කෙටි චිත්‍රපට හදා පාසල් නළු නිළියන් බිහි කරන නාට්‍ය ගුරුවරයා දමිත් අලුත්ගම


අපි අපේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සමගාමීව ඒ පාසලේ ළමයින් වෙනුවෙන් වැඩමුළුවකුත් පවත්වනවා. ඒකෙදී පොකට් සිනමාව ගැන සංවාදයකුත් ගොඩනගනවා. හැබැයි ඒ සංවාදය එතැනින් ඉවර නොකර ළමයින්ගෙ ආකල්ප සංවර්ධනය කරලා ඔවුන් සංවේදී පිරිසක් බවට පත් කරන්න උත්සාහ කරනවා.

 

ලංකාවේ දුරබැහැර දුෂ්කර පාසලකට සෞන්දර්ය විෂය වෙනුවෙන් සිටින්නේ එකම එක ගුරුවරයෙකි. ඔහු උගන්වන්නේ නැටුම් හා රංග කලාවය. එහෙත් චිත්‍ර විෂයට, සංගීතයට, නැටුමට ඇළුම් කරන දුවා දරුවනට ඔවුන් කැමති විෂයය ඉගෙන ගන්නට පුළුවන්කමක් නැත.


මෙය ඛේදවාචකයකි. තවත් විදියකට කිවහොත් සිත්තරෙකුගේ මරණයකි. ඇත්තෙන්ම මේ කියන සිත්තරාගේ මරණය, සිදුවන්නේ කෙටි වීඩියෝ චිත්‍රපටයකය. විනාඩි හයක් පුරාවට දිවෙන මේ කෙටි චිත්‍රපටය මේ වනවිට යූ ටියුබය ඔස්සේ රටේ ලෝකයේ බොහෝදෙනෙකුගේ නෙත් ගැටී අවසන්ය. එම කෙටිම කෙටි චිත්‍රපටයේ රඟපෑවේ කන්තලේ මොරවැව දකුණු සිංහල පාසලේ සිසු දරු දැරියන් කිහිප දෙනෙකි. හැබැයි මේ සිසු දරු දැරියන්ට එය රඟපෑමක් නොවන්නට ද ඇත. හේතුව එකී පාසලේ ද සෞන්දර්ය විෂයකට ඉගැන්වෙන්නේ නාට්‍ය හා රංග කලාව පමණක් බැවිනි.


කන්තලේ නගරයේ සිට කි.මී. 44 ක් දුරින් ත්‍රිකුණාමලය පැත්තට වෙන්නට පිහිටි මොරවැව යනු මිරිදිය ධීවර කර්මාන්තයෙන් සහ කෘෂිකර්මයෙන් යැපෙන ජනතාවක් වෙසෙන දුෂ්කර ගම්මානයකි. මේ ගමේ පිහිටි පාසලේ ඉගෙනගන්නේ හැත්තෑවක තරම් සිසු දරු දැරියන් පිරිසකි. අසංක බණ්ඩාර විදුහල්පතිතුමා තම ගුරු මණ්ඩලය සමග මෙම දුවා දරුවන්ගේ නැණස පාදන්නට වෙහෙසෙන්නේය. මෙම පාසලේ නාට්‍ය හා රංග කලාව නැමති සෞන්දර්ය විෂයය උගන්වන්නේ දමිත් අලුත්ගම නමැති ගුරුවරයෙකි. සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු විද්‍යාර්ථියකුව සිටි අවදියේදී චෙරි උයන නව නිෂ්පාදනයක්ද ‘‘සුරඟනක් බඳු පුරගනක්’’ වැනි නාට්‍යද නිෂ්පාදනය කර අත්දැකීම් ලැබූවෙකි.


මොරවැව දකුණු සිංහල පාසලේ සේවයට ගිය ඔහු 6 – 11 දක්වා පංතිවල උගන්නා සිසු සිසුවියන් විසිපස්දෙනා සමඟ එක්ව පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් නිර්මාණය කරන්නට පටන් ගත්තේය. එමගින් ඔහුට අවශ්‍ය වූයේ දුවා දරුවන්ට නව ආකල්ප හඳුන්වා දෙන්නටය. 
මේ ඔහු ඒ ගැන කියන කතාවයි.


අද අපේ රටේ ළමයි ප්‍රචණ්ඩවෙලා. මං දැක්කා පහුගිය දවස්වල, ඕලෙවල් විභාගෙ ඉවරවුණු ළමයි ඉස්කෝලෙ ෆෑන් කඩල දාලා තිබුණු හැටි සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. මේ විදිහට ළමයි ප්‍රචණ්ඩ වෙන්නෙ ඇයි? එයාලා කලාවෙන් ඈත්වෙලා නිසා කලාවෙන් ඈත් කරලා නිසා. කලාව ඇසුරු කරන අය සංවේදී මිනිසුන් වෙනවා. ඒ නිසා ළමයින්ට කලාව අත්‍යාවශ්‍යයි.


මම වීඩියෝ ක්ලිප්ස්වලින් කරන්න උත්සාහ ගත්තේ ඒ දේ. මම මුලින්ම කළේ ආබාධිත ළමයෙකුට සලකන්න ඕනෑ හැටි ගැන විනාඩි හතරක වගේ පුංචි ක්ලිප් එකක්. මගෙ ළඟ වීඩියෝ කැමරාවක් තිබ්බා. ඒත් ඒ වගේ කැමරාවක්. අපේ ඉස්කෝලෙ ළමයි දැකලා තිබුණෙ නැහැ. ඉතින් මේ කැමරාව දැක්කාම ළමයින්ගෙ හිත්වල වෙනමම හැඟීමක් උපන්නා. මේ වැඩේට ළමයි හරිම උනන්දුයි වගෙත් පෙනුණා.


ඊට පස්සෙ මම හැදුවේ ප්ලේග්‍රවුන්ඩ් කියන කෙටි චිත්‍රපටිය. ඊට පස්සෙ මං හැදුවෙ සිත්තරාගෙ මරණය. හැබැයි මේ කෙටි චිත්‍රපටය කරද්දී මම ප්‍රොෆෙෂනල් ටීම් එකක් හදා ගත්තා. මගෙ සරසවි මිතුරු මිතුරියො සහ වෙනත් අය සමඟ. මේ නිසා මේ කෙටි චිත්‍රපටය තත්ත්වයෙන් උසස් විදිහට හදන්න අපිට පුළුවන් වුණා. මම මේක ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලටත් යොමුකළා. මේ වෙද්දී ඒක එහි අවසන් වටයට තේරිලා තියෙනවා.


මේ අයුරින් නිපදවුණු කෙටි චිත්‍රපට පාසලට සීමා නොකර, මොරවැව ගම්වැසියන්ටත් ප්‍රදර්ශනය කළයුතු යැයි මේ ගුරුතුමා කල්පනා කළේය. සිය පාසලේ සිසු සිසුවියන්ද ඒ අදහස අනුමත කළේ, ඒ චිත්‍රපටවල ඇත්තේ තමන්ගේ කුසලතාවන් නිසාය. දමිත් අලුත්ගම ඒ භාරධූර කටයුත්ත ගැන කීවේ මෙසේය.


අපි ගමේ හට් එකක් ගහල තමයි මේ කෙටි චිත්‍රපට පෙන්නන්න හැදුවෙ. අපි හට් එක ගහද්දී ගමේ මිනිස්සු කැමැත්තෙන්ම ඇවිත් ඒ කටයුතුවලට උදව් කළා.

විශ්වාස කරන්න මේ කෙටි චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම මෑතක දී නිර්මාණය කළ දුව දුවා වැඩිසේක නම් කෙටි චිත්‍රපටයෙහි රඟපෑ මනුල නෙත්සර නම් දරුවා ඉන්දියාවේ ක්‍රවුන් ඉන්ටර් නැෂනල් සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙසද සම්මානිත වී සිටී.


දුව දුවා වැඩි සේක කියන කෙටි චිත්‍රපටියෙ තේමාව වැඩිහිටියන්ගෙ මනාපයට පැවිදි දිවියට ඇතුළත් වුණු පුංචි දරුවෙකුගෙ කතාවක්. මේකෙ රඟපාන්නෙ මනුල කියන දරුවයි ගමේ වැඩිහිටියෙකුයි.’’


දමිත් අලුත්ගම කතා කරන්නේ බොහෝ ප්‍රීතියෙනි.


ඔවුන්ගේ ගමනේ විශාල දියුණුවක් දැන් දක්නට තිබේ. විනාඩි පහේ හයේ කෙටි චිත්‍රපට හැදූ ඔවුන් මේ වනවිට විනාඩි 40 ක් පුරා දිවෙන ටෙලි චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබේ.
‘‘ඇත්තටම මේක ලොකු වැඩක්. ටෙලි චිත්‍රපටයක් කරද්දී රඟපාන නළු නිළි පිරිස වැඩියි. දෙකඩ හාල් ලෙස නම් කළ මේ නිර්මාණයට ළමයි 20 ක් වැඩිහිටියන් රැසක් රඟපෑමෙන් දායකවෙලා ඉන්නවා. ඒවගේම ඒ ළමයි මොරවැව දකුණු සිංහල පාසල, අග්‍රබෝධි ජාතික පාසල, කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය, සීනිපුර බණ්ඩාරනායක විදුහල කියන විදුහල් හතරේම රඟපෑමට දක්ෂ ළමයි වැඩිහිටියොත් මේ ගම් පළාත් වලම අය. ඒක විශේෂත්වයක්.


අනිත් දේ නළු නිළියො විතරක් නෙවෙයි මේ පාසල්වලින් බිහිවෙන්නෙ. තිර පිටපත් රචකයො අධ්‍යක්ෂවරු කැමරා අධ්‍යක්ෂවරු වගේම විවිධ ක්ෂේත්‍රවලට දැන් අපේ ළමයි යොමුවෙලා ඉන්නවා.’’
 
මේ කටයුත්තට අපිට ලක්ෂ පහක් විතර වියදම් වුණා. මුලින්ම කුමාරි බණ්ඩාර කියලා මොරවැව ප්‍රදේශයේ කෙනෙක් රුපියල් ලක්ෂයක් දුන්නා. ඉන් පස්සෙ සමාජ මාධ්‍ය වලින් මේ කතාව දැනගත්තු පිරිසකුත් අපිට උදව් කළා.


දැන් ඉස්කෝලෙ ළමයින්ගෙ ආකල්පවල වෙනසක් වෙලා තියෙනව ද?


මා මේ ගුරුතුමාගෙන් අවසානයට ප්‍රශ්න කළේ, පාසල් මගින්, අධ්‍යාපනයෙන් සහ විවිධ ක්‍රියාකාරකම් වලින් සිදුවිය යුත්තේ ළමයින් තුළ යහපත් ආකල්ප ඇතිකිරීමම වියයුතු නිසාය.


‘‘ඇත්තෙන්ම එහෙම දෙයක් වෙලා තියෙනවා. සමහර ළමයින්ට නළුවො නිළියො වෙන්න ඕනෑවෙලා තියෙනවා. තවත් කෙනෙකුට ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න ඕනෑවෙලා. ඒත් ඒ දේවල් කරන්න නම් හොඳට ඉගෙන ගන්න ඕනෑ, උපාධි ගන්න ඕනෑ කියලා ඒගොල්ලො තේරුම් අරගෙන තියෙනවා. මම වුණත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන උපාධි ගත්තු නිසයි මේ දේවල් කරන්නෙ කියන එක මං ඒ ළමයින්ට තේරුම් කරල දීලා තියෙන්නෙ. ඉතින් දැන් ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඕලෙවල් විභාගෙ හොඳින් පාස්වෙලා ඒ අය උසස්පෙළ විභාගෙ කරන්න නගරෙ පාසලකට යයි කියන විශ්වාසය දැන් මට තියෙනවා.


දමිත් අලුත්ගම පැවසුවේ හසරැල්ලකින් දෙතොල් තෙමාගන්නා අතරවාරයේදීය.


‘‘අනිත් ප්‍රධානම කාරණාව, මේ හැම දේම එක පාසලකට විතරක් සීමා නොකිරීම. අපි අපේ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සමගාමීව ඒ පාසලේ ළමයින් වෙනුවෙන් වැඩමුළුවකුත් පවත්වනවා. ඒකෙදී පොකට් සිනමාව ගැන සංවාදයකුත් ගොඩනගනවා. හැබැයි ඒ සංවාදය එතැනින් ඉවර නොකර ළමයින්ගෙ ආකල්ප සංවර්ධනය කරලා ඔවුන් සංවේදී පිරිසක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ටික්ටොක්, එෆ්.බී. වගේ සමාජ මාධ්‍ය අවභාවිත නොකර ඒවායෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්න ආකාරය ළමයින්ට කියා දෙනවා. 
අලුත් අදහස් ඇත්නම් ගුරුවරුන්ට කළ නොහැක්කක් නොමැති බව මගේ හිත කියයි. යහපත් සමාජයක් තනන්නට මෙලෙස අලුත් ඇසකින් ලෝකය දෙස බලන අපූරු ගුරුවරුන් තවත් බොහෝ ගණනක් මේ රටේ සිටිති. සැබැවින්ම ඔවුන් රටට වාසනාවකි. දරු පරපුරට ආශිර්වාදයකි.

 

 

■ ශාන්ත කුමාර විතාන