සෙබළ සූරියබණ්ඩාරගේ අනුමානය විය. කෙසේ හෝ ඔහු එම ගබඩාවට ඇතුළු වූ අවශ්‍යතාව ඉටුකරගන්නා අතරේ මෙම සීආර් පොත රැගෙන යාමට ද කටයුතු කර තිබුණි. එසේ රැගෙන ගිය පොත ඔහු භාරදී තිබුණේ එම බංකරයේ සිටි ආධුනික සෙබළ සොබාසිරි වෙතය. එහිදී දිනපතා කඳවුරේ සිදුවෙන තොරතුරු සියල්ල එහි සටහන් කළ යුතු බවට ඔහු සොබාසිරිට නියෝග පනවා තිබුණි.


රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ආධුනික සෙබළ සොබාසිරි, මාන්කුලම් කඳවුරට පැමිණි දා සිට රාජකාරි කරනු ලැබූවේ සූරියබණ්ඩාර සමගින් එම බංකරයේමය. පෙර සිටම පුවත්පත්වලට පවා ලිපි නිර්මාණ යොමුකළ සාහිත්‍ය රචනයට ඇල්මක් හා හැකියාවක් දැක්වූ සොබාසිරිට සුරියබණ්ඩාරගේ නියෝගය දඬුවමකට වඩා ආස්වාදයකට හේතුවිය. එම නිසා ඔහු එම කටයුත්ත අපූරුවට ඉටු කළේය. ඔහු එලෙස එම CR  පොතෙහි ලියා තිබූ කොටසක මෙසේ දැක්වේ.


“සඳ එළියෙන් මා වේලාව බැලුවේය. හරියටම පාන්දර 4.00යි. RPG යට තවත් බෝම්බයක් කැවුවෙමි. ත්‍රස්ත වෙඩි බලයට RPGයෙන් පිළිතුරක් දෙන්නට බංකරයෙන් එළියට විත් ඇහැළ ගසට පිට දී අවට නිරීක්ෂණය කළෙමි. ප්‍රධාන ගේට්ටුව දෙසට ඉලක්කය ගත්ත අතර බංකරය තුළ සිටි මිතුරු සෙබළ දෙදෙනා ආවරණ වෙඩි සැපයූහ. හිත වෙර යොදා අවිය ක්‍රියා කරවීය. පරිසරයම සසල කරමින් මෝටාරය ඉදිරියේ පිපිරී ගියේය. විනාඩි ගණනක නිහඬතාවකින් පසු කඳවුර දෙසට මෝටාර් එල්ල වෙන්නට විය. ඒ අතරතුර පළවෙනි මුරකුටිය දෙසින් අපේ බංකරයට තදබල ප්‍රහාරයක් එල්ල වූයේය. අපේ ප්‍රති ප්‍රහාරයෙත් අඩුවක් නොවීය. “පතොරොම්” සොයා යන අතරෙහි මම අපේ බංකරයට දකුණු දෙසින් ඇති දෙවැනි මුරකුටියට ඇතුළු වුණෙමි. දෙවියනේ අදහාගත නොහැකි දේ නම් සෙබළුන් හැමතැනම විසිරී වැටී ඇත. කෙනකුගේ කෙඳිරියකි. තවත් අයකු වේදනාවෙන් මියැදුණු සලකුණුය. පස් හය දෙනකු එතැනමය. සෙබළ සිතට දිරිය අරන් පිටවූයෙමි බංකරයෙන්. වටින් ගොඩින් එළිය වැටෙන සලකුණු පහළ වී ඇත. අසල බංකර්වල තොරතුරු සොයමින් සෙබළුන් එකා දෙන්නා කවර් එකේ ඇදීයයි. ත්‍රස්ත්‍ර වෙඩි බලය අඩුවී ඇත. සෙබළ ගුණවර්ධන පැවසුවේ ඔහුගේ බංකරයේ කෝප්‍රල් කෙනෙක් හා සෙබළෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුවූ බවයි. පළමු බංකරයේ එක් සෙබළෙක් හා සිවිල් සේවකයෙකු බංකරය තුළම මියැදී ඇත. තවත් කවරින් පොයින්ට් එකක සෙබළෙකුගේ ඇහැට වැදුණු වෙඩි පහර ඉවසනු නොහැකිව අතේ රැඳි එ.4 බෝම්බය පපුවේ තබාගෙන දිවිනසා ගෙන ඇත. එන තොරතුරු සියල්ලම හිත සසලකරයි. පෙර දයාබරව සුහදව සිටි මිතුරු සෙබළු පැය විසිහතරකටත් අඩු කාලයක දී අප හැර ගොසින්ය. දැන් මිනිසා පෙනෙන තරමට එළිය වැටී ඇත. බංකර් කවුළුවෙන් නුවන් යොමා පිටත බැලුවෙමි. යුද්ධයේ බියකරු බව කඳවුරම වෙලාගෙන ඇත. අතු ඉති විසිරී ඇත. තැන තැන වැටී ඇති මළකඳන්ය. 

 

සෙබළ සූරියබණ්ඩාර 1990 මාන්කුලම් කදවුරේදී


 සූරියබණ්ඩාරගෙන් ලද තොරතුරු ඔස්සේ එක්තරා දිනක මා උදෑසන මාවනැල්ලෙන් හැරී අරණායක ප්‍රදේශයේ පිහිටි නිවසක් සොයා ගියේ තවත් සෙබළු දෙදෙනකු ද සමඟිනි. ඒ 2017 වසරේදීය. අතරමගදී කිහිප දෙනකුගෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් අනතුරුව දුෂ්කර මාර්ගයක් ඔස්සේ එම නුපුරුදු පරිසරයකට ළඟාවූයේ අහම්බෙන් ලද හෝඩුවාවක් මත විශේෂ පුද්ගලයකු හමුවීම සඳහාය. නිවසට ආසන්නවත්ම එහි මිදුලේ සිටි අවුරුදු 60ක් පමණ වයසැති අයකු බොහෝ උනන්දුවෙන් අප දෙස විමසිලිමත් වනු පෙනිණ. “මේ අර මාන්කුලමේ හිටපු සාජන් මේජර් උදේපාලද” මම ඔහුගෙන් විමසුවෙමි. කිසිත් නොදොඩා අංගචලනයෙන් පිළිතුරු දුන් ඔහු තුළ පැවතියේ කුතුහලයකි. 
එහිදී මා රැගෙන ගිය ඡායාරූපයක් ඔහුට පෙන්වීය. “මේ ඉන්නේ උදේපාල නේද” මම ඔහුගෙන් විමසන්නට වූයේ මහත් උනන්දුවෙනි. ඔහු එක එල්ලේම ඡායාරූපය දෙස බලා සිටියේ තැතිගත් අයුරිනි. 


එහිදී, ඔහු තුළින් දිස් වූ විස්මය කොතෙක් ද යන්න මෙහි විස්තර කළ නොහැකි තරම්ය. ඔහු එක්වරම ඉස්තෝප්පුවේ වූ පුටුවකට බර වූයේය. 1990 ජුනි 15 වැනි දින අලුයම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය හමුවේ තුවාල ලැබූ තමන්ගේ ඡායාරූපයක් වසර 27කට පසු එලෙස දැකීම ඔහුට අදහාගත නොහැකි විය. එසේම එය එදවස තමන්ගේ කැමරාවෙන්ම කිසිවකු විසින් හෝ ලබාගෙන තිබීම එහි තිබූ තවත් විශේෂත්වයකි. 

 


ඉතිරි කොටස ලබන කලාපයෙනි