කුංචුට්ටු කෝරලේට ගිය ගමනක් මහ කැළෑ යෑම


කුංචුට්ටු කෝරලේට ගිය ගමනක් ලෙස පළවන මෙම ලිපි මාලාවේ දෙවැනි ලිපිය ඔස්සේ පුරාතන කුංචුට්ටු කෝරලයේ මිනිසුන්, ජීවන උපායක් ලෙස මහ කැළෑ ගිය අයුරු ඉකුත් සතියේ දී අපි ඔබ වෙත ගෙන ආවෙමු. ගන වනාන්තරය තුළට ගොස් දින ගණන් ගත කරමින් සිය ජීවිකාව සරිකරගැනීම සඳහා ඔවුන් සිය ජීවිත පවා උකසට තබමින් විඳි දුක් ගැහැට මෙම ලිපිය ඔස්සේ දිග හැරෙනු ඇත.

“පාන්දර ජාමේ තමයි කැළේට ඇතුළු වෙන්නෙ. ඇතුළු වුණාට පස්සෙ මුලින්ම කරන්නෙ දවස් පහ හයක් නවතින්න කන්න, බොන්න වාඩියක් හදාගන්න එක. විසාල ගහක් යට හොඳට සුද්ද කරලා තමයි ඒ වාඩිය හදාගන්නෙ. වැස්සක් එන්න වගේ නම් විතරක් කුඹුක් ගහක පොතු ටිකක් රැහැල අරගෙන පොඩි වහලෙකුත් හදාගන්නවා. වැස්සක් නැත්නම් වහලයක් හදන්නෙ නෑ. වාඩිය හදාගත්තට පස්සෙ මුලින්ම කරන දේ තමයි පොඩි පැලක් හදලා ඒකෙ පහනක් පත්තු කරන එක. මී ඉටි වලින් හදපු පහනක් පත්තු කළාම ඒක රෑ එළිවෙනකං පත්තු වෙනවා.” 

මහ කැළෑ යෑමට පාරම්පරික උරුමයක් ඇති කණුගහ වැව ගම්මානයේ අනුරුද්ධ අයියා, කැළය තුළට ගොස් වාඩිය සකස් කර ගන්නා ආකාරය පිළිබඳව අප සමග එසේ කියා සිටියේය. කහටගොල්ලෑව ගම්මානයේ පිහිටි සමන්ත අයියලා ගේ නිවසේදී ගත කළ පළමු රාත්‍රියේ අප හමුවීමට පැමිණි අනුරුද්ධ අයියා, මහ කැළෑ ගිය ඔහුගේ මුතුන් මිත්තන්ගේ කෙරුවාවල් පිළිබඳව කතාව ඉදිරියට කරගෙන ගියේ රැයෙන් හරි අඩක් පහන් වන තුරුම අප සමග දොඩමලු‍ වෙමිනි.

දඩයම් කිරීම

පාන්දර ජාමේ කැළයට ඇතුළු වූ පිරිස එළිය වැටීමෙන් අනතුරුව වාඩියේ සිට තනි තනිවම හූවට හූවක් ඇසෙන දුරකට විසිරී යන බවත්, එසේ යන විට මී වදයක් හමුවුව හොත් එය කඩනවා මෙන්ම සතෙකු හමුවුව හොත් ඌව දඩයම් කරන බවත් අනුරුද්ධ අයියා අප සමග කීය. දඩයම් කරන සතුන් අතර තලගොයා, මුවා, ඌරා, කබල්ලෑවා සහ ඉත්තෑවා වැනි සතුන් වන බවද, විසිරී යන අය අතරින් කෙනෙක් සතෙකු දඩයම් කළහොත් නැවත හැරී දඩයම ද රැගෙන ඔහු වාඩියට පැමිණෙන බවද පැවසූ අනුරුද්ධ අයියා, ඔහු යළි පැමිණි බව කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට සංඥා කරන්නේ ඒ සඳහාම ආවේනික වූ හූවකින් බවද කියා සිටියේය.

“ඔය විදියට දවස් පහ හය ඇතුළත එයාලා තෝර ගත්තු කැළෑ කොටස සම්පූර්ණයෙන්ම පීරනවා. ලොකු සතෙක් දඩයම් කළොත් කපලා වාඩියෙම වේළනවා. ඊට පස්සෙ ගෙදර යනකං නරක් වෙන්නෙ නැතුව තියා ගන්න ඕන හින්දා ඒ මස්වල මී පැණි තවරනවා. ඒ වගේම තමයි මාළු ඉන්න වතුර වළක් එහෙම හම්බුණොත් ඒකත් ඉහිනවා. ඉහලා ලූල්ලු‍ වගේ මාළු අල්ලලා ඒවත් පළලා වේළනවා. ඔය වගේ මස් මාංශ ගොඩක් අරගෙන තමයි ඒ කාලෙ මහ කැළෑ ගිය උදවිය ආපහු ගම්වලට ආවේ”

“ගිනි බිඳිනවා (වෙඩි තියනවා), උගුල් අටවනවට අමතරව දඩයම් කරන තවත් ක්‍රමයක් තමයි දඩ බල්ලො උසි ගන්නනවා කියන්නෙ. උන්ව පුරුදු කරලා තියෙන්න සතෙක් පස්සෙන් එළවගෙන ගිහින් ඒ සතාගෙ ඇඟේ එල්ලිලා ඌව බිම පෙරළගන්න” මධුවිතෙන් සප්පායම් වෙමින් සිටි අනුරුද්ධ අයියා, කටගැස්මට වැව් මාළු කෑල්ලක් හපමින් සිය මුතුන් මිත්තන් ගේ කෙරුවාව ගැන කියාගෙන ගියේය.

අං ඇහිලීම

මහ කැළෑ යෑමේදී සිදු කෙරෙන තවත් අංගයක් ලෙස අං ඇහිලීම හැඳින්විය හැකිය. ගෝනුන්, මුවන් වැනි සතුන්ගේ මේරූ අං තට්ටු කාලයක දී ගැලවී වැටෙන බවත්, වියපත් වී හෝ විවිධ අනතුරුවලට පත්ව මරණයට පත්වූ එවැනි සතුන්ගේ අං තට්ටු පහසුවෙන්ම ගලවාගත හැකි බවත් අප හට දැනගත හැකි විය. ඒ පිළිබඳව අප කළ විමසීමකදී අනුරුද්ධ අයියා දැක්වූයේ මෙවන් අදහසකි.

“මෙහෙමනෙ මල්ලිලා, මුල් කාලේ කැළේ ගියේ කෑම බීම හොයා ගන්න විතරක් වුණාට පහු කාලීනව කැළේ ගිය අය සල්ලි කරන්න පුළුවන් හැම දේම කැළෙන් එළියට අරන් එන්න පටන් ගත්තා. අං තට්ටු කියන්නෙත් ඒ වගේ දෙයක්. ඔයාලා දැකලා ඇතිනේ ඔය ගෙවල්වල බිත්තිවල ලස්සනට එල්ලලා තියෙන අං තට්ටු. ඒවට හොඳ මිලක් ලැබුණා ඒ කාලෙ. ඒ විතරක් නෙමෙයි ඒ මිනිස්සු කැළේ හිටපු මී හරක් අල්ලන්නත් ඔය අං තට්ටු පාවිච්චි කළා.” යැයි අනුරුද්ධ අයියා පැවසීය.

මී හරක් ඇල්ලීම

“මී හරක් අල්ලන්නෙ කොහොම ද ගෝන්නුන්ගෙ මුවන්ගෙ අං තට්ටුවලින්” ඒ මොහොතේ මටත් මේනක අයියාටත් තිබූ එකම පැනය එය විය. කෙසේ වුවත් මට පෙර ඉස්සර වූ මේනක අයියා ඒ පිළිබඳව අනුරුද්ධ අයියාගෙන් කරුණු විමසා සිටියේ “කැළේ ගිහින් මී හරක් ඇල්ලීමේ අරමුණ කුමක් දැයි” යනුවෙන් ඊට තවත් පැනයක් එක්කාසු කරමිනි.

“මී හරක් ගෙන් ප්‍රයෝජන ද මල්ලි නැත්තෙ. පට්ටි දාලා කිරි ගන්න පුළුවන්. නැත්නම් කුඹුරු හාන්න ගන්න පුළුවන්. ඒ කාලෙ මිනිස්සු සල්ලි දීලා හරක් ගත්තෙ නෑ කුඹුරු කරන්න. කැළෙන් අල්ලගෙන හීලෑ කරපු මී හරක් දම්මලා තමයි මේ ගම්වල කුඹුරු සේරම හෑවෙ. හැබැයි ඉතින් මී හරකෙක් අල්ලලා හීලෑ කරනවා කියන වැඩේ නම් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හොඳ පුහුණුවක් වගේම අත්දැකීමක් තියෙන්න ඕන. ඒ විතරක් මදි හොඳ හයිය හත්තියත් තියෙන්නත් ඕන”

සවි ශක්තියක් ඇති කඹයක් ගෙන එහි එක් කෙළවරක ගෝන හෝ මුව අං තට්ටුවක් ගැට ගසා, අනික් කෙරවළේ තොණ්ඩුවක් සාදා ගන්නා බවද, පසුව ගසකට නැග මී හරකෙක් හෝ මී හරක් රංචුවක් එන තෙක් රැකගෙන සිට ගසේ සිටම තොණ්ඩුව හරකෙකු ගේ බෙල්ලට වැටෙන සේ විසි කරන බවද අනුරුද්ධ අයියා අප සමග කියා සිටියේය. ඉන් අනතුරුව කලබල වන මී හරකා ඒ මේ අත දිව යන බවත්, එසේ දිව යද්දී කඹයේ අනෙක් කෙළවරේ ඇති අං තට්ටුව ගස් වැල් අතර සිරවන බවත්, ඉන් ගැලවී පලා යෑමට තැත් කිරීමේදී හරකා හෙම්බත් වන බවත් එහිදී අපට දැනගන්නට ලැබිණ. 

හොඳ හැටි හෙම්බත් වූ හරකෙකු මෙල්ල කර හීලෑ කිරීමට ක්‍රමෝපායන් පැරැන්නන් දැන සිට ඇතැයි අප සමග පැවසූ අනුරුද්ධ අයියා, මීට වසර ගණනාවකට පෙර එවන් ක්‍රියාවන් සිදුවුවද, වර්තමානයේ මහ කැළෑ යන උදවිය එවන් ක්‍රියාකාරකම්වල නිරත නොවද බවද අපට අවධාරණය කර සිටියේය. වර්තමානයේ මහ කැළෑ යන අයගේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ මී වද කැඩීම බව ඔහුගේ මතය විය.

මී වද කැඩීම

මී වද කැඩීම පිළිබඳව කරුණු විමසූ අපට දැනගත හැකි වූයේ මල් පිපෙන කාලවලදී මී වදවල බහුලව පැණි පීරී තිබෙන බවත්, ශීත කාලයට මී පැණි කැට බවට පත්වන බවත්ය. එක් එක් කාලවලට පිපෙන මල් වර්ගවල ඇති පැණිවල රසයන්ට අනුව ඒ ඒ කාලවල දී මී වදවල රසයන් ද තරමක් වෙනස් වන බවද, මී මැස්සන් ගේ ගුම් නාදය පසුපස හඹා යමින් මහ කැළෑ යන්නන් මී වද ඇති ස්ථාන හඳුනා ගන්නා බවද එහිදී වැඩිදුරටත් අපට දැනගත හැකි විය.

“ගොඩක් වෙලාවට මී මැස්සෝ මී වද බඳින්නේ ගස්වල බෙන ඇතුළෙ. එතකොට ඒ මී වද කඩන්න නම් ගහේ කුහර හාරන්න වෙනවා. ඒ හින්දා මේ වැඩේට අපි ’මී කොටනවා’ කියලත් කියනවා. මී වද කඩන කොට මී මැස්සන්ගෙන් හානියක් නොවෙන්න කඩන විදිය කැළේ යන අය දන්නවා. ඒකත් හැමෝටම කරන්න පුළුවන් ලේසි පහසු වැඩක් නෙමෙයි. නිකමට හිතන්නකො අද කාලෙ මුකුත් කලවං කරපු නැති මී පැණි බෝතලයක් කීයක් වෙනව ද කියලා. ටිකක් අවදානම් වුණාට ඒක මේ ගම්වල මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක්.” යැයි අනුරුද්ධ අයියා කීය.

කෙසේ වුවත් මී වද කඩන්නන් සම්පූර්ණයෙන්ම වදයක් කඩා ඉවත් කරන තෙක් එහි රස බැලීමට නොයන බවද, එහි පළමු කොටස ගස පාමුල තබා බෝල්පනා කොළ අත්තක්ද ගසේ එල්ලා එය වන්නි දෙවියන්ට පූජා කරන බවද පැවසූ අනුරුද්ධ අයියා, සිය කතාව අහවර කළේ හිස් කළ මධුවිත බෝතලය ද පසෙකින් තබමිනි. අනතුරුව ඔහු ආපසු සිය නිවෙස බලා යෑමට හරි බරි ගැහුණද, වන අලි ගැවසීම හේතුවෙන් එම කාල පරාසය ගමනට නුසුදුසු බව පැවසූ සමන්ත අයියා, අනුරුද්ධ අයියාව ද අප සමග ඔහුගේ නිවසේම රඳවා ගත්තේය.

ඔහු සමග කළ කතාබහේ දී අපට දැනගත හැකි වූ තවත් සුවිශේෂී කරුණක් වූයේ ස්වාමි පුරුෂයන් මහ කැළෑ ගොස් සිටිය දී ඔවුන්ගේ බිරින්දෑවරුන් නිවසේ තරමක් වෙනස් ජීවන රටාවක් අනුගමනය කරන බවය. එහිදී ඔවුන් සිය ස්වාමි පුරුෂයා නැවත නිවස කරා පැමිණෙන තෙක් පොල් බිඳීම, පිටි කෙටීම, පුළුටු වර්ග පිසීම, ආප්ප පිච්චීම, කැවුම් කිරිබත් ඉවීම සහ ගලේ ගසා රෙදි සේදීම වැනි දේ සිදු නොකරන අතර විනෝදවීමෙන්, කොක් හඬ නඟා සිනාසීමෙන්, කලකෝලහාල ඇති කර ගැනීමෙන් මෙන්ම නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන්ද වැළකී සිට ඇත. 

පැය කිහිපයක කෙටි නින්දක් සඳහා සමන්ත අයියලාගේ නිවසේ ඉස්තෝප්පු කාමරයේ ඇඳක වැතිරුණු මා හට තිබූ ගමන් මහන්සිය කොතෙක් වූවද, බෙහෝ වේලාවක් යන තුරුම නින්ද නොයෑමට හේතු වූ කාරණා දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ රැය පහන් වූ පසු මහ කැළෑ යෑමට තිබූ නොඉවසිල්ලය. තරමක් ඈතින් ඇසෙන්නට වූ කුංචනාද ශබ්දය දෙවැන්න විය. වරින් වර මා හිස ඔසවා ඊට ඇහුම්කන් දුන් අයුරු දුටු ඇඳේ අනෙක් කොනේ සිටි මේනක අයියා කියා සිටියේ “මීට කලින් මට ඔය සද්දෙ ඔයිට වඩා ළඟට ඇහිලා තියෙනවා. බය නැතුව නිදාගනින් මල්ලි උන් මේ පැත්තට එන එකක් නෑ.” යනුවෙනි.

“ගොඩක් වෙලාවට මී මැස්සෝ මී වද බඳින්නේ ගස්වල බෙන ඇතුළෙ. එතකොට ඒ මී වද කඩන්න නම් ගහේ කුහර හාරන්න වෙනවා. ඒ හින්දා මේ වැඩේට අපි ’මී කොටනවා’ කියලත් කියනවා. මී වද කඩන කොට මී මැස්සන්ගෙන් හානියක් නොවෙන්න කඩන විදිය කැළේ යන අය දන්නවා.

පසුදින උදෑසන අපට පොරාන්දු වූ පරිදි කැළෑව තුළට එක්කර ගෙන යෑමට කටයුතු කළ සමන්ත අයියා සහ අනුරුද්ධ අයියා, අපගේ ආරක්ෂාව සඳහා අප සමග යෑමට ඔවුන්ගේ තවත් මිතුරන් කිහිප දෙනෙකුද  කැඳවාගෙන ආහ. ඔවුන් සියලු‍ දෙනාගේම සහායද ඇතිව කැළය තුළ යම් දුරක් ගමන් කළ අපි, අනතුරු දායක නොවන ඉසව් වල පමණක් කරක් ගැසීමට වග බලාගත්තෙමු. එහිදී ඉත්තෑවන්, මුවන්, හාවන්, මොනරුන් වැනි සතුන් අපගේ ඇස ගැටුණද, අනතුරක් සිදුවිය හැකි අලි,‍ කොටි, වලසුන් වැනි සතුන් හමු නොවුණේ අපගේ පෙර පිනකට යැයි අපට සිතිණි. 

එම ගමනේදී වැඩි වශයෙන්ම අපට වන සතුන් දැකගත හැකි වූයේ දිය කඩිති අසලය. එහිදී සමන්ත අයියාගෙන් අප අසා සිටියේ කැළෑ තුළ ඇති දිය කඩිති අසල මෙපමණ සතුන් ගැවසේ නම් කුංචුට්ටු කෝරලය තුළ ඇති ජල උල්පත් 22 අසල කොපමණ නම් සතුන් ගැවසෙනු ඇද්ද යන්නය. ඊට කොක් හඬ නඟා පිළිතුරු දුන් සමන්ත අයියා කියා සිටියේ “හරි හරි ටිකක් ඉවසලා ඉන්නකො කැළෙන් එළියට යනකං, හෙට දිහාට අපිට උල්පත් දෙක තුනක් බලන්නත් යන්න බැරි යෑ” යනුවෙනි. කුංචුට්ටුවේ පෞරාණික වටිනාකමක් සහිත ජල උල්පත් සොයා ගිය අයුරු මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න. 

ශානුක අරවින්ද