කතරගම දෙවියන්ගේ ඉන්දියාවේ නවාතැනක්


 

  • දේවාලයට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාගැනීමට සුවිශාල භෝජනාගාරයක් ද තිබේ. නොමිලේ ආහාර ලැබෙන අතර වරකට 500 කට ආසන්න පිරිසක් ආහාර ගනිති.

0ඉන්දියාවේ සංචාරය කරද්දී බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ ස්ථාන වන්දනාමාන කිරීමට  ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමත්හු වැඩි කැමැත්තක් දක්වති. එසේම බෞද්ධ සහ හින්දු බැතිමතුන් සියලු‍ දෙනාම හින්දු කෝවිල් වන්දනාමාන කිරීමටත් අමතක නොකරති. කෝවිල් ගැන කියද්දී තිරුපති කෝවිල ගැන බොහෝ දෙනා දනිත්. මේ කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන් දන්නා කියන, ඉඩක් ලදොත් යන පලනි හි මුරුගන් කෝවිල ගැනය. 


කොයිම්බතූර් හරහා මෙන්ම මදුරෙයි හරහාද අරුල්මිගු ධන්දයුතපානි කෝවිල නැත්නම් මුරුගන් කෝවිල පිහිටි පලනි වෙත පැමිණීම පහසුය.  ආසන්නම ගුවන්තොටුපොළ දෙකක් මේ නගර දෙකෙහි පිහිටා ඇත. පලනි වෙත ළඟාවීම සඳහා ඉතාම හොඳ මාර්ග පද්ධතියක් කොයිම්බතූර් සිට මෙන්ම මදුරෙයි සිටද තිබේ. 


දකුණු ඉන්දියාවේ ඇති මුරුගන් කෝවිල් (ස්කන්ධකුමාර දෙවියන් සඳහා වූ කෝවිල්) හයෙන් එකක් වන පලනි මුරුගන් කෝවිල පිහිටා ඇත්තේ පලනි කන්ද මුදුනේය. මේ නිසා ස්වභාවික ආරක්ෂාවක් ද කෝවිලට ඇති බව කිව යුතුය. කන්ද මුදුනේ පිහිටි කෝවිල වෙත යෑමට ක්‍රම තුනකි. එකක් දෙපයින් කන්ද තරණය කිරීමයි. දෙවැන්න කන්ද මුදුනට ඇති රේල් මාර්ගයේ ගමන් කිරීමයි. තෙවැන්න කේබල් කාරයෙන් ගමන් කිරීමයි. 


පලනි දේවාලයේ අතීත කතාව කියවෙන්නේ මෙසේය. එක අඹ ගෙඩියක් බෙදාගැනීම සඳහා ස්කන්ධ කුමරු හා ගණදෙවියන් අතර රණ්ඩුවක් ඇතිවිය.  පසුව මෙම සිද්ධිය ඔවුන්ගේ මව වන පාර්වතී වෙත දැන්වීය. තම පුතුන් දෙදෙනාගේ මෙම අර්බුදය විසඳීම සඳහා ශිව දෙවියන්ගේ උපදෙස් මත පාර්වතී දේවිය උපායක් යොදනු ලැබීය.  
තම පුතුන් දෙදෙනා කැඳවා මෙම අඹ ගෙඩිය ලබා ගැනීමට නම් ලෝකය වටේ ගොස් ඉක්මනින් පැමිණෙන අයට මෙම අඹ ගෙඩිය ලබා දෙන බව දන්වනු ලැබීය. ස්කන්ධ කුමරු තම මොනර වාහනේ පිට නැගී ලොව වටා යෑමට පිටත් විය.  


නුවණින් අධිපති ගණදෙවියන් මේ ලෝකයේ ඇති එකම සම්පත තම මව්පියන් බව වටහා ගෙන තම මව්පියන් වටා රවුමක් ගොස් ජයග්‍රහණය කරනු ලැබීය. එ් අනුව ගණදෙවියන්ට අඹ ගෙඩිය හිමි විය.  


තරගයට එක්ව ලොව වටා ගොස් මහන්සි වී පැමිණි ස්කන්ද කුමරුට දැක ගැනීමට හැකි වූයේ අඹ ගෙඩිය කමින් සිටි තම සොහොයුරාය. මේ පිළිබඳව දුකක් දැනුණු ස්කන්ධ කුමරු සිය ඇඳුම් ඉවත් කර අමුඩයක් ගසාගෙන පලනි මලේ කන්දට ගොස් උපවාසයේ යෙදුණ බව අතීත කතාවේ කියවෙයි. ආහාර ගැනීමෙන් තොරව උපවාසයේ යෙදෙමින් ශරීරයට දුක්දෙමින් ස්කන්ධ කුමරු පලනි කන්දේ පුරා සතියක් උපවාසයේ යෙදුන බවත් ස්කන්ධ ශක්ති උපවාසය ආරම්භ වූ ස්ථානය මෙය බවත් වැඩි දුරටත් ඉතිහාස කතාවේ වෙයි. මෙයට අමතරව ස්කන්ධ කුමරු වෙනුවෙන් නටන කාවාඩි නැටුම ආරම්භ වූයේ මෙම පලනි කන්දේ සිට බව ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. 

 


පලනි දේවාලයට පැමිණෙන බැතිමතුන් නිසාම ඒ අවට කලාපය සුවිශේෂ සංචාරක කලාපයක් වී තිබේ. මේ දේවාලය පිහිටි කන්ද පාමුල පිහිටි වෙළෙඳ කුටි සිහිකරවන්නේ ශ්‍රී ලංකාවේ කතරගම දේවාලය අවට වෙළෙඳ කුටියි. මස්කට්, දොදොල් වැනි විවිධ කෑම වර්ග, සෙල්ලම්බඩු, පිත්තල බඩු, ආභරණ මේ වෙළෙඳ කුටිවල බොහෝ සෙයින් දැක ගත හැකිය. දේවාලයට පැමිණෙන බැතිමතුන් මේවා මිලට ගනු දැක ගත හැකිය. 


දේවාලයේ දිනකට පූජා හයක් පැවැත්වෙන අතර උදෑසන හයේ සිට රාත්‍රී අට දක්වා මෙම දේවාල භූමියට ඇතුළු විය හැකිය. දෙවියන් දකින්නට ලැබෙන වේලාව ‘දර්ශන්’ ලෙස හඳුන්වයි. මේ වේලාවට බැතිමතුන් දේව ප්‍රතිමාව දැක ගැනීමට දැඩි උත්සාහයක් ගනී. බොහෝ දෙනා මුරුගා ලෙසින් කෑගසමින් දෙවියන්ට ඇති භක්තිය පෙන්වන ආකාරය විමතිය දනවනසුලු ය. දේව ප්‍රතිමාව පිහිටි ස්ථානයේ වහලය රන් ආලේපිත එකක් වෙයි. 


දේවාල භූමියේ සැකැස්ම ඉතා සංවිධානාත්මක වන අතර කිරිදෙන මව්වරුන්ට දරුවන්ට කිරි දීම සඳහා වෙනම ස්ථානයක් පවා තිබේ.  දේවාලයට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාගැනීමට සුවිශාල භෝජනාගාරයක් ද තිබේ. නොමිලේ ආහාර ලැබෙන අතර වරකට 500 කට ආසන්න පිරිසක් ආහාර ගනිති. කෙසෙල් කොළයට බෙදන ආහාරය ඉතා රසවත් බව නම් කිව යුතුය. 


පලනි දේවාල භූමිය සහ අවට වෙ​ෙළඳාම බහුලව දැක ගත හැකි වුවත් දෙවියන්ට ඇති භක්තිය උපරිමයෙන්ම දැක ගැනීමටද අවස්ථාව තිබේ. විවිධ ලෙඩ රෝග මෙන්ම අවශ්‍යතා වෙනුවෙන් භාර හාර වෙන්නට පැමිණි අයගෙන්ද ඒවා ඔප්පු කිරීමට පැමිණි අයගෙන්ද අඩුවක් එහි නැත. අප එහි යන අවස්ථාවේ දීත් කාවඩි රැගත් පෙරහරක් දකින්නට ලැබුණි. ඒ බැතිමතුන්ගේ එකතුවකින් සංවිධානය වූවකි. 


දෙවියන් සිටීද නැද්ද යන්න වෙනම සංවාදයට බඳුන් විය යුත්තකි. එහෙත් මිනිසුන් තමන්ගේ විශ්වාසය අත්නොහැරීම ඒ වෙනුවෙන් පෙනී සිටීම අපට බැහැර කළ නොහැක්කකි. ඉන්දියාවේ නිෂ්පාදිත අලු‍ත්ම සුඛෝපභෝගී වාහනවල පැමිණෙන ඉංග්‍රීසි කතා කරන අලු‍ත් පරම්පරාව තමන්ගේ කුඩා දරුවාගේ හිස මුඩුකර සඳුන් කුඩු හිසෙහි තවරා දෙවියන් දැකීමට යන අයුරු පලනි මුරුගන් කෝවිලේ අතිශය සාමාන්‍ය දසුනකි. පවුල් පිටින් පැමිණ අවට සංචාරක හෝටලවල නතර වී ඔවුහු දෙවියන් පුදති. දෙවියන් දෙවොලේ සිටින බව ඔවුන්ගේ විශ්වාසය දැයි දන්නේ නැත.

 

■ සජිත් ඩී. පෙරේරා