ඔන්ලයින් ඕඩර් රොබෝ ඩිලිවරි


 

අන්තර්ජාලය තුළ ඇති භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයකින් හෝ සමාගමකින් අප භාණ්ඩයක් නිවසට ගෙන්වා ගැනීම සඳහා ඇණවුම් කළ විට බොහෝ අවස්ථාවල දී එම භාණ්ඩය තැපැල් කන්තෝරුව මාර්ගයෙන් හෝ භාණ්ඩ ප්‍රවාහන ආයතනයක නිලධාරියෙකු මාර්ගයෙන් නිවසට ලැබේ.


කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාලය තුළ භාණ්ඩ විකිණීම සිදුකරන සමාගම්වල ඇති වූ වර්ධනයන් සමඟ භාණ්ඩ බෙදා හැරීම සඳහා එම සමාගම් අති නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් සිටී. එයට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතයත් සමඟ මිනිස් ස්පර්ශය අවම වන පරිදි භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් දැක්වීමයි. අවාසනාවකට මෙන් මෙම අති නවීන තාක්ෂණික ක්‍රම ශ්‍රී ලංකාව තුළ දැක ගැනීමට අපට වාසනාවක් නොමැත.


උපදේශන සමාගමක් වූ මැකින්සි ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2020 වසරේදී පාර්සල් බිලියන 100 කට වඩා ගෝලීය වශයෙන් හුවමාරු වී ඇති අතර එය 2030 වසර වන විට දෙගුණයකින් වැඩි විය හැකි බව එම සමාගම පෙන්වා දෙයි.


ඒ හේතුවෙන් භාණ්ඩ හා පාර්සල් බෙදාහැරීම සඳහා මාර්ග තදබදය මඟ හරවා ගත හැකි  සහ පරිසර දූෂණය අවම කරගත හැකි නවීන තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමට අන්තර්ජාලය තුළ භාණ්ඩ විකිණීම සිදුකරන සමාගම් මෙන්ම ව්‍යාපාර අවධානය යොමුකර ඇතැයි මැකින්සි සමාගම සඳහන් කර ඇත.
නමුත් බෙදාහැරීම සඳහා මෙම අති නවීන තාක්ෂණික ක්‍රම භාවිතය නිවෙසට අවශ්‍ය එදිනෙදා භාණ්ඩ සහ ආහාර සඳහා පමණක් සීමා නොවන අතර අනාගතයේ දී මෙම ක්‍රම ක්ෂේත්‍ර ගණනාවක් යොදා ගැනීමට ඉඩ තිබේ.


නව සොයා ගැනීම් ඔස්සේ මෙම අභියෝගය ජයගැනීම සඳහා සමාගම් උත්සාහ කරන අතර මේ වනවිට භාණ්ඩ බෙදා හැරීමෙහි විශාල වෙනස් කමක් සිදු කිරීමට හැකි වී තිබෙන නව සොයා ගැනීම් 5 ක් පහතින් දැක්වේ.

බෙදාහැරීමේ රොබෝවරු

 

කොවිඩ් වසංගතයත් සමඟ බෙදාහැරීමේ රෝබෝවරුන්ට තිබෙන ඉල්ලු‍‍ම වැඩි වී ඇති අතර මේ වන විට උබර් ඊට්ස් සහ ඩොමිනෝස් පීට්සා බෙදාහැරීමේ රොබෝවරු ඔවුන්ගේ ආහාර බෙදාහැරීම සඳහා යොදා ගනු ලබයි.


මිනිස් ස්පර්ශය අවම වීම හේතුවෙන් පාරිභෝගිකයන් බෙදාහැරීමේ රොබෝවරුන් මාර්ගයෙන් ආහාර ලබා ගැනීමට කැමැත්තක් දක්වන දක්වන බව එම සමාගම් ප්‍රකාශ කර ඇත. 


කොවිඩ් වසංගතයත් සමඟ 2021 වසරේ දී බෙදාහැරීමේ රොබෝවරුන්ට තිබෙන ඉල්ලු‍‍ම සියයට 37 කින් වැඩි වී ඇතැයි රොබෝ තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය පෙන්වා දී තිබේ.


එක්සත් රාජධානියේ නිවසට අවශ්‍ය එදිනෙදා භාණ්ඩ බෙදා හැරීම සඳහා ද බෙදා හැරීමේ රොබෝවරු යොදා ගනු ලබයි. හොංකොං හි පිහිටි රයිස් රොබොටික්ස් නම් සමාගම සෞඛ්‍ය සේවා හා ආගන්තුක සත්කාර ඇතුළුව තවත් ක්ෂේත්‍ර කීපයක් වෙනුවෙන් මෙම බෙදාහැරීමේ රොබෝවරු නිෂ්පාදනය කරයි. එම සමාගම පවසන්නේ බෙදාහැරීමේ රොබෝවරු ආහාර සහ එදිනෙදා නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා පමණක් සීමා නොවිය යුතු බවයි.

විද්‍යුත් බෙදාහැරීමේ වාහන

 

භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු හේතුවෙන් ඒ සඳහා යොදාගන්නා වාහනවලින් පරිසරයට මුදාහැරෙන අහිතකර කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය 2030 වසරේ දී සියයට 32 කින් වැඩි වීමට ඉඩ තිබෙන බව ලෝක ආර්ථික සංසදය ප්‍රකාශ කර ඇත. 


ඒ හේතුවෙන් 2040 වසර වනවිට පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවම කිරීම සඳහා ඇමසෝන් ඇතුළු සමාගම් දිවුරුමක් ලබා දී තිබේ.
ඒ හේතුවෙන් යුරෝපයේ පමණක් විද්‍යුත් බෙදාහැරීමේ වාහන නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 972 ක් වෙන්කර තිබෙන බවත් එමගින් 2025 වසර වනවිට කලාපයේ තිබෙන විද්‍යුත් බෙදාහැරීමේ වාහන ගණන 10000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් පවසා ඇත.


විද්‍යුත් වාහන නිපදවීමේ සමාගමක් වන රිවියාන් සමඟ එකතු වී 2030 වසර වනවිට විද්‍යුත් බෙදාහැරීමේ වාහන ලක්ෂයක් පාරට දැමීමට බලාපොරොත්තු වන බව ඇමසෝන් සමාගම ප්‍රකාශ කර තිබේ.

ස්මාර්ට් පාර්සල් ලොකර්

 

පාර්සලය නිවසේ දොර වෙත රැගෙන යනවා වෙනුවට සමාර්ට් ලොකර් එකකට දැමීමට අදාළ සමාගම් අවධානය යොමු කර ඇත. ප්‍රථම වරට 2012 වසරේ බෙල්ජියම් සමාගමක් වූ බ්‍රින්ග් මී බිල්ට් සමාගම ලූවන් නගරයේ මහල් නිවාසයක ස්මාර්ට් පාර්සල් ලොකර් නිපදවා තිබේ. එවිට එකම ස්ථානයට කීපවතාවක් පැමිණීමට අවශ්‍ය නොවන බවත් එකවර භාණ්ඩ සියල්ල රැගෙනවිත් ස්මාර්ට් පාර්සල් ලොකර් හි තබා යා හැකි බවත් සමාගම් පෙන්වා දී ඇත. ස්මාර්ට් පාර්සල් ලොකර් පාරිභෝගිකයාගේ ඉල්ලීම පරිදි සීතල හෝ උණුසුම රැකෙන පරිදි නිර්මාණය කළ හැකි බව එම සමාගම් පවසා තිබේ. භාණ්ඩ ඇණවුම් කරන අවස්ථාවේ පාරිභෝගිකයාට කිව්.ආර්. කේතයක් ලබා දෙන බවත් එම කේතය ස්මාර්ට් පාර්සල් ලොකර් එකේ ඇති ස්කෑනරයට ඇල්ලීමෙන් භාණ්ඩය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවත් සමාගම් ප්‍රකාශ කර ඇත.

ස්වයංක්‍රීය බෙදාහැරීමේ වාහන

 

බෙදාහැරීමේ රොබෝවරුන්ට වඩා විශාල මෙම වාහන රියැදුරෙකු නොමැතිව ස්වයංක්‍රීය ව ධාවනය වේ. බෙදාහැරීමේ රොබෝවරුන් රැගෙන යනු ලබන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මෙම වාහනවලට රැගෙන යා හැක.


නිවසට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී මෙම වාහනවලට ඉදිරි වසරවල දී විශාල වෙනසක් සිදුකළ හැකි බව අදාළ සමාගම් පවසයි.


පසුගිය වසරේ දී උබර් ඊට්ස් සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ හියුස්ටන් සහ මවුටන් වීව් නගරවල මෙම බෙදාහැරීමේ වාහන භාවිත කිරීම සඳහා එම වාහන නිපදවනු ලබන නූරෝ සමාගම සමඟ ගිවිසුමකට එළඹී ඇත. මෙම වාහනවලට එකවර කිලෝ ග්‍රෑම් 226 ක් පමණ රැගෙන යාමට හැකියාව පවතී. මෙම වාහනවලට උණුසුම් මෙන්ම ශීත ආහාර රැගෙන යාමේ හැකියාව පවතී.

බෙදාහැරීමේ ඩ්‍රෝන

 

ඩ්‍රෝන මගින් නිවෙස් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම වර්තමානයේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන තවත් එක් ක්‍රමයකි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඩ්‍රෝන මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා එරට ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගැනීම සඳහා ඇමසෝන් ප්‍රයිම් එයාර් සමාගමට හැකියාව ලැබී නැතත් ඩ්‍රෝන මගින් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන සමාගම් කීපයක් ලෝකයේ තිබේ. ලෝකය පුරා දවසකට පාර්සල් 2000 ක් පමණ ඩ්‍රෝන මගින් බෙදා හරිනු ලබයි. එම ප්‍රමාණය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් සිදු නොවන බව මැකින්සි උපදේශන සමාගම පෙන්වා දී ඇත. 2016 වසරේ සිට රුවන්ඩාවේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇමෙරිකානු සමාගමක් වන සිප් ලයින් ඩ්‍රෝන මගින් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබන බව මැකින්සි සමාගම ප්‍රකාශ කර තිබේ.


අයර්ලන්තයේ මැන්නා එරෝ සමාගම නිවෙසට එදිනෙදා අවශ්‍ය භාණ්ඩවල සිට සියලු‍‍ම දේ ඩ්‍රෝන මගින් බෙදා හරිනු ලබන අතර මේ වන විට එම සමාගම බෙදාහැරීම් වාර ලක්ෂයක් සම්පූර්ණ කර ඇත.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු