උතුරේ තල් රා බලෙන් පැය දොළහක් විනාඩි පහ ක් වූ හැටි


 

(ස ප්‍රසංගය, ප්‍රේම්කීර්ති, පවන සහ එච්.එම්. ගැන උපාලි වීරසිංහගේ රස මතක)

මහින්ද ඩයස් ඔබට ඔහුගෙන් ඉවත් වෙලා යන්න කිව්වෙත් ‘ස’ ප්‍රසංගයට මින්පසු ලයිට් දෙන්නෙ නැහැ කිව්වෙත් නවසිය අසූ එකේ අප්‍රේල් දොළොස් වෙනිදා.. ඊළඟ ‘ස’ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණෙ අප්‍රේල් දාහත හරි දහ අට හරි. ඒ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ. මෙහි පසුබිම් කතාව අපි පසුගිය සතියේ කතා කළා.


?ඔබ මොකද කළේ ඒ වෙලාවේ ? 


මම පසුවදාම ගියා වික්ටර් රත්නායක මහත්තයා මුණ ගැහෙන්න. වෙච්ච සිදුවීම ඔහුට කිව්වා. වික්ටර් රත්නායක එතකොට ඇහුවා ‘ලයිට් නොදී ඉන්න, මම මහින්දට කරපු වරද මොකක්ද’ කියලා. මෙය ඔබත් එක්ක තියෙන ප්‍රශ්නයක් නොවන බවත් වෙනත් අයෙකුගේ බොරු ඇසීම නිසා සිදුවුණු දෙයක් බවත් මම ඔහුට කිව්වා. මම එහෙම කියපුවහම වික්ටර් රත්නායක මට කියපු දේ මම ඔබට ඔහුගෙ වචනවලින්ම කියන්නම්. 


‘‘උපාලි මල්ලි, මේ වෙලාවෙ තමයි කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕනැ. මහින්ද ඩයස් ලයිට් දෙන්න බැහැ කියනව නම් වෙන කොහෙන් හරි ලයිට් හොයාගෙන ඇවිත් ‘ස’ ප්‍රසංගයේ ආලෝකකරණය ඔයා භාර ගන්න. කටුගස්තොට ප්‍රසංගයට ලයිට් හොයාගන්න බැරි වුණොත් ටෝච් හතරක් අරන් ඇවිත් වේදිකාවෙ හතර පැත්තෙන් ගහන්න. ටෝච් හොයාගන්න බැරි නම් ඉටි පන්දම් අරන් ඇවිත් පත්තු කරන්න. මම ප්‍රේක්ෂකයන්ට ඇත්ත කියලා ප්‍රසංගය පවත්වන්නම්’’ 


?වික්ටර් රත්නායක මහත්තයා එහෙම කිව්වහම ඔබ මොකද කළේ? 


‘‘මට ලොකු ශක්තියක් වුණා එතුමා කියපු වචන ටික. ඔය කාලෙ මහින්ද ඩයස් මහත්තය ඇරුණහම වේදිකා ආලෝකකරණ කටයුතු කළේ ‘නිව් ලයිට්’ කියලා තවත් එක් ආයතනයක් විතරයි. මම ගියා එහි හිමිකරු හමුවෙන්න. ඔහුගෙ නම උපාලි රූපසිරි. විදුලි ලාම්පු දෙන්න පුළුවන් ද ඇහුවා ඔහුගෙන්, ‘‘‘ස’ ප්‍රසංගයට කියල කිව්වහම ඔහු විදුලි ලාම්පු දුන්නෙ බොහොම කැමැත්තෙන්. ඔහුගෙන් විදුලි ලාම්පු කුලියට අරන් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රසංගය සාර්ථකව පවත්වන්න අපට හැකිවුණා. ඔන්න ඔය විදිහට තමයි මම තනිවම වේදිකා ආලෝකකරණ කටයුතු පටන් ගත්තේ. ’’


?ඔය සිදුවීමෙන් පස්සෙ ඔබට මහින්ද ඩයස් මහත්තයව හම්බවුණේ නැද්ද? 


‘‘මම එතැනින් ඉවත්වෙලා ආවට පස්සෙ මහින්ද ඩයස් මහත්තයව මුලින්ම හමුවුණේ බොරැල්ල කනත්තෙදී. ඒක වුණේ මෙහෙමයි. මම මහින්ද ඩයස් මහත්තයගෙන් අයින් වෙලා ඇවිත් මාස හයක් විතර ගෙවුණට පස්සෙ විශිෂ්ට සංගීතඥයෙක් වුණු ඩබ්ලිව්.බී. මකුළොලුව මහත්තය මිය ගියා. එතුමගෙ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ බොරැල්ල කනත්තේ. මම එතැනට යනකොට මහින්ද ඩයස් මහත්තයත් ඇවිත් හිටියා. 


අන්තිම දවසෙ මහින්ද ඩයස් මහත්තයා හැසිරුණු විදිහ නිසා මට එතුමා ළඟට ගිහින් කතා කරන්න හිතුණෙ නැහැ. හැබැයි එතුමා මාව දැක්ක ගමන් මගේ ළඟට ඇවිත් අතින් අල්ල ගත්තා. ඊට පස්සෙ ‘‘‘උපාලි පොඩ්ඩක් එන්න’ කියලා අවමංගල්‍ය කටයුතු කරන තැනින් තරමක් එහාට මාව එක්කරගෙන ගියා. එහෙම ගිහින් ඔහු සොහොන් කොතක් උඩ වාඩිවෙලා ‘මට සමාවෙන්න උපාලි’ කියල කිව්වා. 


මම ඇහුවා ‘ඇයි සර්’ කියලා. එතකොට ඔහු කිව්වා ‘අරූ මාව නැත්තටම නැති කළා’ කියලා. මහින්ද ඩයස් මහත්තයා එහෙම කිව්වෙ මම කලින් කියපු පුද්ගලයා ගැන. ‘මගෙ ලයිට් සෙටප් හොරෙන් පන්නලා, මිනිහ මගෙ සල්ලිත් හොරකම් කළා. මිනිහා උපාලිව පන්න ගත්තෙ ඕකට තමයි. උපාලි කියපු කොහා-කාක්කා කතාව මට දැන් තමයි තේරෙන්නේ’ කියලත් මහින්ද ඩයස් මහත්තය කිව්වා. ඒ විතරක් නෙවෙයි, ‘උපාලිට ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් මගේ ළඟට ඇවිත් අරන් යන්න, මම ලෑස්තියි උදව් කරන්න’ කියලත් මහින්ද ඩයස් මහත්තයා කිව්වා.’’ 

 

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී වේදිකා නාට්‍යයක ආලෝකකරණ කටයුතුවල නියැලෙමින්


?‘ස’ ප්‍රසංගයෙ තවත් මතක රැසක් ඔබට ඇති. මතක ද යාපනේ ගිය ගමන? 


යාපනේ පවත්වපු ‘ස’ ප්‍රසංගය විශේෂ මතකයක්. ඒ කාලෙ සුනිල් ආරියරත්න මහත්තයා සේවය කළේ යාපනේ විශ්වවිද්‍යාලයේ. එතුමගෙ මූලිකත්වයෙන් තමයි ‘ස’ ප්‍රසංගය යාපනේ සංවිධානය කළේ. යාපනේ වීරසිංහම් ශාලාවෙ තමයි ප්‍රසංගය පැවැත්වුණේ. අපි බලාපොරොත්තු නොවුණු තරමින් විශාල පිරිසක් ආවා ‘ස’ ප්‍රසංගය බලන්න. 


?දෙමළ ජාතිකයන් ද එහෙම ආවේ? 


දෙමළ, සිංහල දෙපාර්ශ්වයේම අය ආවා. මට මතක විදිහට වැඩිපුර හිටියෙ දෙමළ ජාතිකයන්. ප්‍රසංගය අවසන් වුණාට පස්සෙ තල් රා සංග්‍රහයක් පැවැත් වුණා. ගැලුම් ගණන් තල් රා ගෙනැත් තිබුණේ. තල් රා සංග්‍රහය අවසන් කරලා හැමෝම නිදා ගත්තෙ ගොඩක් රෑ වෙලා. හැබැයි පහුවෙනිදා පාන්දර හයට යාපනෙන් කොළඹ බලා පිටත් වුණා. මම තමයි හැමෝම ඇහැරවලා බස් එකට නග්ග ගත්තේ. දුර පළාතක ‘ස’ ප්‍රසංගයකට ගියොත් පිරිස පාන්දරින් බස් රථයට නග්ග ගන්න වගකීම වික්ටර් රත්නායක මහත්තයා දෙන්නෙ මට. මොකද ඔය කණ්ඩායමේ බිව්වෙ නැත්තෙ මමයි බස් එකේ රියැදුරු මහත්තයයි විතරයි. 


යාපනේ ‘ස’ ප්‍රසංගයෙ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්. පාන්දර හයට ප්‍රේම්ව බස් එකට නග්ග ගත්තෙ හරිම අමාරුවෙන්. එහෙම නගිද්දිත් ඔහුට ටිකක් වෙරි වගේ. ප්‍රේම් බස් එකට නැගපු ගමන් පිටි පස්සෙ සීට් එකකට ගිහින් නිදා ගත්තා.  බස් එක ටික දුරක් එනකොට ප්‍රේම් සීට් එකේ නැහැ. මම ඒ පාර ළඟට ගිහින් බලද්දී බස් එකේ බ්‍රේක් පාරකට ප්‍රේම් සීට් එකෙන් බිමට වැටිලා. බිමට වැටිලත් නිදි. මම කතා කළත්  ඇහැරුණේ නැහැ. උස්සලා සීට් එකෙන් තිබ්බත් ආයෙත් බිමට වැටෙන්න පුළුවන් නිසා අපි කතාවෙලා ප්‍රේම්ට ඒ විදිහටම ඉන්න දුන්නා. 


?ප්‍රේමකීර්ති කොළඹටම ආවෙ ඒ විදිහට ද ඉතිං? 


ඔව්. අනුරාධපුරේදී වික්ටර් රත්නායක මහත්තයා මට කිව්වා දවල්ට කෑම ගන්න කියලා. මම කෑම පාර්සල් ගත්තේ. මොකද අපි ‘ස’ ප්‍රසංගයට අනුරාධපුර පැත්තට ගියොත් ආපහු එන්නෙ පුත්තලම පාරේ. එහෙම එන්නෙ දැදුරු ඔයෙන් නාන්න බලාගෙන. නාලා තමයි දවල් ආහාරය ගන්නේ. යාපනේ ප්‍රසංගය අවසන් වෙලා එන ගමනුත් හැමෝම දැදුරු ඔය ළඟින් බැස්සා නාන්න. හැබැයි ප්‍රේම් ඇහැරු​ෙණ් නැහැ. මම කීප සැරයක් උත්සාහ කළත් ප්‍රේම් ඇහැරුණේ නැහැ. අඩු තරමේ කන්නවත් නැගිට්ටෙ නැහැ. ඒ වෙලාවෙ වික්ටර් රත්නායක කිව්වා ඇහැරවන්න තවත් උත්සාහ කරන්න එපා, ප්‍රේම්ට නිදාගන්න දෙන්න කියලා. අපි ඉතිං දැදුරු ඔයෙන් නාලා දවල් ආහාරයත් අරන් යළි කොළඹ එන්න පිටත් වුණා. 


කොළඹට ඇවිත් ගුවන් විදුලි සංස්ථාව ළඟින් තමයි බොහෝ දෙනෙක් බස් රථයෙන් බැහැල යන්නේ. එදා ගුවන් විදුලි සංස්ථාව ළඟට එනවිට හවස හයට විතර ඇති. ප්‍රේම් බස් එකෙන් බහින්නෙත් ඔතනින්. එතැනින් බහින අනිත් හැමෝම බස් එකෙන් බැහැල ගියත් ප්‍රේම් බහින්නෙ නැහැ. නිදි. මම දෙතුන් පාරක් කූද්දද්දී ප්‍රේම්ට ඇහැරුණා. මම එතකොට ඔහුට කිව්වා ‘පැය දොළහක් තිස්සෙ දැන් එනවා, යාපනේ නෙමෙයි අපි  ඉන්නෙ කොළඹ, නැගිටපන්’ කියලා. ප්‍රේම් එතකොට ඇස්දෙක ඇරලා හොඳට මගේ මූණ දිහා බලලා කිව්වා ‘උඹලට යාපනේ ඉඳන් කොළඹට එන්න පැය දොළහක් ගියාට මට ගියෙ විනාඩි පහයි’ කියලා. 

 

අමරදේවයන්, ජයලත් මනෝරත්න සහ උපාලි සාදයක දී


?ප්‍රේමකීර්ති ලියපු ‘තනි තරුවේ’ ගීතය සමග ඔබට නොමියෙන මතකයක් තියෙනවා නේ ද? ‘‘


ප්‍රේමකීර්ති තනි තරුවේ ගීතය ලිව්වෙ ත්‍රිකුණාමලය වෙරළෙදී බව බොහෝ දෙනෙක් දන්න කාරණයක්. ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ පවත්වපු ‘ස’ ප්‍රසංගයකට පසුව හමුදා සාමාජිකයන් අපට සංග්‍රහයක් සූදානම් කරලා තිබුණා වෙරළේ. ඔය වගේ සංග්‍රහ අවස්ථාවල ප්‍රේමකීර්ති ඔහුගෙ සිගරැට් පැකට් එක අනෙක් අයට හොරෙන් මට දෙනවා. මොකද මම සිගරැට් බොන්නෙ නැති නිසා. අනෙක් අයට හොරෙන් දෙන්නෙ සිගරැට් ඔවුන්ගෙන් බේරගන්න. සංග්‍රහය පැවැත්වෙන අතරේ ප්‍රේම් වෙරළේ ගලක් උඩ උඩුබැලි අතට දිගා වුණා. එහෙම දිගාවෙලා අහස දිහා බලාගෙන හිටපු ප්‍රේම් එකපාරටම ‘තනි තරුවේ’ කියලා කෑ ගැහුවා. ප්‍රේම්ගෙ කෑ ගැහිල්ලට අනෙක් අයත් ඔහු ළඟට දිව්වා.

 
ප්‍රේමකීර්ති ඒ වෙලාවෙ ‘උපාලි මට ඉක්මනට කඩදාසියක් දියන්’ කිව්වා. වෙරළෙ හිටපු අපි කා ළඟවත් ඒ වෙලාවෙ කඩදාසි තිබුණෙ නැහැ. ත්‍රිකුණාමලය කඳවුරේ ‘ස’ ප්‍රසංගය සංවිධානය කළේ සුනිල් තෙන්නකෝන් කියන හමුදා නිලධාරියා. ඔය සිදුවීම වෙන තැන තෙන්නකෝන් මහත්තයත් හිටියා. ඔහු සෙබළෙක්ව කඳවුරට යැව්වා ඉක්මනට කොළයක් අරන් එන්න කියලා. හැබැයි ඒකට සැලකිය යුතු වෙලාවක් යනවා. 


ප්‍රේමකීර්ති ඒ වෙලාවෙ මගෙන් ඇහුවා සිගරැට් පෙට්ටියෙ සිගරැට් කීයක් තියෙනව ද කියලා. සිගරැට් තුනයි තිබුණේ. ඒ සිගරැට් තුන සාක්කුවට දාගෙන පෙට්ටිය දික් අතට ඉරන්න කියලා ප්‍රේම් මට කිව්වා. ප්‍රේම් කියපු විදිහට මම සිගරැට් තුන සාක්කුවට දාගෙන පැකට් එක ඉරලා එය ඔහු අතට දුන්නා. සාමාන්‍යයෙන් කොතැනකට ගියත් මගෙ කමිස සාක්කුවේ පෑනක් තියෙනවා. ඒක එදා ඉඳලම අදටත් එහෙමයි. ප්‍රේම් මගෙ සාක්කුවේ තිබුණු පෑන අරන් දික් අතට ඉරපු සිගරැට් පැකැට්ටුව අල්ල උඩ තියාගෙන ලිව්වා ‘‘තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න, මමත් මෙහෙම මෙතැන ඉන්නවා’’ කියලා. ප්‍රේම් ඒ වෙලාවෙ සම්පූර්ණ ගීතයම සිගරැට් පැකැට්ටුවේ ලිව්වා. ඊට පස්සෙ හමුදා කඳවුරෙන් ගෙනාපු කඩදාසියේ ගීතය යළි පිටපත් කර ගත්තා. පසුව වික්ටර් තනි තරුවේ ගීතය ගායනා කළේ එදා ප්‍රේම් තනි තරුවේ කියලා කෑ ගහපු තාලයටමයි. 


?නන්දා මාලිනියන්ගේ ‘පවන’ ඔබ වේදිකා ආලෝකකරණය කළ තවත් ප්‍රසංගයක්. පවන ප්‍රසංගයේත් රස මතක ඇති? 


ඔව්. පවන ප්‍රසංගයත් ආරම්භයේ පටන් අවසන් ප්‍රසංගය දක්වාම වේදිකා ආලෝකකරණය කළේ මම. දවසක් පවන ප්‍රසංගයකට යන අතරේ රාත්‍රී ආහාරය ගන්න වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක් ළඟ බස් රථය නැවැත්තුවා. ඒ කාලෙ නන්දා මාලිනිය, වාද්‍ය ශිල්පීන්, ශබ්ද පරිපාලන ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන් ඇතුළු සියලු දෙනාම ප්‍රසංගයට යන්නේ එකම බස් රථයේ. කොළඹින් ගොඩක් දුර බැහැර ප්‍රසංගයක් නම් ප්‍රසංගය පැවැත්වෙන දිනට කලින් දවසේ යන්නේ. මම මේ කියන්නේ ඒ වගේ ප්‍රසංගයකට ගිය ගමනක් ගැන. 
පවන ප්‍රසංගයේ බටනළා වාදනය කළේ එච්. එම්. ජයවර්ධන මහත්තයා. අපි රාත්‍රී ආහාරය අරන් බස් රථයට නැග්ගහම අනෙක් සියලුදෙනා හිටියත් එච්. එම්. හිටියේ නැහැ. හෝටලයේ හැම තැනම හෙව්වත් හමුවුණේ නැහැ. අපි ආහාර ගත්ත හෝටලය පිටුපසින් ඇළක් ගලාගෙන යනවා. ඇළ අයිනේ සෑහෙන දුරක් බැලුවත් ඒත් එච්. එම්. හිටියේ නැහැ. ඒ පාර මමයි රෝහණ වීරසිංහ මහත්තයයි පාර දිගේ කොළඹ පැත්තට ඇවිදගෙන ආවා. තවත් කිහිප දෙනෙක් නුවර පැත්තට ගියා. ටික දුරක් ඇවිදගෙන එනකොට අපට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ආපු වෑන් රථයක් නවත්වගෙන ඇහුවා ‘‘කෙට්ටු මිටි හාදයෙක් පාරෙ ඇවිදගෙන යනවා දැක්කද’’ කියලා. එතකොට වෑන් රථයේ රියැදුරා කිව්වා ‘ඔව්, එහෙම කෙනෙක් වැනි වැනී කොළඹ පැත්තට ඇවිදගෙන ගියා’ කියලා. මමයි රෝහණයි රියැදුරාට ස්තූති කරලා ඉක්මනින් ඒ පැත්තට ඇවිදගෙන ගියා. එතකොට හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන යමින් හිටපු එච්.එම්. අපට හමුවුණා. ‘කොහෙද මේ යන්නේ?’ කියලා ඇහුවහම ‘ගෙදර යනවා’ කියලා එච්. එම්. උත්තර දුන්නා. ඒ වෙලාවෙ එච්.එම්. රෝහණගෙන් හොඳටම බැණුම් ඇහුවා. අපේ බස් රථය අපව හොයාගෙන එතනට ආවේ රෝහණගෙ බැණුම් අතරේ. අපි එච්.එම්. වත් බසයට නංවාගෙන අපේ ගමන යළි ආරම්භ කළා.

 

 

■ උත්පල දිසානායක