එකතැන පල්වෙන ශ්‍රී ලංකාවේ දැල්පන්දුව


දකුණු කොරියාවේ ජේන්ජු නුවරදී සිකුරාදා (4) නිමාවට පත්වූ 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු (නෙට්බෝල්) තරගාවලියේදී ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. ශ්‍රී ලංකාව දකුණු කොරියාවේදීම 2023 දී පැවැති 12 වැනි තරගාවලියේදීත් අත්කර ගත්තේ තෙවැනි ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දස්කම් තරගාවලියේදී අඩු හෝ වැඩි නොවීමෙන් ඔවුන්ගේ දස්කම් එක තැන පල්වෙමින් තිබෙන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.

සිකුරාදා සිංගප්පූරුව හා මලයාසියාව අතර අවසන් මහ තරගයත් ශ්‍රී ලංකාව හා හොංකොං අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයත් පැවැත්වීමට නියමිතව තිබුණි. මූලික වටයේදී ශ්‍රී ලංකාව විසින් හොංකොං පරාජයට පත් කිරීමට (50/31) සමත්වීම තුළින් දෙවැනි වර තරගාවලියේ මුණගැසීමේදීත් ඔවුන් ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවණු ඇතැයි උපකල්පනය මත ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේදීත් තෙවැනි ස්ථානය හිමි වනු ඇතැයි සැලකිය හැකිය.

බ්‍රහස්පතින්දා (2) නැවත මැලේසියාව මුණගැසුණු විශේෂ තරගය ශ්‍රී ලංකාවට අනපේක්ෂිත තීරණාත්මක තරගයක් බවට පත්ව තිබුණි. එහෙත් එම තරගයෙන් ශ්‍රී ලංකාව නැවත මැලේසියාවට පරාජය වූයේ ලකුණු 62 - 31ක් පරිදිය. එහෙත් එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූයේ නම් සිකුරාදා පැවැති අවසන් මහ තරගයේ සිංගප්පූරුවේ ප්‍රතිවාදිනිය වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවයි.

ඉන්දියාව (71/30) හා හොංකොං මූලික වටයේදී පරාජයට පත් කළත් ශ්‍රී ලංකාවට මැලේසියාවෙන් (62/40) හා සිංගප්පූරුවෙන් (62/19) අත් කර ගත් පරාජයන් හමුවේ අවසන් තරගයේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට පිට පිටම තරගාවලි තුනකදීම (2019 - 2023 - 2025) තෙවැනි ස්ථානයෙන් නතරවීමට සිදුව තිබේ.

වසර 2015 මැලේසියාවේ සත්කාරයෙන් පැවැති නව වැනි තරගාවලිය ශ්‍රී ලංකාව අවසන් වරට ජය ගෙන තිබේ. මීළඟට යෙදෙන 14 වැනි තරගාවලිය වසර 2027 දී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් පැවැත්වේ. ඒ අනුව වසර 10 කින් කුසලාන දිනා ගැනීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාවට ඒ ගැන සිතීමට අවම වසර 12 ක් පමණ බලා සිටීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අඩපණ වී තිබෙන සමයක ක්‍රීඩාව කඩා වැටෙමින් තිබෙන බව ජේන්ජු නුවරදී ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රතිපලයෙන් පෙන්නුම් කරයි. කෙසේවුවත් ක්‍රීඩා අමාත්‍යාංශය දැල්පන්දු සම්මේලනය වෙනුවට තාවකාලිකව දැල්පන්දු පරිපාලනය මේ වන විට පවත්වා ගෙන යයි.

ඒ හේතුවෙන් ජේන්ජු නුවරදී තරගාවලියට සමගාමීව පැවැති ආසියානු දැල්පන්දු සම්මේලනයේ වාර්ෂික සමුළුවට (2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභභාගි වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙකුය. ඔහු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) අයි.පී. විජේරත්න මහතාය.

ජේන්ජු නුවරදී ආසියානු දැල්පන්දු සම්මේලනයේ වාර්ෂික මහ සභාව එහි සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අයුරු.

සමුළුවේ මූලාසනය දැරූ ආසියානු දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සහාපතිනියයි. මෙම සමුළුවේදී ඇගේ ඉහළම සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු තරගාවලි දෙකක සත්කාරය කොළඹට ලබා ගැනීමට සමත් විය.

ඒ 2026 වසරට නියමිත දකුණු ආසියානු දැල්පන්දු (වයස 16 න් පහළ) තරගාවලිය හා 2027 නියමිත 14 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියයි. පළමු ආසියානු දැල්පන්දු (පිරිමි) තරගාවලිය ඩුබායි නුවරදී පැවැත්වීමටත් ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය මූලාසනය දැරූ ජේන්ජු සමුළුවේදී තීරණය විය.

මෙවැනි කාරණා කීපයක් නිසාම ජේන්ජු සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් වුණත් එහි පැවැති සමගාමී යොවුන් තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රතිපලය කනස්සල්ලට පත් කරයි. 1998 හා 2002 තරගාවලි ශ්‍රී ලංකාව පිට පිටම ජය ගත්තත් එයින් පසුව ශ්‍රී ලංකාව තරගාවලියක් නැවත ජය ගත්තේ 2015 දීය. 

කෙසේවුවත් ජේන්ජු ආසියානු යොවුන් තරගාවලියේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවට ලබන සැප්තැම්බරයේ ජිබොල්ටාවේදී පැවැත්වෙන එහි ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වයට බලපෑමක් එක් කර තිබේ. ඒ අනුව ඒ සඳහා නැවත ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීමේ තේරීම් තරගාවලියක් පැවැත්වීමට යෝජනා වී තිබේ.

ඊට ප්‍රධාන පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය කැමැත්ත පළ කර තිබේ. ඇගේ අදහස වී තිබුණේ ආසියානු යොවුන් කුසලාන දිනා ගත්තත් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නැවත තේරීම් තරගාවලියක් පැවැත්විය යුතු බවයි.

කෙසේ වුවත් මෙවර ජේන්ජු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියන් දෙදෙනෙකුගේම සේවය ලැබී තිබීම කැපීපෙනුණි. ඒ ප්‍රධාන පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ මහත්මිය හා සහය පුහුණුකාරිනී පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මියයි. 

නාමල් පතිරගේ