ගැබිනි මවුන්ට පෝෂණ මලු අරන් ගමින් ගමට ගිය ගමන


ප්‍රා. ලේකම් කාර්යාලයේ උත්සවයක් අරඹමින්...
 
 
දුම්බර නිල්ල පිස එන සුළඟත් සුවඳයි
මැදිවක කොබෝනිල හැමදාමත් සිසිලයි
කිරිගංකුඹුර ගංගොඩ කෙත්වතු සාරයි
උඩදුම්බර කෝරලෙම හරි පින්කාරයි
 
දෙවි ලියනට සුව සදනා යහන්ගල
හැම දින නුබ කුස සිඹිනා නවනගල
යන එන දන තුටු කරනා ගැරඬිගල
මේ හැමටම මග කියනා ලකේගල
 
වංගු දෙකෙන් නැග විත් හුන්නස්ගිරිය
දුම්බර රටා මැව් දිවසළු ලා හැකිය
චන්දන දියෙන් සනහා ගත විඩාදිය
දහ අට පෙනේ පසු කළ විට තැම්මිටිය
 
‘දුම්බර සොඳුරී’ නමින් ලියැවුණු මේ කවි කිහිපය මා කියෙව්වේ මින් ටික දිනකට කලින් නිකුත් වූ ‘කවි සිතම දම්පාටයි’ නම් කාව්‍ය සංග්‍රහයෙනි. උඩදුම්බර කෝරලය පිළිබඳව මේ අයුරින් උදම් අනන්නී වෙන කවුරුවත් නොව වත්මන් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන නිලූෂා මනෝරත්නය.
 
ප්‍රාදේශීය ලේකම්වරියක් තමන්ගේ සේවා ප්‍රදේශයට ඒ සා ආදරය කරන්නේ නම් ඇගෙන් එම ප්‍රදේශයට ඉටුවන සේවය කොයිතරම් ප්‍රශස්ත වියහැකිදැයි මම කල්පනා කළෙමි. අවසන ඇය අමතා ඇගේ රාජකාරි පිළිබඳව කතාකරන්නට තීරණය කළෙමි. 
 
“මම සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස සේවයට එක්වන්නේ 2012 වසරෙදි. දොලු‍ව, මැදදුම්බර, උඩදුම්බර, හසලක කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මම වසර කිහිපයක් සේවය කළා. මධ්‍යම පළාත් සභාවෙ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය කොමසාරිස් ලෙසත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙ සහකාර ලේකම් ලෙසත් සේවය කළ මම 2022 වසරෙ සිට උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනවා.”
ඇය මෙතෙක් සේවය කළ මෙම ප්‍රදේශ බෙහෙවින්ම දුෂ්කර ප්‍රදේශය.  මෙම ප්‍රදේශවල ගොවිතැන් බත් කරගෙන ජීවත්වන අහිංසක ගම් වැසියන් විඳින දුක දැක නිලූෂාගේ හිත උණු වුණ අවස්ථා බොහෝය.
 
“මම සැප සම්පත් මැද්දෙ හැදුණ වැඩුණ කෙනෙක්. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත කොයිතරම් දුෂ්කරද කටුකද කියලා මම තේරුම් ගත්තෙ රාජකාරි කරන්න පටන්ගත්තට පස්සෙ. 2015 අවුරුද්දෙ පත්වුණු ආණ්ඩුව කාලෙ ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු‍ බෙදාදෙන වැඩසටහනක් ආරම්භ කළා. මෙහිදී අපිට සිදුවුණේ සායනයෙන් සායනයට ගිහින් පෝෂණ මලු බෙදලා දෙන්නයි.  එක සායනයකට ගිහින් පෝෂණ මලු බෙදලා ඉවර කරලා අනික් සායනයට  සෑහෙන දුරක් යන්න තියෙනවා.  මේ යනකොට අපිටත් බඩගිනි දැනෙනවා. කොහෙ හරි නතරකරලා තේ ටිකක් බොන්න අනන්තවත් හිතෙනවා. ඒත් එහෙම නැවතුණොත් ඊළඟ සායනයට යන්න පරක්කු වෙනවා. එතකොට ගැබිනි මව්වරුන්ට බඩගින්නෙ මග බලන් ඉන්න වෙනවා නේද කියලා හිතලා අපි අපේ බඩගින්න ගැන නොහිතා ඊළඟ සායනයටත් යනවා. ඔය වගේ සායන පහකට විතර එක දවසෙ යන්නවුණා. ඔය දවස්වල මම මගේ දුව ලැබෙන්න හිටියෙ. මමත් ගැබිනි මවක් විදිහට තමා තවත් ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු අරන් ගියේ. ”
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමියන් සිය උපන්දිනය සමරන්නේ දුප්පත් සිසුන්ට පාසල් උපකරණ ආදිය පරිත්‍යාග කිරීමෙනි. මෙම වසරේදී ඒ වෙනුවෙන් ආර්ථික දුෂ්කරතා සහිත දහම් පාසල් දරුවන් සියදෙනෙක් සොයාදෙන්නැයි උන්වහන්සේ ඉල්ලීමක් කළේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමියගෙනි. 
“ඒ වෙලාවෙ මට ඇතිවුණේ ලොකු සතුටක්. මම උන්වහන්සේට මෙහෙම යෝජනාවක් කළා. 
“අපේ හාමුදුරුවනේ මෙහෙ ඉන්න හුඟක් ළමයි උඩදුම්බරටවත් ඇවිත් නැහැ. ඒවගෙ ළමයි ටිකක් නුවර චාරිකාවක් එක්ක එන්න පුළුවන්නම් ලොකු පිනක්”
“හා. එහෙමනම් අපි එහෙම කරමු. ඔබතුමිය ගමන සංවිධානය කරන්න”
 
හාමුදුරුවො මගේ යෝජනාවට ඒ විදිහට ප්‍රතිචාර දැක්වුවට පස්සෙ මම හපුකන්ද කියන දුෂ්කර ප්‍රදේශයෙ දහම් පාසල් ළමයි සිය දෙනෙක්ට නුවර චාරිකාව සංවිධානය කළා. දළදා මාලිගාවට  එක්කගෙන ගිහින් දළදා හාමුදුරුවො වන්දනා කරන්න ලැබුණු ඒ අවස්ථාව ළමයින්ට වාසනාවක් වුණා. ඒ වගේම නුවර වැව, පේරාදෙණිය මල්වත්ත, මහනුවර සිටි සෙන්ටර් වගේ තැන්වලට  ඒ ළමයින්ට චාරිකා කරන්න හැකිවුණා. දවල් ආහාර වගේම තේ පැන් ලබාදීමත්, පාසල් උපකරණ බෙදාදීමත් ඒ චාරිකාව අතරතුර සිදුකෙරුණා. මම හිතන්නෙ ඒක ආනන්ද හාමුදුරුවො සමග මමත් කරගත්තු පිනක් කියලයි. ඉන්පස්සෙ ආනන්ද හාමුදුරුවො ඒවගේ ආර්ථික දුෂ්කරතා තියෙන තවත් ළමයින්ට ඒවගෙ ගමන් කිහිපයක්ම සංවිධානය කරන්න පෙළඹුණා. උන්වහන්සෙ සභාපතිත්වය දරන ජාතිය ගොඩනගන්නන්ගේ සංගමය මගින් ඒ චාරිකා සියල්ල සංවිධානය කළේ.”
කොවිඩ් වසංගතය නිසා මෙන්ම ඉන්ධන අර්බුදය නිසාද ලංකාව නමැති දේශය කලින් කල  අකර්මණ්‍යව තිබිණි. ඉන්ධන නැතිව සති දෙකක් තිස්සේ රට වසා දැමුණු සමයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කළේ නිලධාරීන් ටික දෙනෙකි. නිලූෂා  සහ තවත් සහකාර නිලධාරිනියන් දෙදෙනෙක් පමණක් සේවයට වාර්තාකර තිබූ එක් දිනෙක ඇයට මුහුණදෙන්නට සිදුවූයේ වෙනස්ම අත්දැකීමකටය.
“උඩදුම්බරට අයත් කන්දේගම කියලා දුෂ්කර ගමක් තියෙනවා.   උඩදුම්බරට කිලෝමීටර් දහඅටක් විතර දුර ගමක්. දවල් දොළහට විතර එක අම්මා කෙනෙක් ඇවිත් උප්පැන්න සහතිකයක පිටපතක් ඉල්ලනවා. එදා උප්පැන්න දෙන අංශයෙ කවුරුවත් වැඩට ඇවිත් නැහැ. ඒ අංශය වහලයි තිබුණෙත්. ඒත් අර අම්මා ඇවිත් හිටියෙ එයාගෙ පුතෙකුට පාස්පෝට් එකක් ගන්න උප්පැන්න සහතිකේ පිටපත අරන් යන්නයි. කිලෝමීටර දහඅටක් දුර ගෙවාගෙන පයින් ආපු මේ කාන්තාව හිස් අතින් ආපහු යවන්නෙ කොහොමද? මම කිව්වා උප්පැන්න අංශය ඇරලා ඒ අම්මගෙ වැඩේ කරලා දෙමු කියලා.  පස්සෙ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරයකුට දුරකතන ඇමතුමක් දීලා අදාළ පොත හොයාගෙන විනාඩි හතළිස් පහකට විතර පස්සෙ ඒ අම්මට උප්පැන්න පිටපත ලබාදුන්නා.”
 
සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක සහ ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස මෙවැනි අපූරු සිදුවීම්වලට මුහුණ දෙන නිලූෂා මනෝරත්න ඇගේ මේ සියලු‍ අත්දැකීම් අපතේ අරින්නේ නැත. ඇය සිතන්නේ ඒ සෑම අත්දැකීමක්ම කවි කියාය.
 
දරු පැටවුන්ට තෑගි භෝග
 
 
“මම රත්නපුර ෆර්ගසන් ඉස්කෝලෙ ගිය කාලෙ කවි ලිව්වා.  පේරාදෙණිය කැම්පස් එකේ ඉන්න කාලෙත් කවි ලිව්වා.  ඒත් ඒ කාලෙ ලියපු කවිවලට වඩා දැන් ලියන කවිවල තියෙන්නෙ වෙනස් අත්දැකීම් කියලා මට හිතෙනවා. දැන් ලියන කවි ජනතාවගෙ හදගැස්ම එක්කයි ලියැවෙන්නෙ. ඒ නිසා මේවගෙ රාජකාරියක් කරන්න ලැබීමත් මේවගෙ දුෂ්කර පළාත්වල සේවය කරන්න ලැබීමත් වාසනාවක් විදිහටයි මට හිතෙන්නෙ. මම මේ අපූරු අත්දැකීම් ඇසුරින් ලියැවෙන කවි  දැන් ගොඩක් එකතුකරලා තියෙන්නෙ මගේ දෙවැනි කවිපොත කෙටි කවි වලින් යුතුව එළිදක්වන්නයි මම හිතන් ඉන්නෙ. 
මම ලියපු ඒවගෙ කෙටි කවියක් කියන්නම්. 
 
“තුංග හුන්නස්ගිරිය පාමුල
ශෛලමල් ඔයටත් කියා
කුහුඹු කඳු ගැට හංගගෙන 
දිය කෙළිනවද වික්ටෝරියා”
 
මේ කවියද ඇගේ උඩදුම්බර රාජකාරි ජීවිතයේ සුන්දර අත්දැකීමකි.
නිලූෂා මනෝරත්න යනු උඩදුම්බරට ආදරය කරන්නියකි. එනිසාම ඇය හැමවිටම උත්සාහ කරන්නේ උඩදුම්බර ප්‍රදේශය සුන්දර සුපිරිසුදු පරිසරයකින් යුතුව දකින්නටය. එහෙත් උඩදුම්බර ලස්සන දකින්නට එන බොහෝ සංචාරකයන් කරන්නේ පරිසරයට කැළිකසළ දමා අපිරිසුදු කර නික්මයෑමය. ඇය ඒ ගැන සිටින්නේ අප්‍රමාණ සංවේගයෙනි. ඒ වෙනුවෙන් කරන වැඩ රාජකාරිවලට අමතරව ඇය කවියකින්ද සංචාරකයන්ට උඩදුම්බර පරිසරයට කැළිකසළ දමන්නට එපා යැයි ආයාචනා කරන්නීය. 
 
“පුවක් මල් ගැහුවාද කොඩිය ලෙළදෙනවා ද
සිංහලේ කීවාට කළු දුමත් වැඩි නේ ද ?
දහඅටත් නැංගාද තිස්පහේ බැස්සාද
ෆොටෝ ටික ගත්තාට කැත කළේ නෑ නේ ද ?
දිය පොදක් ගත්තාද සීතලක් දැනුනා ද
බෝතලේ බින්දාම හැමතැනම කටු නේ ද ?
මාළුපිණි ඉව්වාද මගදි රහ බැලු‍වා ද
රිලව් මග හිටියාට ඉඳුල් කොළ නෑ නේ ද ?
අදත් ට්‍රිප් යනවාද දුම්බරට එනවා ද
මතක හිත ගුලිකරන් කුණු අරන් යනවා ද ?”

 

 

 

■ ශාන්ත කුමාර විතාන