ජලයත් අහිමි වූ පසු අලිමංකඩ අතහැර පසුබැස්ස හැටි


 

තිබුණ බරපතළ තත්ත්වය නිසා අපේ සහයට පනස් තුන්වන සේනාංකයත් ආවා. මොකක් ආවත් සතුරාගේ ප්‍රහාරය නැවතුනේ නැහැ. ඊට පස්සේ පලාලි පැත්තෙනුත් ගහන්න පටන් ගත්තා. ඒක තරමක් දැවැන්ත ප්‍රහාරයක්. එයින් අයියකච්චි ළිං ටිකත් අල්ලා ගන්න ත්‍රස්තයන්ට හැකි වුණා. මේක බරපතළ ප්‍රශ්නයක් වුණා. මොකද අපිට වතුර ගන්න තිබුණ එකම සම්පත තමයි මේ ළිං ටික. මේ ළිංවල ජලය හරිම පිරිසිදුයි.

 

යුද්ධයක දී පවතින්නේ ජයග්‍රහණ පමණක් නොවේ. උපක්‍රමශීලී පසුබැසීම් මෙන්ම පරාජයන්ට ද මුහුණ දීමට සිදු වනු ඇත. වඩාත් වැදගත් වන්නේ ඒ කුමක් වුව ද එයට ධෛර්යය සම්පන්නව මුහුණ දීමය.   


අපේ ත්‍රිවිධ හමුදාව ද දශක තුනකට අධික කාලයක් තිස්සේ මේ අත්දැකීම්වලට මුහුණ දී තිබේ.   

අලිමංකඩ යනු උතුරට පිවීසීමටත් උතුරෙන් පිටවීමටත් ගොඩබිම් මාර්ගයේ තිබුණ එකම දොරටුවය. එය කපොල්ලක් බඳුය. මානුෂීය මෙහෙයුමේ දී අලිමංකඩ කොටි ත්‍රස්තවාදීන් ගෙන් මුදාගැනීමේ ජයග්‍රාහී සටන පිළිබඳව අපි දනිමු. එහෙත් තමන් සතු බිමක්, යුද මර්මස්ථානයක් අතහැර දමා පසු බැසීමට යුද හමුදාවකට සිදුවෙනවා නම්, එවැනි තීරණයක් ගැනීම කෙතරම් දුෂ්කර වනු ඇති ද? එසේම එවැනි තීරණයක් ගැනීමට බලපෑ පසුබිම් කතාව කෙතරම් බිහිසුණු අත්දැකීමක් විය හැකි ද? අලිමංකඩ අතහැර පසුබසින්නට ගත් තීරණය වටා පවතින්නේ ද එවැනි බිහිසුණු අත්දැකීම් රැසකි.   


ඒ අත්දැකීම අපට කියන්නේ ලු‍තිනන් ගාමිණී සරත් කුමාර මහතාය.   


ඔහු යුද මෙහෙයුම් රැසකට සක්‍රීය දායකත්වයක් ලබා දුන් යුද හමුදා නිලධාරියෙකි.   


සරත් කුමාර මහතා හමුදාවට බැඳුණේ 1984දීය. ඒ ආධුනික සෙබළෙක් ලෙසය. විශ්‍රාම ගියේ ලු‍තිනන්වරයෙක් ලෙසය. සේවයට බැඳුණු වහාම උතුරේ ක්‍රියාන්විත රාජකාරිවලට යාමට ඔහුට සිදුවිය. ඒ නිසා ඔහුට යුද්ධය තුළ තිබෙන අත්දැකීම් අති විශාලය. ජයග්‍රහණ හා පරාජයන් මෙන්ම පසුබැසීම් සම්බන්ධයෙන් ද ඔහුට අත්දැකීම් රැසක් තිබේ. යාල්දේවියේ ආරක්ෂාවට යොදවා සිටිය දී 1985 ජනවාරි 19 වැනිදා රාත්‍රියේ ත්‍රස්තවාදීන් දුම්රිය මාර්ගයේ බෝම්බ අටවා පුපුරුවා හැරිය අවස්ථාවේ ද ඔහු එම දුම්රියේ ආරක්ෂාවට ගමන් කළ ලාන්ස් කෝප්‍රල්වරයෙක් විය. අලිමංකඩ පසුබැසීම ද ඔහු ලද බිහිසුණු අත්දැකීමකි. මේ ඔහු කියන කතාවයි.   
‘ඒ කාලේ ඇසිස්ටන්ට් ලොග් ඔෆිසර් කෙනෙක් හැටියට තමයි රාජකාරි කළේ. අපිට තිබුණේ පරිපාලන කටයුතු. ඒ වගේම අැඳුම් ආයිත්තම්, උපකරණ ඇතුළු ද්‍රව්‍ය සැපයීමත් අපේ වගකීමක්. ඉතිං අපිත් යුද්ධයේ දී සේවා සපයන්නන් හැටියට සහභාගි වුණා. අලිමංකඩ සටනේදිත් අපි එයට සම්බන්ධ වුණා.   
අලිමංකඩට කාලයක් කාටවත් එන්න බැරිවෙන්න හතර වටෙන්ම ත්‍රස්තවාදින් වටකරලා තිබුණ වෙලාවේ ජෙනරල් කොබ්බෑකඩුව වෙත්තලකේනි වලින් මුහුදු ප්‍රදේශයක් සී ලෑන්ඩ් එකක් කරලා බීච් ලොකු ප්‍රදේශයක් අල්ලා ගත්තා. එහෙම කරලා තමයි අලිමංකඩට සැපයුම්වලට ඉඩ හදා ගත්තේ.   


එල්ටීටිඊය ඒ කාලේ ප්‍රබලව සටන් කළා. ඒ නිසා ඔවුන් උත්සාහ කළා අලිංමකඩ අල්ලා ගන්න. කොටි ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි බළකායත් ඉතා බලසම්පන්නව සටන් කළා. මේ සිදුවීමට පෙර සිටම මුහුදු තීරය මුදාගන්න මුහුදු කොටි සමග අපේ නාවුක හමුදාව බරපතළ ලෙස සටන් කළා. එයින් දෙපැත්තටම බරපතළ හානි වුණා.   
මේ සිදුවීම අරම්භ වුණේ 1999 නොවැම්බර් දහවැනිදා. අපි කලින් කළා වගේම එදා වෙත්තලකේනිවල සී ලෑන්ඩ් එකක් කරලා ඒ ප්‍රදේශය අල්ලා ගත්තා. ඒ කාලේ කොටි ත්‍රස්තවාදීන්ගේ මේ මෙහෙයුමට කිව්වේ ‘නොනවතින රැල්ල’ කියලයි. මේකට නායකත්වය දුන්නේ කරුණා අම්මාන්.   


පනස්හතර වැනි සේනාංකය යටතේ හිටපු දෙවැනි ගැමුණු හේවා බළකායයි, දහවැනි සිංහ රෙජිමේන්තුවයි තමයි එතකොට ඒ ප්‍රදේශයේ හිටියේ. ඔවුන් ලොකු සටනක් දුන්නා. නමුත් තවදුරටත් අල්ලාගෙන ඉන්න බැරි වුණාට පස්සේ එයාලා පස්සට වුණා. ඒ වෙලාවේ ත්‍රස්තවාදීන් වෙත්තලකේනිවල ඔය සී ලෑන්ඩ් එක දාගත්ත තැනට ටිකක් උතුරින් ලොකු සර්කල් එකක් දාගෙන ගොඩබිමේ සැලකිය යුතු කොටසක් අල්ලාගෙන ආරක්ෂාව යෙදෙව්වා. එතනට ඔවුන්ගේ භට සේනා, අවි ආයුධ සියල්ල ගෙනත් දා ගත්තා.   
අපේ කණ්ඩායම පස්සට ඇවිත් කුවේණි හංදියේ ආරක්ෂාව යොදා ගත්තා. මෙහි සිටියදීත් දිගටම සටන් ඇවිළුණා. මෙතනින් ටිකක් පහළට වෙන්න ඒ කියන්නේ ත්‍රිකුණාමලය පැත්තට වෙන්න තෝරම්පත්තු කියලා ප්‍රදේශයක් තිබුණා. ඒ තෝරම්පත්තුවල තිබුණා බ්‍රිගේඩ් එකක් ඒකට අපි කිව්වේ පෙට්ටි බ්‍රිගේඩ් කියලා. මොකද ඒ බලසේනාව රැඳි සිටි ප්‍රදේශය පෙට්ටියක හැඩයක් තමයි ගත්තේ. එතන තමයි කොමාන්ඩෝ බලසේනාත් හිටියේ. මේ දෙකටම දිගටම එල්ටීටිඊය පහර දුන්නා. ඊට පස්සේ අපේ කට්ටියත් සටන අතහැරියේ නැහැ. හිතේ තිබෙන තරහට අපේ කට්ටියක් පනස් හතර සේනාංකයට කිට්ටුව තිබුණ ලොකු කළපුවකට ගිහින් හැංගිලා ඉඳලා එල්ටීටීඊයේ එකොළහක් මැරුවා. පහුවදා එම්අයි 24 ප්‍රහාරක ගුවන් යානයක් යොදවලා ඒ ප්‍රදේශයට පහර දුන්නා. ඒ වෙලාවේ ත්‍රස්තවාදීන් ඒ යානයට පහර දුන්නා. ඒක එහෙම පිටින්ම කඩාගෙන වැටෙන හැටි අපි දැක්කා. ඒක වුණේ උදේ පාන්දර අටට විතර.   
එදා පනස් හතර වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළේ මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල, නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් පර්සි ප්‍රනාන්දු තමයි කටයුතු කළේ. ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වූයේ බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහය. මෙහිදී විශාල කාර්යභාරයක් සංඥා බලකාය කළා. එයට නායකත්වය දුන්නේ කපිතාන් සුරේෂ් දිසානායක හා කපිතාන් ධම්මිකයි. 


අපේ පනස් හතර වැනි සේනාංකය යටතේ 541, 542, 543, 544, 545, 546 යන බලසේනා හයක් සහ කොමාන්ඩෝ බළකායත්, ගුවන් සංක්‍රමණික බලකායත් හිටියා. එය ඉදිරිපිටින් අලිංමංකඩත් පිටිපස්සෙන් පරන්තන් දක්වාත් විහිදුනා. ඉස්සරහින් ගහලා අපේ අවධානය ඒ පැත්තට සම්පූර්ණයෙන්ම යොමු වුණාට පස්සේ අපේ හතුරා පිටිපස්සෙන් පහර දෙන්න පටන් ගත්තා. ඒ පැත්තෙන් නොනවත්වා දිගට පහර දීලා අපිව පරන්තන් වලින් පස්සට තල්ලු‍ කළා. උන් ඒ ටික අල්ල ගත්තා. ඊට පස්සේ නැවත ඉදිරිපසින් පහර දෙනවා. මේ විදිහට දිගට ගැහුවා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2000 ජනවාරි අන්තිම වෙද්දි පුනරීන් පැත්තෙනුත් ගහන්න පටන් ගත්තා. පෙබරවාරි වෙනකොට ඉදිරියෙන් හා පිටිපස්සෙන් දෙපැත්තෙන්ම ගහන්න පටන් ගත්තා. එයාලගේ ඉලක්කය වුණේ අයියකච්චිවල ළිං ටික අත්පත් කරගැනීම.   


මේ වෙනකොට තිබුණ බරපතළ තත්ත්වය නිසා අපේ සහයට පනස් තුන්වන සේනාංකයත් ආවා. මොකක් ආවත් සතුරාගේ ප්‍රහාරය නැවතුනේ නැහැ. ඊට පස්සේ පලාලි පැත්තෙනුත් ගහන්න පටන් ගත්තා. ඒක තරමක් දැවැන්ත ප්‍රහාරයක්. එයින් අයියකච්චි ළිං ටිකත් අල්ලා ගන්න ත්‍රස්තයන්ට හැකි වුණා. මේක බරපතළ ප්‍රශ්නයක් වුණා. මොකද අපිට වතුර ගන්න තිබුණ එකම සම්පත තමයි මේ ළිං ටික. මේ ළිංවල ජලය හරිම පිරිසිදුයි. අපේ සේනාංකය ඔක්කොම සෙබළුන් හා නිලධාරින් 16000ක් පමණ වුණා. ඉතිං එවැනි පිරිසකට වතුර දෙන්න තවත් සම්පතක් කොහෙන් ද? මේක නැතිවෙනවා කියන්නේ සේනාංකයකට ජලය අහිමි කරනවා වගේ වැඩක්. ඊට පස්සේ අනෙක් පැත්තෙන් ගහලා ඒ නවය මාර්ගය අල්ල ගත්තා. දැන් අපිට කිසිම සැපයුම් මාර්ගයක් නැහැ. අපේ අයට යන්නත් බැහැ. අපේ පැත්තට එන්නත් බැහැ. අපිට අඩුම තරමින් ගුවනින් යන්නත් බැහැ. ඒ සේරම ත්‍රස්තවාදින් පහර දීලා බිමට දානවා. දැන් ත්‍රස්තයන්ගේ ඉලක්කය තමයි අපිව හැම පැත්තෙන්ම කොටු කරලා සුළු බිම් කඩකට සීමා කරලා මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරලා අපිව නැත්තටම නැති කරලා දැමීම. එහෙම වුණා නම් ලොකු විනාශයක් වෙන්නේ.   


ඒ නිසා අපේ බුද්ධි අංශත් ජ්‍යෙෂ්ඨ නිලධාරිනුත් දේශපාලන බලධාරිනුත් එකතු වෙලා කතා කරලා තීරණයක් ගත්තා තවදුරටත් මේ ස්ථානයේ රැඳී සිටීමෙන් සිදුවෙන හානිය වැඩි නිසා උපක්‍රමශීලිව පසුබසිමු කියලා. ඒ අනුව අපි අප්‍රේල් 20 වැනිදා අපේ කණ්ඩායමක් පිටවෙන්න ගියා. අපේ 152 කාලතුවක්කු දෙකක්, තවත් ආයුධ කීපයක්, ලිපි ලේඛන, සන්නිවේදන උපකරණ කීපයක් ආදීය අරගෙන තමයි ඔවුන් ගියේ. ඒ ගියේ අලිමංකඩින් වම් පැත්තට තිබුණ අඩිපාරක් දිගේ වෙරළ පැත්තට ගිහින් ලු‍ණු ලේවායේ නිල නිවාස පැත්තෙන් ගිහින් මුහමාලේ පැත්තෙන් ඒ නවය මාර්ගයට ඇවිත් පලාලි යන්නයි. නමුත් අපේ කාලතුවත්තු දෙක වෙරළ තීරය ආසන්නයේ දී එරුණා. ඒක ගොඩගන්නම බැහැ. ඒක ගන්න දැන් පලාලි වලින් වාහන ගේන්න ඕනෑ. ඒක කරන්නත් බැහැ. ඒ නිසා පස්සේ ඒක ගලවා ගන්න අදහසින් එතනට විශේෂ බළකාය ආරක්ෂාවට යොදවලා අපේ කණ්ඩායම ගියා. ඒත් එදා රෑම ත්‍රස්තවාදින් අපේ විශේෂ බළකායටත් පහර දීලා අර කාලතුවක්කු දෙක පැහැරගෙන ගියා.   

 


දැන් අපිට කරගන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි විසිර යාමට සියල්ල සුදානම් කළා. අපේ ඉතිරිව තිබුණ අරගෙන යන්න බැරි බර අවි සියල්ල විනාශ කළා. ඒවා තියලා ගියොත් සතුරා ඒවා භාවිත කරලා අපිට ගහනවා. අරන් යන එක අපිට වෙනම ගැටලු‍වක්. ඒ නිසා බරින් අඩු පහසුවෙන් ගෙන හා හැකි ආයුධ ටික අරගෙන අපි පසු බැස්සා. බොන්න වතුර ටිකක් නැතිව ප්‍රතිප්‍රහාරවලට අවශ්‍ය තරමට ආයුධ නැතිව ආයුධ තිබුණත් සපයා ගන්න මාර්ගයක් නැතිව තවදුරටත් සටන් කිරීම අපේ සියලු‍ දේ අහිමි කරගැනීමක් බව ඒ වන විට අපිට අවබෝධ වෙලා තිබුණා. ඒ නිසයි මේ තීරණය ඉහළින් ගත්තේ. අපි පසුබැසීම ආරම්භ කළේ අප්‍රේල් 22. ඒ කාලේ කියන්නේ දරුණු විදිහට පෑවිල්ල තිබුණ කාලයක්. ඉතිං වතුර නැතිව සටන් කරනවා කියන එක ගැන දැන් හිතන එකත් අමාරුයි. ඒත් එහෙම කරන්න අපිට සිදු වුණා.   


මේ ගැටුම පටන් ගත්තේ 1999 වසරේ නොවැම්බර්. ඊළග අවුරුද්දේ පෙබරවාරි විතර වෙනකල් අපේ අයට නිවාඩුවලට ගෙදර යන්න පුළුවන්කම ලැබුණා. ගෙවල්වලට කතා කරන්න අවස්ථාව ලැබුණා. නමුත් ඉන්පස්සේ ඒ සියල්ල බිඳ වැටුණා. මොකද හතුරා හැම පැත්තෙන්ම ඒ වෙනකොට අපිව වටකරපු නිසා. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ අපි හිටියේ ගෙවල්දොරවල් ගැන පවුලේ අය ගැන කිසිම ආරංචියක් නැතිව. ඒ අයත් අපි ගැන ආරංචියක් නැති කමින් බරපතළ පීඩාවකට පත්වෙලා හිටියා. සමහර අය මියගිහින් කියලා ගෙවල්වලට ආරංචි ලැබිලා තිබුණා.   


ඇත්තටම මිය ගියේ කවුද නැත්තේ කවුද කියලා හොයා ගන්න බැරි තරමට තත්ත්වය ඒ වෙනකොට දරුණු වුණා. අපේ ගොඩක් අය මිය ගියා. ඊටත් වැඩි පිරිසක් තුවාල ලැබුවා. මෙතන තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි තුවාල ලැබූ අයට අපේ වෛද්‍ය බලකාය කරන ප්‍රතිකාරයක් හැර වැඩිදුර ප්‍රතිකාර කරන්න අවස්ථාව නැති වීම. මොකද අපිට එතනින් රෝගින් පිටකරන්න මාර්ගයක් තිබුණේ නැහැ. ඒ නිසාත් සමහරු මිය ගියා. ළිං ටික අල්ල ගත්තාට පස්සේ වතුරත් නැහැ. ඔය කොතැනකින් හෝ හොයාගන්න ලු‍ණු වතුර පවා අපිට බොන්න සිදුවුණා. අපේ අය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාමේදි සංඥා අංශයත් විශාල මෙහෙයක් කළා. ඔවුන් වාහන පණ ගන්වා ඒ මගින් පවා සංඥා උපකරණවල බැටරි නැවත ආරෝපණය කර ගන්න උත්සාහ කළා. ඒ විදිහට නොයෙක් උපක්‍රම යොදා අපි අතර සම්බන්ධීකරණය පවත්වාගෙන ගිය නිසා ඉතිරි වුණ අපේ සේරම ආපසු පලාලි දක්වා ගෙන යන්න හැකි වුණා.   


අපි කරන සටන් වලින් කිසිම ජයග්‍රහණයක් නැහැ. මේ සේරම නිසා අපේ කණ්ඩායමේ ආත්ම විශ්වාසය ජවය රැකගැනීමත් වැදගත් වුණා. ඒක අපේ ජ්‍යෙෂ්ඨ නායකයන් හොඳින්ම කළා. පසුබැසීමට තීරණය කරන තුරුම අපිට තිබුණ ඉලක්කය වුණේ මළත් මේ බිම හතුරට දෙන්නේ නෑ කියන එකයි. නමුත් අවසානයේ අපිට ඒක අතහැර පසුබසින්න සිදුවුණා. ඒක යළි මානුෂීය මෙහෙයුමෙන් අත්පත් කරගන්නා තුරු අපිට ලබාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් අපි අල්ලාගෙනම ඉන්න උත්සාහ කළා නම් ගොඩක් දේවල් අහිමි වෙන්න තිබුණා. ඒ නිසා පසුබැසීමට ගත් තීරණය ඒ වෙලාවේ ගන්න තිබුණ හොඳම තීරණයක්.   


අපි එළියට ඇවිත් රෝහල් ගත කළාම ඇත්තටම රෝහලේ ඉඩ මදි. අපේ බරපතළම අය කොළඹට එව්වා. සමහර අය රෝහලේ එළියේ ගස්යට විවිධ දේවල් මත දාලා ගස්වල අතුවල ලණු වලින් එල්ලපු සේලයින් බෝතල්වලින් සේලයින් දුන්නා. ප්‍රතිකාර කළා. ඇතුළේ හිටපු අය ඇඳන් යටත් හිටියා. මම හිටියෙත් ඇඳක් යට. අපි රෝහල් ගත කරද්දී ගොඩක් දෙනා හිටියේ ඉදිමිලා. ඒ වතුර නැති කමින් හා නිදි වර්ජිතව සිටීමෙන්. ඇත්තටම ඒ සටන නම් මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.  

 

සටහන :
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක