උගුල්වලින් බේරි බේරි මාස නවයක් තිස්සේ සහල් නැළිය පසු කල හැටි


පුදුමාතලන් ක්‍රියාන්විතයට පෙර කමාන්ඩෝ සෙබලුන්

ත්‍රස්තවාදීන් සාමාන්‍ය සිවිල් වැසියන් අතර හිඳිමින් ඒ ජනතාව තමන්ගේ ආවරණය බවට පත් කරගෙන යුද වදින්නට පටන් ගත් පසු ඔවුන්ට මුහුණ දෙමින් උතුර හා නැගෙනහිර මුදා ගැනීමට සිදුකළ මානූෂීය මෙහෙයුම ආරම්භ වූයේ 2006 වසරේදීය. වසරක් තුළ නැගෙනහිර මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. ඉන්පසු උතුර මුදාගැනීමේ මෙහෙයුම 2007 සැප්තැම්බර් වලදී ඇරඹිණ. 

එය ප්‍රධාන පෙරමුණු බලඇණි හතරක් යටතේ සිදු කෙරිණ. මේජර් ජෙනරල් නන්දන උඩවත්ත මහතා අණදුන් 59 වන සේනාංකය වැලිඔය ප්‍රදේශයෙන් ද, මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අණදුන් 53 වැනි සේනාංකය හා මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වා අණදුන් 55 වන සේනාංකය මුහමලේ හා නාගර් කෝවිල් ප්‍රදේශයෙන් ද මෙහෙයුම් ආරම්භ කළහ. මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා එකල 58 වෙනි සේනාංකාධිපතිය. දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තු බලකාය පැවතුනේ ඒ යටතේය. මෙම සේනාංකය මන්නාරම මැදවච්චිය මාර්ගයෙන් උතුරට මෙහෙයුම දියත් කළහ. ඔවුන්ගේ අරමුණ වූයේ පුනරීන් දක්වා සියලු ප්‍රදේශ අත්පත් කරගැනීමය. 


ඔවුහු අඩම්පන්, මන්තන්ව සහල් නැළිය, වෙඩිතලතිව්, වෙල්ලන්කුලම් ආදි කොටි බළකොටු බිඳ දමමින් ඉදිරියට ගියහ. අනතුරුව මුලන්කාවිල් බලකොටුවද බිඳ දමා නාච්චිකුඩා මුහුදු බලකොටුවද බිඳ දැමූහ. එමගින් කොටින්ගේ බටහිර මුහුදු බලය හා සැපයුම් මාර්ගවලින් සියයට අනුවක්ම බිඳ වැටිණ. ඉන්පසු බටහිර වෙරළ ආශ්‍රිතව පැවති සියලු මුහුදු කොටි කඳවුරුවලට පහර දී බලය තහවුරු කරගත් පනස්අට වන සේනාංකය හා දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තු බලකාය අවසානයේ දී පුනරීන් ද මුදාගෙන එහි සිංහ කොඩිය එසවූහ. ඉන්පසු එළැඹුණේ කිළිනොච්චිය මුදා ගැනීමේ මෙහෙයුමය. 

පූනරින් සටනේ ජය සමරමින්

අවසන් සටනේ ජයග්‍රාහී අණදෙන නිලධාරී

වන්නි අඥාපති ජගත් ජයසූරිය පූනරින් හිදි 58 වැනි සේනාකාංධිපති ශවේන්ද්‍ර සිල්වා සමග.

යුද විරුවන් පූනරින් සටනේ ජය සැමරූ අයුරු.


බ්‍රිගේඩියර් ශ්‍යාමල් සිල්වා ඒ මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ වූ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ අතර මඩකළපුව තොප්පිගල සිට මුලතිව් නන්දිකඩාල් දක්වාම ඔහු ඊට දායක විය. ඔහු පනස් අටවැනි සේනාංකය යටතේ එම මෙහෙයුම් සඳහා කුඩා කණ්ඩාම් වශයෙන් සක්‍රීයව දායක වෙමින් විශාල මෙහෙවරක් කළේය. 


ඔහු සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි. 


අපි මෙ‍හෙයුම පටන් ගත්තේ මන්නාරම මැදවච්චිය මාර්ගය පැත්තෙන් යෝධ වැවේ බටහිර ඉවුරෙන්. අපේ කණ්ඩායම වුණේ පනස් අට වන සේනාංකය හා දෙවැනි කොමාන්ඩෝ බලකායයි. මේ දෙකේම අණ දෙන නිලධාරියා ලෙස එදා කටයුතු කළේ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වායි. ඒ වෙනකොට ඔහු කර්නල්. 
අපේ ඉලක්කවලින් එකක් වුණේ උතුරට ගොඩබිම් සැපයුම් මාර්ගයක් ලෙස ඒ තිස් දෙක මාර්ගය අපට නිදහස් කරගැනීම හා ත්‍රස්තවාදීන්ට එය අහිමි කිරීමයි. ත්‍රස්තවාදීන් ඒ වෙනකොට හිටියේ ඒ තිස් දෙක මාර්ගයට මුහුණලා ඒ දිගටම එක ලයින් එකක් විදිහටයි. ඒ වගේම ත්‍රස්තවාදීන් යෝධ වැවෙන් උතුරට භූමිය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගෙනයි හිටියේ. අපි නැගෙනහිර මුදාගන්න විට ඒ ප්‍රදේශයේ හිටපු ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය බේරාගත් සහ අත්අඩංගුවට පත් නොවූ සෙසු සියලු‍ දෙනා උතුරට පලා ගියා. ඒ නිසා අපි උතුරට එද්දී ඔවුන් පිරිස් බලයෙන් වගේම ආයුධ බලයෙනුත් ශක්තිමත් වී සිටියා. ඔවුන් හැම තැනකම දැල එළා තිබුණා. එත් අපි අත්හැරියේ නැහැ. 
යෝධ වැව පැත්තෙන් පටන් අරන් ඉස්සරහට යද්දී ඊළඟට හමුවන්නේ සහල් නැළිය. සහල් නැළිය කියන්නේ යෝධ වැවේ ජලයෙන් පෝෂණය කර වගා කරන විශාල වෙල් යායක්. ඒ ප්‍රදේශය වර්ග කිලෝමීටර් සීයක් විතර ඇති. මේ ප්‍රදේශය පසු නොකර අපිට ඉදිරියට යන්න බැහැ. 


එළිමහන් භූමියකට අපි බැහැපු ගමන් ත්‍රස්තවාදීන්ට අපි විවෘත වෙනවා. ඔවුන් සිටියේ වෙල්යායේ දෙපස කැලෑවේ. ඉතිං ඒ මාර්ගයේ අපිට කිලෝමීටරයක්වත් යන්න ලැබුණේ නැහැ ත්‍රස්තවාදින් තමන්ගේ පිරිස් ස්ථාන ගතකර තිබුණා. මෙන්න මේ වගේ අවස්ථාවල දී තමයි කොමාන්ඩෝ බළකායේ අවශ්‍යතාව මතුවන්නේ. 
පාබල හමුදා ගමන් කරන්නේ බර අවි සමග විශාල කණ්ඩායම් ලෙසයි. නමුත් කොමාන්ඩෝ බළකායන් ගමන් කරන්නේ කුඩා කණ්ඩායම් ලෙස සැඟවිලයි. මේ සටනේ දී කොමාන්ඩෝ බළකායේ අපිට පැවරුන වගකීම් තමයි ත්‍රස්තවාදි කණ්ඩායම් ඉන්න ප්‍රදේශ ගැන තොරතුරු රැස් කිරීම, නැතහොත් ඔත්තු බැලීම, ත්‍රස්තවාදීන්ට සැඟව සිට පහර දී ප්‍රදේශ මුදාගෙන පාබල හමුදාවන්ට ඉදිරියට යාමට මාර්ගය විවෘත කර දීම ආදියය. 


මේ වෙලාවේ අපි කළේ කුඩා කණ්ඩායමක් ලෙස රාත්‍රී කාලයේ ඉදිරියට ගිහින් ත්‍රස්තවාදීන් බලාපොරොත්තු නොවු අවස්ථාවක සැඟව සිට පහර දීමයි. අපි එහෙම ස්ථාන කීපයකින් කණ්ඩායම් කීපයක් ගිහින් පහර දී ප්‍රදේශයක් මුදා ගත්තා. ඊට පස්සේ අපේ සේනාංකයේ පිරිස ඉදිරියට ආවා. මේ විදිහට තමයි අපි ටික ටික ඉදිරියට ගියේ. ත්‍රස්තවාදීන්ගේ පළමු පෙළ බිඳ දැමුවාට පස්සේ අපි ටිකක් ඉදිරියට ගියා. ඊට පස්සේ සහල් නැළිය. 


සහල් නැළිය කියන්නේ මම කලිනුත් කිව්වා වගේ විවෘත ප්‍රදේශයක්නේ. ඒකේ තැන තැන ඔවුන් අගල් කපලා තිබුණා‘ ලොකු මඩ වළවල් තිබුණා. ඒ හරහා කොහොමත් යන්න බැහැ. ඒ නිසා අපි කළේ කැලෑවට රිංගලා වෙල් යායට මුහුණ දාලා ත්‍රස්තවාදින් හදාගෙන තිබුණ බංකර්වලට පහර දීමයි. 
සහල් නැළිය වටා තිබූ සතුරු බංකර්වලට රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වී පහර දූන්නා. ඒ සියල්ල බිඳ දැමුවාට පසුව තමයි අපිට ඉස්සරහට යන්න හැකි වුණේ. මේක දැන් කියනවා වගේ එදා පහසු වැඩක් වුණේ නැහැ. සහල් නැළිය පහුකරන්න අපිට මාස නවයක් ගත වුණා. 


සතුරා අටවපු උගුල්වල හසු නොවී යා යුතුයි. ත්‍රස්තවාදීන් තැන තැන බට්ටෝ වළ දාලා තිබුණා. ඒවට අපේ ගොඩක් දෙනාගේ කකුල් අහිමි වුණා. ඒ නිසා ඒවටත් පූර්ව සූදානමකින් තමයි යන්න සිදු වුණේ. 


අපේ හැම කෙනෙක් අතේම කුඩා රේක්කයක් තිබුණා. ඒක භාවිත කළේ බට්ටෝ වළ දාලා ඇති කියලා සැක හිතෙන තැන් පරීක්ෂා කරන්න. අපි තව උපක්‍රමයක් භාවිත කළා. ලොකු භූමි ප්‍රදේශයක බට්ටෝ වළ දාලා කියලා හිතුන අවස්ථාවල අපි ලෑලි වැනි දේවල් බිමට දාලා ඒ මත ලෙස්සලා ගියා. එවිට බට්ටෝ පිපිරුවත් සිදුවෙන හානිය අඩුයි. බට්ටෝ විතරක් නෙවෙයි බිම් බෝම්බ වලිනුත් අපට බාධා තිබුණා. සමහර දවස්වලට අපිට මීටර් සීයකට දෙසීයකට වඩා දුරක් යන්න ලැබුණේ නැහැ. මොකද අපි බිම් බෝම්බ, බට්ටෝ එකින් විතරක් නෙවෙයි, ඒවා වැළලු සතුරො සමගත් සටන් කරමින් තමයි මේ ගමන ගියේ. කොමාන්ඩෝ කණ්ඩායමක් වගේ නෙවෙයි සේනාංකයක් මෙහෙයුමකට යනකොට ලොකු පිරිසක්, ලොකු අවි ආයුධ අරන් පාරවල් හදාගෙන යන්නේ. ඒක සුළු කාලයක් ඇතුළත සතුරා දැන ගන්නවා. එතකොට ඔවුන් පහර දෙනවා. ඒ ස්නයිපර් ප්‍රහාර කන ළඟින් යද්දී ආටිලරි ඇවිත් කකුල් ගාව වැටෙද්දී, තමන් ළඟම හිටපු කෙනා තුවාල ලබද්දී, සමහර විට ළඟ හිටපු අය මිය යද්දී, තමන් ඇතුළු සෙසු පිරිසගේ පණ බේරගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරමින් අරමුණ කරා යන්න සෙබළෙකුට, ඔවුන්ට මග පෙන්වන, නායකත්වය දෙන නිලධාරියෙකුට මොන තරම් හිතේ හයියක් තියෙන්න ඕනෑ ද? 

 


නමුත් අපි එකට මුහුණ දුන්නා. දැන් හිතනකොට ඒක මොන තරම් අමාරුද කියලා හිතුනට එදා අපට තිබුණේ ඉලක්කය කරා ගමන් කිරීමේ උවමනාව පමණයි. 
අපිට දවසකට යන්න ලැබුණේ මිටර් සීයක් දෙසීයක් විතර දුරක් පමණයි. අපේ අයට නිවාඩු ලැබුණේ හරිම අඩුවෙන්. මේ වගේ මෙහෙයුමක දී අපි නිදහස් කරගත් භූමිය ඔස්සේම තමයි නිවාඩු යන අය යා යුත්තේත්. ඒ වෙනුවට අනුයුක්ත කරන අය පැමිණිය යුත්තේත්. ඒ අතරතුරදීත් අනතුරක් වෙන්න පුළුවන්. 


අපිට සහල් නැළිය පසු කරන්න මාස නවයක් ගත වුණා. අඩප්පන්වල මාස තුනක් විතර හිටියා. යෝධ වැවේ නැගෙනහිර පැත්තේ කැලෑවෙ පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. නමුත් දිගුදුර විහිදුම් බළකාය ඒ ඔස්සේ ගමන් කරන නිසා අපිට ඒ පැත්තට යාම තහනම් වුණා. නමුත් අපි විශේෂ අවසරයක් අරන් කොමාන්ඩෝ බළකායේ කුඩා කණ්ඩායම් මේ කැලෑවෙන් ගිහින් ත්‍රස්තවාදීන්ගේ තැන තැන තිබුණ බංකර්වලට ප්‍රහාර එල්ල කර උතුරු දෙසට ගියා. ඒ ගිහින් ඒ පැත්තෙන් පහර දුන්නා. ඒ අතරේ මුදාගත් ප්‍රදේශ ඔස්සේ අපේ සේනාංකය ඉදිරියට ඇවිත් ත්‍රස්තවාදීන්ට බර අවිවලින් පහර දුන්නා. එහෙම ගිහින් අපි ඒ තිස් දෙක මාර්ගයට පිවිසුණා. 

 

යුද සැලසුම් සකස් කළ අයුරු.


ඒ මාර්ගයේ සිට නැවත ත්‍රස්තවාදීන්ගේ මුහුදුබඩ කඳවුරුවලට පහර දූන්නා. මේ ආකාරයට අපට පුනරීන් දක්වා එන්න ලැබුණා. එහිදී අප ජාතික කොඩිය ඔසවා ජයග්‍රහණය සැමරුවා. 


මේ මෙහෙයූමේදී අපේ සේනාංක කීපයක් හතරවටින් ගමන් කළ නිසා අපේ පනස් අට සේනාංකය කොතොනක හෝ හිරවෙනකොට පනස් හත සේනාංකය ප්‍රහාර එල්ල කරනවා. ඒ දෙකම හිරවෙනකොට පනස් නවවැනි සේනාංකය පහර දෙනවා. එහෙම ත්‍රස්තවාදීන් මත දැඩි පීඩනයක් ඇති කළා. එහෙම තමයි මේ සටන එදා අපි ජය ගත්තේ.

 

 

සටහන :
මුදිතා දයානන්ද සහ
ඉන්දිකා රාමනායක