ක්‍රීඩා පහසුකම් නැතිව ලංකාවම පැරදවූ සිරිපැරකුම්


 

සීතල නුවරඑළියේ කොටගල නගරය සමීපයේ පිහිටි සිරිපැරකුම් විදුහල, දැඩි ආර්ථික දුෂ්කරතාවලින් සමන්විත දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන, පහසුකම්වලින් ඉතාමත් අල්ප විදුහලකි. එහෙත් මෙම විදුහල මෑත භාගයේ සිට බොක්සිං ක්‍රීඩාවෙන්  සීතල නුවරඑළිය උණුසුම් කරන පුවත් නිරන්තරයෙන් මැවීමට තරම් සමත් පාසලක් බවට පත්ව තිබේ.
පුහුණුවීමට සුදුසු ස්ථානයක් නොමැතිව හා සහෝදර පාසල්වලින්  ඉල්ලාගත් ක්‍රීඩා උපකරණ භාවිතා කරමින් ක්‍රීඩා කොට මෙවර පැවැති 2023 වසරේ සමස්ත ලංකා බොක්සිං   තරගාවලියේ බාලිකා අංශයේ සම ශුරතාව දිනා ගැනීමට කොටගල සිරිපැරකුම් විදුහල සමත්කම් දක්වා ඇත්තේ අල්ප පහසුකම් ගොන්නක් මැද්දේය. එසේ අතිශය කටුක අත්දැකීම් ගොන්නක් කරපින්නාගෙන මෙවැනි ජයග්‍රහණ  ලැබීමට තරම් මෙම කුඩා පාසලට හැකියාව ලැබී තිබේ. බොක්සිං ක්‍රීඩාවට ඇවැසි අංග සම්පුර්ණ පුහුණුවීමේ ස්ථාන හා ක්‍රිඩා ඇඳුම් ඇතුළු ක්‍රීඩා උපකරණ  තිබේනම් මෙම විදුහලේ දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා මෙරට කිසිම පාසලකට ළඟාවීමටවත්  නොහැකි තත්ත්වයකට පත්වීම කිසිදු  ජගතෙකුට වැළැක්වීම උගහටය.   


මෙවර 2023 වසරේ සමස්ත ලංකා බොක්සිං   තරගාවලිය රත්නපුර සීවලි මහ විදුහලේදී මෙම මස මුල් සතියේදී  දින පහක් පුරාවට පැවැති අතර, එහිදී  ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලද කොටගල සිරිපැරකුම් විදුහල සම ශුරයන් බවට පත්වීමට හැකියාව ලැබිණි. මෙහි අනෙකුත්  සම ශුරයන් වූයේ ක්‍රීඩිකාවන් අට දෙනෙකු ඉදිරිපත් කරන ලද කිරිබත්කුඹුර විහාරමහාදේවි බාලිකා විදුහලයි.


මෙම තරගාවලියේ කිලෝ ග්‍රෑම් 40- 43 බර පන්තිය යටතේ ක්‍රීඩා කරන ලද කොටගල සිරිපැරකුම් විදුහලේ බ්‍රයන් සොනාලි. රන් පදක්කම දිනා ගත් අතර, ඇය එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවද වූවාය. කිලෝ ග්‍රෑම් 37- 40 අතර බර පන්තිය යටතේ ක්‍රීඩා කරන ලද නිම්සි මිලෝනියා සිසුවිය රන් පදක්කම දිනා ගත් අතර, කනිෂ්ඨ බාලිකා තරගාවලියට ඉදිරිපත් වු ආර්. මොනිෂා සිසුවිය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්කම් දැක්වූවාය.
නුවරඑළිය ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂ, තරු තුනේ බොක්සිං විනිසුරු, හා ජාත්‍යන්තර බොක්සිං විනිසුරු ටී. සුසන්ත වීරසේන මහතා හා කොටගල සිරි පැරකුම් විදුහලේ විදුහල්පතිනිය  හා බොක්සිං පුහුණුකරු ලක්මිණි ලසන්තිකා මහත්මිය විසින් මෙම ක්‍රීඩිකාවන් පුහුණු කොට තරගාවලියට ඉදිරිපත් කොට තිබේ. 
ඉතාමත් අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලක් වෙන සිරිපැරකුම් විදුහලේ දැනට සිසු සිසුවියන් 128 දෙනකු පමණ අධ්‍යාපනය ලබන, දෙවැනි ශ්‍රේණියට අයත් විදුහලකි. ඔවුහු බෙහෙවින්ම ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වන පිරිසකි. 2023 වසරේ සමස්ත ලංකා බොක්සිං තරගාවලියේ සම ශුරයන් වීමට පෙර 2022 වසරේ මැයි මාසයේදී ඩොනල්ඩ් මුණසිංහ අභියෝගතා සමස්ත ලංකා බොක්සිං තරගාවලියට එක්වෙන මෙම විදුහලේ දරු දැරියන් එහිදී  කිලෝග්‍රෑම් 37-39 බර පන්තියේ තරඟ ඉසව්වට ඉදිරිපත් වූ බ්‍රයන් සොනාලී සිසුවිය රන් පදක්කම දිනාගැනීමට සමත් වූවාය. බ්‍රයන් සොනාලී සිසුවියගේ එම ජයග්‍රහණය කොටගල සිරිපැරකුම් විදුහල වෙනතකට හැරවීමේ කඩඉම් ලක්ෂ්‍යය බවට පත්ව තිබේ. 
2023 වසරේ මාර්තු මස නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පැවැති බොක්සිං තරගාවලියේදි ඊට ඉදිරිපත් වු පාසල් 29 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙකු අභිභවා සිය සහජ කුසලතාවන් පෙන්වීමට සිරිපැරකුම් විදුහලේ ක්‍රීඩකයෝ සමත්වූහ. එහිදී, සිරිපැරකුම් විදුහලෙන් බාලක ක්‍රීඩකයන් 10 දෙනෙකු හා බාලිකාවන් අට දෙනෙකු සහභාගි වූ අතර, එහිදී බාලක හා බාලිකා ශුරතාවත්, දක්ෂතම  ක්‍රීඩකයාට හිමි සම්මානය මයුර තීක්ෂණ සිසුවා විසිනුත්  දිනා ගන්නා ලදී. 
මධ්‍යම පළාත් බොක්සිං තරගාවලිය සඳහා විවිධ බර පන්ති අනුව ඉදිරිපත් වු  සිසුවියන් පස් දෙනා එහිදී රන් පදක්කම් හතරක් දිනා ගෙන මධ්‍යම පළාත් අනු ශුරයින් බවට පත්වීමට  සමත්වීම සිරිපැරකුම් විදුහලේ බොක්සිං ක්‍රීඩාවේ අනාගතයට සුභ පෙර නිමිත්තක් විය. 


එහිදීද ලසන්තිකා ගුරුමාතාවගේ මිතුරු සමාජය එක්ව බොක්සිං ඇඳුම් කට්ටල රතු හා නිල් වර්ණයන්ගෙන්  හතර බැගින් මෙන්ම බොක්සිං ‘පන්චින්’ බෑගයක් ද ලබාදුණි. ඉන් අනතුරුව විවිධ කුඩා සංවිධාන කීපයක් මගින් පාසල් නිල ටී ෂර්ට් 25 ක් හා අත් ආවරණ හතරක් ලබාදීමට පියවර ගෙන තිබිණි. මෙම විදුහලේ ඇති හරි අපූර්වතම සිදුවීම වෙන්නේ,  විදුහලේ වසර 52 ක කාලය පුරාවටම කිසිදු  ක්‍රීඩා ගුරුවරයෙකු සිට නොමැතිවීමය. නර්තන ගුරුවරියක වන විදුහල්පතිනිය බොක්සිං ක්‍රීඩාව ළමුන්ට පුහුණු කරනු ලබයි. එමෙන්ම ක්‍රීඩාවට හිතැති විදුහලේ අනෙකුත් ගුරුවර ගුරුවරියන් මේ සඳහා අනුපමේය දායකත්වයක් දැක්වීම එම ළමුන්‌ට භාග්‍යයක්ව පවතී. 
උඩරට වතුකරය ආශ්‍රිත පාසලක්  නිසාවෙන් මෙහි  සිංහල ළමුන් මෙන්ම දමිළ ළමෝද  මිශ්‍රව අධ්‍යාපනය හදාරනු ලබති. වතු කම්කරුවන්ගේ මෙන්ම ඉතාමත් දුප්පත්, දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන දෙමාපියන්ගේ දරු දැරියෝ ද මෙහි සමගියෙන් යුතුව එක මවකගේ දරුවන්මෙන් අධ්‍යාපන කටයුතුවල මෙන්ම විවිධ වූ ක්‍රීඩාවන්හි නිරත වෙති. 
විදුහලේ සිටින ළමුන්ගේ පවතින අඩුකම මත ක්‍රීඩා ඉසව් සඳහා  ප්‍රමාණවත් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට නොහැකිවීම මෙම විදුහලේ ක්‍රීඩා ජයග්‍රහණයන්ට  දැඩි බාධාවක් වී  පවතී. එම තත්ත්වය මත වුවද 2021 වසරේදී මෙම විදුහලේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමට ලක්මිණි ලසන්තිකා ගුරු මහත්මිය පියවර ගනු ලැබුවාය. ඒ  නුවරඑළිය කලාපයේ ක්‍රීඩා විෂය භාරව කටයුතු කරන ටී. සුසන්ත වීරසේන මහතාගේ මග පෙන්වීම මතය. තරු තුනේ විනිසුරුවරයෙකු මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරයෙකුද වෙන වීරසේන මහතා විසින් ලක්මිණි ලසන්තිකා මහත්මියට  හා එම අධ්‍යාපන කලාපයේ තවත් ගුරුවරුන් පිරිසකට  බොක්සිං ක්‍රීඩාව පිළිබඳව පුහුණුවක් ලබාදීමට  පියවර ගෙන තිබේ.
බොක්සිං ක්‍රීඩාවට අතිශය දක්ෂතා සහිත දරුවන් සිටින සිරිපැරකුම් විදුහලේ එම දක්ෂතා එළියට ගැනීම සඳහා ඉතාමත් අඩු පහසුකම් මැද්දේ වුවද වර්තමාන විදුහල්පතිනිය මෙන්ම බොක්සිං ක්‍රීඩා පුහුණුකාරිය වෙන ලක්මිණි ලසන්තිකා මහත්මිය හා විදුහලේ අනෙකුත් ගුරුවරු දැඩි වෙහෙසකර ව්‍යායාමයක නිරතව සිටිති. මෙම විදුහලේ පවතින දැඩි සම්පත් හිඟතාව මැද්දේ මෙවැනි අති විශාල  ජයග්‍රහණයන් බොක්සිං ක්‍රීඩාවෙන්  ලබා ගැනීම අප සැම අගය කළ යුතු කරුණකි. 

 


මෙවැනි ජයග්‍රහණයන් ලැබුවද සිරිපැරකුම් විදුහලේ සිසුන්ට බොක්සිං ක්‍රීඩාව පුහුණුවීමට සුදුසු ස්ථානයක් පවා නොමැත. මෙම සිසුන් වියළි කාලගුණික තත්ත්වය ඇති දිනවල ක්‍රීඩා පිටියේත්, වර්ෂාව සහිත කාලවලදී අධ්‍යාපනය ලබන පන්ති කාමරයක් අස් කොට එහි පුහුණුවීම්වල නිරත වෙති. එය වු කලී එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මහත් ගැටලුවක් බවට පත්ව තිබේ. බොක්සිං ක්‍රීඩාවට අවශ්‍ය කරනු ලබන පන්චින් බෑගය එල්ලීමට පවා සුදුසු ස්ථානයක් මෙහි  නොමැතිවීම අතිශය කනගාටුදායක කරුණකි. 
කොටගල සිරිපැරකුම් විදුහලේ බොක්සිං ක්‍රීඩාව  පිළිබඳව අදහස් දැක් වූ විදුහලේ බොක්සිං පුහුණුකරු හා විදුහල්පතිනිය වන ලක්මිණි ලසන්තිකා මහත්මිය මෙසේ කීවාය.
‘‘අප පාසලේ ළමුන් දැඩි ආර්ථික අපහසුතා මැද්දේ තමයි අධ්‍යාපන කටයුතුවල මෙන්ම ක්‍රීඩා කටයුතුවල නිරත වෙන්නේ. බොක්සිං ක්‍රීඩාව පුහුණු වෙන්න සිසුන්ට පාසල තුළ සුදුසු ස්ථානයක් නැහැ. පායන දිනවලදී ක්‍රීඩා පිටියේත්, වැසි දිනවල පන්ති කාමරයක් තුළත් තමයි   පුහුණු වන්නේ. මෙම තරගාවලියට  අපේ සිසු සිසුවියන් සහභාගි වුයේ සහෝදර පාසලකින් ඉල්ලා ගත් බොක්සිං ඇඳුම් ඇඳගෙනයි. එමෙන්ම පුහුණුවීම් සඳහා බොක්සිං අත් ආවරණ ලබා දුන්නේ මහනුවර ට්‍රින්ටි විදුහලේ සිසුන් භාවිත කරන ලද ඒවායි.
පාසල් බාලක බොක්සිං කණ්ඩායමක ක්‍රීඩකයින් 10 කුත්, ක්‍රීඩිකාවන් අට දෙනෙකුත්, එමෙන්ම කනිෂ්ඨ බාලක කණ්ඩායමක ක්‍රීඩකයින් 10 දෙනකු හා ක්‍රීඩිකාවන් අට දෙනෙකුත් සිටිය යුතුයි. එහෙත් අප විදුහලේ පවතින සිසුන්ගේ අඩුව හේතුවෙන් සම්පූර්ණ කණ්ඩායමක් මෙම තරගවලට ඉදිරිපත් කරන්න බැරිව තිබෙනවා.  
බොක්සිං ක්‍රීඩාව පුහුණු කරන්න වහලයක් සහිත ස්ථානයක් පාසලට තිබේනම් එය බෙහෙවින් වටිනවා. එසේ වුවහොත් එය ක්‍රීඩා පුහුණුවට, සෞන්දර්ය පුහුණු කටයුතුවලට හා පාසලේ අනෙකුත් විවිධ කටයුතු සඳහා භාවිත කළ හැකියි’’ පැවැසුවාය.


බොක්සිං ක්‍රීඩාවට අති දක්ෂයන් පිරිසක් සිටින කොටගල සිරිපැරකුම් විදුහල දෙස අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ. රජයේ අවධානය කෙසේ වෙතත් හැකියාව ඇති  අය, ආයතන, සංවිධාන හෝ  වෙනයම් වු පිරිස් හෝ ඉදිරිපත්ව දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙන සිසුන්ගේ සිහින සැබෑ කිරීමට කටයුතු කරන්නේනම් බොක්සිං ක්‍රීඩාවට අතිශය දක්ෂයන් පිරිසක් මෙරටට උරුම වෙනු ඇත. එසේ නොවුණහොත්  ‘කොළඹට කිරි ගමට කැකිරි’ යන සංකල්පමය තුළ සිරිපැරකුම් විදුහලේ බොක්සිං උල්පත මෙරටට කිසිදු  ප්‍රයෝජනයක් නොමැතිවම  උපන් ගෙයිම සිඳී යනු ඇත. 

 

 

■ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ තලවකැලේ